
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යේතිර්වේදී
පාඨශාලාචාර්ය
ඉසිවර සහන
ජ්‍යෝතිෂ්‍යය සේවය
ජන්ම අංක හය නියෝජනය කරන්නේ ග්‍රහ මණ්ඩලයේ සිකුරු ග්‍රහයා විසින් බැවින් ජන්ම අංක 6න් උපන් ඔබ සිකුරු හෙවත් වීනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ග්‍රහ මණ්ඩලය තුළ ඉතා දීප්තිමත් තාරකාවක් වන සිකුරු ග්‍රහයා අලංකාරය, විනෝදය, සතුට, කාමය සහ ලිංගිකත්වය මෙන්ම සියලු කලාවන් ද නියෝජනය කරයි.
ඔබ ජන්ම අංක 6 න් උපන් ස්ත්‍රියක් නම් බොහෝ විට ඉතා රූමත් අයකු වීමට ඉඩ තිබේ. පිරිමි අයකු වුවද ඉතා කඩවසම්, අන් අයගේ ආකර්ෂණය දිනා ගත හැකි රුවකට උරුමකම් කියයි. වයස ගියත් තරුණ ගති ලක්ෂණ පෙන්නුම් කරයි. එමෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයද නිරායාසයෙන්ම ලැබේ. ඉතාමත් ලස්සනට, ප්‍රියමනාප ලෙස අඳින්නට පලඳින්නට කැමති වෙයි. පරණ ඇඳුම් සහ විලාසිතාවලට කැමති නැත. තරුණ පෙනුම රැක ගැනීමට ද උනන්දු වෙයි. පිරිසුදු භාවය සහ පිළිවෙළ ඉතා අගයන අතර, අපිරිසුදු සහ අවලස්සන ස්ථානවල වාසයට කිසිසේත්ම ප්‍රිය නොවේ. ඉතාම සුඛෝපභෝගී, සුවපහසු ජීවිතයක් ගතකිරීමට නිතරම උත්සාහ ගනියි.
ඔබ ඉතාමත් ආකර්ෂණීයව අනිත් අයගේ සිතට දැනෙන ආකාරයෙන් කතා කිරීමට ද අදහස් ඉදිරිපත් කිරීමට ද දක්ෂ වෙයි. ඉතා සමාජශීලි ගති ලක්ෂණ පෙන්නුම් කරන මොවුන් නිතරම සිනහවෙන් සහ සතුටින් සිටීමට කැමති අයයි. ඉතා නිර්මාණාත්මක සහ කලාත්මක හැකියාවන් සහ දක්ෂතා සහජයෙන් උරුම වෙයි. කුඩා කලම එම හැකියා දක්ෂතා හඳුනාගෙන දියුණු කර ගතහොත් එම අංශයෙන් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත හැකිය. හුදෙකලාව ජීවත් වීමට අකමැති අතර, සමාජය තුළත් යහළු මිත්‍රයන් අතරත් නිතර ගැවසීමට ප්‍රිය කරයි. මොවුන් කුමන තත්ත්වයක හිටියත් තමන්ගේ තත්ත්වයේ තරාතිරමේ හැටියට සමාජය තුළ යම් ජනප්‍රියත්වයක් හිමිකර ගනියි. එමෙන්ම අන් අයගේ අඩුපාඩු දුර්වලතා මොවුන්ට හොඳින් පෙනුණද තමා තුළ කෙතරම් අඩුපාඩු දුර්වලතා තිබුණත් ඒවා කිසිදු විටෙක පිටට පෙන්වන්නට කැමති නැත. අනුන්ගේ රහස් හෙළි කර ගැනීමට සහජ ඉවක් මෙන්ම දක්ෂතාවයක් ඇති මොවුන් පෙනෙන ඇසෙන දෙයට වඩා වැඩි දෙයක් හැමවිටම තේරුම් ගනියි. එමෙන්ම තමන්ගේ රහස් සඟවා ගැනීමට ද දක්ෂ වෙයි.
අධ්‍යාත්මික ජීවිතයකට වඩා ලස්සන, ලෞකික ජීවිතයක් ප්‍රාර්ථනා කරයි. තමා ඉතා සැපවත් ජීවිතයක් ගත කරන බව පෙන්වීමට කැමතිය. මොන තරම් අපහසුතා දුක්කම්කටොලු වින්දත් ඒවා කිසි විටෙකත් දුකක් ලෙස පිටතට පෙන්නීමට කැමති නොවේ. එමෙන්ම යහපත සහ අයහපත පිළිබඳ සිතා බලා තීන්දු තීරණ ගනී. මොවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම වනවා සේම දීර්ඝායුෂ විඳීමේ වාසනාව ද ඇත්තෝය. ඕනෑම කෙනකුගේ අවධානය පහසුවෙන් දිනාගත හැකි මනා පෞරුෂයකින් හෙබි මොවුන්ට දන්නා නොදන්නා ඕනෑම ඉහළ නිලධාරියකු සමඟ වුවද පහසුවෙන් කටයුතු කළ හැකි අතර ඔවුන් තමන් වෙත නම්මවා ගැනීමේ හැකියාවක් ද පවතී.
මොවුන්ගේ දැකිය හැකි එක් දුර්වලතාවක් වන්නේ එක ස්ථිර සිතුවිල්ලක ස්ථාවරව පැවතීමට නොහැකි වීමයි. විටින් විට සැලසුම් වෙනස් කරයි. එක තැනක බොහෝ වේලා රැඳෙන්නට ද කැමති නැත. නිතරම ඉක්මන් වෙනසක් අපේක්ෂා කරයි. එක දෙයක් ගැන දිගින් දිගට කල්පනා කිරීමට ද කැමති නැත. මේ අය තීන්දු තීරණ ගැනීමට පෙර සහ යමක් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් සිතා බලන ලෙසට අවවාද කරමි. මොවුන් වඩාත් සතුටු වන්නේ තමන්ගේ අදහසට අන් අය එකඟ වෙනවා නම් පමණි. තමාගේ මතයට විරුද්ධ මතයතට එකඟ වන්නේ කලාතුරකිනි. ඔවුන්ගේ මතයට අන් අය එකඟ නොවෙන විට තනියම ඒ ගැන කම්පා වෙයි. බොහෝ විට එතැන රැඳී නොසිට ඉවත් වෙයි. මිතුරන් යැයි සිතා හැම කෙනකුම විශ්වාස කිරීමෙන් වළකින්න. මිනිසුන් හොඳින් තේරුම් ගන්න. එහෙත් අනවශ්‍ය ලෙස සැක නොකරන්න.
මවුපියන් කෙරෙහි හොඳ සහකම්පනයක් ඇති මොවුන් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු කැපකිරීම් කරයි. හොඳ පවුල් සාමාජිකයන් ලැබීමට වාසනාවන්ත වෙයි. ජන්ම අංක හයෙන් උපත ලැබූ බොහෝ අය සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කරනු පෙනෙයි. බොහෝවිට ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහය සිදුවෙන බව පෙනේ. තම සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු කර දීම සහ ඇයගේ හෝ ඔහුගේ අවධානය දිනා ගැනීමට මොවුන් ඉතා දක්ෂ වෙයි. නිතරම හිතේ පවතින්නා වූ සැක මුසු ස්වභාවය විවාහ ජීවිතයේදී බාධාවක් බවට පත්වෙයි. වඩා යහපත් විවාහ ජීවිතයක් වෙනුවෙන් එම දුර්වලතා මගහරවා ගැනීම ඉතා වැදගත් වනු ඇත. රහස් ප්‍රේම සබඳතා සම්බන්ධයෙන් ද මොවුන්ට එක් අත්දැකීමක් හෝ නොතිබුණොත් ඒ කලාතුරකිනි. ආදරය සහ ප්‍රේමය ඉතා තදින් අපේක්ෂා කරන මොවුන් එය නොලැබුණ විට දී බොහෝ කම්පා වෙයි. ආදරය සහ වෛරය අතර පරතරය අඩු වන්නේ බොහෝ විට මොවුන්ගේ ආදරයේ අපේක්ෂාභංගත්වය මත විය හැකිය. කෙසේ වෙතත් ඔවුන් ඉතා ලස්සන ප්‍රියමනාප සහකරුවකු හෝ සහකාරියක් ලැබීමට වාසනාවන්ත වේ. ජන්ම අංක හය හිමියන් බොහෝ විට අඩු වයසින් විවාහ දිවියට පත් වනු පෙනෙයි. එනමුත් විවාහය යනු ඔබගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක් වන බව හොඳින් තේරුම්ගෙන හැඟීම් මත පදනම් නොවී හොඳින් සොයා බලා එම කටයුතු කර ගැනීමට මතක තබා ගන්න. ජන්ම අංක හයෙන් උපන් ඔබට ජන්ම අංක 3, 6, 9 අංකවල අය යහපත් විවාහයක් සඳහා ඉතා ගැළපෙන අතර ඕනෑම මාසයක 12,15,18, 21, 27, 30 දිනවල ඉපදුණු අය ද වඩාත් ගැළපෙයි.
වයස අවුරුදු 24 සහ 42 යන වයස් සාර්ථකත්වයට මඟ පාදා ගත හැකි වර්ෂයන් වේ. කෙසේ හෝ තමන්ට අවශ්‍ය මුදල් උපයා ගැනීමට දක්ෂ වෙයි. නමුත් ඒ වෙනුවෙන් වැඩිය මහන්සි කර වන්නේද නැත. විවාහයෙන් ද වත්පෝසත් කම් හා ධනය ලැබීමට හා ගෙවල් දොරවල් ඉඩකඩම් ලැබීමේ වාසනාව පවතී. කලාවට සම්බන්ධ වෘත්තීන් සහ ව්‍යාපාර ගැළපෙන අතර, නිර්මාණාත්මක දේවල්වලින් ද මුදල් ඉපයීමේ හැකියාව ඇත. ගෙවල් දොරවල් නිර්මාණාත්මකව සැලසුම් කිරීමට අදාළ රැකියා, ගොඩනැඟිලි ක්ෂේත්‍රයේ රැකියා, හෝටල් ක්ෂේත්‍රය,පොත්පත් වෙළෙඳාම, විසිතුරු භාණ්ඩ වෙළෙඳාම, රූපලාවන්‍ය අංශය, ප්ලාස්ටික් භාන්ඩ, වෙළෙඳ ව්‍යාපාර මෙන්ම ගුරු වෘත්තිය, නීතිඥ වෘත්තිය, ඉංජිනේරු අංශය ආදී ක්ෂේත්‍රවල රැකියාවන් ද වඩාත් ඵල දෙයි. සාර්ථකත්වය ඇති කරන වයස් ලෙස 15, 18, 24, 27, 33, 42, 51, 60 සහ 69 සඳහන් කළ හැකි අතර, වැදගත් සැලසුම් ක්‍රියාවට නැංවීමට මේ කාලයන් ඉතා වැදගත් වේ.
යහපත් වූ ව්‍යාපාර සබඳතා සහ හිත මිත්‍ර සම්බන්ධතා සඳහා ජන්ම අංක 3, 6, 9 හිමි අය වඩාත් ගැළපේ. ජන්ම අංක හයෙන් උපන් ඔබ පෙනහළු ආශ්‍රිත රෝගාබාධ, ස්නායු ආබාධ, පපුව ආශ්‍රිත අසනීප, මුත්‍රා ආබාධ, සෙම රෝග, මල බද්ධය, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. අධික තෙල් සහිත ආහාර, උෂ්ණ ආහාර, අධික ලුණු සහිත සහ මිරිස් සහිත ආහාරවලින් හැකි තරම් ඈත් වීම සෞඛ්‍යයට ඉතා හිතකරය.
වාසනාව ගෙනදෙන වර්ණ වන්නේ ළා නිල්, රෝස සහ සුදුපාටයි. මෙම වර්ණ හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීමෙන් කායික, මානසික නිරෝගී භාවය හා ප්‍රබෝධයක් ඇති කර ගත හැකිය. එමෙන්ම කළු සහ දම් වර්ණ අසුබ සහ අහිතකර වන අතර, එම වර්ණ භාවිතය හැකි තරම් අවම කරන්න. ඕනෑම මාසයක 6, 15, 24 , 3, 9 12, 18, 21, 27 සහ 30 යන දිනයන් ඉතා වාසනාවන්ත දින වන අතර බදාදා, සිකුරාදා හා සඳුදා වාසනාවන්ත දවස් වේ.ඉහත දිනයක් සහ දවසක් එක විට යෙදේ නම් එය ඉතාමත් සුබදායක වෙයි. ඔබට අප්‍රේල් මස 20 සිට මැයි මස 20 දක්වාත් සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 21 දක්වාත් කාලය යහපත් වෙන අතර, අප්‍රේල් මාසයේ 19 දක්වා සහ ඔක්තෝම්බර්, නොවැම්බර් මාස එතරම් යහපත් නැත. මානසික අසහනය සහ හිතේ කරදර ඇති කරයි.
සෑම සතියකම සිකුරාදා දින නිර්මාංශ වී ආගමික වතාවත්වල නිරත වීම ඉතාමත් යහපත් වන අතර, ඔබට සුභඵල ගෙන දෙන ප්ලැටිනම් ලෝහයෙන් වළල්ලක් හෝ මුදුවක් පැලඳීම හොඳයි. එම ලෝහයෙන් අංක විද්‍යා යන්ත්‍රයක් මුදුවක පැලඳීම ද යහපත් වේ. ඔබ මිලදී ගන්නා වාහනයේ අංකය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු 3, 6, 9 වේ නම් ඉතා යහපත් වේ.
ඕනෑම මාසයක 7, 16, 25 යන දිනවල ඉපදුණු අයගේ පලාපල ලබන කලාපයෙන්...