
ගම්පහ වෙලාගත් පස් මාෆියාවේ රජු ලෙස සැලකෙන සමන් රෝහිත පෙරේරා නොහොත පස් පොඩ්ඩාගේ ඉරණමද විසඳෙන්නේ වෙඩි උණ්ඩයකිනි. ඒ ඉකුත් 27 වෙනිදා ගම්පහ අධිකරණයේ විභාග වෙමින් තිබුණු නඩුවකට පෙනී සිට නැවත යන්නට සූදානම් වූ අවස්ථාවේදීය.
සිය ගෝලබාලයන් තිදෙනෙක් සමඟ කැබ් රථයක නැගී පැමිණි පස් පොඩ්ඩා එම කැබ් රථය නතර කරනු ලැබුවේ අධිකරණය කිට්ටුව පාතකමය. ඒ අධිකරණයෙන් එළියට ආ සැණින් කැබ් රථයේ නැඟී එම ස්ථානයෙන් පිටව යාමේ අපේක්ෂාවෙනි. ඒ තමාට ජීවිත තර්ජන ඇති බව ඔහු දැන සිටි බැවිනි. ඒ ගැන පස් පොඩ්ඩාට හිතවත් පොලීසියේම මහත්වරු කියා තිබුණේය. වෙනදාට පස් පොඩ්ඩා අධිකරණයට එන විට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ පොලිස් නිලධාරීන් උසාවිය අවට ගැවසෙනු සුලබ දසුනකි. එහෙත් මෙදා කාකි නිල ඇඳුම් තියා සිවිල් පිට සිටි නිලධාරීන්ද උසාවිය අවට නොවීය. ඒ ඉන්ධන ගැටලුව තදින්ම පොලීසියටද දැනී තිබුණු බැවිනි.
පොලීසිය එදා උසාවිය පැත්තේ නොමැති බව දැන සිටියේ නම් පොඩ්ඩා සිය ගෝලබාලයින් සමඟ එහි එන්නේ ඕනෑම දේකට සූදානමිනි. පොඩ්ඩා උසාවිය පැත්තේ එන දවස්වල පොලීසියද වැඩිපුර ගැවසුණේ වෙඩි හුවමාරු වළකාලන්නටය.
මෙදා පස් පොඩ්ඩා අනාරක්ෂිත බව පොඩ්ඩාගේ ජීවිතය ඩැහැ ගැනීමට කාලයක් තිස්සේම මාන බලමින් සිටියවුන් දැන සිටියහ. ඒ ඔවුන්ට පොලීසිය ඇතුළෙන් ගිය තොරතුරක් නිසා නොව ඉන්ධන ගැටලුව හමුවේ පොලීසියේ ඇතැම් ක්‍රියාකාරකම් අඩපණ වී ඇති බව දැන සිටිමෙනි. රටපුරා පාතාලයේ වෙඩි එක දිගට මේ දිනවල පත්තුවෙමින් යන්නේද ඒ නිසාය.
පස් පොඩ්ඩාට ඉව අල්ලමින් සිටියවුන්ද ඒ අවස්ථාවෙන් එදා උපරිම ඵල නෙළා ගත්තේය. ගම්පහ අධිකරණයේ ගේට්ටුවෙන් එළියට පැමිණි පොඩ්ඩා ඉක්මන් ගමනින් ගොස් සිය ගෝලයන් සමඟ කැබ් රථයට ගොඩවූවා පමණි. වේගයෙන් පැමිණි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් කැබ් රථයේ ගමන අවහිර වන සේ නතර කරනු ලැබීය. සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට පස් පොඩ්ඩාට එතරම් කාලයක් ගත නොවීය. ඊට ප්‍රතිචාර දැක්වීමට ඔහු සතුව හෝ ගෝල බාලයින් සතුව ගිනි අවියක් තබා පිහිතුඩක්වත් නොවීය. මෝටර් රථයේ පැති දොර විවර කරමින් එකවරම එළියට පනින්නේ ටී 56 අවියක් අමෝරා ගත්තෙකි. ඒ සැණින් ඔහු වෙඩි වර්ෂාවක් කැබ් රථය දෙසට මුදා හරින්නේ පස් පොඩ්ඩා අසුන් ගෙන සිටි දෙස ඉලක්කරගෙනය.
මේ සියල්ලටම ගතවන්නට ඇත්තේ තප්පර කිහිපයක් පමණි. වෙඩි තැබූ සැණින් මෝටර් රථයට වෙඩික්කරුවා ගොඩවිය. මෝටර් රථය එතැනින් අතුරුදන්වන්නේ විදුලි වේගයෙනි. එම රථය පලා ගියේ යැයි කියැවෙන්නේ නයිවල පැත්තටය.
පස් පොඩ්ඩාගේ කථාව එතැනින් හමාර වූයේ නැත. වෙඩි වැදුණත් තවත් කාලයක් ජීවත්වීමට පස් පොඩ්ඩා ඇතුළු ඔහුගේ ගෝලබාලයන්ට වාසනාවක් උදා වී තිබුණේය. එහෙත් ඒ වාසනාව පස් පොඩ්ඩාට නම් සීමා වන්නේ පැය කිහිපයක් පමණි. ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් පොඩ්ඩා සදහටම දෑස් පියා ගන්නේ ගම්පහ පස් මාෆියාව සහ ඒ ආශ්‍රිත ගැටුම්වලට බිලිවූ 51 වැනි හෝ 52 වැනියා ලෙස සනිටුහන් වෙමිනි.
මුළු ගම්පහම හොල්ලාගෙන සිටි සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා කිසිවිටකත් මෙවන් මරණයකට උරුමකම් කියනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතුවෙකි. තමා දන්නා කියන පොලිසියේ මහත්වරු සියල්ල අතහැර සිය දියණිය ජීවත්වන ඕස්ට්‍රේලියාවට පිටත්ව යන්නැයි කියද්දීත් පොඩ්ඩා රට අතහැර නොගියේ ඒ විශ්වාසය නිසාය. ඒ පොඩ්ඩාට මෙරට කුප්‍රකටම පාතාලයේ අපරාධකරුවෙකු වන මාකිලන්ගමුවේ සංජීවගේද ආශිර්වාදය ලැබී තිබුණු බැවිනි. පොඩ්ඩා විශ්වාස කළේ සංජීව තමා සමඟ සිටින තාක්කල් තමාට එරෙහිව කිසිවකුගේත් අවි එසවෙන්නේ නැති බවටය.
ඒ සියල්ල කණපිට පෙරළෙමින් පස් පොඩ්ඩා ඝාතනය වන්නේ ද මාකිලන්ගමුවේ සංජීවටද යම් අභියෝගයක් එල්ල වෙමිනි.
ගම්පහ පැත්තේ පස් මාෆියාව රජකරනුයේ මිනුවන්ගොඩ, කෙහල්බද්දර සහ නැදගමුව කේන්ද්‍රකර ගනිමිනි. රටේ පරිසර නීතිය බල්ලාට දමමින් පස් කැපීම් මේ පැත්තේ සිදුවන්නේ දේශපාලනයේත් පොලීසියේත් හයි හත්තිය ඇතිවය. යම් පොලිස් නිලධාරියෙක් නීතියට අනුව වැඩකරමින් මෙම පස් මාෆියාවට වැට බදින්නට යයිද ඔහුට වැඩිකල් ඒ පොලීසියේ ඉන්නට බැරිය. කොහේ හෝ ඈතකට ඔහු විසිවී යන්නේ ස්ථානමාරුවක් ලැබෙමිනි. ඒ තරමට මෙම පස් මාෆියාව බලවත්ය.
ගොඩ කරන්න තහනම් වගුරු බිම් මෙම මාෆියා විසින් එක රැයින් ගොඩකරනුයේ ඊට එරෙහිවන නිලධාරීන් පවා අසරණ කරමිනි. ඒ අයට පස් කඳු කපන්නට බලපත්‍ර වුවමනා නැත. පස් ප්‍රවාහනය කරන්නටත් බලපත්‍ර ද වුවමනා වන්නේ නැත. සියල්ලක්ම කෙරන්නේ දේශපාලන ආශිර්වාදයෙන් සහ නීතියේ රැකවරණය මතිනි. ගම්පහ පැත්තේ ගොඩ කරන්නට තහනම්යැයි කියන ඉඩම් රෑ එළිවෙනවිට ගොඩවන්නේ ඒනිසාය. ඒවෙනුවෙන් අතට ලැබෙන කුටියට පොඩි නැත. කුඩු මාෆියාව මෙන්ම පස් මාෆියාවක් ද ගොඩ නැෙඟන්නේ එබැවිණි.
ගම්පහ පැත්තේ පස් මාෆියාවේ ආරම්භක පුරුක ලෙස හඳුනා ගැනීමට හැක්කේ කළු ගාමිණීය. කළු ගාමිණිගේ නැගිටීම සිදුවන්නේ 1994 වසරේදී සිදුවූ දේශපාලන පෙරළිය සමඟිනි. එතෙක් පැවති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේශපාලන රැකවරණය ලැබූ හීනටියන, මිනුවන්ගොඩ සහ කටුනායක අරක්ගෙන සිටි පාතාල අපරාධකරුවෝ රැසක්ම ඒත් එක්කම පැත්තකට විසිවී ගියේය. අලුත් චරිත බිහිවන්ට ගත්තේය. කළු ගාමිණිද එසේ බිහිවූ චරිතයකි.
කළු ගාමිණි අත තැබුවේ පස් ව්‍යාපාරයටය. ඒ මිනුවන්ගොඩ පැත්තේ ඇති තරම් කැපීමට පස් කඳු ඇති බැවින් එය මුදල් ගලාගෙන එන උල්පතක් බව දැන සිටි බැවිනි. කළු ගාමිණි ගම්පහ පස් ව්‍යාපාරය මාෆියාවක් බවට පත්කරනුයේ ඔහුගේ අනු දැනුමකින් තොරව පිටස්තර කිසිවෙකුටත් පස් බිඳක් කැපීමට ඉඩ නොතබමිනි. වෙනත් ව්‍යාපාරිකයෙක් පස් ව්‍යාපාරයට පිවිසෙන්නේ නම් කළු ගාමිණිට ලාභයෙන් පංගුවක් කප්පම් වශයෙන් ගෙවීය යුතු විය. එසේ නොවුණහොත් සිදුවූයේ එම ව්‍යාපාරිකයාට ඇඩ්රස් නොමැති මරණයකට උරුමකම් කියන්නටය.
ගම්පහ පස් මාෆියාවේ ගෝඩ් ෆාදර් බවට එසේ කළු ගාමිණි පත්වන විට ඔහුව හිසරදයක් වූ පිරිස අපමණය. ඇතැම් වතුවල පස් කදු කළු ගාමිණි විසින් කපා පස් ඇද්දේ බලහත්කාරයෙනි. ඒ තරමට කළු ගාමිණි වැඩි කලක් යන්නට මත්තෙන් එපාම කරපු පුද්ගලයෙක් බවට පත්විය.
2001 වසරේ නැවත දේශපාලන පෙරළිය සිදුවීමත සමඟ කළු ගාමිණිගේ ද තටු හැලෙන්නට ගත්තේය. හීනටියන පැත්තේ කණ්ඩායමක් හිස ඔසවන්නට ගත්තේ දේශපාලන ආශිර්වාදයද සමඟිනි. එම කල්ලියට නායකත්වය දුන්නේ හීනටියන අසිතය.
රටම හඳුනන කුප්‍රකට පාතාල චරිතයක් වන ලක්ෂමන් ධර්මදාස නොහොත් වන්ෂොට් අසිතගේ බාප්පාය. 1992 වසරේදී වන්ෂොට් පොලිස් වෙඩි පරකින් මරුමුවට පත්වන විට අසිත පාසල් යන වයසේ පසුවූවෙකි. කාලයාගේ ඇවෑමෙන් අසිත සිය බාප්පාගේ අඩිපාරේ යමින් හීනටියන චණ්ඩියා බවට පත්විය. දේශපාන ආශිර්වාදයෙන් හිස එසවූ හීනටියන අසිත වැඩි කල් නොගොස් කළු ගාමිණි අතවූ පස් මාෆියාව සියතට ගත්තේය. ඒත් සමඟම අසිතගේ සහ කළු ගාමිණිගේ කල්ලි දෙක අතර ඇතිවන්නේ නොනවතින ගැටුමකි. එහිදී වැඩි මරු වැලඳගත් වැඩි දෙනෙක් කළු ගාමිණිගේ ගෝල බාලයින්ය. මේ නිසාම කළු ගාමිණිට සිදුවන්නේ සැඟවෙමින් ජීවත් වන්නටය.
එහෙත් වැඩි කාලයක් කළු ගාමිණිට ජීවිතය රැක ගන්නට ඉඩක් නොවීය. පස් මාෆියාවේ ගෝඩ් ෆාදර් වූ කළු ගාමිණි වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ උඩුගම්පොල කනිෂ්ඨ විද්‍යාලය අසලදීය. හීනටියන අසිත පාතාලයේ කුප්‍රකට චරිතයක් බවට අභිශේක ලබන්නේ ඒත් සමඟිනි.
නැවතත් 2004 වසරේදී දේශපාලන පෙරලිය සිදුවන විට කළු ගාමිණි ජීවතුන් නොවීය. එහෙත් ඔහුගේ ගෝල බාලයින් කළු ගාමිණිගේ හිඩැස පුරවමින් නැවතත් පස් මාෆියාව සියතට ගත්තේය. බල පෙරළියත් සමඟ පොලීසියද අසිත පස්සේ පන්නන්නට ගත්තේය. ඒ ඔහු පොලීසියට ඒ වන විටත් හිස රදයක්ව පැවති බැවිණි. අසිතව කොටුකර ගැනීමට රටපුරාම පීරමින් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන විට ඔහු සුවිසල් මන්දිරයක් නවගමුවේ ඉදිකරමින් එහි සිය බිරිය සමඟ ජීවිතය ගතකරන්නට ගත්තේ කිසිවෙකුටත් හොර රහසේය. එහෙත් ඔහුට වැඩ වැරදින්නේ එම නිවස ගොඩ නැගූ පෙදරේරුවා එහි තැනූ බංකරයක් ගැන නවගමුව පොලීසියේ එවකට සිටි ස්ථානාධිපතිවරයාට පැවසීමත් සමඟිණි. ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස අද කටයුතු කරන මංගල දෙහිදෙණිය එදා නවගමුව පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාය. අසිතගේ බාප්පා වූ වන්ෂොට් මරු වැලඳ ගන්නා පොලිස් වෙඩිල්ල තැබූ කණ්ඩායමේද එකල දෙහිදෙණිය ද සිටියේය.
අසිතගේ බලය එසේ වියැකී යන විට කළු ගාමිණිගේ තැන ගත්තේ පස් පොඩ්ඩාය. එකල ඔහු කළු ගාමිණි මෙන් කළු චරිතයක් නොවීය. කළු ගාමිණිගේ පස් ව්‍යාපාරයට ලොරි සහ බැකො සැපයූ සාමාන්‍ය කොන්ත්‍රාත්කරුවෙක් පමණි. ගාමීණිගේ මරණයත් සමඟ ඇණහිටි පස් ව්‍යාපාරය අතටගත් පස් පොඩ්ඩා තරගකාරී ව්‍යාපාරිකයන් බිය ගන්වමින් කප්පම් ගන්නට ගියේ නැත. සෙසු ව්‍යාරිකයන් සමඟ කරට කර තරගකරමින් මාෆියාවක්ව පැවති පස් ජාවාරම ව්‍යාපාරක් ලෙස ගොඩ නැගුවේය. ඒ තුළින් ඔහුගේ අතමිට සරුවන විට ගාමිණිගේ ගෝලබාලයින්ටද හොසින් සලකන්නට පොඩ්ඩා අමතක නොකළේය. ඒ ඔහුට හයියක්ව සිටියේ එම ගෝලබාලයින් වූ බැවිනි.
හීනටියන අසිත හිරේ ගියත් ඇතුළේ ඉඳන් ගාමිණිගේ ගෝල බාලයින්ට වැඩ දෙන්නට ගත්තේය. ඒ පස් මාෆියාව නැවතත් ඔහු අතට ගන්නටය. ඒ අනුව පස් පොඩ්ඩාට හයියක්ව සිටි කළු ගාමිණිගේ හිතවතෙක් මෙන්ම පොලිස් ඔත්තුකරුවෙක්ද වූ නිහාල් නැමැති තැරැව්කරුවෙකුව මිනුවන්ගොඩ උඩවලව ධම්මාලෝක හන්දියේදී තුවක්කුරුවන් යොදවා ඝාතනය කෙරෙව්වේය. ඒත් සමඟම අසිත නැවත හිස ඔසවමින් හිරේ ඉදන් වැඩ පෙන්වන්නට ගත්තේය. පස් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ද එකතු කළේය.
පස් පොඩ්ඩාට වෙලක් ගොඩ කිරීමට රුපියල් කෝටි එකහාමාරක කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේ මේ වකවානුවේදීය. රුපියල් කෝටි එකහාමාරක් යනු එකල එය විශාල වටිනාකමකි. අක්කර ගණනක් පුරා විහිදුණු එම වෙල පිහිටා තිබුණේ සීදුවේය. එම ස්ථානයේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යෝජිතව තිබිණි.
“උඹට ලොකු කන්ට්‍රැක් එකක් හම්බවෙලා තියෙනවා නේද? හැබැයි මගේ කොටස ඕනේ. කියුබ් එකකට රුපියල් 50 යි. නැත්නම් මුළු වැඩේටම රුපියල් ලක්ෂ 10යි. “ මෙම කොන්ත්‍රාත්තුව ගැන කන වැකුණු අසිත හිරේ ඉඳන් පස් පොඩ්ඩාට ඇමතුමක් දෙමින් එම කොන්ත්‍රාත්තුවෙන් ගානක් කප්පම් ලෙස ඉල්ලා සිටියේය.
ඊට පොඩ්ඩාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොවීය. එම නිහඬ බව නිසාම අසිත දෙවැනි වර ඇමතුමක් දෙන්නේ කප්පම් මුදල ලක්ෂ 05ට බස්සවමිනි. ඊටද පොඩ්ඩාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොවූ තැන “උඹේ දරුවව උස්සනවා අපේ ගාන අපිට දීපන්.“ එල්ලවන්නේ තර්ජනයකි.
පොඩ්ඩාට ඒ වන විට සිටියේ කුඩා දියණියකි. ඕස්ට්‍රේලියාවේ අද ජීවත්වන්නේ ඇයයි. එකල ඇය අධ්‍යාපනය ලැබුවේ තුනේ පන්තියේය. මෙම තර්ජනය නිසා බියට පත්වන පොඩ්ඩා දරුවාගේ පාසල් ගමනද නතරකර ගුරුවරයෙක් නිවසට ගෙන්වා දියණියට උගන්වන්නට ගත්තේය. ඒ ඇගේ ආරක්ෂාව වෙනුවෙනි. ඒ අතර දියණියව දන්නා කියන නිවෙස්වල සඟවා තබන්නටද පොඩ්ඩා වග බලා ගත්තේය. ඒ ඇයට කිසිදු අනතුරක් නොවී ආරක්ෂාකර ගන්නටය.
මේ අතර පස් පොඩ්ඩාව ඝාතනය කිරීමට අසිතගේ ගෝල බාලයින් අවස්ථා කිහිපයක්ම උත්සහ ගත්තේය. ඒ සියල්ලක්ම අසිත වෙනුවෙන් එළියේ සිට මෙහෙයවනු ලැබුවේ ජගත්ය. ඔහු අසිතගේ ඥාති සහෝදරයෙකි. පස් පොඩ්ඩාට කුරුමාණම් අල්ලමින් සිටි ජගත්ට වැඩි ආයුෂ නොවීය. එතෙක් කාලයක් නිහඬව සිටි චරිතයක් වූ පොඩ්ඩා වැඩ අල්ලන්නේ ජගත්ගෙනි.
ඊළඟ ප්‍රහාරය එල්ලකරන්නේ හීනටියන අසිත ඉල්කක කරමිනි. ඒ ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවකට ඔහුව රැගෙන විත් නැවත මීගමුව බන්ධනාගාරය වෙත ගෙන යන බන්ධනාගාර බස් රථයට ගම්පහ අස්ගිරියේ කළු පාලම මතදී කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ලකරමිනි. එම ප්‍රහාරය එල්ලවන්නේ 2005 වසරේ සැත්තැම්බර් 26 වෙනිදාය. ඒ බන්ධනාගාර බස් රථය පාලම මතදී ටිපර් රථයකින් අවහිර කරමිනි.
එම ටිපර් රථයේ බක්කියේ සැඟවී සිටි තුවක්කු කරුවන් ටී 56 අවි කිහිපයකින් බන්ධනාගාර බස් රථයට එල්ල කළේ වෙඩි වරුෂාවකි. අසිතට සීරීම් තුවාලයක්වත් නොවීය. අසිත සිය ජීවිතය බේරා ගන්නේ වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමග බස් රථයේ අසුනක් යටට රිංගමිණි. එහෙත් බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුට සහ මූල්‍ය වංචාවකට බන්ධනාගාරගතවූ ගම්පහ පැත්තේ එකල ප්‍රසිද්ධව තිබුණු ආයතනයක ලොක්කෙකුට නම් එම වෙඩි ප්‍රහාර හමුවේ ජීවත්වීමේ වාසනාවක් නම් නොවීය.
පස් පොඩ්ඩා අපරාධකරුවෙක් ලෙස පොලීසියට පළමු වතාවට හසුවන්නේ මෙම බන්ධනාගාර බස් රථයට එල්ල කළ ප්‍රහාරයටය. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එදා පස් පොඩ්ඩා ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගන්නේ ගිනි අවි තොගයක්ද සමඟිනි. ටි 56 අවි 03ක්, පිස්තෝල දෙකක්, රිවෝල්වරයක්ද ඒ අතර විය. පොඩ්ඩා විසින් මෙම කමාන්ඩෝ ප්‍රහාරය එල්ලකිරීමට යොදාගෙන සිටියේද හමුදාවෙන් පළාවිත් සිටි කමාන්ඩෝ සෙබළුන්මය.
එදා පස් පොඩ්ඩාව කොටුකරගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාව සිටි සාගර ලියනගේ අද කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාය. එම කණඩායමේ සිටි එස්. ජයකොඩිද වීරගුල පොලීසියේ ස්ථානාධිපතිය. තවත් චරිතයක් වූ පොලිස් පරීක්ෂක අජිත් සේනානායක මේවන විට සේවයේ නිරතව සිටින්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශ 11 හි ස්ථානාධිවරයා ලෙසිනි.
පස් පොඩ්ඩාගේ මරුවා ඔහුව සොයාගෙන ඉකුත් 28 වෙනිදා ගම්පහ උසාවිය ළඟට එන්නේ එදා බන්ධනාගාර බස් රථයට එල්ල වුණු ප්‍රහාරයේ නඩු විභායට පෙනී සිට නැවත යමින් සිටියදීය.
ගම්පහ හොල්ලාගෙන සිටි පස් පොඩ්ඩාගේ ඉරණම එසේ විසදෙන්නේ ඩුබායි හි සිට කෙරුණු පාතාලයේ මෙහෙයුමකට අනුව බව පොලිස් විමර්ශනවලින් මේ වන විට පෙනී ගොස් හමාරය. හඳුනාගෙන ඇති ආකාරයට අනුව පස් පොඩ්ඩාට වැඩේ දෙන්නේ කෙහෙල්බද්දර පත්මේය. දැන් පත්මේ සිටින්නේ ඩුබයි හිය. ඒ කොස්ගොඩ සුජීගේ රැකවරණය මතය.
කෙහෙල්බද්දර පත්මේ ඩුබායි රටට පනින්නේ පස් පොඩ්ඩාගෙන් එල්ලවුණු ජීවිත තර්ජනයක් හේතුවෙනි. ඊට මුල්වන්නේ පත්මේ අතින් පස් පොඩ්ඩාගේ ඥාතියෙක් වූ චමියාව ඝාතනය වීමය. එම ඝාතනයට හේතුවන්නේ පස් පොඩ්ඩාට අයත් පර්චචර්ස් 22ක ඉඩමක් ලක්ෂ 15කට පොලියට ගෙන පොඩ්ඩාට නොකියා ලක්ෂ 22ට විකිණිමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකි. චමියාගේ ඝාතනයත් සමඟ පොඩ්ඩාගේ කල්ලිය සිටියේ පත්මේගේ ජීවිතය ඩැහැ ගැනීමට කුරුමානම් අල්ලමිනි. කෙහෙල්බද්දර නිවසේ පත්මේ රැදී සිටින මොහොතක් බලා පොඩ්ඩා ඇතුළු කණ්ඩායමක් එහි කඩා පනින්නේ එබැවිනි. එදා පත්මේ සිය ජීවිතය රැක ගන්නේ පස්සා දොරෙන් පැන දුවමිනි. එදා පුතා වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නේ පත්මේගේ පියා වූ නෙවිල් පෙරේරාය.
පස් පොඩ්ඩා සමඟ පත්මේ වෛර බැඳගන්නේ 2018 වසරේ දී සිදුවූ එම ඝාතනයත් සමඟිනි. පත්මේගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පස් පොඩ්ඩා ඇතුළු ගෝලබාලයින් කිහිප දෙනෙක්ම ගම්පහ පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්තේය. ඒ ගිනි අවි රැසක් ද සමඟිනි. ඒ අතර චමියාගේ ඝාතනයට පත්මේද ඇතුලට ගියේය. කොස්ගොඩ සුජී සමඟ ඔහු සම්බනධයක් ගොඩ ගනා ගන්නේ හිරේ දීය. ඒ සුජීගේ ඥාති සහෝදරයෙක් මඟිනි. ඩුබායි සිටි කොස්ගොඩ සුජී සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගත් පත්මේ ඇප ලැබුණු සැණින් ඩුබායි රටට පැන්නේ තවදුරටත් මෙරට රැදී සිටියහොත් පස් පොඩ්ඩාගෙන් මැරුම් කන්නට සිදුවන බව දැන සිටි නිසාය.
එතෙක් කාලයක් සිය පියාට අයත් හොටලයේත් අන්නාසි වතතේත්, ලී මෝලේත් කටයුතුවලට සම්බන්ධව සිටි පත්මේ අපරාධ ලෝකයට පිවිසෙන්නේ සිය පියාගේ මරණයට පළිගන්නටය. ඩුබායි සිට පත්මේ අභියෝග කළේ සිය පියාගේ ඝාතනයට වගකිව යුතු පස් පොඩ්ඩාට පමණක් නොව. එම ඝාතනයට හවුල් වූ සිව් දෙනෙක් මරා ලෙයට ලෙයින්ම පළිගන්නා බව පත්මේ තියා තිබුණේය. ඒ කී විදිහටම පස් පොඩ්ඩාගේ ජීවිතය ඔහු ඩැහැගත්තේය. තව තිදෙනෙකුට මේ වන විටත් ඔහු සිටින්නේ කුරුමානම් අල්ලමිනි. ඒ අයගේ ජීවිත කවදා කොතැනකදී ඩැහැ ගන්නේදැයි තීරණය කරනුයේ කෙහෙල්බද්දර පත්මේය. පස් පොඩ්ඩාගේ ඝාතනයත් සමඟ මේ සිදුවන්නේ තවත් ඝාතන වැලක ආරම්භයක් බව නම් පැහැදිලිය.