
අභිනව අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ ඉතා බාලවියේ සිට ඔබේ සම්බන්ධය ඇති වෙන්නේ කෙසේද?
මම රාජකීය ප්‍රාථමිකයට ඇතුළු වුණේ 1954 දී. මගේ පන්තියේ හිටපු අය තමයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ්, අනුර බණ්ඩාරනායක, මලික් සමරවික්‍රම වගේම ගිය සැරේ සිළුමිණට රනිල් ගැන කතා කරපු දීප්තිත් හිටියා.
ඔය කියන රෝයල් කොලිජියේ ප්‍රාථමිකයේ ඇතුළු වුණ මුල් දිනයේ ආපු දෙමව්පියන් කවුද?
රනිල්ගේ තාත්තා ගෙවල් කොච්චර ළඟ වුණත් ආවේ කාර් එකේ. මුල් දවසේ පිලිප් ගුණවර්ධන ආවේ නෑ. දිනේෂ් බාරදෙන්න ආවේ අම්මා කුසුමා ගුණවර්ධන, අනුරව භාර දෙන්න ආවේ මිසිස් බණ්ඩාරනායක ඔය පන්තියේ සිංහල, දෙමළ, මුස්ලිම් කවුරුත් හිටියා.
දිනේෂ් බාල වියේදී කොයි වගේ චරිතයක්ද?
ඉතාම හුරුබුහුටියි. 1959 දී දිනේෂ් නියෝජනය කළේ රීඩ් හවුස් එක දිනේෂ් ජිම්නාස්ටික් සූරයෙක් වගේම මළල ක්‍රීඩා සූරයෙක්. උඩ පන්තිවල දිනේෂ් ගේ අයියා ප්‍රසන්නත් ඉන්දිකත් හිටියා මල්ලි ගීතාංජන ගියේ ආනන්ද විදුහලට රිලේ එකේදි අන්තිම වටයේදී පොල්ල ගත්තේ දිනේෂ් කොහොම හරි මෙඩල් එක රෝයල් එකට ගේනවාමයි.
වත්මන් අගමැති දිනේෂ් ඔය කියන සන්දියේ රෝයල් කොලිජියට ආවේ අවිස්සාවේල්ලේ බොරලුගොඩ ඉඳන්ද?
නෑ. නෑ. කිරුලපන ඉඳන්. ගෙදර නොම්මරේ 88 මතක විදියට
![]() |
පිලිප් ගුණවර්ධන ඇමති නිසා වාහනයෙන්ද දිනේෂ් රෝයල් කොලිජියට ආවේ?
දිනේෂ් ආවේ කොට කලිසමක් ගහගෙන බස් එකේ තමයි. අපි සමහරු ආවේ පාපැදිවල අනුරට නම් වෙනම බලාගන්න 'අම්මා' කෙනෙක් හිටියා. රනිල්ගේ අම්මා නාලිනි කොච්චර ළඟ වුණත් රනිල්ව එක්කන් ආවේ කාර් එකේ
රෝයල් කොලිජියේ ඉගෙන ගන්න බාලවියේ දිනේෂ්ලගේ පොල්හේන්ගොඩ ගෙදරට එහෙම යනවද?
කට්ටියම යනවා. පයින් තමයි යන්නේ. බස්වල යන්න ඒ කාලේ ගෙදරින් පොකට් මනි දෙන්නේ නෑ. පිලිප් ගුණවර්ධනගේ ගෙදර රෝයල් එකේ අපට විශේෂ තැනක් නොවෙයි.
කුසුමා ගුණවර්ධන වත්මන් ජනපති රනිල් ඇතුළු පිරිසට සැලකුවේ කොහොමද?
අපි යන ගොඩක් වේලාවට පිලිප් ගුණවර්ධන හිටියේ නැහැ. දැන් වගේ ඒ කාලේ ඔය පැත්තේ ගෙවල් තිබුණේ නෑ. දිනේෂ්ගේ අම්මා පොඩි අපට පුදුම විදියට කැවුම් කොකිස් ඉඳන් හදලා පුදුම විදිහට සංග්‍රහ කළා. රනිල්ගේ අම්මා නාලිනිටත්, අනුරගේ අම්මා සිරිමාවොටත් දෙන්න කියලා ඔතල දීපු කැවුම් පාර්සල් දෙක අපි රෝයල් එකට එනකොට කෙහෙල් කොළේ විතරයි ඉතුරු වුණේ. ඒවා දාපු පන්වලින් හදපු පොඩි වට්ටි ඊට පස්සේ තොප්පි තමයි.
රාජකීයේ ඉගෙන ගන්න කොට කොළඹින් පිට තරගවලට එහෙම ගිහින් තියෙනවද?
ටිකක් ලොකු වෙනකොට අපි සෙට් එකම ගියා නුවර ත්‍රිත්ව විද්‍යාලයත් එක්ක රග්බි තරගයකට ඒකට කියන්නේ බ්‍රැඩ්බි ෂිල්ඩ් Bradby shield අන්තිමට මැච් එක ඉවර වුණාම කොළඹ එන්න කෝච්චි, බස් නැති වුනා. අන්තිමට එළිවෙනකම් මාතලේ පන්තියේ හිටපු යාළුවකුගේ ගෙදර හිටියා. මදුරුවෝ තළ තළා අනුරගේ තාත්තා මිස්ට බණ්ඩාරනායකයි, පිලිප් ගුණවර්ධනයි පහුවදා හොඳටම බැන්නා. ඒ දෙන්නා රනිල් ගේ තාත්තා එස්මන්ඩ් එක්ක රෑ ජාමයේ රෝයල් එකටත් ඇවිත් තිබුණා. ඔය කියන කාලේ නුවර ඉඳන් ඩිරෙක්ට් කෝල් එකක් ගන්න එකත් ලොකු සීරියස් වැඩක්.
ඔබ සමඟ උගත් රනිල් - දිනේෂ් - අනුරට ඉගැන්වූ මුල්ම ගුරුවරයා කවුද?
![]() |
දිනේෂ් තම පාසල් ගුරුවරයකු වූ සිවලිංගම්ගේ මඩකලපු නිවසට ගොස් මෑතකදී සුවදුක් විමසූ මොහොතක් |
ලෙනී ඩී සිල්වා තමයි පළමු ගුරුවරයා. එයාගේ පුතා වසන්ත ද සිල්වා. අපිට උගන්නපු සිවලිංගම් මාස්ටර්ව බලන්න පසුගිය ආණ්ඩුව කාලේ ඇමති දිනේෂ් මඩකලපුවට ගිහින් බුලත් දීලා වැන්දා.
ඔබ කොහොමද රෝයල් කොලිජියට ඔය කියන රටේ කෙළිකාරයන්ගේ පන්තියට ඇතුළු වුණේ.
මගේ පියා ව්‍යාපාරිකයෙක්. රෝයල් එක අපේ ගමේ ඉස්කෝලේ අපේ ගෙවල් මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් මගේ මාමා තමයි ගම්පහ වෛද්‍ය එම්.සී. චන්ද්‍රසේන. නිදහස් පක්ෂයේ ආරම්භයේ පංච මහා බලවේගයේ 'වෙද' පරම්පරාව නියෝජනය කළේ ඔහු. ඔහු පිලිප් ගුණවර්ධනගේ හොඳ යාළුවෙක්.
දිනේෂ්ට පාසල් වියේ තිබු හැකියාවන් මොනවාද?
රෝයල් ප්‍රයිමරි එකේ මැගසින් එකේ නම 'ගෙට්වේ'. දිනේෂ් සිංහල - ඉංගිරිසි භාෂා දෙකෙන්ම ලියපු සූර ලේඛකයෙක්
ඔබත් රෝයල් කොලිජියේදි ලිපි ලිව්වාද?
හතරවෙනි කැලෑසියේදී මාත් ලිව්වා මම සරුංගලයක් කියලා දිනේෂ්ගෙ ලිපිය ළඟින්ම එය පළවෙලා තිබුණා.
මම සරුංගලයක්මි
1949 එක් සැන්දෑවක මම දුප්පත් ගෙයක ඉපදුණෙමි. ඒ ගෙදර ළමයෙක් මට ලක්ෂණ ඇඳුමක් ඇන්දෙව්වේය. ඊට පස්සේ මාව ඉහළට යැව්වේය. සුළං හමන විට මම ආකාසේ මැදක් හරියට ගියෙමි. ටික වේලාවකට පස්සේ මාව ලොකු ගහක පැටලුනේය. ඒ ළමයා මාව අදින්ට පටන් ගත්තේය. එතකොට මගේ ලක්ෂණ ඇඳුම ඉරුණේය. මටත් තුවාල වුණේය. අනේ මම වැස්සට තෙමි තෙමී අව්වට වේළි වේළි දුකෙන් සිටියෙමි. දැන් මා දියවී ගොස් ඇට පමණක් ගසේ ඉතුරුවී තිබේ.
ජයන්ත ජයසිංහ (සිව්වන වස)
දිනේෂ් සමඟ බණ්ඩාරනායක මැතිනිය පැවතියේ මොන වගේ සම්බන්ධයක්ද?
අනුරගේ උපන්දිනයට දිනේෂ් එනවාමයි. මැතිනි - අනුර විරසක වුණත් දිනේෂ් මැතිනියවත් බලන්න එනවාමයි. මැතිනි පිරිසක් එක්ක හිටියොත් දිනේෂ් ආවම ඔක්කෝම යවනවා. පුදුම ගෞරවයක් දිනේෂ්ට තිබුණේ. මැතිනිගේ රැස්වීම්වලදී මැතිනි කියනවා රැස්වීමේ අන්තිමට තියෙන්නේ දිනේෂ්ගේ කතාව අහන්න කියලා. මම මිසිස් බණ්ඩාරනායක ළඟින්ම හිටි කෙනෙක්.
දිනේෂ් පාසල් යන කාලයේ ප්‍රේම සම්බන්ධතා එහෙම තිබුණේ නැද්ද?
ඉස්කොලේ යන කාලේ දිනේෂ් ලස්සන කොල්ලා. හොඳට කූරු කොණ්ඩයක් තිබුණා. ඔය ලොකු ඉස්කෝලවල යන ගෑනු ළමයි දිනේෂ්ට ට්‍රයි කළා දිනේෂ් ඒවාට එච්චර ගනන් ගත්තේ නෑ. සීරියස් චරිතයක් ඒ කාලේ ප්‍රේමය ප්‍රකාශ කළේ ගෑනු ළමයි. ලේන්සුවක් දීලා. ඒවා දිනේෂ් අපිට ගෙනල්ල දෙනවා.
දිනේෂ්ට තම බිරිය වූ රමණි වත්සලා හමු වන්නේ කොහොමද?
රමණි ඒ කාලේ කොටුවේ සුද්දන්ට මල් කූඩ මල් මාල විකුණන ෂොප් එකක් කළා දිනේෂ් එතැන්ට ආවා. සමහර මල් ගන්න රමණිලයි ගෙදරටත් ගියා.
දිනේෂ් කියන්නේ පිල්ප්ගේ පුතා බව රමණි දැනගෙන හිටියාද?
යාළුවෙනකම් දැනන් හිටියේ නැහැ.
රමණිගේ අම්මා දිනේෂ්ගේ පින්තූරයක් පත්තරයක දැකලා මේ අපේ ගෙදරට එන ළමයා පිලිප්ගේ පුතා දිනේෂ් නේද කියලා අහලා තිබුණා.
ඒත් රමණි හිතලා තිබුණේ දිනේෂ් මැණික් කාරයෙක්ගේ පුතෙක් කියලා අවේලාවේ මල් ගන්න එන නිසා.
එතකොට රමණි, දිනේෂ් පිලිප්ගේ පුතා බව දැනගන්නේ කොහොමද?
දවසක් මල් වගයක් ගන්න ආවම ගෙදර ඇඩ්රස් එකයි ටෙලිෆෝන් නොම්මරයයි ගත්තම තමයි දැනගත්තේ.දිනේෂ් රමණිගෙ තාත්තගෙන් රමනිව බඳින්න අවසර ගන්න ආවම තාත්තා සන්තෝෂ වුණත් අම්මා ගානකට ගත්තේ නැහැ.
දිනේෂ්ගේ විවාහයට ඔබත් සහභාගි වුණාද?
ඔව් අපේ පන්තියේ ඔක්කෝම මඟුලට සහභාගී වුණා. මල් බොකේ එක හදාගෙන තිබුණෙත් මනමාලිමයි. අපි යාළුවෝ කීපදෙනෙක් එකතු වෙලා සාරි කීපයක් මඟුලට කලින් දිනේෂ්ට තෑගි කළා.
දිනේෂ්- රමණි හදපු කෑමවලින් ඉතුරු වෙච්ච පාන්වලට දාපු කිරිවලින් හදපු පුඩින් වලට ආසයි ලූ නේද?
ඒකනම් දිනේෂ්ගෙන් අහලා චෙක් කර ගන්න. දිනේෂ් පුඩින් කෑවෙ හකුරු කෑල්ලක් එක්ක කියල නම් අහල තියෙනවා.
දිනේෂ් යුගෝස්ලොවියාවට උසස් අධ්‍යාපනයට ගිහින් ආවේ උපාධි තුනක් අරන්. එතකොට ලංකාවේ හිටිය එකම ඩබල් ඩොක්ටර් ඇන්. ඇම්. පෙරේරා.
දිනේෂ් නම් ත්‍රිත්ව උපාධිධාරියා ලංකාවේ ආර්ථික අතීසාරයට හොඳ බේතක් දෙයිද?
දිනේෂ් කියන්නේ පිරිසිදු චරිතයක්. දිනේෂ් මේ ආර්ථික අර්බුදයට හොඳම බේත දෙයි.
දිනේෂ් - සිරිමාවෝ මැතිනිය හම්බ වුණාම මැතිනිය ඔය ට්‍රිබල් ඩොක්ටර් කතාව අහනවාද?
දිනේෂ් ආවොත් ම.එ.පෙ. අවිස්සාවෙල්ල පැත්තේ පක්ෂය නියෝජනය කරන සංවිධායක කම් ඉල්ලනවා. මැතිනි කියනවා, සීතාවක රාජධානිය, මෙයාගේ කියලා හිතාගෙන ඉන්නවා කියලා හිනා වෙනවා.
රනිල් - දිනේෂ් - සමඟ උගත් ඔබ සමඟ සිටි සමකාලීනයන් දැන් මොකද කරන්නේ?
පන්තියේ හිටපු සමකාලීන්ගෙන් 18 දෙනෙක් විශේෂඥ වෛද්‍යවරු. සී.ආර්. සිල්වා නීතිපති වුණා.
වෛද්‍ය අමිත විජේගුණවර්ධන, විජිත කුරුප්පු, සරත් කැකුලාවල, රංජන් රාමසාමි, කුමා වික්‍රමසිංහ, රොමේස් ඩයස් වික්‍රමසිංහ, දයා රත්නසූරිය එයින් කීප දෙනෙක්. මේ නම් අහපුවම දන්නවා ඇති දැන් ඉන්න සමාජ තත්ත්වය හා තනතුරු මොනවද කියලා.
දිනේෂ් රෝයල් කොලිජියේ කරපු පෙරළි මොනවාද?
දිනේෂ් පාසල් කාලයේත් සටන් කාමියෙක්. අයුක්තියට අසාධරණයට කෙළින්ම විරුද්ධ වෙනවා. පිලිප් කර්මාන්ත ඇමති වුණ වෙලේ දිනේෂ් ගේ අයියා ප්‍රසන්න රෝයල් එකට ආරිය සිංහල සූට් එක ඇදගෙන ආවා. ළමයි හූ කිව්වා. තාරවලින් ඉස්කොලේ ලිව්වා අඩෝ රෙද්දා ගෙදර පලයන් කියලා.
දිප්ති ලියනගේ පසුගිය සතියේ සිළුමිණට කියල තිබ්බා 'රනිල්' කඩචෝරු කන්න රුසියෙක් කියලා. දිනේෂුත් එහෙමද?
ඉස්කොලේ ඉන්න කොට මං නං දැකලා නෑ දිනේෂ් කඩේකින් කනවා. ගෙදරින් දුං දාන බත් එකක් බැඳගෙන ආවේ. 'ආෆ්ටර්ස්කුල්' වැඩක් තිබ්බොත්, ඒකත් තනියෙන් කන්නේ නෑ. යාළුවොත් එක්ක කඩාගෙන කෑවේ. බත් එකේ බිත්තරයක් එහෙම තිබ්බොත් තප්පර ගානෙන් ඒක අනුරගේ බඩේ.
දිනේෂ්ට ගුරුවරු දඬුවම් කරපු අවස්ථා තිබුණාද?
ලේන්ද සිල්වා සර්ට 'ලේනාස්' කියලා හූ කිව්වා කියලා හොඳටම දඬුවම් කළා පස්සේ දිනේෂ් ඉස්කෝලේ සඟරාවකට මෙහෙම 'ලේනා' ගැන කවියක් ලිව්වා
ලේනා...
ටිං ටිං ගගා අත්තෙන් අත්තට පැන ලා
දොරකඩ ගහේ අඹ ගෙඩියක් ළඟට වෙ ලා
බඩගිනි නිවා ගෙන එහි පැණි රස උර ලා
පූසට බයේ ඇයි ඔබ කලබල වී ලා
දිනේෂ්ගේ බිරිය රමණි බදුල්ලේ ජැක් කොතලාවල පරම්පරාවේද?
රමණි කොතලාවල පරම්පරාවේ තමයි ඒත් විවාහ වෙනකොට පිළියන්දල හරි පොල්ගස්ඕවිට පැත්තේ හිටියේ.
දිනේෂ් උදේට බිත්තර ආප්ප කන්න කැමතියි. පත්තරවලට කොච්චර ආසද කියනවා නම් උදේට ටොයිලට් යන කොටත් පත්තරේ අරන් යනවා කියලා දිනේෂ්ගේ බිරිය රමණි කිව්වයි කියන කතාව ඇත්තද?
පත්තරත් එක්ක දිනේෂ්ගේ පුදුම ආදරයක් තිබ්බා. බිත්තර ආප්ප කතාව නම් ඉස්කෝලෙදිත් අපි දැකලා තිබ්බා පොල්හේන්ගොඩ ගෙදරදිත් අපි හොඳටම දැක්කා.
94 දී ඡන්දෙන් පරාද වූ දිනේෂ් - හේමා රූපසිංහත් එක්ක මූනේෂ්වරම්වලට ගිහින් පූජාවක් තිබ්බාද? දිනේෂ් එවැනි ගුප්ත දේ විශ්වාස කරනවාද?
පාසල් යන කාලේ නම් ඒවගේ විශ්වාස දිනේෂ්ට තිබුණේ නැහැ.
අවසන් වරට එකම පන්තියේ සිටි 'අගමැති දිනේෂ්' ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවාද?
මම දිනේෂ්ගේ ගමනට සුබ පතනවා. දිනේෂ් පිරිසිදු චරිතයක්. දිනේෂ් අල්ලස් ගත්තා හෝ මිනී මැරුවා කියලා කොහේවත් නෑ.
මම දැන් නියෝජ්‍ය පොලිස්පති ධූරයකින් විශ්‍රාම ගත්තාට පස්සේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයා. දෛවෝපගත සිදුවීම කියන්නේ මේක අයිති ජෝන් කිල්ස් ව්‍යාපාර සමූහයට.
ප්‍රධානියා ක්‍රිෂාන් බාලේන්ද්‍රන්. එයා අපිත් එක්ක රෝයල් එකේ ඉගෙන ගත්ත කෙන් බාලේන්ද්‍රන්ගේ පුත්‍රයෙක් වෙනවා.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු