වසං­ගත අතරේ රතු එළි දල්වන වඳුරු උණ | සිළුමිණ

වසං­ගත අතරේ රතු එළි දල්වන වඳුරු උණ

 

ඳුරු උණ හෙවත් වඳුරු පැපොල (Monkeypox) වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ පසුගිය 23 වැනිදාය. ඊට හේතුව රටවල් 75 කින් වඳුරු පැපොල ආසාදිතයන් 16,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ වඳුරු උණ හෙවත් වඳුරු පැපොල හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි බවයි. මේ දක්වා වාර්තා වී ඇති ආසාදිත මරණ සංඛ්‍යාව 5කි.

වඳුරු උණ (Monkeypox) වයිරසය ලෝකයට අලුත් වයිරසයක් නොවේ. එය ප්‍රථම වරට හඳුනා ගැනුණේ 1958 දීය. මෙය වඳුරු උණ ලෙස හඳුන්වනු ලබන්නේ වඳුරන්ගෙන් බෝවන නිසා නොවේ. පළමුවෙන්ම මෙම රෝගය වඳුරකුගෙන් හඳුනා ගත් බැවිනි. මෙම රෝගය මානවයන් අතරින් ප්‍රථම වරට වාර්තා වූයේ 1970 දී අප්‍රිකාවේ කොංගෝ ප්‍රදේශයෙනි. මෙම වයිරසය ආසාදනය වූවන් හමු වූයේ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල් වන කොංගෝ, කැමරුන්, ගැබෝන්, ලයිබීරියා, නයිජීරියා, සියරාලියෝන් වැනි රටවල් වලිනි. අප්‍රිකාවෙන් පිටත රෝගින් වාර්තා වූයේ බොහෝ විට අප්‍රිකානු රටවලට සංචාරය කළ පුද්ගලයන්ගෙනි.

එහෙත් මෙම වසරේ මැයි මාසයේ සිට වඳුරු උණ ආවේණික නොවන රටවල් කීපයකින්ම ආසාදිතයන් හඳුනා ගැනිණි. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ෆින්ලන්තය, බෙල්ජියම, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය වැනි රටවල් රැසකින් මේ වන විට රෝගීන් වාර්තා වී තිබේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය තුළ දරුවන් අතරද මෙම වයිරසය ව්‍යාප්තව පවතින බව අනාවරණය විය. මේ අතරින් එක් දරුවකු කැලිෆෝනියාවේ පදිංචි අයෙකි. අනෙක් ආසාදිතයා ළදරුවෙකි.

අපේ අසල්වැසි රට වන ඉන්දියාව තුළ ද මේ වන විට වඳුරු උණ ආසාදිතයන් සිව්දෙනෙකු (04) හමු වී තිබේ. ඉන් තිදෙනෙක් කේරළ ප්‍රාන්තයේ පදිංචිකරුවෝය. අනෙක් ආසාදිතයා දිල්ලියේ පදිංචි අයෙකි. ලංකාවද වඳුරු උණ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුත්තේ අසල්වැසි රටටද මෙම රෝගය ව්‍යාප්ත වී ඇති නිසාය.

“වඳුරු උණ කියන්නේ අපි දන්න පැපොල, සරම්ප, වසූරිය වගේ වයිරසයක් මඟින් ඇති වන රෝගයක්. මෙපමණ කාලයක් අප්‍රිකානු රටවල්වලට සීමා වී තිබූ වඳුරු උණ මෙවර ලෝකයේ රටවල් 75කට ව්‍යාප්ත වෙලා තියෙනවා. අප්‍රිකාවේ සංචාරය නොකළ අයටත් වැලඳිලා තියෙනවා. ඒ නිසයි ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ. වඳුරු උණ ආසාදිත පුද්ගලයකුගෙන් රෝග ලක්ෂණ පවතින කාලය ඇතුළත වෙනත් පුද්ගලයකුට බෝවෙන්න පුළුවන්. එය බෝවීමේ හැකියාව තිබෙන්නේ සති 2ක් සති 4ක් කාලය ඇතුළත ආසාදිත පුද්ගලයකු සමඟ සිදු කරන සමීප ඇසුරක් මඟින්, ඒ කියන්නේ සිප වැලඳගැනීම්, ලිංගික ක්‍රියාකාරකම්වලදි ආසාදිත පුද්ගලයාගේ සමේ ඇති තුවාල, තරල සහ තුවාල කබොලු ස්පර්ශ වීමෙන් රෝගය බෝවෙන්න පුළුවන්. ඒවගේම තමයි රෝගි පුද්ගලයකු භාවිත කළ ඇඳුම්, ඇඳ ඇතිරිලි, තුවා සහ පිඟන් කෝප්ප වැනි දේ මඟිනුත් තවත් කෙනකුට රෝගය බෝවෙන්න පුළුවන්. ආසාදිත පුද්ගලයකුගේ මුඛයේ ඇති තුවාල මඟිනුත් රෝගය බෝවෙන්න පුළුවන්. එහි අදහස රෝගියකුගේ කෙළ මඟින්ද රෝගය බෝවෙන බවයි. ඒ වගේම ආසාදිත ගර්භණී මවකගෙන් වැදෑමහ හරහා කලලයට, දරුවකු බිහි කළ පසු ආසාදිත මවකගෙන් දරුවකුටද සම හරහා ස්පර්ශය මඟින් අලුත උපන් බිලිඳුන්ටත් රෝගය බෝවීමේ අවදානමක් තිබෙනවා.“ යනුවෙන් වඳුරු උණ බෝවිය හැකි ආකාරය විස්තර කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දරය.

මෙම සතිය ආරම්භයේදී නිවේදනයක් නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ Monkeypox පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොසාමුන්ඩ් ලෙවිස් අද වන විට අප්‍රිකාවෙන් පිටතදී වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 99% ක්ම පිරිමින් වන බවත් ඒ අතරින් 98% ක්ම තවත් පුරුෂයකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ අය බවත් පවසා තිබේ.

වඳුරු උණ වයිරසය සතකුගෙන් මිනිසකුට බෝවිය හැක්කේ බොහෝවිට ආසාදිත සතකු සිදු කරන සපාකෑම් හෝ සීරීම් හෝ දඩයම් කරන ලද ආසාදිත සතුන් ස්පර්ශ කිරීම මඟිනි. එහෙත් අනාරක්ෂිත ආකාරයට ආසාදිත හෝ මරණයට පත් සතුන් ඇල්ලීමෙන් වැළකී සිටීම මඟින් සහ වඳුරු උණ ආවේණික රටවලදී සතුන්ගේ මස් ආහාරයට ගැනීමට පෙර හොඳින් පිස ගැනීම මඟින් වඳුරු උණ සතුන්ගෙන් බෝවීම වළක්වා ගත හැකිය.

“මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, මස්පිඬු වේදනාව, කොන්දේ කැක්කුම, ශරීරයේ ඇති අප්‍රාණික ගතිය. වසා ගැටිති ඉදිමීම සහ සම මතුපිට බිබිළි ඇති වීමයි. උණ වැලඳී දවස් 3ක් ඇතුළත රෝගියාගේ සම මත බිබිළි දකින්න ලැබෙනවා. මෙම බිබිළි පළමුව මුහුණේ ඇති වී පසුව ශරීරයේ අනෙකුත් තැන්වල පැතිරෙනවා. මෙම බිබිළි බොහෝවිට දකින්න හැකි වෙන්නේ වතුර බිබිළි හැටියටයි. පසුව සැරව බිබිළි බවට පත්වෙනවා. වියළුණාට පසුව කබොල්ලක් බවට හැරී සිරුරෙන් ගැලවිලා යනවා. රෝගියකුට ඇති විය හැකි බිබිළි ප්‍රමාණය නිශ්චිතව කියන්න බැහැ. බිබිළි කීපයක සිට දහස් ගණනක් දක්වා වෙන්න පුළුවන්." යනුවෙන් වඳුරු උණ රෝගයේ ලක්ෂණ සඳහන් කළේ ආචාර්ය චන්දිම ජීවන්දර ය.

වඳුරු උණ වැලඳුණු බොහෝ රෝගින්ගේ රෝග ලක්ෂණ සති කීපයකින් ඉබේම පහ වී යයි. රෝගියකුට සංකූලතා සහ මරණය ඇති වන්නේ කලාතුරකිනි. වඳුරු උණ රෝගයේ සංකූලතා සහ මරණය සඳහා වැඩි අවදානමකට ලක් වන්නේ අලුත උපන් දරුවන්, කුඩා ළමයින් සහ ප්‍රතිශක්තිකරණ ඌනතා ඇති පිළිකා රෝගින්, වයෝවෘද්ධ පුද්ගලයන් වැනි කාණ්ඩයන් ය. දරුණු ගණයේ වඳුරු උණ සංකූලතා වන්නේ සමේ ඇතිවන ආසාදන, නිව්මෝනියාව සහ ඇස්වල පෙනීම පවා නැති කළ හැකි තරම් දුරදිග යා හැකි අක්ෂි ආසාදනයන්ය. වාර්තාගත රෝගින්ගෙන් මෙතෙක් මරණයට පත් වී ඇත්තේ 3% - 6% අතර ප්‍රමාණයකි.

වඳුරු උණ වයිරස් රෝගය සම්බන්ධයෙන් මහාචාර්ය තිස්ස විතාරණගෙන් විමසුවේ ඔහු වයිරස් විද්‍යාව සහ ක්ෂුද්‍රජීවි විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු වන නිසාය. මහාචාර්ය තිස්ස විතාරණ කලක් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙසත් එහි අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර තිබේ.

“වඳුරු උණ රෝගය කියන්නේ වසූරිය, පැපොල වගේ වයිරස් රෝගයක්. මෙහි වර්ග 2ක් තිබෙනවා. එකක් මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ ප්‍රදේශයෙන් හඳුනාගත් වයිරසය. එය හුඟක් දරුණුයි. එය හැදුණාම වඳුරු උණ උග්‍ර තත්ත්වයට පත්වෙනවා. බටහිර අප්‍රිකාවෙන් වාර්තා වුණ වයිරසය ඒ තරම් දරුණු නැහැ. වාසනාවකට මේ වන විට ලෝකයේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ බටහිර අප්‍රිකාවෙන් හඳුනාගත් වයිරසය. ඒ නිසා වසංගතයේ භයංකාර තත්ත්වය, ජීවිත අවදානම අඩුයි. මේ වෙලාවේ අපි රටක් හැටියට කළ යුත්තේ ජනතාව කලබල කිරීම නෙමෙයි. රෝගය අපේ රටට ඇතුළුවීම වැළැක්වීමයි. ඒ වගේම වඳුරු උණ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුයි. පරීක්ෂණ සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා රසායනාගාර සූදානම් කළ යුතුයි." යනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේය.

කාලයෙන් කාලයට ලෝකයේ වයිරස් ව්‍යාප්තිය අඩු වැඩි වශයෙන් සිදුවේ. සාස්, ඉබොලා, කොවිඩ්19 ඉන් කීපයක් පමණි. මෙම වයිරස් අතරින් මෙරට දරුණු ආකාරයට බැට කෑවේ කොවිඩ් 19 වයිරස් ව්‍යාප්තියෙනි. ඉබොලා, සාස්, සිකා වයිරස් මෙරටට නොපැමිණියේ අපේ වාසනාවටය. එවැනි වයිරස් වසංගත තත්ත්වයක් දක්වා යෑමට ඉඩ නොදී ව්‍යාප්තිය පාලනය කරනු ලබන්නේ වසංගත රෝග විද්‍යා අංශය මඟිනි. වසංගත රෝග විද්‍යා අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සම්බන්ධ කර ගනු ලැබුවේ ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමටය.

“වඳුරු උණ රෝගය ලෝකයට අලුත් රෝගයක් නොවෙයි. කොවිඩ් 19 රෝගය නම් ලෝකයටම අලුත් රෝගයක්. අනික මේ රෝගය ලෝකයේ අධි වසංගත තත්ත්වකට ඇවිත් නැහැ. හැබැයි වඳුරු උණ රෝගය කිසිසේත් සුළුකොට තකන්නේ නැහැ. ලංකාවට රෝගය ආවොත් කියලා අපි ඊට සූදානම් වෙනවා. අපි වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ දේශන මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. රෝග නිර්ණය කිරීමේ තාක්ෂණය අපිට තිබෙනවා. ඒත් ඒ පරීක්ෂණවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගත යුතුයි. අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. විදේශීය සංචාරවල නිරත වී මෙරටට පැමිණෙන අය, විශේෂයෙන් අප්‍රිකානු රටවල්වල සංචාරය කර මෙරටට පැමිණෙන අය ගැන අවධානය යොමු කළ යුතුයි. අනික මේ රෝගය කොවිඩ් 19 වගේ හංගාගෙන සමාජයේ ගැවසෙන්න බැහැ. ශරීරයේ බිබිළි ඇවිත් පැසවන නිසා රෝගින්ට සමාජයෙන් වෙන් වී සිටින්නට සිදු වෙනවා. එය මම දකින්නේ ස්වභාව ධර්මයෙන්ම මෙම රෝගය පාලනය කිරීමට පැමිණි වාරණයක් විදිහටයි. කොහොම වුණත් ලෝකයේ දැනට තියෙන තත්ත්වය අනුව මෙම මාරාන්තික රෝගයක් නොවෙයි. ඒත් අපි රෝගයට ප්‍රතිකාර කිරීමටත් පාලනය කිරීමටත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා.“ යනුවෙන් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැහැදිලි කළේය.

වසංගත රෝග සම්බන්ධයෙන් කතා කිරීමේදී මෙරට වෙළාගත් කොවිඩ් 19 අපට කිසිසේත් අමතක කළ නොහැකිය. ලෝකයටම අලුත් රෝගයක් වූ කොවිඩ් 19 මෙරට ව්‍යාප්ත වන අවස්ථාවේ ඊට නොබියව නොපැකිළව මුහුණ දුන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි. තවත් විදිහකින් හඳුන්වනු ලබන්නේ නම් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. රෝහලයි. කොවිඩ් 19 වයිරසයට ගොදුරු වූ අය වෙනුවෙන් අයි.ඩී.එච්. රෝහල වෙන් කිරීම නිසා එදා මෙම රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයට අනේක විධ ගැටලුවලට මුහුණ දීමට සිදු විය. ඇතැමුන්ට නවාතැන් ගෙන සිටි බෝඩිම්වලින් පවා ඉවත් වීමට සිදු වූ බව අපට අමතක නැත. වඳුරු උණ රෝගය මෙරටින් වාර්තා වුවහොත් ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන එකම ස්ථානය වන්නේ අයි.ඩී.එච්. රෝහලයි. අයි.ඩී.එච්. රෝහල මේ සඳහා සූදානම් වන ආකාරය පිළිබඳව දැනගැනීමට නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, වෛද්‍ය චින්තා සූරියආරච්චි සම්බන්ධ කර ගනු ලැබුවේ එම නිසාය.

“මෙතෙක් ලංකාවේ හඳුනා නොගත් රෝගයක් ප්‍රථමවරට වාර්තා වුණාම, විශේෂයෙන් වඳුරු උණ වැනි වයිරස් රෝගින් හඳුනා ගත්තාම අයි.ඩී.එච්. රෝහලට රැගෙන ඒම සාමාන්‍ය පිළිවෙත. එවැනි අවස්ථාවක කටයුතු කිරීම සඳහා ඒ රෝගය සතු දැනුම, ආකල්ප සහ සුදුසු පරිසරය යන කරුණු 3 ක් සපුරා තිබීම අත්‍යවශ්‍යයි. මෙම කාරණා තුනම අයි.ඩී.එච්. රෝහල සතුව තිබෙනවා. මේ දවස්වල අපේ කාර්යය මණ්ඩලයට අයත් ක්ෂුද්‍රජීවි හා වයිරස් රෝග විශේෂඥ වෛද්‍යවරුන් වඳුරු උණ රෝගය ගැන විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, රෝහල් අධ්‍යක්ෂකගේ සිට කනිෂ්ඨ සේවකයා දක්වා මුළු රෝහල් කාර්යය මණ්ඩලයම දැනුවත් කරනවා. කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම කොහොමටත් හොඳ දෙයක්නේ. මුඛ ආවරණ පැලඳීම, විෂබීජහරණය, දෑත් සේදීම වගේ සෞඛ්‍ය පුරුදු අපි අනුගමනය කරනවා. වයිරස් රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී රෝහල් කාර්යය මණ්ඩලයත් අපි රැක ගන්න ඕනෑ. රෝගින්ට ප්‍රතිකාර කරන්නත් ඕනෑ. ප්‍රජාවට බෝනොවෙන ආකාරයට අපේ කාර්යය මණ්ඩලය කටයුතු කරන්නත් ඕනෑ. මේ සියල්ලම සමබරව කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය හා කැපවීම අපේ රෝහල සතුයි. අනික වසංගත තත්ත්වයේ රෝගින් වාර්තා වුණාම ඔවුන් වෙන් කර තබා ගැනීමේ කාමර සහිත වාට්ටු සංකීර්ණයක් තිබෙනවා. කොවිඩ් රෝගින් වාර්තා වුණාමත් මුල් කාලයේ අපි මේ කාමරවල රඳවා තැබුවේ. පසුව රෝගින් වැඩි වුණාම තමයි වාට්ටුවලට දැම්මේ. රෝග නිර්ණය කරගැනීමේ නවීන තාක්ෂණික උපකරණ අපේ රෝහල සතුයි. ලෝකයට අලුත්ම රෝගයක් වුණු කොවිඩ් 19 වසංගතයටත් අපි මුහුණ දුන්නානේ. ඒ වගේම වඳුරු උණ රෝගින් වාර්තා වුණොත් “අපි ඒකටත් මුහුණ දෙන්න සූදානම්“. යනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, වෛද්‍ය චින්තා සූරියආරච්චි පැවසුවාය.

බෝවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීන උපකරණ සහ දැඩි සත්කාර ඒකකයකින් සමන්විත වාට්ටු සංකීර්ණයක් අයි.ඩී.එච්. රෝහලට ඉල්ලා තිබෙන අතර මේ වන විට එය ඉදි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතින බවද ඈ සඳහන් කළාය.

දැනට වඳුරු උණ රෝගය සඳහා එන්නතක් නිපදවා නොමැත. එසේ වුවත් වසූරිය වැළැක්වීම සඳහා දුන් එන්නත් කීපයක් මගින් යම් ආරක්ෂාවක් ලැබෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළ ද වසූරිය ලෝකයෙන් තුරන් වී ගිය රෝගයක් බැවින් 1980 න් පසු ඉපදුණු අයට වසූරිය එන්නත ලබා නොදුන් බවද අප සිහි තබා ගත යුතුය. කෙසේ නමුදු 2019 වසරේ වසූරිය සඳහා අනුමත වූ එන්නතක් වඳුරු උණ පාලනය සඳහා ද අනුමත වී ඇති නමුත් එය දැනට බහුලව භාවිතයේ නැත. නමුත් එම එන්නත නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එය නිපදවන ආයතන සමඟ දැනට කටයුතු කරමින් සිටී.

 

Comments