
නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමතුළ දේශපාලනමය වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ජා වී තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය 26 වනදා සවස 4.30ට පමණ පවත්වනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි නව මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේදීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වූ අතර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නව සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා සමඟ ප්‍රධාන මේසයේ සිටියහ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව පැවැති පළමු ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ රැස්වීම පසුගිය අඟහරුවාදා (26) මුදල් අමාත්‍යාංශ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ ජනාධිපති රනිල්ගේත් අගමැති දිනේෂ්ගේත් ප්‍රධානත්වයෙනි. ජනාධිපති රනිල් මුලින්ම තමන්ව ජනාධිපති කරවීමට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ස්තූති කළේය. එහිදී ඔහු පොහොට්ටුවේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂටද විශේෂ ස්තූතියක් කිරීමට අමතක කළේ නැත.
තමන්ට ගෝ හෝම් කියන්න බැරි හේතුව රනිල් කියයි
රැස්වීම ආරම්භ කිරීමට පෙර නව ගොඩනැගිල්ල එළිමහනේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් කතාබස් කරගෙන සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණිම බලාපොරොත්තුවෙනි. මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පැමිණීමෙන් පසු ඔහු සමඟ අනෙක් පිරිස ගොඩනැගිල්ලට ඇතුළු වූහ. රැස්වීම ආරම්භ වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමත් සමඟිනි.
“මේ රටේ පවතින අභියෝග විසඳන්න අපි භාර අරගෙන තියෙන්නේ. අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. දාලා දුවන්න බෑ. විරෝධතාකරුවන් ගෝඨා ගෝ හෝම් මහින්ද ගෝ හෝම් කිව්වට රනිල්ට ගෝ හෝම් කියන්න ඔවුන්ට බැහැ.” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේය. ඒ සමඟම ඔහුගේ දෙසට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.
“රනිල්ට ගෝ හෝම් කිව්වට මට යන්නට ගෙයක් නැහැ. මගේ ගෙදර ඒ ගොල්ලන් ගිනි තිබ්බා. ඒ ගොල්ලන් මට ගෙයක් හදලා දුන්නොත් තමයි මට යන්න වෙන්නේ.”
ඉන් අනතුරුව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට කර තිබුණු සැලසුමේ තොරතුරුය.
“මේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුමක් තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාල විරෝධතාකරුවන් අල්ලගත්තා, ජනාධිපති මන්දිරය අල්ලගත්තා, අගමැති කාර්යාලය අල්ලා ගත්තා, අරලියගහ මන්දිරයත් අල්ලා ගත්තා”යනුවෙන්ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනපති උඩ තට්ටුවේ අගමැති යට තට්ටුවේ
“ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි රාජකාරී කරන්න තැනක් තිබුණෙත් නැහැ. පළමු වතාවට අගමැති කාර්යාලයේ ජනාධිපතිතුමා උඩ තට්ටුවේ රාජකාරී කරනකොට අගමැතිතුමා යට තට්ටුවේ රාජකාරී කටයුතු සිදු කළා.” යනුවෙන් ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමාට තාවකාලිකව යුධ හමුදා මූලස්ථානයේ සිට කාර්යාලීය කටයුතු කිරීමට සිදු වූ බවද ප්‍රකාශ කළේය.
ආරක්ෂක ලේකම්ට විරෝධය
මෙම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න,ආරක්ෂ අංශ ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධාන නිලධාරීන්ද පැමිණි සිටි බව වාර්තා වේ.
අනතුරුව කථා කළේ නව අගමැති දිනේෂ්ය. දිනේෂ් කීවේ නව ජනාධිපතිවරයාට පූර්ණ සහාය පළ කරන බවය. තමන්ව අගමැති ධූරයට නම් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ දිනේෂ් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාටද විශේෂ ස්තූතියක් පළ කළේය.
මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විශේෂ අමුත්තන් දෙදෙනෙකු ද පැමිණ සිටියේ පවතින තත්වය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහාය. ඒ ආරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානියෙකි.
ඔවුන් දෙදෙනාම රට තුළ පවතින තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.
පසුදින පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය ඔවුහූ පැහැදිලි කළහ. එමෙන්ම අගෝස්තු 09 වෙනිදා යළි රට තුළ ගැටුම් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් සුදානම් වන ආකාරය ඔවුහු පැහැදිලි කළහ. ආරක්ෂක ලේකම්වරයාගේ බුද්ධි අංශ ප්‍රධානියාගෙන් පැහැදිලි කිරීම්වලින් අනතුරුව මුලින්ම නැගී සිටියේ මධුර විතානගේ මන්ත්‍රීවරයාය.
“පසුගිය මැයි 09 වැනිදත් මේ රටේ හදිසි නීතිය තියෙනකොට තමයි අපේ ගෙවල් ගිනි තිබ්බේ. අතුකෝරාල මන්ත්‍රීතුමාව මැරුවේ ඒ හදිසි නීතියයි මේ හදිසි නීතියයි දෙකක්ද? ” මධුර ඇසුවේය.
ඊට උත්තර දුන්නේ ආරක්ෂක ලේකම්වරයාය. ඔහු කීවේ මැයි 09 වැනිදා වනවිට තිබූ හදිසි නීතියේදී හමුදාව යොදා ගැනීමේ ගැටලුවක් තිබූ බවත්, මෙවර අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට ලබා දී ඇති බවත් ඔහු කීවේය.
කනක හේරත් මන්ත්‍රීවරයා අදහස් දක්වමින් රඹුක්කන සිද්ධිය ගැන කීවේය.
‘‘රඹුක්කන සිද්ධියේදී පොලිසිය එම ගැටුම විසඳීමට උපරිමයෙන් මැදිහත් වුවද සිද්ධියෙන් පසුව පොලිසිය රැක ගැනීමට කිසිවකුත් නොසිටි බව කනක කීවේය. ඒ බිඳ වැටීම නිසා දිගින් දිගටම ගැටලු මතු වූ බවද ඔහු කීවේය.
ජනාධිපති නීතිඥවරු හුඟ දෙනෙක් රඹුක්කන සිද්ධියෙන් පස්සේ මට කතා කළා. ඒ අය කිව්වේ ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වුණාට පස්සේ මේ අරගලය නතර වෙනවා කියලා. හැබැයි අද වෙනකොට ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වෙලත් තාම සමහරු අරගල කරනවා.” නීතිඥ ජයන්ත වීරසිංහ මන්ත්‍රීවරයා කීවේය.
අනතුරුව කතා කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාය. ඔහු කීවේ අගෝස්තු 09 වැනිදා යළි කොළඹට අරගලකරුවන් පැමිණිමේ අවධානමක් පවතින බවය. ඊට එරෙහිව පියවර ගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයා මෙහිදී අවධානය යොමු කරවූයේ සමාජ මාධ්‍ය මගින් මන්ත්‍රීවරුන්ට තර්ජනය කිරීම ගැනය. ‘‘සමහරු ෆේස් බුක්වල දාලා තිබුණා රනිල්ට ඡන්දය දීලා මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා කියලා. එහෙම ප්‍රසිද්ධියේ කියපු අය කීදෙනෙකුට විරුද්ධව ආරක්ෂක අංශ පියවර අරන් තියෙනවාද? මන්ත්‍රීවරයා ඇසුවේය.
බුද්ධි අංශ ප්‍රධානීන් කීවේ ඒ අය හඳුනාගෙන ඇති බවත් ඔවුන් පිළිබඳ පොලිසියට අවශ්‍ය තොරතුරු ලබා දී ඇති බවත්ය. ‘‘පොලිසියට ඔය ගැන කිව්වට මුකුත් වෙන්නේ නෑ. ” ඇමැති මහින්ද අමරවීර කීවේය.
‘‘පොලිසිය භාර ඇමැතිතුමාට අවශ්‍ය උපදෙස් දීලා තියෙන්නේ. ඒවා ඉදිරියේදී සිදුවෙයි. ” ජනාධිපති රනිල් කීවේය. අනතුරුව කතා කළේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාය. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රිවරුන්ට තර්ජනය කරන සමාජ මාධ්‍ය පිටුවල නම් හා ඒවායේ හිමිකරුවන් පිළිබඳව තොරතුරු කීවේය. ඇමැති බන්දුල කීවේ රට තුළ ඇති සැබෑ අර්බුදය ගෑස් හා ඉන්ධන නොමැති වීම බවයි. එහෙත් අරගලය ක්‍රියාත්මක වන්නේ වෙනත් දේශපාලන අරමුණකින් බවද ඇමැතිවරයා කීවේය.
ජනාධිපති රනිල් මෙහිදී යළිත් අවධාරණය කළේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බවය.
විමල්ගේ වෙනස ගැන මහින්ද කිව්වේ මොනවාද?
පසුගිය 27 වනදා සන්ධ්‍යවේදී පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 57 කින් සම්මත විය. මෙම හදිසි නීති විවාදයේදී ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් බොහෝ දෙනෙකු කතා කළ අතර ජාතික නිදස් පෙරමුණේ නායක විමල් වීරවංශ, සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පසුගිය දා පැවති ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි නමුත් මේ අවස්ථාවේදී රාජ්‍ය බිඳ වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් ආණ්ඩුවට සහාය ලබා දෙන බව විමල් වීරවංශ කියා සිටියේය.
මේ සමඟම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ කණ්ඩායම තුළ පිල් බෙදීමක් ඇති වී තිබේ. විමල් වීරවංශ සමඟ සැලකිය යුතු පිරිසක් හදිසි නීති විවාදයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ඊට හේතුවයි.
මේ අතර එදින සවස 4.00ට පමණ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ හදිසි නීතියට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහාය. මහින්ද රාජපක්ෂ පැමිණ ආරංචිය දැනගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පිළිගැනීමට පැමිණ සිටීම විශේෂත්වයකි.
විමල්ගේ මාර කතාව
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායකද මේ අවස්ථාවට එක්ව සිටියහ. මේ අවස්ථාවේදී ලොහාන්, තිස්ස කුට්ටිආරච්චි, මධුර විතානගේ ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගැන සඳහනක් කළේය.
“සර් අද මාර කතාවක්නේ විමල් කිව්වේ“ යනුවෙන් මන්ත්‍රීවරයෙකු පැවසුවේය.
“ඒ මොකක්ද? ඒ මොකක්ද? “කුතුහලයෙන් විමසුවේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයායය.
හදිසි නීති ඡන්දයේදී ආණ්ඩුවට සපෝට් කරනවා කියලා විමල් මන්ත්‍රීවරයා කිව්වට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
“ආ ඇත්තද” විමසුවේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාය.
විමල් මන්ත්‍රීතුමා කියනවා රාජ්‍ය බිඳවට්ටන්න දෙන්න බැහැ කියලා. එහෙම උනොත් රට අරාජික වෙනවලු.”
ඒක නිසා ප්‍රශ්න තිබුනත් රට අරාජික කිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුවට සහාය දෙනවා කියලයි විමල් මන්ත්‍රීතුමා කිව්වේ” යනුවෙන් පැවසුවේ තිස්ස කුට්ටි ආරච්චිය.
“හා හා හා මට දැන් තමයි තේරුනේ. එතොකොට මං අගමැති වෙලා ඉන්නකොට රාජ්‍ය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නට තමයි විමල්ට බැරි වුනේ. ඒකත් ඉතිං එහෙමයි” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා කියපු කතාවට සියල්ලෝම මහ හයියෙන් සිනාසූහ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් කතාබහ විය. විමල් මන්ත්‍රීතුමා අද කරපු කතාවෙන් ඩලසුත් ඉවරයි. අපේ ලොක්කත් ඉවරයි. දෙන්නම හිතාගෙන හිටියේ විමල්ගේ වොයිස් එකෙන් ඊළඟ ආණ්ඩුව අනිවාර්යෙන්ම පිහිටු වන්න. දැන් ඉතින් සේරම ඉවරයි. අපෙනුත් කට්ටියක් රනිල් ලොක්කගෙ ළඟට යන බව විමල් දන්නවා. එතකොට සජබෙත් කැඩෙනවා. ඩලස්ලත් කැඩෙනවා යනුවෙන් එහිදී සාකච්ජා කළ බව වාර්තා වේ.
හදිසි නීති විවාදයට එක්වෙමින් සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ තමා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය පළ කරන බවයි. ඊට අමරතරව හදිසි නීති රෙගුලාසි වලට සහාය ලබාදෙන බවද ඔහු පැවසීය. එම කතාවෙන් අනතුරුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිහිටි බැංකුවට තරමක් සීරුවෙන් ගමන් කළේය. විරෝධතාකරුවන් එල්ල කළ මැර ප්‍රහාරයෙන් තවමත් ඔහුට නිට්ටාවටම සුව වී නැත. එම යන අතරතුරේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වෙල්ගමට ප්‍රකාශ කළේ “ඔබතුමා අද හොඳ තීරණයක් ගත් බවයි.”
“ ඩලස් මගේ මිත්‍රයා තමයි. ඒත් දැන් ඩලස් හා සජිත්ගේ දේශපාලනය බලාගෙන යන කොට බැරි වෙලාවත් මේ දෙන්නා ජනාධිපති අගමැති උනොත් හදිසි නීතිය අයින් කරලා අරගලකරුවන් බොහොම සාදරයෙන් පිළිගෙන ඒ ගොල්ලන් කියන කියන දේ කරලා අන්තිමට මේ පාර්ලිමේන්තුවත් නැති කරයි. අන්න ඒක නිසා මේ වෙලාවේදී රනිල් මහත්තයා රට ගොඩගන්න කටයුතු කරයි කියලා මන් හිතනවා.” යනුවෙන් කුමාර වෙල්ගම පැවසූ විට මන්ත්‍රීවරු දෙදෙනා කිව්වේ “සර් අද කතාව බොක්කෙන්ම සිදු කළ බවයි.”
ප්‍රසන්න සභානායකකම බාර නොගනී
ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සඳුදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ විෂය භාර ඇමතිවරයා ලෙස යළිත් වැඩ භාර ගත්තේය. වැඩ භාර ගන්නා අවස්ථාවේ ඇමතිවරයා මුණ ගැහුණු ඔහුගේ හිතවත් නීතිඥවරුන් කිහිප දෙනෙකු ඔහුට ලිපි ගොනුවක් භාර දුන්නේය. එහි ඇතුළත්ව තිබූනේ අරගලකරුවන් ගෝල්ෆෙස් භූමියේ රැදී සිටිම නීති විරෝධි බව තහවුරු කරන ලිපි ලේඛනය. ඊට අදාළ නඩු වාර්තා පවා මේ නීතිඥවරු ඇමැති ප්‍රසන්නට ලබා දුන්හ. ඇමතිවරයා ඒ මොහොතේම මේ පිළිබඳව සොයා බලන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
අගමැති දිනේෂ් සොයා වාසු එයි
බදාදා හදිසි නීති විවාදයට පෙර අගමැති දිනේෂ්, ප්‍රසන්න හා නීතිඥ ප්‍රේමජයන්ත ඇමැතිවරුන් හමුවිය. නව ආණ්ඩුවේ සභානායකවරයා ලෙස සුසිල් පත් කෙරුණ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ ඇමැති ප්‍රසන්නමය.
‘‘මෙයා ජනාධිපතිතුමා පත් කරන වැඩේදී ලොකු මෙහෙයුමක් කළානේ. සභානායකකම භාර ගන්න කියලා අපි කිව්වා. හැබැයි මෙයා ඒකට කැමැති වුනේ නෑ. ” අගමැති දිනේෂ් ප්‍රසන්න පෙන්වමින් කීවේය.
සභානායක කමට වඩා මන්ත්‍රීවරුන් එක්ක වැඩ කරන මේ වැඩේට මම කැමැතියි” ප්‍රසන්න සිනාසෙමින් කීවේය.
අභිනව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පළමු වරට පැමිණියේ පසුගිය බදාදාය. අගමැති දිනේෂ්, බදාදා පෙරවරු 9.30 වනවිට පාර්ලිමේන්තුවට පැමිණීයේය. ඒ වන විට සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, නිමල් ලාන්සා, යදාමිණි ගුණවර්ධන ආදි මැති ඇමතිවරු රැසක් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්වරයාද ඔහු පිළිගැනීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. සියලු දෙනා සමඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගිය අගමැතිවරයා පළමුව කළේ, නව සභානායක අමාත්‍ය සුසිල්ට හා යළිත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවූ ඇමති ප්‍රසන්නට, පත්වීම් ලිපි ලබාදීමය.
ඒ වනවිට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන නව වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම ස්ථානයට පැමිණීම කාගේත් අවධානයට ලක්විය. දිනේෂ්ගේ අත අල්වා ගත් වාසු සුබ පැතුම් එක් කළේ මිතුරුකම්ද සිහිපත් කරමිණි.
" ඔන්න මම ආවා...." වාසු කීවේය. අගමැති දිනේෂ්, වාසුට ළංවී යමක් කියනු පෙනුනද එය කිසිවෙකුට ඇසුණේ නැත. ඒ අතර පාර්ලිමේන්තුව මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් කුෂාණි රෝහණධීරද පැමිණ සුබ පැතූහ.
පැමිණ සිටි මැති ඇමතිවරුන් සමඟ සුහදව කතාබහ කරමින් සිටි දිනේෂ් ගුණවර්ධනයන්, සභා ගර්භයට ඇතුළු වූයේ වෙනදා මෙන් සභානායකවරයා ලෙසින් නොව ශ්‍රී ලංකාවේ 33 වන අග්‍රාමාත්‍යවරයා ලෙසිනි.
වජිරට හතර වටෙන් සුබ පැතුම්
වජිර අබේවර්ධන ජූලි 27 වන බදාදා උදේ 10 : 00 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබූ අතර උදේ 09 : 42 ට පමණ ඔහු පාර්ලිමේන්තු පිවිසුමෙන් ඇතුළු වී විවිධ පක්ෂ වල මහජන නියෝජිතයන් සමග කතා කරමින් දිවුරුම් දීමට කතා නායකවරයා වෙත යමින් සිටියදී කතානායක වරයා ඇතුල් වන ප්‍රතිවිරුද්ධ දිසාවේ දොරටුව අසළදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්, නිමල් සිරිපාලද සිල්වා, සුදර්ශන් දෙනිපිටිය , සිරිපාල ගම්ලත් මැති ඇමැතිවරුනුත්, රහුමාන් හා ප්‍රේමතුංග මන්ත්‍රීවරයාත් ඇතුළු තවත් විවිධ මන්ත්‍රීවරුන් පැමිණෙමින් සුබ පතමින් සිටියහ.
එම අවස්ථාවේදී එක් මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබුණේ ඔබතුමා රනිල් වික්‍රමසිංහ නායකතුමාටත් ලොකු සවියක් වුණා. ඔබතුමාගේ පැමිණීම අපටත් ලොකු සවියක් කියලයි අපි විශ්වාස කරන්නේ යනුවෙනි. එය බලා සිටි විරුද්ධ පක්ෂයේ සජබ මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබුණේ මෙතුමා පාර්ලිමේන්තු නාවට ඉඳලා තියෙන්නේ නම් බොහෝ මන්ත්‍රී වරුන් සමග බව පෙනී යනවා. මොහු අමුත්තෙකු නොවේ වගේ ඔවුන්ට. ලොකු සම්බන්ධයක් තියෙන බව පෙනී යනවා යැයි සඳහන් කළා.
කෙසේ හෝ එදින දවස පුරාම වජිර අබේවර්ධන විවිධ දේශපාලන පක්ෂවල සියලුම මහජන නියෝජිතයන් සමඟ ළං වෙමින් කතා බහ කරමින් සිටින්නට විය. තවත් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබුණේ ජනාධිපතිතුමා මෙයා එවලා තියෙන්නේ තව ලොකු සැලැස්මකට වගේ. එයාගේ වැඩ ඉතින් දන්නවනේ. ඒ නිසා අපි ඔක්කොම කල්පනාවෙන් ඉන්න ඕන යනුවෙනි.