ක්‍රීම් පාට ගවුම | සිළුමිණ

ක්‍රීම් පාට ගවුම

 

"හේෂා මගෙ මැණික මං ඔයාට ආදරෙයි. මං ඔයාට ආදරේ කරන්න හිතුවෙම ඔයා ගොඩක් හොඳ හින්දාමයි. හේෂා මං මගේ හිත එක්ක ලොකු සටනක් කළා ඔයාව ලබාගන්නවද නැද්ද කියල. අන්තිමට තීරණය කරා හේෂා මට ඔයාව ඕනි වුණා.මැණික කරුණාකරලා මං වෙනුවෙන් සතුටින් ඉන්න "

මෙතෙක් වේලා ඔහේ කල්පනා කරමින් මුහුණ එල්ලාගෙන සිටි හේෂා මගේ වචනවලින් හීලෑ වුණු මුවැත්තියක මෙන් ප්‍රීතියෙන් ගීයක් ගයන්නට විය. ඇය ඔහේ ගීය ගයාගෙන උඩ පනිමින් වත්ත පැත්තට දිව්වාය. මා ඇයට ආදරය කරන්නේ ඇයි ද යන්න කීමට මට වීර්යක් නොමැත. ඒ නිසා මම ඇයට ඇගේ සුන්දර හදවත ගැන කියා ඒ මුහුණේ සතුට නරඹමි.

"හේෂා ඉක්මනින් එන්න. අපි ගමනක් යන්න ඕනි. ඉක්මනින් එනවා නේද ? "

"මං එන්නෑ ප්‍රසන්න මං එන්නෑ මට මේ සින්දුව කියාගෙන යන්න ඉඩ දෙන්න"

මම ඇඟ සෝදාගෙන හේෂාට ක්‍රීම් පාට ගවුමක් ස්ත්‍රික්ක කළෙමි. අද ඇයගේ උපන්දිනය යි. අද රාත්‍රිය නිවෙසින් බැහැර තැනකදී සැමරිය යුතුය. ඇය නිවෙසේ සිටිනවාට වඩා නිවෙසින් පිටතට ගොස් මා සමඟ ඇවිදීමට රුචි කරයි. සෑම විටම සතුටින් සිටින බව පෙන්වන හේෂා ඇතැම්විට මහ පුදුම ගුප්ත ස්ත්‍රියකැයි මට සිතේ. ඒ කෙසේ වුවත් ඇයගේ යටි සිතේ යමක් වේදනා දෙමින් ඇති බව කීප විටක්ම මට දැනී ඇත. ඒ සෑම විටම ඇය මගේ නළල සිඹියි. ඇයගේ දෑස් රාගිකය. ඒ තුළ කරුණාව ආදරය මෙන්ම ශෝකයක් ද වෙයි.

දින ගණනක් තිස්සේ අල්මාරිය අස්සේ සඟවා ගෙන තිබුණු අලුත් ගවුම දකින හේෂා අනිවාර්යයෙන් සතුටට පත්වනු ඇත.

"මේ ගවුම මට ද ? අනේ ඒකෙ පාට කැතයි. මගෙ මූණෙ පාටට මේ ගවුම ලස්සනට තියෙයිද ? කොයි වෙලේද ඔයා මේක අරගෙන ආවේ?

"මේ පාටට ඔයා ලස්සනයි. දන්නවද මං ඔයාට කියන්න කියල හිටියෙ ඔයාට ගැළපෙන්නෙ මේ පාටවල් තමයි. අපෙ අම්මත් කැමතියි එයා කැමති පාටම ඔයත් අදිනවට. මේක අඳින්නකො අපි ගමනක් යමු."

“ප්‍රසන්න ඉතින් ඇයි ඔයා අම්මා කැමති පාටින් ගෙනාවේ. මං ආස පාට අහන්නෙවත් නැතුව ?"

හේෂා ලහිලහියේ ගවුම අදින්නට විය. විවාහයෙන් පසුව වසරක් ගතවී ඇතත් ඇයගේ හැසිරීමේ වෙනසක් නැත. ඇය කුඩා දැරියක මෙන් නිදහසක් ලද සෑම විටම තුරුලට පනියි. කවුරුත් බලා ඉන්නවාද නැද්ද යන්න ඇයට නිනව්වක් නැත. විවාහයෙන් පසු ගෙවුණු මේ කාලය පුරාම මම ඇයට කිසිදු අඩුවක් නොකළෙමි. එහෙත් ඇයගේ සිතේ ඇති අපැහැදිලි හිස් බවක් මට වැටහී තිබිණි. කීප වරක් ඒ ගැන විමසුව ද ඇය කිසිදු පිළිතුරක් නොදී සිනාමුසු මුහුණින් මගහැරියාය.

"හේෂා... අද ඔයාගෙ උපන්දිනය. ඔයාට මතකද අපි දෙන්නා එකතු වෙලා මුලින්ම උපන්දිනයක් සමරපු දවස. එදා ඔයා ඇඳන් හිටියෙ නිල් පාට ගවුමක්. ඒ පාට එච්චරම ලස්සන නෑ. ඒත් ඔයා එදා මාව වැලඳගත් විදිහ මට කවදාවත් අමතක කරන්න බෑ. ඒ තරම්ම ඔයා සුන්දරයි හේෂා. ඔයා තවත් ලස්සන වුණා නම් එදා මං තව තවත් පිස්සුවෙන් ඔයාගෙ ලස්සන දකියි. "

"ඉතින් මේ ගවුමට මං ලස්සනයි ද ?එදාටත් වඩා "

"මැණික ඔයා තමයි මට මේ ලෝකෙ ලස්සනම කෙල්ල. අනික් අයගෙ හිත හරි කැතයි හේෂා. ඔයා වගේ වෙන්න එයාලට බෑ. ඔයා හරි වෙනස් අමුතු ගැහැනියක් "

"මං වගේ වෙන්න ? නෑ කවුරුත් මං වගේ නම් වෙන්න හොඳ නෑ. "

හේෂා එදා ප්‍රීතියෙන් සිටියාය. ඇය පිස්සුවෙන් මෙන් බීර වීදුරු කිහිපයක් එක දිගට හිස් කළාය. ඒ විශාල හෝටලයේ ගෙවූ ඒ රාත්‍රිය මධුසමයේදී මෙන්ම රාගයෙන් මුසපත්ව සිටියාය. ඇය රාත්‍රියේ කීප වරක්ම අවදි වී මා අතොරක් නැතිව සිපගත්තාය. ඇයගේ සීතල සිරුර මගේ සොයොලඟ වෙළෙද්දී මට මහත් සැනසීමක් දැනිණ. ඇගේ දෑස්වලින් ඉහිරුණු කඳුළක් මගේ පපුවට සීතලට දැනුණෙන් මම එය නොදැනුනා සේ මුනිවත රැකීමී. ප්‍රීතිමත් සෑම දිනකම අවසානය ඇගේ නෙත් කඳුළින් බරවී තිබුණි. ඒ ගැන හාර හාරා විමසනවාට වඩා නිශ්ශබ්ද වී සිටීම සුදුසු යැයි මට සිතිණ.

හේෂා මුහුද දෙස බලාගෙන යකඩ වැටට තද වී ඔහේ කියවන්නට විය. ඇය කියූ හැම වචනයක්ම තවමත් එදා මෙන් අදටත් මට මතකය.

"පුංචි කාලෙ අපේ අත්තම්මා මට අයිස්ක්‍රීම් අරන් දෙන්නේ නෑ. දවසක් එහෙට ආවා ෆොටෝ ගහන කෙනෙක්. එයා මගේ ෆොටෝ එකක් ගත්තෙ නෑ. එදා එහෙ මඟුල් ගෙදරක් තිබුණා. මං කැමැත්තෙන් හිටියෙ කවුරුත් මගෙ ෆොටෝ එකක් ගන්න ඉදිරිපත් නොවීම ගැන. මට පත්වීමක් ලැබුණට පස්සෙයි ඔයා මට කැමති වුණේ. ඊට කලින් මට ආදරේ බව ඔයාට කියන්න කල් තිබුණා. ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද ? "

"මැණික ඔයාට තියෙන්නෙ ලස්සන ඉවසිලිවන්ත හිතක්. එහෙම හිතක් ලබන්න මාත් වාසනා කරලා තියෙනවා. ඉතින් මං ආදරේ ඒකයි. ඔය ප්‍රශ්නෙ ආයමත් අහන්න එපා. මට උත්තරයක් හදාගන්නවත් වෙලාවක් නෙවෙයි මේ. අනික ඔයා දැන් අවුරුදු දෙකක් තිස්සෙ ඔය ප්‍රශ්නෙ මගෙන් අහනවා. ඔයාට ඕක අහලම ඇති වෙන්නෙ නැද්ද?"

"හේෂා... බලන්න, ඈත මුහුදෙ ඈතට යන නැවකින් පේන පුංචි එළි. බලන්න, අර අහස පුරෝගෙන මුහුදට එළිය දෙන තරු. දැන් බලන්න මං දිහා....ඔයාගෙ ආදරය තමයි මාව ජීවත් කරවන්නෙ හේෂා."

එවලෙහිම මට අම්මාගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ.

" පුතා, කරුණාකරලා දැන්ම ගෙදර එනවා "

හේෂා සමඟ ඇවිදින්න යනවාට අම්මාගේ එතරම් කැමැත්තක් නැත. කොහේ ගියත් නිතර ඇමතුම් දී ඇය මා ගෙදර ගෙන්වා ගනී.

" හෙට තමයි එන්න වෙන්නේ. හේෂා කැමති අද මෙහෙ නතර වෙන්න"

මා කීවද අම්මා දිගටම කියවාගෙන ගියාය. දුරකතනය විසන්ධි කර බලන විට හේෂා මල් ගොමුවකට වහ වැටී සිටියාය.

"මට අර මල් පොකුර කඩලා දෙනවද? අර තියෙන්නෙ රතු පාටට එල්ලිලා."

හේෂාගේ මේ හැසිරීම හැමදාම මෙසේය. ඇය සෑම විටම පොඩි දැරියක මෙන් මා සමඟ හුරතල් වෙයි. විටෙක මවක මෙන් සෙනෙහස දක්වන ඈ තවත් විටෙක මළ මිනියක් මෙන් අඬමින් පැය ගණන් එක දිගට නිදා ගනී.

හෝටලයේ රාත්‍රියෙන් පසු හේෂා මල් වැවීමට පටන් ගත්තාය. නිවෙස වටා කටු ගස් සිටවීම අපල ගෙන දෙන බව අම්මා කොතෙකුත් කියා සිටියද ඒවා හේෂා ගණන් නොගත්තාය. ජනේලයෙන් පිටත බැලූ විට හේෂා සිටවූ මල් ගස්වල මල් පිරී තිබෙනු දැකීමෙන් සෑම උදෑසනක්ම මට ප්‍රබෝධමත් එකක් විය.

දිනක් හදිසියේම ඇය රතු රෝස මල් පදුරු උදුරා දමා තිබිණ. ඇය අන්තිමට ගත් රතු පාට ගවුම සමඟ පොත් පත් කිහිපයක් ද ගිනි ගනිමින් තිබිණ. කාර්යාලයේ වැඩ අවසන් කර වෙහෙස වී නිවෙසට ආ මට රෝස පඳුරු උදුරා තිබෙනු දැකීමෙන් කෝපයක් ඇති විය.

" හේෂා, මොකක්ද අර කළේ? ඇයි අර රතු රෝස ගස් ඔක්කොම ඉදිරුවේ?ඔයාට මොකද වෙලා තියෙන්නෙ, ඔයා අර රතු ගවුමත් ගිනි තියලා. "

හේෂා එවලේ ඇද සිටියේ උපන්දිනය දා අරන් දුන් ක්‍රීම් පාට ගවුමයි. එය ඇඟට හිරවී පපුව නෙරා විත් තිබුණෙන් අමුතු ලස්සනක් මතු වී තිබිණ.

"රතු රෝස කැතයි. අපි හදමු සුදු රෝස මල් පාත්තියක්. ප්‍රසන්න මං දන්නවා. ඔයා මොනතරම් නම් සතුටු වෙයිද සුදු රෝස මල් පිපිලා තියෙනවා දකිනකොට. හැම උදෑසනක්ම ලස්සනයි කියල ඔයාට හිතෙයි. මං සුදු රෝස අතු ගොඩක් අරගෙන ආවා. "

ඇය උදුරා දැමූ මල් පඳුරුවල පිරී තිබුණු රතු රෝස පොකුරු මැලවෙමින් තිබිණ. මම ඒවා ඉති පිටින් කඩාගෙන විත් මල් පෝච්චියකට දමා මේසයෙන් තැබුවෙමි.

රෝස මල්වල සුවඳ නිවෙස පුරා සුවඳ දෙයි. හේෂා හමු වූ මුල්ම දිනයේත් ඒ සුවඳ මට දැනුණේ මෙලෙසමය. හේෂා ඉටි පන්දමක් දල්වාගෙන පොත් මේසයට වී යමක් සටහන් කරමින් සිටියි. වෘත්තීයෙන් ගුරුවරියක වූ ඇය රෑ තිස්සේ අවදිව ළමයින්ගේ පොත් පත් බලමින් සටහන් හදමින් කාලය ගත කරයි. මගේ පෙරැත්තයෙන්ම නිදන්නට පැමිණෙන ඈ රාත්‍රියේදී හේතුවක් නැතුව ඉකි බිදින හඬ මට ඇසෙයි. ඒ ඇයි දැයි විමසුවද හේෂා කියන්නේ සිහිනයෙන් බිය වූ බවයි. එවිට මම ඇයව තදින් තුරුලු කරගෙන නිදන්නට වෙමි. ඇයගේ උණුසුමේ ඇත්තේ රෝස මල් සුවඳකි.

" ප්‍රසන්න ඔයාගේ අම්මත් කැමති නෑ රතු රෝසවලට. ඇයි මේ මල් ටික කඩාගෙන ආවේ? අපි සුදු රෝස හදමු. එතකොට ලස්සනයි. ඒවා අපි ගේ පුරාම තියමු. ඔයා ආස නැද්ද සුදු පාටට."

හේෂා මගේ නළල සිඹින්නේ මහත් ආදරයෙනි. ඇය මගේ අතින් ඇදගෙන ගොස් කාමරයේ දොර වසා දැමුවාය. නිදන ඇඳුමින් සැරසී මා සමීපයට ආ ඇය මොනතරම් සුන්දර දැයි මා දුටුවේ ඉටිපන්දම් එළියෙනි.

" හේෂා ඇයි මේ...."

ඇය පිස්සියක මෙන් මා සිඹින්නට වූවාය. ඇගේ දෙතොල් පහසින් මගේ සිරුරේ රෝම කූපයක් ගානේ උත්තේජනය විය. අවසානයේ ඇය සුරාන්තයට පත් නොවීම වෙහෙසට පත්ව කතා නොකරම නිදන්නට වූවාය. රාත්‍රියේදී එක්වරම හේෂා හදිස්සියේම අවදි වූවාය.

" ප්‍රසන්න අර ගවුම අර ගවුම. අර ක්‍රීම් පාට ගවුම. අනේ ප්‍රසන්න ඔයාලගෙ අම්මා ආසම ගවුම. ඒක ගිනිගන්නවා ප්‍රසන්න. ගොඩක් හොඳයි ගොඩක් හොඳයි "

මහ හඬින් සිනාසුණු හේෂා සිහිනයෙන් බිය වී සිටියාය. ඇයව සන්සුන් කර නිදි කිරීමට මට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.

මා අවදි වන විට හේෂා සුදු රෝස සිටුවා වතුර දමමින් ප්‍රීතියෙන් නටමින් සිටියාය.

" අපි අද හවසට කොහේ හරි යමුද?"

මා සමඟ නිවෙසින් බැහැරව සිටීමට රුචි කළ ඇය නිවෙස අසල තිබුණු වැවක් බැලීමට යෑමට මා කැමති කර ගත්තාය. එදා ඇය ඇය කැමති නිල් පාට ගවුමක් ඇඳ සිටියාය.

"මේ මොකක්ද ඇන්දෙ ? ඕක කැතයි. අර ක්‍රීම් පාට ගවුම හොඳයි. ඒක හිර වුණත් ඔයාට හරි ලස්සනයි "

හේෂා කිසිත් නොකියා ගෙතුළට දිව ගොස් කොණ්ඩය ද ලිහිල් කරගෙන ක්‍රීම් පාට ගවුම ඇඳගෙන දුවගෙන ආවාය.

ඇය සමඟ වැව ඉස්මත්තේ ඇවිදීම සතුටකි. හේෂා ගිරවියක මෙන් තොරතෝංචියක් නැතුව කියවනවාට මම කැමතිය. ඇය ඉතා බුද්ධිමත් ලෙස සෑම දෙයක්ම වටහා ගන්නීය. ඇය සමඟ කතා කිරීමෙන් මනසට විවේකයක් දැනෙයි. මා ඇයගෙන් ලබන ලොකුම සතුට එයයි. මා සමඟ කියවමින් සිටි හේෂා එකවරම සෙමින් මා පසුකර ඉදිරියට දිව ගියාය. ඇය ඈතට දිව ගොස් වැව් බැම්මේ ඉහළට නඟිනු දුටු මම බියට පත් විමි.

" ඔය පැත්තට යන්න එපා. අනේ හේෂා බිමට බහින්න. ඔයාව ලිස්සයි. "

" ප්‍රසන්න මං ඔයාට ආදරෙයි. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාට කියන්නමයි හිටියේ මම, මං ඔයාට ගොඩක් ආදරෙයි. " ඇය කෑ ගසා කීවාය.

ඒ සමඟම එක් වරක් පමණක් මා දෙස බැලූ හේෂා ක්‍රීම් පැහැති ගවුම ගලවා මා වෙත විසි කළාය. ඒ සමඟම ඇය ක්ෂණිකව බැම්මෙන් පහළට පැන්නාය.

පැය ගණනකට පසු ගොඩ ගන්නා විට ඇගේ ප්‍රාණය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී තිබිණ. ඇගේ මරණයට හේතුව කුමක්දැයි පොලීසි ගානේ ගොස් කට උත්තර සැපයූ මට මාස ගණනක් යන තුරුත් කිසිම සැනසීමක් නොවීය. මරණයේ වැඩ කටයුතු සියල්ල හමාර කර මම ඇයගේ ඇඳුම් සියල්ල පිටස්තරයන් අතර බෙදා දුනිමි. හේෂාගේ මරණය මට මහත් වේදනාවක් ඇති කළ අතර, ඇය සිහිවීමට ක්‍රීම් පැහැති ගවුම පමණක් මා සන්තකයේ තියා ගත්තද එය ද දකින දකින වාරයක් පාසා දරාගත නොහැකි වේදනාවක් දැනිණ.

හේෂාගේ මරණයෙන් කලකට පසුව ඇය පොතක ලියා තිබුණු සටහන් කිහිපයක් මට හමුවිය. ඒ සෑම සටහනකම තිබුණේ දිනයක් සහ කළු පැහැති තරුවකි. අප විවාහ වීමටත් පෙර සිට ලියා තිබුණු දින ද එහි විය. අවසාන පිටුවේ වැව බැලීමට ගිය දිනය දමා තිබුණු අතර ඊට ඉදිරියෙන් තරුවක් දමා නොතිබිණ.

ආර්.ඒ. හර්ෂණී කුමාරි රණතුංග

මහනුවර ලේවැල්ලේ උපන් රචිකාව, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියකි. මේ වන විට කුරුණෑගල ලක්දාස ද මැල් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන්නීය. කුඩා කල සිටම කවි, කෙටි කතා ආදී නිර්මාණකරණයේ යෙදෙන ඇය විසින් රචිත ‘සඳ එළිය ටික ටික’ නම් කාව්‍ය කෘතිය පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සාහිත්‍ය තරගයෙන් තේරී මුද්‍රණය සඳහා අනුමත වී ඇත.

ප්‍රවීණ හෝ ආධුනික වචන 2,000ට නොවැඩි ඔබේ කෙටිකතා පහත ලිපිනයට යොමු කරන්න.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකථනය : 011 2429265

[email protected]

Comments