
ගෑස්පහ හන්දිය ගැන පිටකොටුවට එන කවුරුන් නොදන්නේ නම් බඩේ ‘ගෑස්‘ නොහොත් ගෑස්ට්‍රික් නිසා සිහි විකල් වූ නිසා විය යුතුය. මේ හන්දියට ගෑස් පහ හංදිය කියන්නේ ගෑස්වලින් පත්තුවන ගෑස් පහන් පහක් තිබූ නිසා බව කියමනක් තිබේ. පරණ ගෑස් කොම්පැණිය තිබුණේ ගෑස්පහ හන්දියේ සිට බැලු විට බෝධිරාජ මාවතේ ඇති ක්‍රිස්තියානි පල්ලියට යාබඳවය. දැන් ඒ ගොඩනැගිල්ල සමතලා කොට ඇත්තේ දැවැන්ත වාහන පාක් එකකි.
ගෑස්පහ හංදිය නම් දරාපු කර්මාන්ත තුනක් ඇත. ඉන් පළමුවැන්න ගෑස් ලයිටර්වලට ගෑස් ගැනීමය. දෙවැන්න ඉබ්බන්ට ලොක්වලට යතුරු කැපීමය. තුන්වැන්න පිහි මුවහත් තැබීමය.
රටේ ගෑස් අර්බුදය දැවැන්තව පැවති සමයේ ගෑස් පහ හන්දියේ තඩි හෝටලයකට රිංගුවේ 'කිරි තේ එකක්' බීමටය. ගෑස්පහ හන්දියේ ඇති දැවැන්ත හෝටල් 2කි. ස්ටාර් සහ එලයිට් ඒ දෙකේ නම්ය. මේ හෝටලයක තේ එකක් බීමට ඉඳගෙන ඉන්න විට කඩේ මුදලාලිගේ දැඩි ආරක්ෂාව යටතේ වටිනා යමක් රැගෙන එනු දුටුවෙමි. රැගෙන ආවේ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයකි. මුදලාලි කියු තැනින් ගෑස් සිලින්ඩරයක් මුලින්ම බාන ලදි. මුදලාලි ගෑස් සිලින්ඩරය බිම තැබූ සැණින් රුපියල් 10,000/- ක මුදලක් තැරැව්කරුට ලබා දුන්නේ 5000 කොළ 2කිනි. ගෙනෙන ලද ගෑස් සිලින්ඩර් ගණන 3කි. මුදල රුපියල්ම 30,000/-කි. එවකට මේ සිලින්ඩරයක උපරිම මිල වූයේ රු. 4,860කි.
![]() |
ගෑස් නොමැතිව පෝලිම්වල එදා සිටි ජනතාව |
කිරි තේ එක ගෙනා වේටර්ගෙන් මේ ගැන විමසුවේ ඒ ගැන දැනගැනීමේ කට කහනවා වගේ නිසාය.
කඩේ මුදලාලි කඩේට එනවා අඩුයි; ඔය මුළු කොළඹම ඇවිදල හොයා ගත්තේ ගෑස් සිලින්ඩර් 3ක්. කලින් ගෙනාවේ 12,000 ගානේ. ඔය තුන ගෙනාවේ නැත්නම් කඩේ වහන්න වෙන්නේ. ළඟටම ගෙනත් දෙනවා සිලින්ඩරයක් 10,000/-යි.
කඩේ වේටර් කිරිතේ එකේ බිල ගෙනාවේය. එය රුපියල් 120/-කි. වෙනදාට රුපියල් 50/- කි.
“බොසා 10,000 ට ගෑස් අරන් රුපියල් 120/- ට ටී එකක් දෙන්නත් අමාරුයි. ඔක්කොම හෝටල් වහලා ගෑස් නැතුව වතුර එකක් බොන්නත් තැනක් නැහැ.
ගෑස්පහ හන්දියෙන් පිපල්ස් පාර්ක් හරහා සොන්ඩස් පෙදෙසට ආවෙමි. එහි ඇත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයයි. පාරේත්, ක්‍රීඩාංගනයේත් එකට ගෑස් සිලින්ඩර් අතින් ගත් හිස් ගොඩකි. ඇඳුමෙන්ම ඔවුන් විවිධ ජාතින් නියෝජනය කරන බව පෙනෙති. ඔවුන් සිටියේ පොලිස් ආරක්ෂාව යටතේ ගෑස් ලබාගැනීමටය. නමුත් ගෑස් ආවේ නැත. පැමිණ සිටි පිරිස කළේ ගුණසිංහපුර බස් ස්ටැන්ඩ් එක හරස් වන ලෙස පාර හරස් කිරීමය. ගුණසිංහපුරෙන් බස් රථ ආරම්භ කිරීම නැවැත්වූ ඔවුන් ප්‍රධාන බස් නැවතුමත්, බැස්ටියන් මාවතත් ගමනාගමනය හරස් කළේ ගෑස් සිලින්ඩර් මහ පාර හරහා ඉඳ ගනිමිනි. පොලිසිය මැදිහත් වී පාර විවෘත කරන්න උත්සාහ ගනිමින් බැරි වූ තැන හමුදාවේ ලොක්කෙක් ආවේ දැඩි ආරක්ෂාව යටතේය. ඔහු සෙනග සන්සුන් කර කතාවක් පැවැත්වූයේ ය. එදා සෙනසුරාදා දිනකි.
මම බ්‍රිගේඩියර්............... මම තමයි, මේ පැත්තට අලුතෙන් පත්වුණේ. අගහරුවාදා මම අනිවාර්යයෙන් ඕගොල්ලන්ට ගෑස් දෙනවා. කරුණාකරලා විසිරිලා යන්න පාර අරින්න. ඊළඟට ඇසුණේ විසිල් හඬකි. අත්පුඩි හඬකි. ජය වේවා! ජය වේවා!
ගත වූයේ සති කීපයකි. කලින් කී ගෑස් පෝලිමට අදාළ ගෑස් ඒජන්සිය ඇත්තේ ඩයස් පාරේය. පසුගිය සතියේ එම ගෑස් ඒජන්සිය ළඟින් යන විට එහි වූයේ 'මල ගෙදරක' ස්වරූපයකි. එළියේ පැකින් නොකඩන ලද ගෑස් සිලින්ඩර් කීපයක්ද තිබීම අදහාගත නොහැකි විය.
මේ ගෑස් එකක් ගන්න ලයිට් බිලක් ඕනෑද? අසා සිටියෙමි.
නෑ නෑ මුකුත් ඕන නෑ එම්ටිය තියෙනවා නම් දෙන්නම්.
පසුගිය දවස්වල මෙතැන මරාගන්න ගියා දෙතුන් දෙනෙක් ඉස්පිරිතාලෙත් ඇඩ්මිට් කළා නේද?
![]() |
වෙළඳපොළට දැන් ගෑස් බෙදා හරිමින් |
තව පොඩ්ඩෙන් අපිත් ගුටි කනවා. දැන් නම් ගෑස් ගන්න බල්ලෙක් වත් නෑ. ඔක්කොමලා ගෑස් ගත්තා. දැන් පෝලිම් නෑ. ඈනුම් ඇර ඇර ඉන්නේ. ගෑස් වලි තියෙනකොට දොට්ට පිලට වත් යන්න විදිහක් තිබුණේ නැහැ.
ගෑස් යනු අපේ ජීවිතවලට මෙතරම් බද්ධ වී ඇති අත්‍යවශ්‍ය අංගයක් දැයි අපට තේරුම් ගියේ පසුගියදා ඇති වූ ගෑස් හිඟයත් සමඟය. ඇත්තටම මේ රටේ මේ මෙවැනි ගෑස් හිඟයක් ඇති වීමට හේතුව සොයා යා යුතු බවට මගේ සිතේ තිබුණේ ගෑස් අර්බුදය නිසාමය.
මේ ගෑස් අර්බුදයේ ආරම්භය සොයා යද්දී පෙනී යන්නේ මෙම තත්ත්වය ආරම්භය පසුගිය පෙබරවාරිය තෙක් දිවයන බවකි. ලිට්රෝ සමාගම ගෑස් ආනයනය වෙනුවෙන් එළඹි තිබූ ගිවිසුම මේ වසරේ පෙබරවාරි 28 වැනිදා අවසන් වූ බව පුවත්පත්වල පළවුවත් කාටත් මෙහි බරපතළකම වටහාගත් බවක් පෙනෙන්නේ නැත. ගිවිසුම අවසන් වුවද ගිවිසුම අනුව 2022 මාර්තුවේද ගෑස් ලැබෙමින් පැවතීම නිසා කාටත් මේ රට ගෑස් අර්බුදයකට යන බව වැටහුණේ නැත.
කරුණු සොයා බැලීමේදී පෙනීයන්නේ ලිට්රෝ සමාගම තව ගෑස් සැපයුම්කරුවකු සොයා යාමේ ටෙන්ඩර් පත් කැඳවා ඇත්තේ එවකටත් බලාත්මකව පැවති ගෑස් සැපයුම් ටෙන්ඩරය අවසන් වීමට ප්‍රථම මේ වසරේ ජනවාරියේම බවය. තෝරාගත් සැපයුම්කරුට අවම මිලකට ගෑස් සැපයීමේ ටෙන්ඩරය මුදාහැරීමට ප්‍රධාන බාදාව වූයේ සැපයුම්කරු දීර්ඝ කාලීන ණයවර ලිපියක් නොහොත් LC එකක් ඉල්ලා සිටීම වැඩේ පරහට හේතු විය.
අප්‍රේල් 8 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මහ බැංකුව විසින් විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවන බවය. මේ වන විට රටේ ඩොලර් හිඟය නිසා ඇති වී තිබුණු අර්බුදය නිසා ලිට්රෝ සමාගම පැටලුණේ ඩොලර් සොයා ගැනීමේ අර්බුදයකය. මෙහි අනිසි ආර්ථික ප්‍රතිඵලයක් ලෙස ගෑස් ආනයනයට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා රට ක්‍රමයෙන් ගෑස් අර්බුදයක් කරා ගමන් ආරම්භ කරන්නේ මේ වසරේ සිංහල අවුරුද්දටත් පෙර සිටය. ජනතාවගේ ගෑස් පරිභෝගිකයින්ගේ වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ එවකට ලිට්රෝ සභාපතිවරයා එතෙක් සිටි අඛණ්ඩ ගෑස් සැපයුම්කරු වූ ඕමාන් ට්‍රේඩින් සමාගම සමග ඒ ගැන සාකච්ඡා කිරීමට හෝ උත්සාහ ගෙන නොතිබීමය.
මුල්කාලීන දත්ත පැහැදිලිව අධ්‍යයනයේදී පෙනී යන්නේ මුල් අවස්ථාවේදී ණයවර ලිපියක් විවෘත කිරීමට ලිට්රෝ සමාගමට හැකියාව තිබී ඇති අතර, මහ බැංකුව ඔය කියන වකවානුවේ දැවැන්ත ඩොලර් අර්බුදයක ගිලි නොසිටි නිසා මහ බැංකුවට සතුවත් ඊට අදාළව ක්‍රය ශක්තිය පැවති බවය.
මේ සියලු කටයුතු ගැන සාකච්ඡා ප්‍රතිඵල සතිපතා අමාත්‍ය මණ්ඩලය වෙත යාවත්කාලීන කිරීමට ලිට්රෝ සමාගමේ කලමනාකාරිත්වය පියවර ගන්නා ලදි. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක්ද; සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ණයවර ලිපියක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමය. මේ සියල්ලේ අවාසිය ජනතාවට අවසානයේ බුක්ති විදීමට සිදු වූයේ ඇමති මණ්ඩලය විසින් ණයවර ලිපියක් නිකුත් කිරීමට රාජ්‍ය හෝ පෞද්ගලික බැංකු කළමනාකාරිත්වයට සක්‍රිය ලෙස මැදිහත් වීමට නොහැකි බවට ලිට්‍රෝ සමාගමට දන්වා සිටීමත් සමඟය.
මේ සමගම කෙමෙන් කෙමෙන් ලිට්රෝ ගෑස් තොග අවසන් වන බව දත් පාරිභෝගිකයන් නිවෙස්වෙල තිබූ අමතර ගෑස් සිලින්ඩර පවා අලුතින් මිලදී ගෙන නිවෙස්වෙල රඳවා ගැනීම නිසා රට පුරාම ගෑස් හිඟයක් ඇති විය. රට පුරාම ගෑස් පාරිභෝගිකයන් 80,000ක් - 100,000/ත් අධික ප්‍රමාණයක් පෝලිම්වලට එක් වී උද්ඝෝෂණවලට එක්විය. ගෑස් නැති එකට ඇගිල්ලද දිගු කොට ලිට්රෝ ගෑස් සමාගමට තර්ජනය කළ කිසිදු පාරිභෝගිකයකු සමාගම මේ වන විට පත්ව තිබූ අර්බුදය දැනහිටියේ නැත. දීර්ඝ කාලීන සැපයුම්කරුවකු නොමැතිවීම හා ඩොලර් හිඟය නිසා ලිට්රෝ සමාගම දැඩි අර්බුදයකට පත් වී ඇති බව පොදු ජනතාව දැන සිටියේ නැත.
ජනතාව ලිට්රෝ සමාගමට තර්ජනය කළේ තමන් ගෑස් මිලදී ගත්තේ 'ණයට' නොව මුදලට බැවින් ගෑස් ගෙනත් දීමට සමාගම බැඳී ඇති බවය. එහෙත් ලිට්රෝ සමාගම මුහුණ දී සිටි අර්බුදය වූයේ ගෑස් අලෙවියෙන් අයකරගෙන තිබූ 'රුපියල්' මුදල් ඩොලර් බවට පරිවර්තනය කරගත්තේ කෙසේද යන පැනයයි.
අප්‍රේල් මාසය වෙද්දි ලිට්රෝ සමාගම කලේ එකතු වූ මුදලින් ගෑස් මෙට්ට්‍රික් ටොන් 3500 හෝ 7500 ක ගෑස් නැවක් ගෙන්වා දේශිය වෙළදපල තුළ මුදාහැරීමය. එය ආරම්භ වූයේ අප්‍රේල් තෙවැනි සතියේ පමණ සිටය. එම ගෑස් නැව ලංකාවේ ගෑස් පෝලිම්වලට දැනුණේවත් නැත. නැවත ගෑස් වෙළඳපොලේ සිටි පාරිභෝගිකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ගෑස් නැතිව පෝලිම්වල මරාගත්තේ අර්බුදයේ නියම තතු නොදත් නිසාමය අන්තිමට පෝලිමට එකතු වූ මුළු සංඛ්‍යාව මිලියන හතරහමාරකට අධික විය. එවකට රටේ පැවති ගෑස් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000 කට අධික වූ අතර ලැබුණේ මෙට්ට්‍රික් ටොන් 7000ක් අඩු ප්‍රමාණයකි.
මුළු රටම ගෑස් අර්බුදයෙන් වලපල්ලට යද්දි බොහෝ ආපනශාලා වසා දමන ලදි. මෙහිදී වඩාත් පීඩාවට නාගරික ජනතාව සහ මහල් නිවාස වාසින්ය. අගමැති මහින්ද රාජපක්ෂ බලයේ සිටි අවසන් පෝයට බණට වැඩියේ ඇමරිකාවේ සිටි හිමිනමකි. අන්තර්ජාලයේ එම හිමියන්ට ඇමෙරිකන් අම්මන්ඩි කෙනකු දෝෂාරෝපණය කළේ 'පක්කලි' වැඩ කරන්න එපා; නැවත ඇමරිකාවට එන්න එපා කියමිනි. මේ ගැන ප්‍රකාශයක් ඒ හිමියන් ගුවන් විදුලියට කළේ මෙසේය.
"දැන් බලන්න මට බැනුම් අහන්න සිද්ධ වුණේ ආණ්ඩුව නිසා. ගෑස් බෙදාහැරීම වගේ දේවල් වලදී මූලිකවම නගරබද ප්‍රදේශවලටත් මහල් නිවාසවල අයටත් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මේ ආණ්ඩුව කරන්නේ ගම්වල අක්කර ගාණක් දර තියෙන ගෙවල්වලටයි ඔක්කෝටම ගෑස් බෙදනවා. ෆ්ලැට් එකේ මිනිහා අනාතයි. ගෑස් නැතුව උයාගන්න බැරුව"
ගෑස් අර්බුදය නිසා ඇති වූ තව රැකියා අවස්ථාවක් උදා විය. පෝලිමේ තිබූ ගෑස් සිලින්ඩර් බලාගැනීමේ රස්සාවය. මේ අතර ගෑස් පෝලිමේ තිබුණු ගෑස් සිලින්ඩර් හොරකම්ද පොලිසියට වාර්තා විය. සිලින්ඩර් හොරු කළේ ගෑස් පොලිම් ගැටුමක් කෘත්‍රිමව ඇති කිරීමය. ගොරිය බලන්නට එන ගෑස් පෝලිමේ පුද්ගලයන් නැවත පෝලිමට එන විට තමන්ගේ ගෑස් සිලින්ඩරය 'අන්ත්‍රස්දාන' වී හමාරය.
2015 සිට 2020 දක්වා ලිට්රෝ ආයතනයේ වාර්ෂික වාර්තා පිරිස්සීමේදී පෙනී ගියේ යහපාලන යුගය අවසානයේ රුපියල් බිලියන 20 ක ස්ථාවර තැන්පතු ලිට්රෝ ආයතනය සතුවූ බවය. මෙකි ලාබ ලැබූ ලිට්රෝ යුගයේ සභාපති වූයේ මුදිත පීරිස්ය. ඒ වනවිට මහා භාණ්ඩාගාරයට බිලියන 11ක ලාභාංශ ගෙවන ආයතනයක් වූයේ මේ ලිට්රෝ සමාගමයි.
කෙසේ නමුත් 2022 ජුනි වන විට ලිට්රෝ සමාගම දැවැන්ත මුල්‍ය අර්බුදයකට පත්විය. ලෝක වෙළඳපොලේ ඉහල ගිය ගෑස් මිලට සමාන්තරව දේශීය ගෑස් මිල ඉහළ නොදැමීම මීට ප්‍රධාන වශයෙන් හේතුවිය. ලිට්රෝ සමාගමේ මුල්‍ය අධ්‍යක්ෂක ලක්මාලි සිංහපුආරච්චි පවසන්නේ 2019 ඔක්තෝබර් සහ 2021 අගෝස්තු දක්වා ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහල ගියද දේශීය වෙළඳපලේ මිල ඉහළ දැමීමට ‘මිල සූත්‍රය‘ ක්‍රියාත්මකව පැවතියද පැවැති රජය ගෑස් මිල ඉහල දැමීමට ඉඩ නොදුන් බවය. පැවති රජය ඉඩ නොදුන් බවය. ඇය පවසන්නේ මේ හේතුවෙන් ලිට්රෝ ආයතනය සතුව පැවති බිලියන 10.4 ක මුදල් සංචිතය 2021 අවසානය වන විට ඍණ මිලියන 100 දක්වා පහත වැටුණු බවය. නමුත් 2019 දී ලිට්රෝ සමාගම බදු ගෙවූ පසු ලබා තිබු ලාභය බිලියන 6කි.
ගෑස් අර්බුදය සමයේද ආනයනය කළ ගෑස් තොගවලින් බහුතරයක් මුදාහරින ලද්දේ අතවශ්‍ය සේවාවන් ලෙස හඳුනාගත් සේවාවන් හා කර්මාන්තශාලාවලට පමණකි. ලිට්රෝ සමාගම සතු ලක්ෂ 90ක් වන පාරිභෝගිකයන් අතරින් ගෑස් ලැබුනේ අතළොස්සකට පමණි.
වත්මන් ජනාධිපතිවරයා ලංකාවේ මේ ගෑස් අර්බුදය මනා ලෙස අධ්‍යයන කොට මුලින්ම කළේ නැවතත් ඕමාන් ට්‍රේයින් සමාගමට මාස 4කට කෙටිකාලීන ගෑස් සැපයීමට නව අග්‍රමාත්‍යවරයා ලෙස පියවර ගැනීමය. ඉන්පසු කැබිනට් මණ්ඩලය ලිට්රෝ සමාගමට නිර්දේශ කලේ මාස 12කට නව සැපයුම්කරුවකු සොයා ගැනීමට ටෙන්ඩර් දැඳවන ලෙසය.
මේ අතර හිටපු සභාපති කෙසර ජයසිංහ විසින් ඕමාන් ට්‍රෙයින් සමාගමට එරෙහිව කරන ලද චෝදනාවක් නිසා ලංකාවේ ගෑස් සැපයුම්කරුවන් ලංකාවට ගෑස් සැපයීම් කිරීමට මැලිකමක් දක්වන්නට විය. හිටපු ලිට්රෝ සභාපති ප්‍රසිද්ධියේ පවසා සිටියේ ඕමාන් ට්‍රෙයින් සමාගම දූෂිත ගනුදෙනුවලට උත්සාහ කරන බවය. මෙම ප්‍රකාශයට ගෑස් සැපයුම්කරුවන් ප්‍රතිඋත්තර සැපයුවේ එවැනි දූෂිත ගනුදෙනු සිදුවන්නේ නම් ඒවා නීතියෙන් විසදා නොගෙන මධ්‍යයන්ගේ මඩ ගැසීම නුසුදුසු ක්‍රියාවක් බවත් තමන් එවැනි දුෂිත ගනුදෙනුවල නොයෙදෙන බවත්ය. හිටපු සභාපති වරයාගේ මේ ක්‍රියාවලිය නිසා වෙනත් ගෑස් සැපයුම් කරුවන් පවා 'ණය කොන්දේසි මත' ගෑස් සැපයීම අත්හිටු වීම නිසා ක්ෂණික ඇනවුම් මගින් ගෙනා ගෑස් තොග ගෑස් පෝලිම්වලට දැනුණේවත් නැත.
ලෝකය පුරා ඇති බලශක්ති අර්බුදය නිසා දැන් කිසිඳු රටක් දිගුකාලින ගෑස් සැපයුම් කරන්නන් ඉවත් කරන්නේ නැත. හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා සිදු වූයේ ලංකාවේ සිටි දිගු කාලින හොඳම ගෑස් සැපයුම්කරු අමනාප කර ගැනීමය. අවසානයේ හිටපු සභාපති ඉල්ලා අස්විය. දිගු කාලීන ගෑස් මිතුරකු අමනාප කරගැනීමේ අනිටු පල විපාක විඳීමට සිදු වූයේ එකී සභාපතිවරයාට නොව පොදු ජනතාවටය. ඉන් පසු වැඩබලන සභාපතිවරයකු පත් වූ අතර ඔහුට ද ගෑස් අර්බුදය විසඳීමට හැකි වූයේ නැත.
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරට පත් වීමෙන් පසු ගෑස් අර්බුදයේ වගකීම බාරදෙන ලද්දේ සාගල රත්නායකටය. සාගල රත්නායකගේ මුල්ම පියවර වූයේ ලිට්රෝ සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක මුදිත පීරිස්ව නැවත එම තනතුරට පත් කිරීමය. ජුනි 15 වැනිදා මුදිත නව තනතුරේ වැඩ බාරගත් පසු මුලින්ම කරන ලද්ද් ඕමාන් ට්‍රේනින් සමාගම සමග නැවත සාකච්ඡා ආරම්භ කොට එම ආයතනය මෙරට කොන්දේසිවලට එකඟ කර ගැනීමය.
ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ වන්නේ ඉන් පසුවය. ඊට සක්‍රීය ලෙස මැදිහත් වූ පුද්ගලයා සාගල රත්නායකය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහද සහභාගී වෙද්දී ලිට්රෝ සභාපති මුදිත පීරිස් පවසන්නේ අපනයන කරුවන්ගේ සංගමය මැදිහත් වී ගෑස් ආනයනයට ඩොලර් සොයා දීමට විශේෂ මැදිහත් වීමක් කළ බවය.
දැන් ලංකාවම බලා සිටින්නේ ලෝක බැංකුව ලංකාවට ආධාර කරනතුරුය. විවිධ ව්‍යාපෘති වෙනුවෙන් නිතපතා ලෝක බැංකුව සමග සාකච්ඡා කරන රාජ්‍ය මට්ටමේ පිරිස් බොහෝය. එහෙත් ලෝක බැංකුව සමග කරන ගනුදෙනුවලදී ප්‍රවේශම් විය යුත්තේ ලෝක බැංකුව ඉතාම විනිවිද භාවයෙන් කටයුතු කරන නිසාය. දූෂණයට, වංචාවට මෙන්ම කොමිස් කුට්ටි ඩැහැ ගැනීමට ද ලෝක බැංකුව සමඟ ගනුදෙනුවලදී ඉඩක් නැත. ලිට්රෝ සමාගම නිසි ක්‍රමවේදයකට අනුගතව වැඩ කර ඇත්දැයි සෑම අංශයකින්ම අධ්‍යයනය කළ ලෝක බැංකුව ගෑස් ආනයනයට මිලියන 70 ක් ලබා දීමට පියවර ගන්නා ලදී. එය ඉතිහාසගතව ඇත්තේ ලෝක බැංකුව සමඟ මෑත යුගයේදී ආධාර ලබාගැනීමට කළ සාකච්ඡාවලින් සාර්ථක වූ එකම ව්‍යාපෘතිය ලෙසය.
ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 70 ක් ලබා ගැනීමට ලිට්රෝ සමාගමට හැකි වූයේ ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙසය. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක් ලබා දුන් අතර ලිට්රෝ සමාගම ඩොලර් මිලියන 20ක් ලබාදීමෙන් පසු ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඔක්තෝබර් අවසානය තෙක් ලබා ගැනීමට අවස්ථාව උදා විය. ඒ නිසා නැති වූයේ ගෑස් පෝලිම පමණක් නොවේ. ගෑස් අර්බුදය නිසා භූමිතෙල් පෝලිමට එක් වු ජනතාවටත් එය අස්වැසිල්ලක් විය.
දැන් ගෑස් පෝලිම් නැත්තේ මේ වන විට ආනයනය කොට ඇති ගෑස් ටොන් 30,000 නිසාය. ලෝක බැංකුව සමග මේ ඇති කරගත් ගිවිසුම නිසා මෙරට විදේශ සංචිතවලට ප්‍රමාණාත්මක වර්ධනයක් සැලකිය යුතු ප්‍රවර්ධනයක් සිදු වී තිබේ. මෙම ගිවිසුම අනුව ලිට්රෝ සමාගම ලෝක බැංකුවෙන් ගත් ණය මහ බැංකුවට පියවිය යුත්තේ මාස් පතා මාස 5ක් තුළදීය. එහෙත් එම මුදල මහ භාණ්ඩාගාරය ලෝක බැංකුවට පියවිය යුත්තේ තවත් අවුරුදු 15කිනි. ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ඩොලර් මිලියන 22ක අමතර මුදලක් මහ භාණ්ඩාගාරයට මෙම ගනුදෙනුව නිසා හිමි වී ඇත.
දැන් අලුත්ම තත්ත්තවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට ගෑස් මිල සූත්‍රයක් ආරම්භ කොට තිබේ. එහි මුල් පියවර වන්නේ ලෝක ගෑස් මිල අඩු වීමට සමාන්තරව දේශීය ගෑස් මිල අඩු කිරීමට නියමිතය. දින 22ක දැවැන්ත මෙහෙයුමකින් ගෑස් පෝලිම් යුගය අවසන් කරන ලද්දේ ඕන් ඔහොමය.
ගෑස් අර්බුදය විසඳු හැටි ගැන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක තම මතකය අවදි කළේ මෙසේය.
අවදානමක් අරගෙන තමයි අපි මේ වැඩපිළිවෙලට අත ගැහුවේ. ගෑස් සමාගමේ මව් සමාගමට පවා මම කතා කළා. නිලධාරින් ගෙන්වා ගනිමින් බාධා මොනවාද කියා දැන ගනිමින් ඒ බාධා ඉවත් කර ගන්න තමයි මම උත්සාහ කළේ. මහ බැංකුව නිලධාරීන්, ලිට්රෝ සමාගමේ නිලධාරීන් එක්ක දිවා රෑ නොබලා සාකච්ඡා කරලා ගත්තු පියවර අද සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.
රටේ ගෑස් පෝලිම නැති වෙන්න තව සතියක් යාවි. නමුත් අද රට ගෑස්වලින් පෝෂිතයි. ලෝක බැංකු නිලධාරීන් අපට ලොකු සහායක් දුන්නා. අපට මේ ප්‍රශ්නය විසඳා ගන්න එය ලොකු උපකාරයක් වුණා. කොපමණ චෝදනා එල්ල වුණත් ජනතාවට අද ඒක දුරකතන ඇමතුමෙන් ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට අවස්ථාව උදාවෙලා තියෙනවා. මම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් මෙය සම්බන්ධිකරණය කළා. එය අද සාර්ථක වෙලා තිබෙනවා.
දැන් ඉතින් තවදුරටත් කුස්සිය මුල්ලේ ගෑස් සිලින්ඩරය අමතක කොට තැබිය යුතු නැත. ගෑස් සිලින්ඩරය උඩ මල් පෝචිචි තියා එය විසිතුරු භාණ්ඩයක් ලෙස තැබිය යුතුද නැත. දැන් කළ යුත්තේ එම සිලින්ඩරය රැගෙන පෝලිමක් නැතිවම ගෑස් කඩෙන් ගෑස් එකක් ගැනීමය. එදා ගෑස් ගන්නට පෝලිමය. අද ගෑස් පුරවා සීල් තැබූ ගෑස් සිලින්ඩර පෝලිමේ ඇත්තේය. ඔබ ඇවිත් මිලදී ගන්නා තුරු බලා පොරොත්තු සහිතව පෝලිමේ ය. යුග දෙකක වෙනස එයය.