ග්‍රහ අපල දුරු කරන බලගතු මල් පූජාවක් මල් පූජාවේදී කළ, නොකළ යුතු දේ | සිළුමිණ

ග්‍රහ අපල දුරු කරන බලගතු මල් පූජාවක් මල් පූජාවේදී කළ, නොකළ යුතු දේ

 

පුෂ්ප පූජා විවිධ අවස්ථාවලදී සිදු කරන අතර, එය කෙනකුට තම ආදරය, ගෞරවය දැක්වීමක් ක්‍රමයක් බව ඔබ හොඳින් දන්නවා ඇත. එසේම යම් අයකු මිය පරලොව ගිය අවස්ථාවලදී මල් වඩම් සහ මල් කලඹ මඟින්ද, ඇතැම් විට ගුවනින් මල් ඉසිමින් ද උපහාර දක්වති. පුෂ්ප උපහාර දෙවියන්, බුදුන්, ග්‍රහ දෝෂයන් සඳහා කරනු ලබන පුෂ්ප උපහාරයන්ට වඩා ඉතා වෙනස් ප්‍රතිඵල ගෙනදෙන්නකි. දෙවියන්, බුදුන් උදෙසා හෝ තමන්ගේ ග්‍රහ දෝෂ නැතිකර ගැනීමට කරනු ලබන පූජාවක්, පිහිට ඉල්ලා කරන යැදුමක්, දේවාලයක, පන්සලක හෝ කෝවිලක නැතහොත් එවන් පූජනීය ස්ථානයකදී සිදුකරන ලබන්නකි. මෙහිදී ප්‍රධාන වශයෙන් ඔබගේ මානසික ශාරීරික පිරිසුදු බව ඉතා වැදගත් බව අවධාරණය කළ යුතු අතර, මෙම පූජාවන් කරන්නන් වාලේ නොකිරීමට ද සිත්හි තබා ගන්න.

එහෙත් ඇතැම් අය මෙම පූජාවන් සිදු කරන්නේ තමන්ට කරදරයක්, ලෙඩක් දුකක් හෝ ග්‍රහ අපලයක් ඇති බව දැනගත් විටදී පමණි. අප විසින් පුරුද්දක් ප්‍රතිපත්තියක් වශයෙන් පූජනීය ස්ථානයක්, දෙවොලක් නැතහොත් බෝධින් වහන්සේ නමක් වෙත අවම වශයෙන් දෙතුන් මසකට වරක් හෝ ගොස් මෙම පූජාවන් සිදුකොට පිරිත් සජ්ජායනා කරන්නේ නම් අපගේ ජීවිත මීට වඩා ඉතා යහපත්, සෞභාග්‍යමත් වන බව මගේ හැඟීමයි.

දෙවියන් කවදාවත් මනුෂ්‍යයන් දුකෙන් සිටිනු දක්නට කැමති නැත. අපට දෙයක් ලද විට නැතහොත් යම් කිසි බලාපොරොත්තුවක් ඉටුවූ විට අප නිතැතින්ම පවසනුයේ දෙවියන්ට පින් සිද්ධ වේවා කියාය. දේව මණ්ඩලය පිරිත් ශ්‍රවණය කිරීමට දැඩි කැමැත්තක් දක්වන අතර, නිතර පිරිත් සජ්ජායනය කරන අයට අනිවාර්යයෙන්ම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන බව හොඳින්ම අත්දුටු දෙයකි.

බුදුන්වහන්සේ උදෙසා සුදු පාට මල් පූජා කරන අතර, අනෙක් දෙවි දේවතාවන් උදෙසා ඒ ඒ වර්ණවලින් යුත් මල් වර්ග භාවිත කරනු ලබයි. ගණ දෙවියන් උදෙසා මල් පූජාකර පතන්නේ විශේෂයෙන් දුවා දරුවන්ගේ, අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහාය. එහෙත් බොහෝ අය බොහෝ බැතියෙන් ගණ දෙවියන් වන්දනා කර සෑම අතින්ම පිහිට ඉල්ලා සිටින බව ද දක්වා ඇත.

ආරක්ෂාව, ප්‍රාර්ථනාවන් උදෙසා කතරගම දෙවියන් හට ද දරුසම්පත් පතන අය පත්තිනි මෑණියන්, වල්ලි මාතාව මෙන්ම ශිව පාර්වතී උදෙසා ද මෙම පුෂ්ප උපහාර, පහන් සුවඳ පූජාවන් පවත්වනවා ඇත.

මල් පූජාවේදී කතරගම දෙවියන්ට මේෂ, තුලා, වෘශ්චික ලග්න හිමියන් ද, විෂ්ණු දෙවියන්ට මිථුන, කන්‍යා, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමි අය ද කටක ලග්න හිමියන් සමන් දෙවියන් හට ද පත්තිනි, කතරගම දෙවියන්ගේ පිහිට පතා වෘෂභ, තුලා ලග්න හිමි අයකු මල් පහන් පූජා පවත්වන්නේ නම් ඉතා යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇත.

බොහෝ අය මල් පහන් පූජාවේදී සිද්ධස්ථානය අසල ඇති මල් වෙළෙඳසැලකින් මල් මාලාවක්, මල් වට්ටි සමඟ තෙල් ද මිලට ගෙන පූජා කරනු ලබයි. එහෙත් ඔබට තමන් අතින්ම නෙළාගත් මල් ඒ සඳහා යොදාගත හැකි නම් එය ඉතා අගනේය. එසේ නෙළාගත් මල් හොඳින් පරීක්ෂා කර පරවීගෙන එන, තැලුණු මල් ඉවත් කර පිරිසුදු, අලුත් මල් පමණක් එකතු කරගන්න. ඉන්පසු බුලත් කොළ කිහිපයක් (හතක් හෝ නවයක්) හෝ කෙසෙල් දල්ලක් ගෙන එය කහ දියර ස්වල්පයකින් හොඳින් සෝදා ඉන්පසු පෙරා ගන්නා ලද පිරිසුදු ජලයෙන් නැවත සෝදා ගන්න.

මෙම බුලත් හෝ කෙසෙල් දල්ල ඔබ විසින් සූදානම් කර ගත් වට්ටියක හෝ එවන් බඳුනක පතුළට අතරා ඒ මත මල් පිළිවෙළකට තැන්පත් කරගන්න. මෙය ඉතා පිරිසුදු ලෙස සකසා ගත යුතු අතර, ඔබගේ අත්, පා, මුහුණ ද ඉතා පිරිසුදුව තබා ගත යුතුය. එසේම මෙය සූදානම් කරන අවස්ථාවේදී අන් අය සහභාගි නොකරගෙන, කතා නොකර සිදුකරන්නේ නම් ඉතා යෝග්‍ය වේ. එයට හේතුව නම් ඔබ නොදැනුවත්වම ඔබගේ ඛේටය (කෙළ) මෙම පුෂ්පයන් මත තැන්පත් විය හැකි නිසාය. එම නිසා මෙම කටයුත්ත ඉතාමත්ම පිරිසුදුව කිරීමට වගබලා ගන්න. මල් තෝරා ගැනීමේදී පෙති කැඩුණු, තැලුණු මල් යොදා ගැනීමෙන් වළකින ලෙස කියන්නේ මතු ආත්මවලදී ලෙඩ දුක් ඇති අයකු වන බවත්, පරමල් පූජා කිරීමෙන් වියපත් සැමියකු හෝ බිරියක් ලැබෙන බවත් තනි මලක් පූජා කිරීමෙන් තමන් මතු අත්භවයකදී තනිවන බවත් පැරණි පොත්පත්වල සඳහන් වී ඇති නිසාය. එසේම අනුන් පූජා කරන ලද මල්වලට ද සමහර අය අත තබා තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කරන අයුරු ද මා දැක ඇත. එසේ නොකරන්න. ඇතැම්විට එම පුෂ්පයන් පූජාකර කැපකර ඇත්තේ තමන්ට රැකියාවක්, වෙළෙඳ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට වීමට පුළුවන. එහෙත් ඔබගේ ප්‍රාර්ථනාව නිදුක් නිරෝගී බව, ග්‍රහ අපල දුක් කරදර නිමාව මෙන්ම දරුවන් අපේක්ෂාවක් ද විය හැකිය. එනිසා ඔබ අනුන් පූජා කළ මල් මත අත තබා ප්‍රාර්ථනා නොකර තමන් විසින්ම පිළියෙළ කරගත් පුෂ්පයන් පමණක්ම යොදාගන්න.

මල් පූජා කිරීමේදී කෘත්‍රිම මල්වලින් සාදන ලද මල් මාලා භාවිත නොකරන්න. බුදුන්,දෙවියන්, ග්‍රහයන් උදෙසා මල් පූජා කිරීමේදී එහි සුගන්ධවත් බව, පිවිතුරු බව තිබිය යුතුමයි. ඒවා කැපකළ පසුව මල් ආසනය මතම පරවී යා යුතුය. පූජා කිරීමෙන් පසු නැවත එය අපට කැප නැත. එයින් අපගේ ජීවිතය ද අනිත්‍ය බව දැනුම්වත් වීමක් සිදුවේ. ග්‍රහ දෝෂ සඳහා ඒ ඒ ග්‍රහයන් සඳහා පූජා කළ යුතු මල් වර්ග ඇත. රවි ග්‍රහයාට රතු නෙළුම්, සඳුට - සමන් පිච්ච මල්, කුජ ග්‍රහයාට - රතු කනේරුමල්, බුධ ග්‍රහයාට - නාමල් ද, ගුරු ග්‍රහයාට - කහට පාට බෙලිමල් ද, සිකුරු ග්‍රහයාට විවිධ පාට රේනු මල් ද, ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට - නිල් කටරොඩු මල් ද, රාහුට - වැටකෙයියා මල් ද (වෙනත් අවස්ථාවලදී භාවිත නොකරන්න) කේතු ට - අරලිය මල් ද වශයෙන් දක්වා ඇත. එසේම කටුසහිත මල් සහ වදමල් පූජා කිරීමෙන් වළකින්න.

මේ ආකාරයෙන් පුෂ්ප පූජාව සඳහා සූදානම්ව නිසි අයුරින් එය සිදුකර පිරිත් තුන් සූත්‍රය දේශනා කර අධිගෘහිත දෙවියන්ට පින් අනුමේදන් කර තමාගේ ප්‍රාර්ථනාව මෙම පුණ්‍ය කර්මය ආනුභාවයෙන් ලැබුවාවූ පිනෙන් සාර්ථක වේවායි සිත එක්තැන් කරගෙන විනාඩි විස්සක් පමණ භාවනා කරන්න.

*******************************************************************************

 

 

Comments