නම්බුකාර අබිසරුලිය | සිළුමිණ

නම්බුකාර අබිසරුලිය

 

මේ ප්‍රංශ ලේඛක Jean Paul Sartre විසින් 1947 වසරේ එළිදක්වන ලද La Putain Respectueuse නම් ප්‍රංශ බසින් රචිත කෘතියේ සිංහල පරිවර්තනයයි. අංක දෙකකින් සහ ඒවා තුළ දර්ශන පහ බැගින් අන්තර්ගත La Putain Respectueuse මුල්වරට1948 නොවැම්බර් 08 වැනිදා පැරිසියේ අන්තොයින් රඟහලේ වේදිකා ගත වු බව සඳහන්ය.

ඉතා මෑතක් වනතුරුම වර්ණ භේදය නමින් හැඳින්වෙන මතය නිසා කල්ලන්ට අපමණ ගැහැට විඳින්නට සිදුවූයේය. මේ නාට්‍යය ලියා ඇත්තේ ඒ කාරණය තේමා කැරගනිමිනි.

ලීසා යනු අමෙරිකානු සුද්දියකි; වෙසඟනකි. ඇය මේ වනවිට නිව්යෝක් නුවරට පැමිණ නිවස්නයක් ගෙන එහි පදිංචියට ආවා පමණි. මේ උදයේ ඇය සමඟ රැය පහන් කළ ෆෙඩ් නම් සුදු මිනිසකු කාමරයේ සිටියි. කිසිවකු දොරට තට්ටු කරයි. ෆෙඩ්ට නාන කාමරයට යන්නට කියන ලිසී දොර හරියි. ඈ ඉදිරියේ පෙනී සිටින්නේ කල්ලෙකි.

ඔවුන් දෙදෙනාට එකිනෙකා ගැන මතකයක් ඇත. පෙරදින ඇය දුම්රියකින් මෙහි එද්දී මේ කල්ලා ද ඔහුගේ සගයෙක් ද ඇය සිටි දුම්රිය මැදිරියේ සිටියෝය. මඟදී සුද්දෝ සිවු දෙනෙක් ඊටගොඩවූහ. ඔවුන්ට වුවමනා වන්නේ කල්ලන් මැදිරියෙන් පිටතට ඇද දමන්නටය. ඒ නිසා ඔවුහු දබරයක් අරඹති. සුද්දන් අතරින් එකෙක් කල්ලකුට වෙඩි තබා මරයි. එවිට අනෙක් කල්ලා දුම්රියෙන් පැන පලා යයි. දැන් ඈ අබිමුව පෙනී සිටින්නේ දිවි ගලවා ගත් ඒ මිනිසාය. තමාට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස ඉල්ලා සිටින ඔහු ඇගේ නිවෙසේ රැකවරණය පතයි. තම නිවෙසේ දැනටමත් කෙනෙක් ඉන්නා නිසා එය ප්‍රතික්‍ෂේප කරන ඇය ඔහු පන්නා දමයි.

මිනීමරු සුද්දාගේ නම තෝමස් වන අතර, මෙතැන සිටින ෆෙඩ්ගේ ඇවැස්ස මස්සිනාය. ෆෙඩ් මෙහි පැමිණ රැය ගත කරන්නේ එනයින් ඇයට මානසික අල්ලසක් දෙනු පිණිසය. එහෙත් මුල දී ඔහු ඒ බව ඇය හා නොකියයි.

ඊයේ දුම්රියේදී කල්ලන් දෙදෙනකු ඇය දූෂණය කළ බව නගරයේ කතාවෙමින් පවතින්නේයැයි ඔහු ඇයට කියයි. එවිට ඇය සම්පූර්ණ සිද්ධියම ඔහු හා කියන්නීය. කල්ලන් තමා දූෂණය නොකළ බවත්, තෝමස් නමැත්තා නම් සිය ගවොම උස්සන්නට තැත් කළ බවත් ඇය කියයි. තෝමස් ගැලවෙන ලෙස විනිසුරු හමුවේ කිවයුතු බවට ඇය ඔහුට තර්ජනය කරයි. තමා සහ තෝමස් වැදගත් පරම්පරාවල අය බවත්, තමා ක්ලාක් නම් සෙනෙට් සභිකයාගේ පුතා බවත් ඔහුගේ ඇවෑමෙන් ඒ තනතුරට පත්වනුයේ තමා බවත් ෆෙඩ් ඇයට කියයි.

මේ දෙන්නා අතර සංවාදය මෙසේ පවතිද්දී සෙනෙට් සභික ක්ලාක් ද එහි පැමිණෙයි. ඔහු ඇයට ඉච්ඡාබස් දොඩා ඇය ලවා ලියැවිල්ලක් අත්සන් කරවා ගනියි. එහෙත් ඇය දිගින් දිගටම කියන්නේ කල්ලා තමා දූෂණය නොකළ බවත්, තමාගේ කළු මිනිසුන් ගැන පිළිකුලක් නැති බවත්ය. සුදු ජාතිය වෙනුවෙන් සිටිය යුතු බව ඔවුන් කියද්දී ඇය කියන්නී තමාගේ සිතේ එවැන්නක් නොමැති බවයි.

ඔවුන් ගිය පසු කල්ලා නැවත ඇගේ කුටියට එයි. මෙවර එන්නේ නාන කාමරයේ ජනේලයෙනි. සුද්දන් තමා මරන්නට සොයන බව ඔහු ඇයට කියයි. ඇය සිය පිස්තෝලය ඔහුට දී එයින් ඔවුන්ට වෙඩි තබන ලෙස කියයි. එහෙත් කල්ලා කියන්නේ ‘අනේ නෝනා මං කොහොමද සුදුමහත්තයකුට වෙඩි තියන්නේ?’ කියායි. එවක අමෙරිකානු සමාජයේ කළු මිනිසුන්ගේ දීනකම ඉන් කියැවෙයි.

දුම්රියේ සිද්ධිය ගැන ලිසී හා ෆෙඩ් අතර සංවාදය මෙසේය.

ලිසී: සත්තකින්ම නෑ. ඉඳලහිටල උන්දෙන්න අතර සිදුවුණු කතාබහක් ඇර කාපිරියෝ දෙන්නම කටපියාගෙන හිටියා. උන් මං දිහෑ බැලුවෙවත් නෑ. ඊටපස්සෙ සුද්දො හතරදෙනෙක් නැග්ගා. උන්ගෙන් දෙන්නෙක් මා ළඟින්ම ඉඳගත්ත. උන් ආවෙ රගර් මැච් එකක් දිනලයි. උන් ඒකෙ උදවුකාරයො. ඔවුන් කිව්ව මේක හරිම කාපිරි ගඳයි කියල. ඔවුන්ට ඕන වුණෙ කාපිරින්ව ජනේලෙන් ඇදල දාන්නයි. ඒ අදහසට අනෙක් අය විරුද්ධ වුණා. අන්තිමේදි කාපිරියෙක් අතමිට මොළවල දුන්න පාරක් සුද්දෙකුට. ඒක එයාගෙ ඇහැට වැදුණ. එතකොට තමයි ඔහුවෙඩි තිබ්බෙ. එච්චරයි. වෙන වෙච්චි උලව්වක් නෑ. කෝච්චිය ස්ටේෂමට ළං වෙනවත් එක්කම අනික් කාපිරියා බැහැල ගියා.

ෆෙඩ් :- කවුරුත් ඔය ටික දන්නවනෙ. (මොහොතක නිහැඬියාවකින් පසු) වෙලාවක ඔයාව නඩුකාරයා ඉස්සරහට කැඳෙව්වොත්හෙම ඔයා ඔය කතාවද කියන්න යන්නෙ.

ලීසා:- මාව මොකටද නඩුකාරයා ඉස්සරහට කැඳවන්නෙ? ඔයාට ඒ ගැන තියෙන රුදාව මොකක්ද?

ෆෙඩ්:- මං අහපු එකට උත්තර දෙනව.

ලිසා:- මං යන්නෙ නෑ නඩුකාරයා ළඟට. ඔය කලබලවලට මැදිහත් වෙන්න මම බයයි.

ෆෙඩ්:- මම නම් හිතන්නෙ ඔයා උසාවියට යන එක හුඟක්ම හොඳයි.

ලීසා:- මම යන්නෙ නෑ කිව්වනෙ. මම කොහෙත්ම කැමැති නෑ. උසාවිය හරි පොලීසිය හරි ගාවගන්න

ෆෙඩ්:- පොලීසියෙන් ඒවි ඔයාව හොයාගෙන

ලිසා:- එතකොට එහෙමනම් මම දැකපුඒව කියන්නම්

ෆෙඩ්:- ඒ ටික වගකීමෙන් යුතුව කරනවද?

ලීසා:- මොන ටිකද?

ෆෙඩ්:- ඔයා සුද්දකුට විරුද්ධව කල්ලෙකුගෙ පැත්තට සාක්කි කියන්නයි යන්නෙ.

ලීසා:- ඔව් වරදකාරය සුද්ද නම්?

ෆෙඩ්:- නෑ ඔහු කවදාවත් වරදකාරය වෙන්න බෑ

ලීසා:- ඔහුයි වෙඩි තිබ්බෙ. ඒ නිසා ඔහු තමා වැරදිකාරයා

‘නම්බුකාර අබිසරුලිය’ ආචාර්ය උදය මල්ලවාරච්චිගේ කෘතියකි.

 

Comments