මහ වැස්සක් කළ හදි­යක් | සිළුමිණ

මහ වැස්සක් කළ හදි­යක්

 

දීර්ඝ කාලයක් තිස්සේ තිබූ උණුසුම් කාලගුණික තත්ත්වය පහව ගොස් ඇත. උණුසුම වෙනුවට සිසිල් කාලගුණයක් පැවතුණද කාලගුණය අකාරුණික වී තිබේ. අකාරුණිකත්වය කෙසේද යත් දින ගණනාවක්ම බදුල්ල සහ කොළඹ අතර දුම්රිය සේවාවද නවතා දැමිණි. උඩරට ප්‍රධාන මං මාවත් රැසක්ද වසා දැමිණි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දින කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා දමන ලදී.

 

කාලගුණයේ අකාරුණිකත්වය කෙසේද යත් ජීවිතක් පසුගිය සිකුරාදා පස්වරුව වන විට ස්වභාවික ආපදාවලට හසුව අපට ජීවිත 5ක් අහිමිව තිබුණි.

නිරිත දිග මෝසම සක්‍රිය වීම මෙම අධික වර්ෂාවට හේතුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසා සිටියේය.

‘‘ දැනට තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය බස්නාහිරට තරමක් අඩුවුවත්, මධ්‍යම හා සබරගමුවේ අධික වැසි තත්ත්වය තව දුරටත් එලෙසින්ම වර්ධනය වන්න පුළුවන්. විශේෂයෙන්ම මිලි මීටර් 100 ඉක්ම වූ වැසි ඇති වෙන්නට පුළුවන්. එම නිසා විශේෂ අවධානයෙන් යුතුව මේ කාලගුණයත් සමඟ කටයුතු කිරීම වැදගත්. කොහොමත් අගෝස්තු 10 වෙනිදා වන තෙක් මේ තත්ත්වය සැලකිය යුතු ලෙසින් අඩු වෙන තත්ත්වයක් නැහැ.‘‘

පසුගිය සතියේ වැඩිම වර්ෂාපතනය වූ මිලි මීටර් 180ක වර්ෂාපතනය වාර්තා වුණේ නාවලපිටියෙනි. ඒ පසුගිය 2 වෙනිදාය. එදිනම පිටබැද්දර ප්‍රදේශයටද මිලි මීටර් 151.8ක වර්ෂාවක් ලැබී තිබුණි. අධික වර්ෂාව නිසා අපට දකින්නට ලැබුණු ශෝචනීය දසුන වාර්තා වූයේද නාවලපිටිය ආශ්‍රිතවය.

ඒ කැටඹුලා ඔයෙන් එතෙර වීමට ගිය පිරිසකට අත් වූ ඉරණමය. කැටඹුලා ඔය පිටාර ගලා මාර්ගය හරහා ජලය පිරී ඉතිරී තිබූ හෙයින් වරකට කිහිප දෙනා බැගින් එතෙර වීමට කටයුතු කරනු අපට දැක ගතහැකි වූ අතර එහිදී පිරිමි පුද්ගලයන් දෙදෙනකු විසින් එක් වයෝවෘද්ධ කාන්තාවක් එතෙර කර යළිත් පැමිණ තවත් කාන්තුවක් එතෙර කරවීමට කඹයද අල්ලාගෙන යාමේදී අදාළ පිරිසෙන් කිහිප දෙනකු කඹය අතහැරීමෙන් ඔවුන් කැටඹුලා ඔයේ ගසාගෙන යන ශෝචනීය දසුන අපට දැකගත හැකි විය. ඒ අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේද පසුගිය 2 වෙනිදාය. එම සිද්ධියෙන් ප්‍රදේශයේ වතු ආශ්‍රිතව පදිංචි වයස අවුරුදු 36,46 හා 47ක් වූ තිදෙනෙක් අතුරුදන් වූ අතර ඒ පිරිස අතර කාන්තාවක්ද විය‍.

නිරිත දිග මෝසමත් සමඟ ඇති වූ අධික වර්ෂාධික කාලගුණය නිසා වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ මධ්‍යම ප්‍රදේශයේය. ඒ අතර පැන්මූර් ජලාශයට වැටී පසුගිය තරුණයකු මිය ගොස් ඇති බව ඔහුගේ මිතුරන් දෙදෙනකු විසින් පොලිසියට පවසා තිබුණි. ඒ සිදුවීම වාර්තා වූයේද පසුගිය 2 දාය.

එමෙන්ම නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත්, ටැප්ලෝ ජනපදයේ 40 හැවිරිදි තිදරු පියකු මියගොස් ඇතතේ නිවසට පස් කන්දක් කඩා වැටීම නිසාය.

ඉතාම අවාසනාවන්ත මරණයකට ගොදුරු වූ එම පුද්ගලයාට නායයාම් අනතුරු ඇඟවීම් ලබා දීමෙන් පසුව නිවසේ වටිනා බඩු භාණ්ඩ ඉවත් කිරීමට යාමේදී එක්වරම කන්ද කඩා වැටීමෙන් ඔහු මියගොස් තිබේ.

ඔහු පදිංචි නිවසට හා අසල නිවසට ගල් හා පස් කන්දක් කඩා වැටී ඇති අතර අනතුරින් නිවාස දෙකටම බරපතළ හානි සිදුව තිබේ. මියගිය අයගේ නැන්දනියගේ නිවස යාබද නිවස වන අතර නැන්දනියද පස්වලට යටව සිටියදී අවට පදිංචිකරුවන් විසින් බේරාගෙන රෝහල්ගත කර ඇත.

එසේම හැටන්හි එම්ආර් නගරයේ මහල් කිහිපයක ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අවදානමක් නිසා එහි තිබූ භාණ්ඩ ඉවත් කර ඇති අතර සියලු ජනතාව ඉවත් කරන ලදී. පසුගිය 2 වෙනිදා සිට ඇද හැලෙන අධික වර්ෂාවත් නිසා මධ්‍යම කඳුකරයේ බොහෝ ජලාශ පිරි ඉතිරී ගොස් ඇති අතර කොත්මලේ වාන් දොරටු විවෘත කර ඇති අතර පොල්ගොල්ල ජලාශයද වාන් දමා තිබේ.

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශයන් වන මාවුස්සා කැලේ හා කාසල්රී ජලාශ පිටාර මට්ටමට ආසන්න වී තිබුණි. එමෙන්ම පොල්ගොල්ල හා කොත්මලේ ජලාශයන්හි වාන් දොරටු විවෘත කර තිබුණේ මහවැලි ගඟ අසබඩ ජනතාවට දැඩි විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය විසින් කළ අනතුරු ඇඟවීමක්ද සමඟිනි.

එමෙන්ම රාවණා ඇල්ල‍, ශාන්ත ක්ලෙයාර්, ඩෙවොන් දිය ඇලි දැඩි සේ ප්‍රචණ්ඩ විලාසයෙන් ඇද හැලෙන තත්ත්වයක් දක්නට ලැබුණි. දිය ඇලි ඇද හැලෙන අයුරු නැරඹීමට යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇතත් ගල්බොඩ දිය ඇල්ල ඇතුළු දිය ඇලි නැරඹීමට පෙම්වතුන් වරින් වර ගොස් ඇති අතර එසේ ගල්බොඩ ඇල්ල නැරඹීමට ගිය තරුණ පෙම්වතුන් යුවළක් අතුරින් තරුණිය දියට වැටී අතුරුදන් වී ඇත. මෙසේ අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි තරුණියකි.

විශේෂයෙන්ම හැටන් නගරය ආශ්‍රිතව බොහෝ තැන්වල පසු කඳු කඩා වැටී අවහිර වී ඇති අතර හැටන් - කොළඹ මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වී තිබුණි. එමෙන්ම හැටන් මහනුවර මාර්ගයත් අවහිර වී තිබුණි. මස්කෙළිය ශ්‍රීපාද මාර්ගයත් එලෙසින් (මෝහිණී ඇල්ල ප්‍රදේශයෙන්) අවහිර වූ මාර්ග අතර විය.

පසුගිය 4 වෙනිදා බ්‍රහස්පතින්දා වන විට කටුගස්තොට ගන්නොරුව මාර්ගයද ගමනාගමනයට අවදානම් තත්ත්වයක් ඇතිව තිබුණි.

මේ තත්ත්වයන් මත රාත්‍රී කාලයේ ගමන් කිරීම අවම කිරීමට හා රථ වාහන මාර්ග අයිනේ නවතා නොතබන ලෙස මහජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අනතුරු අඟවමින් පවසා තිබුණි.

උඩරට එළවළු වගාවන්ටද හානි සිදුව තිබූ අතර විශේෂයෙන්ම කොටගල ප්‍රදේශයේ අක්කර 4ක අස්වනු නෙළීමට ආසන්න එළවළු වගාබිමක් සම්පූර්ණයෙන්ම විනශ වී තිබුණි.

මධ්‍යම කඳුකරයට අමතරව වැඩිම බලපෑම් ඇතිව තිබුණේ රත්තපුර දිස්ත්‍රික්කයටයි. පස්කඳු කඩාවැටීමෙන් මෙන්ම මාර්ග අවහිර වීම් හා රැසක් සිදුව තිබේ. රත්නපුරය - පාණදුර ප්‍රධාන මාර්ගයද ඒ අතර විය. දොඩම්පෙ ප්‍රදේශයේ තරුණයෙක් ගංවතුරට ගසා ගෙන ගොස් අතුරුදන්ව සිටි අතර පසුගිය බ්‍රහස්පතින්දා නාවික හමුදා කිමිඳුම්කරුවන් විසින් ඔහුගේ සිරුර සොයා ගන්නා ලදී.

ඒ අතර නායයෑම් හා පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 8කට නායයාමේ අනතුරු ඇඟවීම් සිදු කර තිබුණි.

එමෙන්ම අධික වර්ෂාව නිසා උඩරට දුම්රිය ධාවනයට විශාල බාධා එල්ල වූ අතර වටවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල කළුගලක් ඇදවැටී තිබුණු අතර එය පුපුරවා දමන්නට සිදු විය. එමෙන්ම නාවලපිටිය හා නානුඔය අතර ස්ථාන 15 කදී දුම්රිය මාර්ගය අවහිර වී තිබුණි.

දුම්රිය මාර්ගයට වැටුණු පස් කඳු ඉවත් කිරීමට යුද හමුදාව යොදා තිබුණි. කෙසේ වෙතත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පසුගිය සිකුරාදා වන තුරුත් යථා තත්ත්වයට පත්ව නොතිබුණි. පස් කඳු කඩා වැටීම නිසා මහනුවර බදුල්ල අතර ධාවනය වන මිශ්‍ර දුම්රිය අතර මඟ නවතා තිබුණේ ඉදිරියෙන් හා පසුපසින් මාර්ගය අවහිර වී තිබූ නිසාය.

නාවලපිටිය හා හැටන් අතර දුම්රියක් නවතා තිබූ අයුරු

ඒ අතර දකුණේ නිල්වලා ගඟ අසල පහත්බිම්ද ජලයෙන් යට වී තිබුණු අතර විශේෂයෙන්ම අකුරැස්ස හා මාකඳුර ප්‍රදේශවලට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසා සිටින්නේ අවතැන් වූ පිරිසට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැපයීමට කටයුතු කර තිබෙන බවයි. එමෙන්ම යම් අවශ්‍යතාවයක් ඇත්නම් ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ අමතන ලෙසද ඔහු පවසා සිටී. එමෙන්ම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්ද අවශ්‍ය පහසුකම් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අතර දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳව හා හදිසි ආපදාවන් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබුණි. ඒ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක හා යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා කොත්මලේ විය. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල‍ හා මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩද ප්‍රදේශයන්ද විය. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කුරුවිට, ඉඹුල්පෙ, කහවත්ත ප්‍රදේශවලටද එම රතු නිවේදන බලාත්මක විය.

අවතැන්වූවනට සහන සැලසීමට අවශ්‍ය පියවර ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ටද උපදෙස් ලබා දී ඇති අතර ගංගා හා ජලාශ ආශ්‍රිත සියලු ජනතාවට මේ වන විට ආරක්ෂිත උපදෙස් ලබා දී ඇත.

යුද හමුදාව විසින් දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි වාහන මේ වන විට ගංවතුර අවදානම ඇති ප්‍රදේශවලට යොමු කර ඇති අතර නාවික හමුදා කිමිඳුම්කරුවන් හා නාවික යාත්‍රා රැසක්ද ඒ වෙනුවෙන් යොමු කර තිබේ. එමෙන්ම නාගරික කටයුතු වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට නාගරික සංවර්ධණ අධිකාරියද කටයුතු යොදා තිබේ. ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් ඇතුළු යානා කිහිපයක්ද මේ වන විට ආපදා කටයුතු වෙනුවෙන් සූදානම් කර ඇති අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඒ වෙනුවෙන් කටයුතු කළ හැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සිළුමිණට පැවසුවේය.

මෙලෙසින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බල පවත්වන ලද අයහපත් කාලගුණය නිසා සිකුරාදා සවස් වන විට යාපනය දිස්ත්‍රික්කයේ එක් පවුලක් අයහපත් කාලගුණයෙන් අවතැන් විය. ඔවුන්ගේ නිවසට හානි පැමිණ තිබුණි. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 472ක් විපතට පත්ව තිදෙනෙකු මියගොස් තිදෙනකු අතුරුදන්ව ඇත. එමෙන්ම නිවාස 343කට හානි පැමිණ තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1248ක් විපතට පත්ව ඇති අතර එක් අයකු මියගොස් තිබේ. නිවාස 148කට හානි පැමිණ තිබේ. මාතර දිස්ත්‍රික්කයේ පවුල් 42ක් විපතට පත්ව ඇති අතර ඔවුන්ගේ නිවාස 42ටම හානි පැමිණ තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් දෙකකට පමණක් හානි පැමිණ ඇති අතර ඔවුන්ගේ නිවාසයන්ටද හානි පැමිණ තිබේ.

එසේම හම්බන්තොට පවුල් 6කට ආපදා තත්ත්වය බලපා ඇති අතර නිවාස 5කට අලාභහානි සිදුව ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1934කට ආපදා තත්ත්වය බලපා ඇති අතර එක් අයකු මියගොස් නිවාස 1015කට හානි පැමිණ තිබේ.

 නෝටන්බ්‍රිජ්

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2023කට කාලගුණය බලපා ඇති අතර එක් අයකු මියගොස් නිවාස 1095කට හානි පැමිණ තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 6කට ගංවතුර ආපදා තත්ත්වය බලපා ඇති අතර නිවාස 6කට හානි පැමිණ තිබේ.

ඒ අනුව සමස්ත දිවයිනේම පවුල් 3850කට අයත් පුද්ගලයන් 14885කට ආපදා තත්ත්වය බලපා තිබූ අතර 5 දෙනකු මියගොස් 3 දෙනකු අතුරුදන්ව තිබේ. නිවාස 1692කට හානි පැමිණ තිබේ.අයහපත් කාලගුණය නිසා රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍ර දේශවලට ඉන්ධන බෙදා හැරීමේ කටයුතුද අඩපණ වී ඇති අතර පසුගිය සිකුරාදා වන විට එම ප්‍ර දේශවල ඉන්ධන හිඟයක්ද ඇතිව තිබුණු අතර මේ සතියේ කාලගුණය යහපත් වූ විගස ඉන්ධන හා ගෑස් වැඩි පුර එම ප්‍රදේශවලට යොමු කරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. හැකි ඉක්මනින් ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගෙන යාමට අවශ්‍ය පරිදි කටයුතු කරන ලෙසත් හානි සිදුවී ඇති විදුලිබල පද්ධති කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙසත් උපදෙස් ලබා දී ඇති අතර අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැරෙන්නට ස්වභාවික උවදුරින් තර්ජිත ප්‍රදේශවල විදුලිබල කප්පාදුවක් සිදු නොකරන ලෙසද උපදෙස් ලබා දී තිබුණි.

 

Comments