
ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපිත කළේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් රටවල වැඩ බලන ලේකම්ව සිටි විලියම් බොයිඩ් ගාල්ලේදී අත්සන් කළ ප්‍රකාශනයක් මඟින්
සුනිල් කුසුම්සිරි
බලයලත් මිනින්දෝරු
‘මිනින්දෝරුවරයා’ යන්න සමාජය තුළ ඇලී ගැලී ඇත්තේ අපේ සංස්කෘතියත් සමඟය. ඉංග්‍රීසි නිසා බිහි වූ වෘත්තියක් වුවද එය අපේ හද්දා පිටිසර ගැමි ජනතාවගේ පවා කටට හුරු පුරුදු නමක් බවට පත්වූවේ බොහෝ කලක සිටය. එයට එක හේතුවක් වන්නට ඇත්තේ මේ රාජකාරිය මොන ආකාරයකින් කාර්යාලයක මේසයක් පුටුවක් ළඟ හිඳ කළ නොහැකි මිනිසුන් අතරට මෙන්ම ඉන් එහා මහා වන දුර්ග අතරට ද යා යුතු රැකියාවක් වූ නිසා විය යුතුය.
අතීතයේදී රටේ ඉඩම් හැම බිම් අඟලක්ම රජු සතු වූ අතර, රට වැසියෝ සේවය කළේ රාජකාරි ක්‍රමයකටය. පසුකාලීනව රජු සතු ඉඩම් ජනතාකරණය වීමෙන් අනතුරුව සමාගම්වලට විකුණා දමන ලදී. ඇතැම් සමහර ඉඩම් පෞද්ගලකීකරණය විය. එහිදී ඉඩම් මැන මායිම් සලකුණු කිරීම අත්‍යවශ්‍ය කරුණක් විය. මිනින්දෝරුවරයාගේ සේවය ගම්බිම් ගත වූයේ මෙපරිද්දෙනි. එවකට ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් රටවල වැඩ බලන ලේකම්ව සිටි විලියම් බොයිඩ් විසින් අත්සන් කරනු ලැබූ ප්‍රකාශනයක් මඟින් "ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව" ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රකශය නිකුත් කරනු ලැබුයේ ගාල්ලේදීය. මිනින්දෝරු වෘත්තිය මෙරට තුළ ස්ථාපිත වූවේ වර්ෂ 1800 අගෝස්තු මස දෙවැනිදා ‘ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව’ මෙරට ස්ථාපිත කිරීමත් සමඟය. මෙරට මිනින්දෝරුවරයකු විසින් මනිනු ලැබූ ඉඩමකට අදාළ ප්‍රථම පිඹුර නිකුත් කරනු ලැබුවේ වර්ෂ 1800 අගෝස්තු මස 20 වැනිදාය.
ලාංකේය මිනින්දෝරු ඉතිහාසයේ ප්‍රථම පිඹුර වූ එයට අයත් ඉඩම මනිනු ලැබුවේ සී. ස්කෑන්ඩර් නමැති මිනින්දෝරුවරයා විසිනි. ගම්බිම් මැනීම සඳහා දුර බැහැර ගිය මිනින්දෝරුවරයා ලැගුම් ගත්තේ ගම්බද පෙදෙස්වලය. නැතිනම් ඝන වනාන්තරවල මිස සුව පහසු තානායම් ආදියේ නොවේ. ඔහුගේ වාසස්ථානය වූයේ සුප්‍රකට මිනින්දෝරු කූඩාරමය. කූඩාරම අනිවාර්යයෙන්ම ස්ථාන ගත කරනු ලැබුවේ වතුර ඇති තැනකය. එනම් ඇළක් දොළක් අසබඩය. මිනින්දෝරුවරයාට එකල දස දෙනකුගෙන් යුත් කම්කරු කණ්ඩායමක් වූහ. ඒ අතරතුර, කඳවුරු කම්කරු, තැපැල් කම්කරු හා වෙඩික්කරු හෙවත් "ෂිකාරේ" ද විය.
මිනින්දෝරුවරයා මුළු ලංකාවම මැන්නේ ලංකා මැනීම ඔස්සේය. එක් මිනින්දෝරුවරයකු විසින් එක් ගමක් මුල් කැර ගෙන 'ගම' මැන්නේය. මෙම මැනීම සිදු කැර ගැමියන් අතර අද ද ප්‍රකට 'ගම් පිඹුර' හැදුවේය. මේ ප්‍රකට "ගම් පිඹුරේ" රජයේ ඉඩම් - පුද්ගලික ඉඩම් වෙන් වෙන් වශයෙන් පෙන්වා දී තිබුණි. අනතුරුව ගොඩ මඩ ඉඩම වෙන් කැර දැක්වූවේය. හැම ඉඩමකටම තිබූ වගාව, වගාවේ වයස, හිමිකරු, ඉඩමේ ප්‍රමාණය ද එහි වෙන් වෙන් වශයෙන් සටහන් කර තිබුණි. ගම් පිඹුරේ මුල් පිටුවේ ප්‍රවේශයක් හා හැඳින්වීමක් ද තිබීම තවත් සුවිශේෂ කරුණකි.
'ගම' පිඹුරේ ඇති හැඳින්වීමේ ගමේ මුළු බිම් ප්‍රමාණය මෙන්ම සිංහල - දෙමළ - මුස්ලිම් ආදි වශයෙන් ජනගහනය ප්‍රමාණය ද විය. ඇතැම් ගම් පිඹුරුවල ජනයාගේ සංඛ්‍යාව "කුල" වශයෙන් ද දක්වා ඇත. එමෙන්ම එම ගමේ කුඹුරුවල පැහෙනා වී වර්ග ද, ඉඩ කඩම්වල වැවෙන බෝග පිළිබඳව ද ගම් පිඹුරේ හැඳින්වීමේ සවිස්තරාත්මකව දක්වා ඇත. මේ ගම් පිඹුර හෙවත් පිඹුර අපේ ගැමියන් අතර "පී කුරේ" ලෙස ද හැඳින්වේ. මේ රටම ආවරණය වූ ගම් පිඹුරු මාලාව මුළු රටම ගැන සවිස්තරව දැක්වෙන සංස්කෘතික කතාංගයක් ලෙස ද හැඳින්විය හැකිය.
ගමේ හැම ඉඩමකටම වාගේ නමක් ඇත. ගමේ ඉඩමට බොහෝ විට නම දැම්මේ මිනින්දෝරුවරයා විසින්මය. ඒ අනුව මිනීමැරූකන්ද "මිනීමරුකන්ද" විය. අන්ධයකු සිටි වත්ත "පොට්ටයාගේ වත්ත" විය. ලන්සි ජාතිකයන් සිටි වත්ත "ලන්සි වත්ත" වීය. තිස්සමහාරාම ප්‍රදේශයේ "ලුකස්ගොඩ" යන්න එම ග්‍රාමයට ලැබුයේ "ලූකස්" නමැති මිනින්දෝරුවරයා විසින් එම ගමේ මැනුම් කළ නිසාය.
මේ ආකාරයට ගැමියා අතර මිනින්දෝරුවරයා කෙතරම් සමාජගත වූයේ කිවහොත්, ගමේ පන්සලේ පෙරහැරේ මුලින්ම ගමන් කළේ "මිනින්දෝරු කෝලම" ය. මුහුණේ වත්සුණු තවරා, දිග කලිසමක් ඇඳ මිනින්දෝරු මහතා මනින කණ්ණාඩියෙන් ඉදිරිය බලමින් ගමන් කළ අතර සහායක කණ්ඩායම දම්වැල් පටියක් හා මැනුම් රිටි අල්ලමින් "පෝල් - පෝල්" හඬ නඟමින්, පාර දෙපස මිනිසුන් ඉවත් කරමින් පෙරහරට මං පෑදූහ.
අප රටේ ඉතිහාසයෙන් බිහිවූ අගනාම මිනින්දෝරුවරයකු වූයේ ආර්.එල්. බ්‍රෝහියර් ය. වටිනාකම කිව නොහැකි තරම් අගනා ග්‍රන්ථ කිහිපයක් ද මෙරටට දායාද කළ බ්‍රෝහියර්, මිනින්දෝරුවරයකුටත් වඩා ප්‍රකට වූයේ පුරාවිද්‍යා ගවේෂකයකු ලෙසටය. මෙරට තුන් ඈදුතු මිනින්දෝරු පවුලක් ද වීය. ගාල්ලේ අඹවත්ත පවුල, කෑගල්ලේ කපුගීකියන පවුල, නුවර සමරසිංහ පවුල, යාපනේ සචිත්තනාදන් සිවේන්ද්‍රාන් පවුල හා මඩකලපුවේ අරුමෙනායගම් පවුල ද ඒ අතර වෙති. ජෝර්ජ් ටී. හේරත් මිනින්දෝරුවරයාගේ පුත් එස්.ටී. හේරත් මෙරට සම්භාව්‍ය මැනුම්පතිවරයකු විය.
එමෙන්ම 1978 ජේ.ආර්. ජයවර්ධන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් "කාන්තාවට සම තැන" පිළිබඳ විශේෂ භූමිකාවක් විය. ඒ වන තෙක් දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු තනතුරු දරනු ලැබුවේ පුරුෂ පක්ෂය විසින් පමණි. නව ව්‍යවස්ථාව මඟින් මෙතෙක් මෙරට තිබූ මිනින්දෝරු තනතුර සඳහා මිනින්දෝරුවරියන් ලෙස කාන්තා පක්ෂය ද දෙපාර්තමේන්තුවට බඳවා ගැනිණි. මේ අනුව 1980 වසරේදී 25 දෙනකුගෙන් යුත් තරුණියන් කණ්ඩායමක් මුල්ම මිනින්දෝරුවරියන් පිරිස ලෙස ලාංකීය ඉතිහාසයට එක් වූහ.
වර්තමානයේ විවිධ තාක්ෂණික ක්‍රම උපායන් සහ උපකරණ භාවිතයට ගනු ලබන ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව වඩාත් නිරවද්‍ය දත්ත රැස් කිරීම, මැනුම් කිරීම මඟින් සිතියම් හා පිඹුරු සැකසීම සිදුකරමින් දැයට අනර්ඝ සේවයක් ඉටු කරනු ලබයි. නවීන තාක්ෂණය මැනුම් ක්ෂේත්‍රයට හඳුන්වාදීමත් සමඟම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තව තවත් පුළුල් වී ඇති අතර නව තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගෙන මෙතෙක් ඉටු කරන ලද කාර්යයන් තව තවත් වේගවත්ව හා නිවැරදිව ඉටු කිරීම සඳහා සර්වේයර් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙන් කටයුතු කරයි. චන්ද්‍රිකා දුරස්ථ ග්‍රහණ (RS) ගෝලී ස්ථාපිත පද්ධතිය (GNSS) භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) ඉඩම් තොරතුරු පද්ධතිය (LIS) වැනි ක්ෂේත්‍රයන් හරහා මහජනයා සමඟ මහජන හිතමිතුරු සබඳතාවක් ගොඩනඟා ගැනීමේ හැකියාව දෙපාර්තමේන්තුව අද වන විට අත්කර ගෙන ඇත.
දෙපාර්තමේන්තුව සතු කාර්ය භාරය තවත් පුළුල් කරමින් ජාතික අවකාශිත දත්ත උපරිව්‍යුහය (NSDI) බස්නාහිර පළාත ආවරණය වන පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක වන භූමිතික පාලන ලක්ෂ ජාල (SLCORnet) සහ නියමුවන් රහිත ගුවන් යානයක් මඟින් භූමියේ තොරතුරු ගැනීම (U.A.V) වැනි අංශ අලුතින් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති අතර, ඒ හරහා මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ අනෙකුත් ආයතන සමඟ වඩා හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ අරමුණින් මේ වන විට විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත. එමෙන්ම 1998 අංක 21 දරණ "ඉඩම් හිමිකම් පනත" එළිදැක්වීම ද ලංකා ඉතිහාසය තුළ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ එක් වැදගත් සංධිස්ථානයකි.
සර්වේයර් ජනරාල් ඒ. දිසානායක ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අනාගත සැලසුම් විස්තර කළේ මෙලෙසිනි.
"දෙපාර්තමේන්තුව සතු සියලුම පිඹුරු අපි ආංඛිත දත්ත පද්ධතියකට හරවාගෙන යනවා. එයින් අපි ඉඩම් තොරතුරු පද්ධතිය (LIS) ශක්තිමත් කරනවා. ඉදිරියේදී මේ රටේ ඕනෑම පුද්ගලයකුට තමාගේ ඉඩම පිළිබඳ සියලු තොරතුරු අන්තර්ජාලයට ගොස් පරීක්ෂා කළ හැකියි."
දැනට පානදුර ප්‍රදේශයේ පදිංචි බලයලත් මිනින්දෝරු ගාමිණී මල්වැන්න සිය අතීත අත්දැකීම් අප සමඟ පැවසුවේය.
"මට මහඔය පොල්ලෙබැද්දට ස්ථාන මාරවක් ලැබුණා. මට පෙර එහි වැඩ කළ රජයේ මිනින්දෝරු උමා මහේෂ්වරම්ගේ කම්කරු කණ්ඩායමත් ඔවුන්ගේ වාඩියත් තමයි මට ලැබුණේ. උමා ඒ කාලේ හරි අහිංසක කෙනෙක්. එල්ටීටීඊ සංවිධානය පිහිටවපු උමා සම්බන්ධව පසු කාලයේ ලැබුණු ආරංචිවලින් මම පුදුමයෙන් පුදුමයට පත්වුණා. පොල්ලෙබැද්දෙදි මට හමුවුණු පොරමොලා, කයිරවන්නියා මට හමුවුණු ආදිවාසී ගැමියන් දෙදෙනෙක්. අපි ඒ දවස්වල තේ බිව්වෙත් මී පැණි තොලගාමින්.
දවසක් මගේ කම්කරු කණ්ඩායමට 'ලයින්' කැපීමට ගොස් සිටියදී අතරමං වුණු මුව පැටියෙක් හමුවුණා. ඒ මුව පැටියා කාලයක්ම හැදී වැඩුණේ මගේ මිනින්දෝරු කඳවුරේ! අපි හවසට "බ්‍රිජ්" ක්‍රීඩාවේ නිරත වෙනවා. හැම හවසකම වාගේ එන්. සිවරාජන් හා ශිරන්ත වික්‍රමරත්නත් එකතු වෙනවා. ඔවුන් එවක එම ප්‍රදේශයේ මා සමඟ වැඩ කළ රජයේ මිනින්දෝරුවරුන්. මම පොල්ලෙබැද්දෙන් ස්ථාන මාරු වී පැමිණෙන විට මගේ කඳවුරේ හැදී වැඩුණු "රාණි" මහඔය පොලිසියේ OIC මහතාට භාර දුන්නා."
මේ වන විට දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි ජී.එච්.බී.එම් ද සිල්වා හෙවත් මානිල් ද සිල්වා බලයලත් මිනින්දෝරුවරයාට ද සිය වෘත්තීය ජීවිතය තුළ රසවත් මතක රැසක්ම ඇත. "එතකොට මගේ කෑම්ප් එක තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල. මේ කෑම්ප් එකේ මාත් එක්ක එකටම හිටියෙ රජයේ මිනින්දෝරු ඩබ්ලිව්.ටී.එස්. විජේතිලක. අපේ කූඩාරමට පේනතෙක් මානයේ වුණේ ගමේ වෙදමහත්තයාගේ නිවෙස. අපේ කූඩාරම් ලන්තෑරුම් එළිය. එදා රෑ වෙන්න වෙන්න වැස්ස වැඩි වුණා. රෑ එකොළහ දොළහ විතර වෙන්න මුළු කූඩාරමම අලි රංචුවක් වටකරලා. කූඩාරම ගැටගහපු එක ගහක එක අලියෙක් පිට අතුල්ලනවා. කූඩාරම පැද්දෙනවා. වෙද මහත්තයාගේ ගෙදර කුප්පි ලාම්පුවක් දැල්වෙනව වගේත් පේනවා. අපි දෙන්නාට හිටියෙ උඩ ඉන්න දෙවියො විතරයි. වැස්ස ටිකක් අඩු වුණාම අලි රංචුව වැව පැත්තට පියමං කළා. ඒ වෙද මහත්තයාගේ බිරිය තමයි ඒ කාලේ ගමේම වින්නඹුකම කළේ. ඩබ්ලිව්.ටී.එස්. විජේතිලක මිනින්දෝරු මහත්මයා දැනට ගාල්ල තලගහ ප්‍රදේශයේ පදිංචි වී සිටිනවා”
ජානකී කොඩිසිංහ මිනින්දෝරුවරිය දැනට පදිංචි හෝමාගම ප්‍රදේශයේය. යාල වනෝද්‍යානයේ ගෙවුණු සිය මිනින්දෝරු ජීවිතයේ ත්‍රාසජනක අත්දැකීමක් ඇය විස්තර කළේ මෙලෙසය.
"අපේ මැනීම් කටයුත්ත තිබුණේ මැණික් ගඟෙන් එගොඩ වී යාල කැළය ඇතුළේ. උදේම අපි වැඩට යන්නේ ජීප් එකෙන්. මැනුම් සහායක කණ්ඩායම ට්‍රැක්ටරයෙන් එනවා. වාහන මැණික් ගඟ එගොඩ වෙලා යන්නෙ. අපිත් එක්ක ෂිකාරේ හෙවත් වෙඩික්කරුත් යනවා. මගේ මැනීම වුණේ අඳබිසෝවැව කියන ගරා වැටුණු වැව ප්‍රතිසංස්කරණය සඳහා වන කාර්යය. මේ වැව හදන්නෙ සත්තුන්ට වතුර බොන්න. දවසක් අපි වැඩ ඉවර කරලා ආයිත් කෑම්ප් එකට එනකොට හොඳටම හවස් වෙලා. පුරුදු විදිහට ජීප් එක මැණික් ගඟට බැස්සුවා. උදේට වඩා වතුර හොඳටම වැඩියි. ජීප් එක එගොඩ කරගන්න බැරි වුණා. පසු පසින් ට්‍රැක්ටරය එනවා. එකවරම ගඟේ උඩහින් මීහරක් පැටියෙක් පාවීගෙන එනවා ජීප් එක පැත්තට. බලනකොට විශාල කිඹුලෙක්ගෙ කටේ තමයි මේ මී හරක් පැටියා පාවීගෙන එන්නෙ. ට්‍රැක්ටරේ හිටිය අපේ මැනුම් සහායක කණ්ඩායම ජීප් එක ළඟ හිරවුණු කිඹුලාට තඩිබාන්න ගත්තා. කිඹුලා, මීහරක් පැටියා කටින් අතහැරියා. මීහරක් පැටියා කැළය දෙසට රිංගුවා."
ජානකී කොඩිසිංහ මිනින්දෝරුවරියගේ සැමියා ද මිනින්දෝරුවරයෙකි. ඔහු ආනන්ද මාතරාච්චි ය. උතුරු කළුතර පදිංචි ඩී. ලසන්ත හේවාගම බලයලත් මිනින්දෝරුවරයා ද සිය අතීතය ස්මරණය කළේය.
"හම්බන්තොට දිස්ත්‍රික්කයේ පල්ලෙමලල වැව ළඟ තමයි මගේ කෑම්ප් එක තිබුණෙ. එදා කරුවල වැටීගෙන එනකොටම හැමදාම වගේ කෑම්ප් එක ඉස්සරහ ගිනිමැලයක් ඇවුළුවා. හතර වටේම කෑලි කපන්න තරම් කරුවල. කාලයක් තිස්සේ අපේ කෑම්ප් එකට බොන වතුර ගෙනත් දුන්නෙ එතනා ආච්චි. එතනා එදාත් වතුර බූලිය අරගෙන එනවා ගිනිමැලය තුළින් මටත් පෙනුණා. ඒත් කළුගල් පෙළක් වගේ එහා මෙහා වෙන අලි රංචුව හරිහැටි අපි දැක්කෙ නෑ. ගිනිමැලය පෙනි පෙනීම අලියකු එතනා උස්සා පොළොවෙ ගැහුවා. මර හඬ දීගෙන ඒ මොහොතේම අපිට පෙනෙන නොපෙනෙන දුරදී එතනා අවසන් ගමන් ගියා"
ඔහු සංවේගයෙන් එසේ කියද්දී දශක පහකට ආසන්න සිය වෘත්තීය මතකය අවදි කරමින් ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචි බලයලත් මිනින්දෝරු පර්සි විජයසිංහ ද මේ කතාබහට එක්විය. එවක පර්සි ගේ සේවා ස්ථානය වූයේ යටියන්තොට ප්‍රදේශයේ කිතුල්ගල ය.
"මම ඒ වෙනකොට අක්කර 200ක විතර එන්සල් යායක් මැනීම් කළා. වැඩ ඉවර වෙලා හවස් වෙලා කෑම්ප් එකට ඇවිදගෙන එන ගමන් කැළය ඇතුළෙන් සර සර ගාලා සද්දයක් ඇහෙන්න ගත්තා. ලොකු පොළඟෙක් අපි එන අඩිපාරට වේගයෙන් පැන්නා. ඌ පස්සෙන් එලවගෙන ආපි තඩි වල් ඌරෙක්. පොළඟා එක පාරටම රිටක් වගේ කෙළින් වුණා. හරියටම අඩිපාර මැද ගහක් වගේ. වල් ඌරා ඌ පහුකරගෙන ඉදිරියටම දිව්වා. පොළඟා ඒ වල් ඌරාගෙන් බේරෙන්න කළ උපායක්."