
මේ දිනවල ක්‍රීඩාවට උදාවී ඇත්තේ වාසනාවන්ත කාලයකි. රටේ කෙතරම් ගැටලු තිබුණද රටේ තොටේ දැන් දැන් වැඩිපුර කතා බහට ලක්වන්නේ අප ලැබූ ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ගැනය. පසුගිය දිනවල කාගෙත් අවධානයට ලක් වූයේ ගාල්ලේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්තානුවන් පරාජය කළ ටෙස්ට් තරගය ගැනය. තෙල් පෝලිම්වල හා ගෑස් පෝලිම්වල සිටි ජනතාව අතරත් ඒ උණුසුම අඩුවූයේ නැත. දැන් ඒ ක්‍රීඩා උණුසුම ඇත්තේ තිබුණාටත් වඩා ඉහළින්ය.
මේ කියන්නේ පසුගිය හතරවෙනිදා පාන්දර දෙකකුත් ගාණට අපේ රටේ ක්‍රීඩාවට ලැදි වැඩි පිරිසක් අවදිව සිටීම ගැනය. ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තිබූ දශක දෙකක පදක්කම් ඉඩෝරයට තිත තබා යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගැනීමේ තරගය ගැනය. නින්දට ගිය පිරිසත් ඒ ගියේ පාන්දර දෙකට වදින ආකාරයට ජංගම දුරකතනයේ එලාමය සකස් කරගෙනය. ඇතැමුන් ඒ මොහොතේ තමා අවදි කරන්නැයි හිතමිතුරන්ට කියා තිබිණි. එහෙත් බොහෝ අයට එය අමතකව ගියේ තරගය ගැන කුතුහලය හා උනන්දුව නිසා වන්නට ඇත.
මේ 27 හැවිරිදි දිරිය සම්පන්න ක්‍රීඩකයා පසුගිය මාස කිහිපයේ බොහෝ යුරෝපා රටවල තරග පිට තරග දිනා ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන පිටිය වටා දිව ගියේ මේ පදක්කම් ඉඩෝරය නිමා කිරීමේ එකම අරමුණ ඇතිවය. ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයීය තරග බිමට පිවිසියේ ඒ ඉලක්කය පෙරදැරිවය. එබැවින් අධිෂ්ඨානය සහ නොපසුබස්නා උත්සාහයට මෑත කාලයේ යුපුන් තරම් තවත් නිදසුනක් නැති බව අවිවාදිතය.
ශ්‍රී ලාංකේය ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක පොදුරද මඬුලු පදක්කම් වේදිකාවකට නැග්ගේ වසර 24කට පසුවය. පළමුවරට සහ අවසන් වරට මේ දස්කම පෙන්නුම් කරනු ලැබුවේ 1998 මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර පැවැති පොදුරද මඬුලු ක්‍රීඩා භූමියේදී රිදී පදක්කම දිනූ ශ්‍රියානි කුලවංශ සහ ලෝකඩ පදක්කම දිනූ සුගත් තිලකරත්න විසිනි.
යුපුන් අබේකෝන්ගේ ඓතිහාසික පොදුරද මඬුලු පදක්කම තත්පර 10.14ක කාලයකින් තීරණය වූවද, ඒ සඳහා ඔහු පැමිණි ගමන්මඟට ඇත්තේ දීර්ඝ කාලපරිච්ඡේදයකි. මුලින්ම ඔහු මේ වසරේ මුල් භාගයේදී මෙරටින් බිහිවූ තවත් විශිෂ්ට කෙටිදුර ධාවකයකු වන හිමාෂ ඒෂාන්ගේ ශ්‍රී ලංකා වාර්තාවත්, දකුණු ආසියා වාර්තාවත් බිඳ දැමුවේය. ජර්මනියේ ඩොසෙව් නුවර පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව ඔහු නිමා කළේ තත්පර 10.16කිනි. ඒ අනුව හිමාෂ විසින් තබනු ලැබූ තත්පර 10.22ක ශ්‍රී ලංකා වාර්තාවත්, දකුණු ආසියා වාර්තාවත් බිඳ දැමීමට ඔහු සමත් විය. මීට වසර දෙකකට පෙර හිමාෂ කොළඹ පැවැති ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී එම ශ්‍රී ලංකා වාර්තාව තබා තිබූ අතර, එය 2016 වසරේ ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියා ක්‍රීඩා උලෙළේ ඔහු විසින්ම තබනු ලැබූ වාර්තාව බිඳ දැමීමක්ද විය. අනතුරුව පසුගිය මාසයේ ස්විට්සර්ලන්තයේ පැවැති 42 වැනි රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 තත්පර 9.96කින් නිමා කරමින් ආසියාතික ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම කාලය සටහන් කිරීමට ඔහු සමත් වූයේ ආසියා කලාපයේ සියලුම මීටර් 100 ධාවන ඉසව්වේ වාර්තා තම නමට ලියා තබමිනි. එය දකුණු ආසියා ක්‍රීඩකයකු තත්පර 10ට වඩා අඩුවෙන් මීටර් 100 තරග ඉසව්ව නිමා කළ පළමු අවස්ථාව ලෙසත් වාර්තාපොතට එක් වූ අතර, යුපුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාව බවට ද එය පත් විය. මෙවර පොදුරද මඬුලු මීටර් 100 අවසන් තරගයට එක්වී සිටි ඔස්ට්‍රේලියා ක්‍රීඩක රොහාන් බ්‍රවුනින්ද එම තරගයට සහභාගි වූ අතර, ඔහුට හිමිවූයේ පස්වැනි තැනය.
මෙදා පොදුරද මඬුලු තරග බිමේ යුපුන් සමග මීටර් 100 අවසන් තරගයට එක් වූ ක්‍රීඩකයන් 7 දෙනාම ඔවුනොවුන්ගේ රටවල පමණක් නොව ඔවුන්ගේ රටවල් අයිති මහද්වීපවලත් නොම්මර එකේ ක්‍රීඩකයෝ වෙති. එම සියලු ක්‍රීඩකයන් තත්පර 10 සීමාව අසල සිටින්නෝද වෙති. එහෙත් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ කිසිදු දත්ත වාර්තාවක් යුපුන්ගේ ඉලක්කයට අභියෝගයක් නොවීය. ඇරත් ඉන් බොහෝ ක්‍රීඩකයන් මේ වසරේ මුල් භාගයේ සිට යුපුන් වාර්තා තැබූ මීටර් 100 තරග ඉසව්වලදී ඔහුගේ ප්‍රතිවාදිහු බවට පත්ව සිටියහ.
පොදු රදමඬුලු මීටර් 100 රන් පදක්කම දිනූ කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන්යාලා තත්පර 9.77ක හොඳම පෞද්ගලික කාලයක් වාර්තා කළ අප්‍රිකා කලාපයේ විශිෂ්ටතම කෙටි දුර ධාවකයාය. ඔහු මේ තරගයට එක්වෙද්දී යුපුන් හමුවේ වතාවක් පරාජයට පත්ව අප්‍රිකා කලාපයේ සියලු මාධ්‍යවලින් දැඩි විවේචනයට ලක් වූ ක්‍රීඩකයකුද වේ. එය සිදු වූයේ පසුගිය මැයි මාසයේ ජර්මනියේ ඩෙසව් නුවරදීය. එදින යුපුන් මීටර් 100 තත්පර 10.06කින් නිමාකර පළමු ස්ථානය අත්කර ගනිද්දී ඔමන්යාලාට හිමි වූයේ දෙවැනි තැනය. ඔහු වාර්තා කළ කාලය තත්පර 10. 14ක් විය. ජාත්‍යන්තර කෙටි දුර ධාවකයන් අතර ඉදිරි පෙළ පසු වන විශිෂ්ටතම ක්‍රීඩකයකු වන ඔමන්යාලා කෙන්යාවේ පමණක් නොව අප්‍රිකා කලාපයේදි වේගවත්ම මිනිසාය. ඔහුගේ
අභිමානය එදා බිඳ වැටුණු මොහොතේ යුපුන් අසලට පැමිණ ඔහු සිප වැලඳගෙන සුබපැතූ අයුරු ක්‍රීඩාවේ මහත්මා ගුණයට කදිම නිදසුනක්ද විය. කෙන්යාවේ හා අප්‍රිකාවේ බොහෝ පුවත්පත් ඊළඟ දිනයේ සිය ක්‍රීඩා පිටුවේ පොල්ගෙඩි අකුරින් සටහන් කර තිබුණේ අප්‍රිකාවේ වේගවත්ම මිනිසා ශ්‍රී ලංකාවේ යුපුන්ට පරාජය වේ යනුවෙනි. මේ වසරේ තරග වාරයේදී ඔමන්යාලා මීටර් 100 පරාජයට පත් වූ පළමු අවස්ථාව ද එය විය.
බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී යුපුන්ට රිදී පදක්කම මඟහැරුණේ අන්තිම නූලෙනි. යුපුන්ගේ කාලය තත්පර 10.14ක් වෙද්දී රිදී පදක්කම දිනූ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින් වාර්තා කළ කාලය තත්පර 10. 13කි. සිමිබින් අවසන් වරට ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හි පැවැති පොදුරද මඬුලු මීටර් 100 රන් පදක්කම්ලාභියා ද වේ. ඔහු මේ වසරේ මුල් භාගයේ චෙක් ජනරජයේ පැවැති ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරග බිමේදීත් යුපුන් සමඟ කරට කර තරග කළ අතර, එදිනත් යුපුන් අබිබවා ගියේ කෙස් ගහක කාලපරාසයකිනි. යුපුන් තත්පර 10. 08කින් තරගය නිමා කරමින් පස්වැනියා වෙද්දී, සිම්බින් තත්පර 10.06කින් තරගය නිමා කරමින් සිව්වැන්නා බවට පත්විය. මේ තරගයේදී ලෝක කෙටිදුර ධාවන තරග බිමේ සුපිරි ක්‍රීඩකයකු වන ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් තුන්වැනි තැනට පත් විය.
2015 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා ඉතාලියේ පදිංචියට ගිය යුපුන් සිය මවුබිමෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරක සිට පුහුණුවීම් සිදු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ අභිමානය උදෙසාය. ජාත්‍යන්තර කෙටිදුර තරග බිමේ ශ්‍රී ලංකා ජාතික ධජය එසැවීමටය. ඔහුගේ මීළඟ ඉලක්කය ඔලිම්පික් පදක්කමකි.
ඔලිම්පික් පදක්කමක් කරා යෑමේ යුපුන්ගේ මීළඟ ඉලක්කයට අවශ්‍ය වන්නේ මිලියන 22කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ගේ දිරිය ශක්තිය පමණි. ඉතිරිය ඔහු අතය.
තත්්පර 10ට අඩුවෙන් මීටර් 100 දුවන්න අවුරුදු 3ක් තිස්සේ පුදුම කට්ටක් කෑවා
යුපුන් සිළුමිණට කියන කතාව
ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා වංශකතාවේ අලුත් පරිච්ඡේදයක් ආරම්භවී ඇත. ලොව වේගවත්ම මිනිසුන් අතරට ශ්‍රී ලංකාවෙන් මිනිසකු බිහිවී ඇති බව ඒ අලුත් පරිච්ඡේදයේ ආරම්භක සටහනය. බර්මින්හැම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ඔල්වරසන් හඩ මැද ශ්‍රී ලංකා ධජය ඉහළට එසැවූයේ ශ්‍රී ලංකා කඟවේනාගේ ගෙලට පදක්කම් පැලදීමත් සමගය.
එදා මෙදා තුර වසර 92ක පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා බවට පත්වූ යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් ගෙන දෙමින් ලෝක මලල ක්‍රීඩාවේ විශාල අවධානයක් දිනා ගෙන හමාරය.
ටෝකියෝ ඔලිම්ලපික් උලෙළට එක්වූ යුපුන් තත්පර 10. 32කින් සමස්ත ක්‍රීඩකයන් 63ක් අතුරින් 42වැනියා බවට පත්විය. එයින් වසරක් ගෙවෙද්දී යුපුන් එම ක්‍රීඩා උලෙළට පමණක් දෙවැනි වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී විශාල ප්‍රගතියක් අත්කර ගත්තේය. වෙන්නප්පුව සාන්ත ජෝශප් විදුහලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූ යුපුන් මේ වසරේ ආසියාවේ හොඳම කාලය වාර්තා කරමින් තම ශක්තිය ලෝකයා හමුවේ ඔප්පු කර හමාරය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම තත්පර 10. 14කින් දිනා ගැනීමෙන් අනතුරුව ‘සිළුමිණ‘ සමඟ කෙටි කතාබහකට අපේම සම්පතක් වූ යුපුන් අබේකෝන් මෙසේ එක් වූවේය.
වසර 24කට පසු ශ්‍රී ලංකාව මේ ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා ගත්තේ. කොහොමද ඒ ගමන් මඟ?
“ඒක විශාල කැප කිරීමක ප්‍රතිඵලයක්. ඇත්තටම අප කණ්ඩායමක් හැටියට ඉතාලියේ පුහුණු වුණේ. මෙතැනට එන්න කළ කැපවීම දන්නේ අප විතරයි. මම බර්මින්හැම් ආවේ අවසන් මහා තරගයකට දුවන්න හිතාගෙන විතරයි.
මොකද අපේ ප්ලෑන් එක තිබුණේ මේ අවුරුද්දේ මේ වගේ දැවැන්ත ක්‍රීඩා උලෙළක අවසන් මහා තරගයක දුවන්න විතරයි. නමුත් පදක්කමක් ලැබුණා. ඒක මට බෝනස් එකක් වගේ. අප සැලසුම් කළ ඉලක්කයටත් එහා ගියා. මගේ පදක්කම අර්බුද මැද සිටින සියලු ශ්‍රී ලංකාවාසින්ට දෙන තෑග්ගක්.
තරගයට එනකොට ඔබේ හිතේ කුමන හෝ චකිතයක් තිබ්බද?
“ කිසිම පීඩනයක් ගන්නේ නැතිව මට දුවන්න කියා මගේ පුහුණුකරු මට උපදෙස් දුන්නා. ඔහු කිව්වේ පදක්කමක් සමග තරග අවසානයක් කරන්න පුළුවන් කියලයි. කොයිතරම් ෆ්‍රී එකේ මම දිව්වත් මානසික පීඩාව කියන දේ නැති වෙන්නේ නෑ.
මේ වගේ දැවැන්ත තරගයකට එන ඕනෑම කෙනකුට ඒ පීඩනය තියෙනවා. එහෙම නෑ කියනවා නම් ඒක බොරුවක්. කොහොම වුණත් මගේ කෝච් මට කිව්වේ ඔයා දැන් රිලීස්.
දැන් ගෝල් එකට ඇවිත් ඉන්නේ පෝඩියම් ෆින්ෂ් එකට සූදානම් වෙන්න කියලයි. මම ඒ දේ කළා. මීටර් 100 තරගයක් කියන්නේ වෙනත් තරගවලට වඩා ගොඩක් වෙනස් එකක්. තත්පරයෙන් දශමයෙන් භාගයකින් තරගයක් වෙනස් වෙන්න පුළුවන්. ඊයේ හොඳට කළාට අද වෙනස් වෙන්න පුළුවන්“
ඔබ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පසු ශ්‍රී ලංකාවාසීන් පදක්කමක් අපේක්ෂා කළා. ඒ වෙනුවෙන් ආශිර්වාද කළා. ඔබ ඒ බව දැනුම්වත්ද?
“ඔව් මම බර්මින්හැම් ක්‍රීඩා උලෙළට එද්දී මා අන්තර්ජාතික තරග කිහිපයකට සහභාගී වෙලා තත්පර 10ට අඩුවෙන් දුවලා ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකරලා තිබුණේ. මට ආදරය කරන විශාල පිරිසක් ඉන්න බව මේ තරගයට කලින්ම මම දැනන් සිටියා. ඒ අය මට ධෛර්යය දුන්නා. ඔවුන්ගේ අපේක්ෂා මා ඉටු කළා. මාව විශ්වාස කළ හැම දෙනාටම ස්තූතියි. මම ඔවුන්ට සතුට දුන්නා. මේ පදක්කම මටත් වඩා ලක් මාතාවට අති විශාල ගෞරවයක්“
ඔබ නිතර විවෘතව කතා කරන්න කැමැති කෙනෙක් බව සියලු දෙනා කියනවා. මේ ජයග්‍රහණයෙන් පසු අලුත් යමක් යන්න කැමතිද?
“කියන්න තියෙන්නේ මේක ඉබේ ලැබුණ දෙයක් නොවෙයි කියලයි. අපි කණ්ඩායමක් ලෙස කළ විශාල සැලසුමක ප්‍රතිඵලයක්. මම තත්පර 10ට අඩුවෙන් දුවන්න අවුරුදු 3ක් මහන්සි වුණා. මේ පදක්කමත් සමග මෙතෙක් මා කියපු සියලු කරුණු පිළිබඳව තේරුම් ගනියි කියා හිතනවා.
මම නිකන් කට තියෙන පළියට කියන කෙනෙක් නොවෙයි. මම කියපු කතාවල ගැඹුරු අර්ථයක් තියෙනවා. ඇතැම් අය ඇතැම් දේ වැරදියට දකින්න පුලුවන්. දහසක් කරදර බාධක මැද මා මෙඩ්ල් එකක් අරන් පෙන්නුවා. කියපු දේවල් ඇත්ත කියලා හිතෙනවා. කිසිම දේක පසු තැවීමක් නෑ.
දැන් ඔබ වේගවත් මිනිසුන් අතරේ තරුවක්. මොනවද ඉදිරි බලාපොරොත්තු?
“ පියවරෙන් පියවර ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. අපේ රටේ ක්‍රීඩාව ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන අප කතා කළ යුතුයි. ක්‍රීඩා ඇමැතිවරයා හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රීඩා උලෙළෙට කලින් මට අවශ්‍ය වුණා කතා කරන්න.
නමුත් ඒක වැළකී ගියා. ඉදිරි දින කිහිපයේදී ක්‍රීඩා ඇමැතිවරයා සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතැනදී අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ගැනයි.
මට විතරක් නොවෙයි අපේ රටේ පුංචි නංගිලා මල්ලිලා ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ඕනේ. ඒ අනාගත පරපුර වෙනුවෙන් කොහොමද සැලස්මක් හදා ගන්නේ කියන එක වැදගත්. අපට ඒක කළ හැකියි. ලෝකය ජයගත හැකියි. මම ඒක තදින් විශ්වාස කරනවා“
සටහන හා ඡායාරූප : ප්‍රින්ස් ගුණසේකර එංගලන්තයේ බර්මින්හැම් සිට