
වර්තමානයේ රටේ පවත්නා ආණ්ඩුව සහ ගොඩනැඟීමට නියමිත ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා කිරීමේදී සර්ව පාක්ෂික සහ සභාග ආණ්ඩුව යන කරුණ පිළිබඳ මූලිකව තෝරා ගැනීම වැදගත් වෙයි. එහිදී කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ පවතින ආණ්ඩුව කිසි ලෙසකින් සර්ව පාක්ෂික හෝ සභාග ආණ්ඩු නොවේ. එය පොහොට්ටුව සහ වෙනත් පක්ෂවල පුද්ගලයන්ගෙන් සමන්විත ආණ්ඩුවකි. එසේ නම් ඉතිහාසයේ සිට බැලීමේදී එවැනි ආණ්ඩුවකට කළ හැකි වැඩි යමක් නැති බව සඳහන් කළ යුතුය. වර්තමානයේ උද්ගත වූ ජනතා අරගලයත් සමඟ ජනාධිපතිවරයා ඉවත්වී නව ජනාධිපතිවරයකු පත්විය. එසේම නව අගමැතිවරයකු පත් වීම ද සිදු විය.
මෙරට සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටවූ ඈත ඉතිහාසයට ගමන් නොකර, පසුගිය වසර කිහිපය දෙස නැවත හැරී බැලුවහොත් දෘශ්‍යමානයේ පවතින යථාර්ථය නම්, ලතින් ඇමරිකාවේ ආර්ථික අර්බුද හමුවේ මහජනතාවගේ උද්ඝෝෂණ තුළින් ඒ රටවල සිටි ජනාධිපතිවරුන් 18ක් ඉවත් කර ඇති බවයි. ලංකාව දෙස බැලීමේදී මෙය අහඹු සිදුවීමක් ලෙස ඇතැමුන් සැලකුවද 1953දී මෙරට හර්තාලයක් ඇතිවිය. දේශපාලනික අරගලය නිසා ඇතිවූ ඒ පෙරළිය අවස්ථාවේදී පුද්ගලයන් 8දෙනකු මිය ගියේ පොලිස් වෙඩි තැබීමකිනි. එම පෙරළිය නිසා හිටපු ආණ්ඩු පාලකයා සිය ධූරයෙන් ඉවත් විය. මුළු කැබිනෙට්ටුවම ඇමරිකානු නැවක සැඟවීමක් සිදුවී ඇත. එනමුත් එම අර්බුදය එනම්, හර්තාලය අවසන් වූ පසුව එවක ආණ්ඩුව අද මෙන්ම දේශපාලනික තීන්දුවක් ගනු ලැබිණි. පැවැති එම ආණ්ඩුව තුළ ප්රගතිශීලි සමාජ සංවේදීතාව සහිත පුද්ගලයන් කිහිපදෙනකු සිටියහ. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ආර්.පී.සේනානායක, එම්. ඩී. බණ්ඩා, ඒ. ඊ.ගුණසිංහ මේ පුද්ගලයන් අතර ප්‍රමුඛ විය.
එහෙත් මේ හර්තාලයෙන් පසුව පාලක පන්තියේ මානසිකත්වය වී තිබුණේ හර්තාල්කරුවන් නිසා ඉදිරියේදී රටේ පාලන තන්ත්‍රය තද මතධාරී අන්ත දක්ෂිණාංශික නායකයකු පත් කළ යුතු බවයි. ඒ මතධාරියා ලෙස ඔවුන් පත් කළේ ද එවක පැවැති සමාජ දේශපාලනික වටපිටාවට සරිලන ආකාරයට සුදුසුයැයි නිගමනය කළේද ශ්‍රීමත් ජොන් කොතලාවල ය. ඔහු පත්කර ගැනීමෙන් සිදුවූයේ 1956 සිදුවූ දේශපාලන බල පෙරළියයි. එම දේශපාලනික සිදුවීම් මාලාවම නැවත සිදු වෙමින් පවති. එදා ඒ ඉතිහාසයේ සිදුවූ දෝංකාරය කොතරම්ද යත් 1953 වසරේදී බලය අත්කරගත් සර් ජෝන් කොතලාවලගේ උපදේශකයා වූයේ වත්මන් ජනාධිපතිවරයාගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ ය. ඇත්ත වශයෙන්ම එවකට ආණ්ඩුව සමාජ සංවේදී නායකයකු පත් ගැනීමට තිබූ අවස්ථාවේදී පත් කර ගනු ලැබූයේ වඩාත් දැඩි මතධාරියෙකි.
සම්මුතිවාදී ආණ්ඩුවක් යනු ජනතාව සමඟ සම්මුති ඇති කරගන්නා වූ ආණ්ඩුවක් බිහි කිරීමයි. එය කළ හැක්කේ ජනතා පරමාධිපත්‍යය උරගා බලන මහජන ඡන්දයෙනි. මගේ අදහස ජනාධිපතිවරයාට හෝ මේ පවතින ආණ්ඩුවට එවැනි සම්මුතියක් නැති බවයි. ජනතාව සමඟ සම්මුතියක් පවතීද නැතිද යන කරුණ වටහා ගත හැක්කේ මහ මැතිවරණයකින් හෝ ජනාධිපති මැතිවරණයකින් පමණයි. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් සමඟ සම්මුති ඇති කරගනිමින් සම්මුති ආණ්ඩුවක් යැයි කිව නොහැකිය.
පක්ෂ නායකයන්ට හෝ පක්ෂ නියෝජිතයන්ට මන්ත්‍රීවරුන්ට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කළත් පක්ෂ නායකයන් සහයෝගය දෙන ජනතාව එයට ප්‍රසාදය දක්වන්නේද යන ගැටලුවට වඩා වැඩි යථාර්ථයක් මේ තුළවෙයි. උදාහරණ ලෙස 2005 වසරේදී ඇති වූ ආණ්ඩුවේ බලය තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතරය කැඩී වෙන්වීමක් සිදුවිය. අවසානයේ එජාපයේ සියලුදෙනා සමඟි ජන බලවේගයට එකතු විය. කිනම් නායකයන් කුමන කරුණකට එකඟ වුවත් තමන්ගේ පාක්ෂිකයන් සහ ඡන්ද දායකයන් එකඟ නැතනම් එයින් ඵලක් නැත. ආණ්ඩුවට එක්වීමට තනි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලුම කළත් පක්ෂ වශයෙන් ඉල්ලීම කළත් ගැටලුවක් නැත. ඒ ඇරයුම යොමු කළ යුත්තේ 19 වැනි සංශෝධනය ගෙනැවිත් එය සම්මත කරගත් පසුවයි.
තමුන්ගේ යුක්ති යුක්ත භාවයක් ප්‍රතිස්ථාපිත කරගනිමින් මෙවැනි ආරාධනා කළ යුතුය. ජනවරමක් නැති නායකයකු කරන ඇරයුමක් අනුව මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් ගියත් මහජනතාවගේ මතවාදයන් අද ගොඩනැඟී ඇත්තේ වෙනම තැනකය.ඒ අනුව සසඳා බැලීමේදී 2020 අගෝස්තු 20 දි එක්සත් ජාතික පක්ෂට සිදුවූ දෙයම එසේ නැතිනම් 2018 ශ්‍රීලනිපයට සිදුවූ සංසිද්ධියම සිදුවීමට බොහෝ ඉඩ කඩ ඇත. මේ වනවිට පොහොට්ටුවේ පවතින ජනවරම අරගලය නමැති මහ ජනතා නැඟිටීමෙන් පිපිරීයෑමක් සිදුව ඇති බව පෙනෙයි. එසේම ඉතිහාසය දෙස බැලීමේදී 1952 වසරේ ආණ්ඩුව මහජන ඡන්දයෙන් පත්වුවත් 1953 හර්තාලයෙන් එහි ජන පදනම පුපුරා දැමීමට සමත් විය. ඒ වරම පවතිතැයි අනුමාන කරමින් ආණ්ඩුව සර් ජොන් කොතලාවල පත්කර ගැනීම සිදුවුවත් එය සාර්ථක වීමක් දක්නට නොලැබිණි. වත්මන් මේ ආණ්ඩුවේ පාලක පක්ෂයට ඒ ජනවරම අහිමි බව 1956දී මැතිවරණයේදී සිදුවූ සමාජ දේශපාලනික පෙරළියෙන් ඉතා පැහැදිලිව දක්නට ලැබිණි. මේ වත්මන් ආණ්ඩුවත් පවතින දේශපාලනික වටපිටාව තේරුම් ගැනීම ඉතා වැදගත්ය. තමන්ට පවතින ජන්ද පදනම රැකගෙන නැවත දේශපාලනය කරන්නේ කෙසේද යන්න යන කරුණ පිළිබඳ ඉතා කඩිනමින් තීරණය කළ යුතුය.
මෙහිදී සුවිශේෂ කරුණක් නම් ඩලස් අලහප්පෙරුම මේ බව වැටහීම නිසා පසුගිය කාලයේ ජනාධිපති නිලවරණයට ඉදිරිපත් වීමෙන් එතුමා විසංවාදී දේශපාලනික චරිතයක් ලෙස පොහොට්ටුව තුළ මතුවිය. පොහොට්ටුව පක්ෂය ද එතැනදී 1953 වසරේදී එක්සත් ජාතික පක්ෂය හර්තාලයෙන් පසුව කළ ආකාරයට වඩා ප්‍රතිගාමි නායකයකු තෝරා ගැනීම සහ වඩා ප්‍රගතශිලි නායකත්වයක් ප්‍රතික්ෂේප කිරීම සිදුවිය. ඒ අනුව මා කලින් සඳහන් කළ ආකාරයට මේ අවස්ථාවේ පොහොට්ටුව පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ යුතු වන්නේ අනාගත දේශපාලනික බලය රැකගැනීමට නම් ඉතිහාසයේ දේශපාලනික විපර්යාසයන් සිදු වූ ආකාරය තේරුම් ගෙන ඊට පෙර ජනමතය රැකගැනීමට කටයුතු කිරීමයි. එනම්, ඒ අත්දැකිම් පුර්වාදර්ශයට ගෙන විය යුතු දේ අනුව ක්‍රියාකිරීමයි. එනම්, වඩාත් සවිස්තරාත්මකව විග්‍රාහකළ හොත් මීළඟට පවත්වන මැතිවරණයකදී යම් ජනතා වරමක් ලබා ගැනීමට නම් දේශපාලන ක්‍රියාකාරීන් යම් දේශපාලනික ස්ථාවරත්වක් සකස් කරගැනීමට නම්, නැවත දේශපාලනයට පැමිණිය යුතු නම් සහ දේශපාලනික ජිවිතය අවසන් නොකර ගැනීමට නම්, යම් ආකාරයකට වෙනම විසම්මුතිවාදි තැනක සිට ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නොමැති නම් මධ්‍යවාම අවකාශයක රැඳිය යුතුය.
මෙහිදී වර්තමානයේ පිහිටුවීමට අපේක්ෂිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ කතා කිරීමේදී එවන් ආණ්ඩුවක් ගොඩනැඟීම බොහෝ දුෂ්කර ක්‍රියාවකි. එය ඉතා අසීරු කාර්යකි. මේ මොහොතේදී ජාතික මට්ටමේ කිසිදු පක්ෂයක් එනම්, ප්‍රධාන ප්‍රවාහයේ පවතින කිසිදු දේශපාලන පක්ෂයක් මෙවැනි ව්‍යාපෘතියකට එකඟතාව දක්වයිද යන්න ගැටලුවකි. ප්‍රධාන ප්‍රවාහයේ යනුවෙන් මා මෙතැනදි අදහස් කළේ, යම් කිසි ජනපදනමක් සහිත පක්ෂයක් යන්නයි. එවන් පක්ෂයක් මෙවැනි ව්‍යාපෘතියකට එකතු වුවහොත් එය කිසිදු ලෙසකින් සර්ව පාක්ෂික හෝ බහුපාක්ෂික ආණ්ඩුවක් නොවෙයි. එසේ නම් මෙහිදී අවසානයේදී ඉතිරි වන්නේ පොහොට්ටුව පක්ෂ සහ කුඩා පක්ෂ සහ ජනප්‍රිය පක්ෂවල පතුරුය. අද පවතින තත්ත්වයත් එයයි. යම් වෙනසක් සිදුවන්නේ නම්, මීට වඩා තව කැපී පෙනෙන දේශපාලන චරිත දෙකක් තුනක් මේ ආණ්ඩුවට එකතු විය හැකිය.
එකිනෙකට ඇමිණුමක් තිබුණත් එය සර්ව පාක්ෂික හෝ බහු පාක්ෂික හෝ ජාතික, සභාග ආණ්ඩුවක් බවට පත් නොවෙයි. මෙහිදි වඩාත්ම වැදගත් කරුණ නම්, ඉතාම දුෂ්කර ආර්ථික අර්බුදයක් තුළ ජනතාවට පිළිගත හැකි ජනප්‍රිය ආණ්ඩුවක් නොමැතිව සහ ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යැයි කියමින් පවතින ආණ්ඩුව හෝ පවතින පාලකයන් ඉදිරිපත් කළ හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ ජනතාව පිළිනොගන්නා තත්ත්වයක් අනිවාර්යෙන් නිර්මාණය වී තිබීමයි. සරලව කිවහොත් දැවන්ත ආර්ථික අර්බුදය නිර්මාණය කළේ රටේ වැඩ කරන ජනතාව හෝ තමන්ගේ ශ්‍රමයට වැටුපක් ලබන ජනතාව නොවෙයි. එසේ නොමැති නම් තමන්ගේ ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන දේ විකුණා ජීවත් වන ජනතාව හෝ නොවෙයි. වැඩ කරන ජනතාව මේ ආර්ථික අර්බුදයට කිසිසේත් වගකිව යුතු නැත. එසේ වගකිව යුත්තේ අනුගාමි වශයෙන් මේ රටේ ආණ්ඩු කරවන ලද පුද්ගලයන්යට, විශේෂයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එතුමාගේ ආණ්ඩුව සහ ඊට පෙර තිබූ යහපාලන ආණ්ඩුවයි. එවකට ආණ්ඩුව විසින් ඩොලර් බිලියනයක ණයක් යහපාලන ආණ්ඩු සමයේදී ලබාගෙන තිබිණි. පවතින ආණ්ඩුවේ ද ඉකුත් ආණ්ඩු දෙක යටතේ කැබිනට් ඇමැතිධූර දරන ලද පුද්ගලයෝ වෙති. එවැනි පුද්ගලයන් විසින් ආර්ථික අර්බුදයකට රට ගෙන ගොස් ඉන් අනතුරුව අර්බුදයෙන් එළියට පැමිණිමට සූත්‍රයක් ඉදිරිපත් කරතැයි විස්වාස කළ නොහැකිය යන මතය ජනතාව තුළ වෙයි. කළ යුතු දේ කළ යුතුව තිබුණේ මින් පෙරයි. මේ අර්බුදය නිර්මාණය කරන ලද පුද්ගලයන් සමූහයක් එකතු වී අර්බුදය නිර්මාණය නොකරන ලද වැඩ කරන ජනතා කේන්ද්‍ර කරගත් මහජනතාව මත ආර්ථික බර පටවා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මඟ එය යැයි කියූ පමණින් එවැනි කිසිදු ආණ්ඩුවක් පිළිගැනීමට මහජනතාව එකඟ නොවෙයි. ඒ නිසා ඊළගට ආර්ථික අර්බුදය තුළ නිර්මාණය විය යුතු ආණ්ඩුව නිර්මාණය වීමට නම් අනිවාර්යෙන්ම හැකි ඉක්මනින් මැතිවරණයකට යා යුතුය. ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා ජනප්‍රිය ආණ්ඩුවක් බලයට පත්විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයකි. පවතින ආණ්ඩුව ඉදිරිපත් කරන කිසිම දේකින් මහජනතාව සැහිමකට පත්වන බවක් නොපෙනෙයි. උදාහරණ ලෙස මින් පෙර එක් වියැතිරේක අවස්ථාවකදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීමෙන් පසුව එවකට හිටපු අගමැති ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඡන්දයකින් තොරව පත් කරනු ලැබිණි. ඩී. බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුවට පත්වූයේ මහ මැතිවරණ දෙකින්ම තමුන්ගේ ආසනය ජයග්‍රහණය කරමිණි. 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඩී.බී. විජේතුංග මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළ මනාප ප්‍රමාණයකින් ජයග්‍රාහණය කරන ලදී. මහජන ප්‍රසාදයක් සහ ජනවරමක් සහිත පුද්ගලයකු අගමැති ලෙස සිටිමින් ඉන් පසුව හිටපු ජනාධිපති ප්‍රේමදාසට සිදුවූ ඛේදජනක තත්ත්වය තුළ ඩී. බී. විජේතුංග පාර්ලිමේන්තුව විසින් පිළිගෙන ජනාධිපතිවරයා බවට පත්විය. ලක්ෂ 69කින් ජනබලයට පත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පලවා හැරීමට තරම් මහජන මතයක් මහජන ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශයට පත්වී දේශපාලන ඍජු මැදිහත් වීමත් සමඟ මහජන විඥානය තුළ මහජන ජන්දයකින් පත් නොවූ පාලකයකුට ස්ථාවර පාලනයක් ගෙන යෑමට හැකියැයි සිතීම ද යම් මනෝරාජික සිතුවිල්ලකි.
එසේම මේ වන විට එජාපයෙන් ජනාධිපතිවරයා ද පොහොට්ටු පක්ෂයෙන් අගමැතිවරයකු ද පත්වී ඇත. එම අගමැති යම්කිසි කීර්තිනාමයක් පවතින අගමැතිවරයකු වන අතර ඒ තත්ත්වයද කොතෙක් දුරට ඉදිරියේදී පවතියිද යන්න දේශපාලනික වටපිටාව දෙස බැලීමේදී පැහැදිව සඳහන් කළ නොහැකිය. ඔහුගේ පියාගේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී ලංකාවේ මාක්ස් වාදයේ පියා ලෙස විරුදාවලිය ලද චරිතයකි.
ආර්ථීක අර්බුදය තුළ යම් කිසි සමාජ ස්ථාවරත්වයක් ඇති කිරීමට නම් හැකි වහාම ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් පැවැත්වීම වැදගත්ය. ඒ සඳහා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එවැනි ප්‍රතිපාදනයන් නිර්මාණය කර එම ව්‍යවස්ථා සංශෝධනය තුළට මේ ප්‍රශ්නයට පිළිතුරක් ඇති කීරීමේ හැකියාවක් ඉතා පහසුවෙන් කළ හැකිය. 22 ව්‍යවස්ථා සංශෝධනය තුළට වහාම මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් ඇති කිරිමට සුළු වෙනස් වීම ද ඇතුළත් කළ යුතුයි. නමුත් මේ කිසිවක් නොකළහොත් සිදුවන්නේ ලංකාව අත් විඳ නොතිබුණ ආර්ථික අර්බුදය නැමැති ගින්දර යටින් තිබියදි දේශපාලන හස්තය පිපිරියෑම හෝ පිටාර ගැලීමයි. වහාම ප්‍රජාතන්ත්‍රීය මහ මැතිවරණයක් තුළින් ජනතාවට පිළිගත හැකි පුද්ගලයන් පත් නොවන්නේ නම්, ජනතාවට පිළිගත නොහැකි පාලනයක් තුළින් ඊනියා විසඳුම් ඉදිරිපත් කරන්නේ නම්, පවතින ආර්ථික අර්බුදයට කිසි ලෙසකින් වගකිව යුතු නැති මහජනතාව ප්‍රතිචාර දක්වන බව පැහැදිලි කරුණකි.