
අන්තර්ජාලයේ ඇති විකට වැඩසටහනක ඇත්තේ 80 දශකයේ රූපවාහිනී විකට වැඩසටහනකි. විකට වැඩසටහනට තේමාවී ඇත්තේ සංගීත කණ්ඩායමකි. මියුසික් ගෘෘප් එකේ ලොක්කා බෑන්ඩ් ලීඩර්ට බණින්නේ පසුගියදා පැවති මඟුල් ගේක පැවැත්වූ සංගීතයට මනාලියගේ පැත්තෙන් විරෝධතා එල්ල වීම ගැන.
“තමුසෙලා එතකොට වෙඩින් එකේ නැඟලා යන සින්දු ගැහුවේ නෑ” කියලා මනමාලිගේ පැත්තෙන් කියන්නේ? මියුසික් ගෘෘප් ලොක්කා අසයි.
“පිස්සුද සර්, අපි ගැහුවෙම නැඟලා යන සින්දු. බරබාගේ බරබාගේ සී.ටී. ප්‍රනාන්දුගේ සිංදුව මුලින්ම ගැහුවා.”
“එතකොට වෙන මොනවද ගැහුවේ ?”
“ඇයි සර් ඊළඟට ගැහුවේ වින්සන‍් ද පෝල්ගේ
“බයිසිකලේ
බයිසිකලේ
දුප්පත් අපගේ බයිසිකලේ”
සර්, ඉතින් දෙකම නැඟලා යන වාහන ගැන සින්දු නොවැ.
වින්සන් ද පෝල්ගේ බයිසිකලේ ගීතය ගයා ඇත්තේ දශක ගණනාවකට පෙරය. එම ගීතයේ තුන්වැනි පදයේ ඇත්තේ දුප්පත් අපගේ බයිසිකලේ යනුවෙනි. ඒත් ඉතින් වින්සන් ද පෝල් අද හිටියා නම් එම ගීත කොටස මෙසේ සංශෝධනය කරනු ඇත.
බයසිකලේ
බයිසිකලේ
පෝසත් අපගේ බයිසිකලේ
දුප්පත් අපගේ වාහනය බයිසිකලය වුණේ එදාය. එහෙත් අද බයිසිකලය නොහොත් පුෂ්බයිසිකලයක මිලත් එහි අමතර කොටස් - ගුවන්යානා අමතර කොටස් මිලට සමාන වී ඇති අයුරුත් දුටුවිට දැන් නිතැතින්ම පාපැදිය නොහොත් බයිසිකලය ‘පොහොසත් අපගේ බයිසිකලය’ වී හමාරය.
බයිසිකලය - පාපැදිය ආදි මොන නම් කිව්වත් පොදු ජන වහරේ මෙම වාහනය හඳුන්වන්නේ පුෂ් බයිසිකලය කියාය. සමහරු මෙයට පුට්බයිසිකලය කියාද කියති. ඉංගිරිසියෙන් පුෂ් (push) කියන්නේ තල්ලු කරන තේරුම නිසා මෙම නම වැටුණා විය යුතුය. මෝටර් සයිකලයට සිංහලෙන් කියන්නේ යතුරුපැදිය කියාය. ඒ නම වැටී ඇත්තේ යතුරුකින් ස්ටාට් කරන නිසා විය යුතුය. ඒත් දැන් පුෂ්බයිසිකලයට ‘යතුර’ නැතිවම බැරිය. යතුර අවශ්‍ය නවත්වන තැන ‘ඉබි යතුරු’ ලෑමටය. හොරු තදබල ලෙස ඉන්නා තැනක් නම් තඩි බලු දම්වැලකින් ළඟම ඇති ටැලිෆෝන් කණුවේ හෝ ගහකට තබා බයිසිකලය ලොක් කිරීමටයි දැන් සිදුවන්නේ. කුඩ්ඩෙකුට පුෂ්බයිසිකලයක් කර තබාගෙන යෑම කාබන් පෑනක් කනේ ගසාගෙන යෑමටත් වඩා සුලු දෙයක් නිසාය.
ඉස්සර තඩි ෆිනෑන්ස් කොම්පැනි ෆිනෑන්ස් දුන්නේ කාර්, වෑන්, ලොරි, බයිසිකල් ආදියටය. ඒත් දැන් පුෂ්බයිසිකල්වලට ද ෆිනෑන්ස් දෙන්නට ෆිනෑන්ස් කොම්පැනි සැදී පැහැදී සිටී. ෆිනෑන්ස් වාහනයක් වාරික නොගෙවූ විට මංකොල්ලකන ‘සියස්ලා’ ෆිනෑන්ස් ඇරියස් පුෂ්බයිසිකල් ‘සිස්’ කරපු අවස්ථාවක් නම් තවමත් වාර්තා වී නැත.
සාමාන්‍ය යෙන් දැන් උකස් තියන්නේ රත්‍රං බඩුය. ඊටත් පසු ගෙදර ෆ්‍රිජ් එක, ටීවී එක, උයන් පිහන් කන රයිස් කුකරයේ සිට පඩික්කම දක්වා උකස් ගන්නා සත්ගුණවත් ගිනිපොලී ට්‍රේන්ඩ් එකත් රටේ ඇතිවිය. දැන් මේ ගොඩටම එක් වී ඇත්තේ පුෂ්බයික්ය. එහෙව් ඩිමාන්ඩ් අයිටම් එකක් වී ඇති පුෂ්බයිසිකලේ අමතර කොටස්වල ඉහළයෑම අමුතුවෙන් කිවයුතු නැත.
පාපැදි තොග කඩ සඳහා නම් දරාපු පැත්ත කදිමට පේන්නේ ‘කයිමන් දොරකඩ’ සිට බැලූ විටය. කාලයක් ලංකාවේ පුෂ්බයිසිකල්වලට එංජින් තියන ව්‍යාපාරයක් ‘සෙලින්කෝ’ ව්‍යාපාරය අරඹන ලදී. එය හැඳන්වූයේ නිරංජන් නමිනි. පුෂ්බයිසිකලයට තැබූ එංජිම දිව්වේ 46cc පැට්‍රෝල්වලිනි.
අනූව දශකයේ මේ එංජිමක් සවිකිරීමට අය කළ මුදල රු. 18,000කි. ඒත් දැන් ඒ පැට්‍රෝල් පුෂ්බයිසිකල් ද පැදගෙන යන්නට සිදුවී ඇත.
පුෂ්බයිසිකල් දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඉලෙක්ට්‍රික් පුෂ්බයික්ය. Electric Push Bike. එහි වෙළඳපොළේ අඬුව ඇති ඉලෙක්ට්‍රික් බයිසිකලයක මිල රු. 380,000ක් රු. 480,000ක් අතරය. පැය 3ක් චාජ් කරගත් විය කිලෝමීටර් 40 සිට වටිනාකම අනුව ‘චූන්’ එකේ ගමනක් යෑමට එයින් හැකිය.
පුෂ්බයික් සඳහා බාහිරව සවි කළ හැකි විදුලියෙන් චාර්ජ් වන මෝටරයක් ද දැන් වෙළෙඳපොළේ ඇත. චාර්ජ් වන බැටරිය සහ චාජරය නැතිව යුනිට් එකක මිල රු. 80,000/=කි. චාජ් වන බැටරිය චාජරය සමඟ ගත්තොත් සම්පූර්ණ යුනිට් එකේ මිල රු. 155,000/= කි. පැය 3ක් චාර්ජ් කළ විට ගමන් කළ හැකි කිලෝමීටර් ගණන 35කි. පාපැදියේ ගමන් කරන අතර කඳුවලදී පැඩල් කරගෙන නොහොත් පැදගෙන ගොස් ඉලෙක්ට්‍රොනික් මෝටරයට සපෝට් එකක් දුන්නොත් කිලෝමීටර පණහක් පමණ එක්වරක් චාර්ජ් කළ විට ගමන් කළ හැකියි.
පුෂ්බයිසිකල්වල අමතර කොටස්වල මිල ගැන කියන්නට ගොස් මෙතරම් සටහනක් තැබීමට සිදුවූයේ පුෂ් බයික් ගැන වත්මන් තත්ත්වය සිංහලෙන් කියනවා නම් ‘අප්ඩේට්’ කරගත යුතු වූ නිසාය.
පුෂ්බයිසිකලය නිතරම අවශ්‍ය වන අත්‍යවශ්‍යම කොටස වන්නේ ටයරයයි. ආර්ථික විද්‍යාවේ ටයර් සහ ටියුබ් නිර්වචනය කරන්නේ ආබද්ද භාණ්ඩ ලෙසය. එම වචනයෙන් කියන්නේ ටයර් එකක් ගත්විට ටියුබ් එකක් ගත යුතු නිසාය.
මේ වසර ආරම්භයේ දී සාමාන්‍ය පාපැදියක ටයරයක මිල වූයේ රු. 900කටය. ඒ දේශීය ටයරයයි. එම ටයරය චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙනත් වික්කේ රු. 600කටය. සාමාන්‍ය යෙන් ටියුබ් එක තිබුණේ රු.250කටය. හොඳම තත්ත්වයේ ජපන් ටියුබ් එකක් රු.500ට අඩු මිලකට ගත හැකිය. එහෙත් අද තත්ත්වය කුමක් ද? දැන් ආනයනික ටයර්, ටියුබ් පුෂ්බයික්වලට නැත. දැන් දේශීය ටයරයක මිල රු. 4000ට ආසන්න වෙමින් පවතී. ටියුබ් එකක මිල රු.1500කට ආසන්න වෙමින් පවතී.
මේ ගැන වේල්ල වීදියේ පාපැදි අමතර කොටස් අලෙවිකරුවකු දැක්වූයේ මෙවැනි අදහසකි.
“දැන් මේ පුෂ්බයිසිකල් ටයර් ලෝකල් මොනපොලි එකක් (දේශීය කොම්පැනි ඒකාධිකාරයක්) ටයර් රටින් ගේන කාලේ අපි ඉන්දියන් චයිනීස් ටයර් ලෝකල් ටයර් එකට අඩුවෙන් දුන්නා. ආණ්ඩුවේ මේකට විරුද්ධව කතා කරන නිලධාරීන්ගේ කට මේ ලෝකල් ටයර් කොම්පැනිය සල්ලි දීලා වහනවා. දැන් වුණත් පිටරටින් ටයර් ගෙනාව නම් රුපියල් 1000ට අඩුවෙන් දෙන්න පුළුවන්.
දැන් පාපැදියක මිල රුපියල් ලක්ෂය අභිබවමින් සිටී. ඉතින් මේ වටිනා බයිසිකලය ලොක් කරන්නට ලොක් එකක් දැමිය යුතුය. චීනයෙන් ගෙනා කේබල් දමා ලොක් කරන ගැජට් එකක් කලින් තිබුණේ රු. 250කටය. දැන් එය රු.1250 – 1500 අතරය. පුෂ්බයික් ලොක් කීරීමට පසුව ජනප්‍රිය වූයේ අඩියක පමණ දිග සුදු යකඩ දම්වැලක කොනක පෑස්සූ ඉබ්බෙකි. රු.600කට පමණ තිබූ මේ ලොක් එකක දැන් මිල රුපියල් 2500 – 3000ත් අතර වේ.
පාපැදිවල ඩයිනමෝ ලයිට් මිල දැන් හිතා ගත නොහැකි මිල වැඩිවීමකි. ඩිජිටල් ලයිට් අටේ ඩයිනමෝවක්. වසර ආරම්භයේ පැවතියේ රු.800කටය. ඒත් දැන් එය රු.3000ටත් වැඩිය. පරණ තාලේ පිටුපස රෝදයට ඩයිනමෝ එක සවිකොට වයර් දෙකක් හැඬලය තෙක් ඇද තඩි ලයිට් එක පත්තුවෙන ‘පජපා චොයිල්’ ඩයිනමෝ ජපන් එකක් නම් රු.5000කටත් වැඩිය. දැන් කවුරුත් කරන්නේ TV රිමෝට් එකට දාන AAA බැටරි දාන බයිසිකල් ලයිට් එකක් සවිකර ගැනීමය. ඒත් නැතිනම් USB චාජ්වන එවැනි ලයිට් එකක් සවිකර ගැනීමය. කලින් රු.500ට අඩුවෙන් වූ මේ ලයිට් එකක් දැන් රු.2000ක් පමණ වේ. එත් බඩු නැත.
ටයර්වලට පසු බයිසිකල්වල වැඩි ඉල්ලුමක් ඇත්තේ රිම්වලටය. රිම්වලින් වඩාත් ඉල්ලුමක් ඇත්තේ සුදු යකඩ රිම්වලටය. ඊට හේතුව බල්ලන් රෝදයට මුත්‍රා කළවිට එය දිරා නොයෑමයි. රුපියල් 900 – 1200 අතර තිබූ සුදු යකඩ රිම් එක දැන් රු.3000ත් පසුකරමින් සිටී.
පුෂ් බයිසිකල් හුළං ගහන පොම්ප වර්ග 3කි. ඉස්සර හුළං පොම්පය බයිසිකලේට සවි කරන කුඩා බටයකි. ඊටත් පසු තිබුණේ බිම තබා අතින් තදකරන හුළං බටයයි. මේ කොයි එකටත් වඩා ලේසියෙන් හුළං ගසන්නට හැකි වූයේ බිම තබා පාගන හුළං පොම්පයයි. කලින් රු. 250ට වත් විකුණාගත නොහැකි වූ බයිසිකලයට සවිකරන හුළං පොම්පය දැන් රු.1200ට වැඩිය. පයින් පාගන හුළං පොම්පය රු.500 සිට රු.2500 දක්වා ඉහළ නැඟ ඇත්තේ පැට්‍රෝල් පෝලිම්වල හුළං බසින කාර්වලට ද එයින් හුළං ගැසිය හැකි ද්විත්ව කාර්ය මොඩලයක් නිසාය.
පුෂ් බයිසිකල්වලට අත්‍යවශ්‍ය අමතර කොටස් අතරින් ‘චේන්’ වල මිල ඉහළ යාම ටිකක් හෝ අඩුවී ඇත්තේ ‘රත්තරං චේන්’ වලට විතරය. රු.850ට තිබූ බයිසිකල් චේන් එකක් දැන් රු.3000කට අධිකය. ඒක ඔරිජිනල් ජපන් ෂිමානෝ නම් රු.5000ටත් ඉහළ මිලකි. මේ කියන්නේ පිටකොටුවේ මිලය. ගමට යන විට මේ මිල දෙතුන් ගුණයකින් වැඩි විය හැකිය. සමහර ඇති හැකි අය පදින ලක්ෂ 6 සිට 20 දක්වා වන පාපැදිවල ටයරයක් දැන් රු.20,000කට ආසන්නය. ඒත් රටින් ගෙන්වලා නොවේ. හංඟා තබාගෙන තිබූ ටයර්ය.
මේ අධික මිල ගැන පුෂ්බයිසිකල් ස්පෙයාර්ස් තොග වෙළෙන්දෙකුට කිට්ටු වී කරුණු විමසා සිටියේ අමතර කොටස් තොගයක් ගන්නට මිල ගණන් විමසන මුවාවෙනි.
ඉස්සර අඩි 20 කන්ටේනර් ටැංකියක් ෂිප් කරන්න (නැව්ගත කරන්න) ගියේ රු.150,000යි. ඒත් දැන් ලක්ෂ 6ක් වියදම් වෙනවා. ඉතින් බඩු ගණන් නොයා ඉඳියිද?
ඒ වුණාට ගොඩක් අය කියන්නේ මේ බඩු කොරෝනාවලටත් කලින් ගෙනාපුව. අසරණ මිනිස්සුන්ව ගසා කනවා කියලා යැයි තොග වෙළෙන්දාගෙන් අසා සිටියෙමි. තොග වෙළෙන්දා ‘මොස්ක්ටයිම්‘ (පල්ලි යන වෙලාව) කියා ආදකු මෙන් ලිස්සා ගියේය.
ඒත් ඇත්තටම මේ පුෂ්බයිසිකල් අමතර කොටස් ආනයනකරුවකු අවසානයේ අලුතින් ආනයනය කරන කොටස් මිල වැඩිවීම ගැන කරන ලද්දේ මෙවැනි හෙළිදරුව්වකි.
“දැන් ලංකවේ LC Open කරලා බඩු ඕඩර් කළාට කවුරුත් එවන්නේ නැහැ. අර, පෝර කේස් එකට චීනය ලංකාවේ බැංකුවක් Black list කරලා. බයිසිකල් බඩු වැඩියෙන්ම එන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන්. දැන් කරන්නේ සිංගප්පූරුවට හරි ඩුබායිවලට හරි සල්ලි යවල එහෙට බඩු ගෙන්නගෙන ලංකාවට ගේනවා. දැන් වියදම ඒ නිසා දෙතුන් ගුණයකින් වැඩියි. පුෂ්බයිසිකල් පොඩි ලොක්, කොග්වීල් වගේ ඒවා ප්ලේන්වල බැගේජ්වල දාලා ගේනවා. කිලෝ එකකට රු.2500 ගහනවා. ඒ කියන්නේ ලොක් එකක් රු.500කින් විතර වැඩිවෙනවා.
අපට අවසානයේ පෙනීගියේ විධිමත් රාජ්‍යය මැදිහත්වීමක් නොවුණහොත් පුෂ්බයිසිකල් අමතර කොටස් මිල ගුවන්යානා අමතර කොටස් මිලද පසුකරගෙන ගුවන්ගත වියහැකි බවය.