අර­ග­ලයේ නාය­ක­යකු වූ අන්තරේ කැඳ­වු­ම්කරු වසන්ත මුද­ලිගේ ගේ දඹානේ ගෙද­රට සිළු­මිණ ගිය ගමන | සිළුමිණ

අර­ග­ලයේ නාය­ක­යකු වූ අන්තරේ කැඳ­වු­ම්කරු වසන්ත මුද­ලිගේ ගේ දඹානේ ගෙද­රට සිළු­මිණ ගිය ගමන

 

ගෝඨා ගෝගම, නෝ ඩීල්ගම, මයිනා ගම හරහා ආණ්ඩු පෙරළන අරගලයට නායකත්වයක් දුන් එක් චරිතයක් ඔහු විය. අන්තරයේ වසන්ත, අරගලයේ වසන්ත වූ නිසා නිසාවෙන් රටම ඔහු හඳුනා ගත්තේ ය. ඔහු නමින් රජරට විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ වසන්ත මුදලිගේ ය. අරගලයෙන් රටම හඳුනන්නට කලින් අප ඔහු හඳුනා ගත්තේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වශයෙනි. වරක් වසන්ත පාර්ලිමේන්තු වටරවුමේ පැවැති කොතලාවල පනතට එරෙහි විරෝධතාවයේදී ශිෂ්‍ය සංගම් ක්‍රියාකරුවන් වන අමිල සන්දීප, චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, හේෂාන් හර්ෂණ යන පස්දෙනා සමඟින් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතවිය. තෙමසක් ගියද ඇප අහිමි වූ ඔවුන්ගේ ගතු කියන්නට පවුලේ සමීප ඥාතීන් සිළුමිණ හා සම්බන්ධ විය. එහෙත් වසන්තගේ පවුලේ කිසිදු තොරතුරක් නොවුණි. ඔහු පිළිබඳ තොරතුරක් ලැබුණේ දෙහිගොල්ල විදුහලින් අධ්‍යාපනය ලැබ රජරට විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා ගත්තකු වශයෙන් පමණි.

මාස තුනකට පසු ඇප ලැබී පැමිණි වසන්තගේ දුරකතනයට මා ඇමතුමක් ගත්තේ ඒ ගැන විමසන්නටය. “ මල්ලි මොකද කවුරුත් ඔයාගේ ගෙදර අය ගැන විස්තරයක් දන්නේ නැත්තේ...“ ඊට ඔහු පිළිතුරු දුන්නේ සිනහවෙන් පමණි. මෙවර අන්තරේ පෙරටු කොටගත් වසන්ත හිටපු ජනපති, අගමැති එළවන සටනේ ඉදිරි පෙළේම සිටියේය.

ඔහු ගැන කවුරුත් කතා කරන මොහොතක දඹානෙන් ඇසෙන්නේ වසන්ත මුදලිගේ ගැන අලුත්ම කතාවකි. ආණ්ඩු පෙරළු මේ කොල්ලා දඹානේ ආදිවාසි පරපුරෙන් පැවත එන ඒ පුවතට තටු ලැබුණේ විදුලි වේගයෙනි.

ඔහු කවුරුද? අපේ ආදිවාසීන්ගේ ගම්බිම වූ දඹානේ පදිංචි වසන්ත මුදලිගේ දෙමවුපිය වගතුග සොයා සිළුමිණ වාර්තකරු පසුගියදා දඹානට ගියේ ඇත්ත නැත්ත සොයනු අටියෙනි.

මහියංගණයේ සිට දඹාන දෙසට කිලෝමීටර් 18ක් ගියතැන දඹාන හන්දියෙන් ආදිවාසී ගම්මානයට යන පිවිසුම හමුවෙයි. දඹාන හන්දියේ සිට ආදිවාසී ගම්මානයට යන මාර්ග කිලෝමීටරයක් පමණ ගිය විට වසන්ත මුදලිගේ නිවස හමුවෙයි. නිවසට පිවිසෙන දොරකඩ කුඩා ජල පහරකින් ජලය කුඹුරු කරා ඇදෙයි. ජල පහර අසල කඩුල්ලට ලී දමා නිවසට පිවිසෙන මාර්ගය අවහිර කර තිබුණි. අප වර්තාකරු කඩුල්ල පැන නිවසට ඇතුළු වුවද කළුමැණිකා අම්මා නිවසේ සිටියේ නැත. කළුමැණිකා වසන්තගේ මවය. ඇය ආදිවාසි පරපුරෙන් පැවත එන තැනැත්තියක වුවද, වරෙක ආඩම්රයෙන් පවසා තිබුණේ තමන්ගේ පුතා වැද්දියකගේ කුසින් ඉපදුණ ද, රට පෙරළ වූ බවකි.

නිවස අසලින් වූ මාර්ගයේ ඔවුන්ගේ ඥාති නිවෙස් කිහිපයකි. ඥාතීන් හා පිළිඳරේ යෙදෙන්නට අනතුරුව අප වාර්තාකරුට හැකිවිය. “ඒ මල්ලිගේ අම්මා “කළු මැණිකා“ පහුගිය කාලේ ලෙඩින් හිටියේ. එයාට දරුවෝ 05ක් ඉන්නවා. අක්කලා දෙන්නයි. මල්ලිලා 03යි. වසන්ත මුදලිගේ කියන්නේ පවුලේ තුන්වෙනියා. ඊට පස්සේ ඉන්න මල්ලි අනුර උපාධිධාරියෙක්. එයා දැන් කසාද බැදලා මහියංගණ නගරයට ආසන්න හෝටලයක් පවත්වාගෙන යනවා. එයාටත් බාලම මල්ලි කෙනෙක් ඉන්නවා. එක පුතෙක් බැඳල දැන් ඉන්නේ තණමල්විල. තව පුතෙක් දුරක ගිහින් රස්සාවක් කරනවා. ඒත් මේ අම්මා ඒ පුතා ඉන්න ඉසව්වක් දන්නේ නැහැලු.

කළුමැණිකා නැන්දා ආදිවාසී ගම්මානයේ පදිංචි කෙනෙක්. නැන්දා කසාද බැන්ද මාම තණමල්විල පැත්තේ කෙනෙක්. ඒ කාලයේ කළුමැණිකා හරිම හැඩයිලු. තාත්තා තරුණ කාලයේ යා‍ළුවෝ එක්ක දඹානේ ඇවිත් ආදිවාසින් බලන්න. ඒ අය එද්දි කළුමැණිකා මිදුල අතු ගගා ඉඳලා තියෙනනේ. එයා කැමති වෙලා මේ හැඩකාර කෙල්ලව බඳින්න. කසාද බැදලා ගෙවල් දොරවල් හදාගෙන මෙහේ තමයි ඒ අය පදිංචි වුණේ. ඒ ඉන්නකොට ලෙඩ වෙලා තමයි ඒ මාමා නැති උනේ. දැන් අවුරුදු 15කට වඩා වැඩියි මගේ හිතේ“

දරුවෝ විවාහ වී නගරයට මංගච්චන විට, ඉතිරි තිදෙනා කරකාර බැඳ ගමින් මංගච්චද්දී කළු මැණිකා ගමේ තනිවිය. එහෙත් අදටත් ඇය තම දරුවන් වෙනුවෙන් දුක් වන්නීය. මේ අම්මා පවසන්නේ තමා වැද්දියකගේ බඩේ උපන්නද පියා තණමල්විල පුරුෂයකු නිසාවෙන් දරුවා ගැන අවතක්සේරු නොකළ යුතු බවකි.

“මේ අම්මා ගොඩක් දුක් විඳලා තමයි ඔය දරුවෝ ලොකු මහත් කළේ. සමහර දවසට මුරුංගා කොළ මයියොක්කා කොළ පවා මේ දරුවන්ට කන්න දීලා. ආදිවාසි ගම්මානෙට එන සංචාරකයන්ට පේර, දෙහි, මාල, වළලු, මල්පෝච්චි විකුණලා තමයි ඒ නැන්දා සල්ලි හෙව්වේ. කලින් රුපියල් 250 ක පින් පඩියකුයි, රුපියල් 1500 ක සමෘද්ධියයි ලැබුණා. ඒත් ඒක ළමයි විවාහ වුණා කියලා නවත්තලා තියෙනවා. ආදිවාසි ගම්මානයේ ඉඳලා ඒ වගේ දුක් විඳලා තමයි මේ මල්ලිලා දෙන්නා විශ්වවිද්‍යාලයට යැව්වේ. වසන්ත මල්ලි ගැන දැන් රටම කතා වෙනවා. අපිටත් එයා ගැන ආඩම්බරයි. මොකද එයා දඹානේ කෙනෙක්නෙ.“ ඥාති සොහොයුරියක් වසන්ත මුදලිගේ පවුල පිළිබද තොරතුරු බිඳක් හෙළි කළේ ඒ අයුරිනි.

මේ ආදිවාසි ගම්මානයේ කළුමැණිකා අම්මාට දුරකතනයක් හෝ නොමැති බව අපට වාර්තා විය. ඇය පවසා තිබුණේ සිය දරුවා වසන්ත වසරකින් පමණ තමන් දුටුවේ නැති බවකි. ඇය පවසන්නේ සිය පුතාට කතා කිරීමට හෝ දුරකතනයක් නොමැති බවකි. කොලොම් තොටේ ඉන්න තැනකට සොයා ගෙන හෝ ගොස් පුතාගේ මුහුණ ටිකක් හෝ බලන්නට මේ අම්මාට ඇවැසි විය. මේ අම්මාගේ වේදනාව පුතාට නෑසුණද කළුමැණිකාට ඇසෙන්නේ සිය පුතා ආණ්ඩු පෙරළන කතාය. ජනාධිපතිලා අගමැතිලා ගෙදර යවන පුවත්ය. තම පුතාට එවන් හැකියාවක් ඇත්දැයි මේ මව කල්පනා කරන වාර දහස් ගණන්ය. මේ නිසා තමන් දැන් ලෙඩ ගානට වැටි ඇති බව ඇය කියයි. වසන්තගේ මව කළු මැණිකාට අමතන්නට දුරකතනයක් ඇත. අප ඇයට කතා කළේ ඒ දුරකතනයට ය. සිය පුතකු අප වාර්තාකරුට පවසා තිබුණේ දුරකතනයක් නොමැති තරමට අපි ආදිවාසින්ද යන්නයි. ඒ තරමට ඔවුන් පහත් කර රට්ටු කතා නොකළ යුතු බව ඔහුගේ අදහස විය.

මා ඇය හා දොඩමළු වුණෙමි. ඇය පවසන්නේ දුරකතනය තම ලේලියගේ බවය. ඇය පිළිතුරු දුන්නේ අසනීපයෙනි.

“අනේ දරුවෝ මම කතා කරන්නවත් බැරි තරමට අසනීපෙන් ඉන්නේ. ඇයි? මගේ පුතා ඉන්නේ ඔය කොළඹ පැත්තෙනේ. “

මේ අම්මා පැවැසූ පරිදි කළුමැණිකා අම්මාගේ දරුවෝ මුලින්ම ගියේ දඹාන පාසලටය. ඉන් පසුව මහියංගන දෙහිගොල්ල මධ්‍ය මහා විද්‍යාලයටය. සමහර අවස්ථාවලදි සිය දරුවන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවූ වාර අනන්ත බව ඇය පවසන්නීය. ඒ වැද්දන් යනුවෙන් පාසල් සිසුන් හංවඩු ගැසීම නිසාය. ඒත් සිය පුතාගේ ගමන් මඟ අසන මේ අම්මා කල්පනා කරන්නේ එය තමන්ට සතුටක්ද? දුකක්ද? යන්න ඇයවත් නොදන්නා බවකි.

“පුතා ගැන රට්ටු කියන කතා අහපුවාම දුකයි. මට දුකයි. මම මොනවා කරන්නද? මට මේ වගේ එඩිතර පුතෙක් ලැබුණ එක ගැන සතුටුයි. මගේ පුතා වැරදි කරන කෙනෙක් නෙමෙයි. අම්මා ගැන හිතන්නේ නැතිව රට ගැන හිතලයි ඔය ඉස්සරහට ගිහින් තියෙන්නේ. මගේ දරුවා ගැන මතක් වෙලා බතක් නො ඉව්ව දවස් තියෙනවා“ කළුමැණිකා අම්මා සිය දරුවාගේ හපන්කම් ඇසුවද රූපයෙන් බලන්නට මේ පුතා ආපු දිනක් අම්මාට මතක නැත.

වසන්තගේ පාසල වූ දෙහිගොල්ල මධ්‍ය මහා විදුහලේ වසන්තගේ පාසල් කාලය වත්මන් විදුහල්පති කේ. සුනන්ද ලලිත් රණසිංහට හොඳට මතකය. එදා සිසුන් 675 ක් හා ගුරුවරු 35 ක් වූ මේ පාසලේ අද සිසුන් 1,300 ක් හා ගුරුවරු 61 ක් සිටිති.

“ආදිවාසි ගම්මානයේ සිට මේ පාසලට කිලෝමීටර 13 ක් පමණ තියෙනවා. ඒ ගම්මානයට ආසන්නයේ දඹානේ විදුහලත් ඔරුබැඳියාව විදුහලත් තියෙනවා. මම විදුහල්පති විදියට මේ පාසලට එනවිට වසන්තත්, එයාගේ මල්ලි අනුරත් මේ පාසලේ උසස් පෙළ කලා විෂයන් කරමින් හිටියේ. වසන්ත විතරයි ඒ වසරේ රජරට විශ්වවිද්‍යාලයට හෝ සමත් වුණේ. මල්ලි පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. මට මතක විදියට අපරාධ විද්‍යාව කළේ. මල්ලි අනුර උපාධිය අරගෙන මහියංගනය පැත්තේ හෝටලයක වැඩ කළා. පස්සේ එහිම විවාහයක් කර ගත්තා. වසන්තයි මල්ලියි ආදිවාසී ගම්මානයේ දරුවෝ බව දැන ගත්තා. මේ දෙන්නා පාසල් කාලයේ ඉගෙන ගැනීමට වගේම නායකත්ව දරන්න හරිම දක්ෂයි. වසන්ත පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. මේ නිසා ආදිවාසි ගම්මානයේ දරුවෝ කියලා මේ අයට වෙනස් විදියට සැලකුවේ නැහැ. කැම්පස් ගිහින් කිහිප සැරයක්ම මම බලන්න ආවා. “ ඒ දෙහිගොල්ල මධ්‍ය මහ විදුහලේ විදුහල්පති සිළුමිණ වාර්තාකරුට පැවැසූ දේය.

මේ වන විට වසන්ත ගැන තොරතුරක් නැත. අරගලය ද අවසන්ය. එහෙත් මේ අම්මාට දරුවාගේ උණුසුම ඇවැසිය.

“පුතේ උඹ ඉන්න රටක් තොටක් උඹ හොයාගෙන එන්න මම දන්නේ නැහැ. අනේ පුතේ එක පාරක් හරි මාව බලන්න වරෙන්. එතකොට හිතේ ගින්දරක් නැතුව ජීවත් වෙන්න මට පුළුවන්....“දඹානේ කළුමැණිකා පවසන්නීය.

 

වසන්ත ඉගෙනගත් මහියංගනයේ දෙහි­ගොල්ල මධ්‍ය මහා විදු­හල
අන්තරේ උද්ඝෝෂණයකට නායකත්වය දෙන වසන්ත මුදලිගේ
දඹානේ වරිග මහ­ගෙ­ද­රට ඇතුළු වන පිවි­සුම

 

 

Comments