
කොළඹට සමීපව ආර්ථික මධ්‍යස්ථාන කීපයක් වටරැක, නාරාහේන්පිට, පිළියන්දල සමීපව තිබුණත් හාල් තොගයක් ගන්නා විට බොහෝ දෙනාගේ තෝරාගැනීම වන්නේ පිටකොටුව පස්වැනි හරස් වීදියයි.
ඉකුත් සිකුරාදා පස්වැනි හරස් වීදිය පැත්තේ කරක් ගැහුවේ හාල් තොග කඩවල තත්ත්වය පිරිස්සීමටය. ඒ සැම කඩයකම ඇතුළු වන තැනම ඇති මේසයක් මත තබා ඇත්තේ සුදු යකඩ දීසිවල දැමූ අත්‍යවශ්‍ය ආහාර සාම්පල්ය. එම දිසිවල වැඩිපුරම ඇත්තේ හාල් සාම්පල් ය. ඊට අමතරව පරිප්පු, කඩල, මුං ඇට, කව්පි, බාර්ලි, සූදුරු, මාදුරු, කොල්ලු, වටානා ආදි සාම්පල් ද ඇත. මෙම ඇට වර්ග අතරින් වඩාත් මිල අධික ඇට වර්ගය වන්නේ කිඩ්නි බීන්ස් ය (Kindny Beans). එදා මේ තොග හාල් කඩවල මුළුමනින්ම පාහේ තිබුණේ ඉන්දියන් සහල් ය. ඒ අතර හාල් කඩේ බිත්තියේ අලවා තිබූ ‘දිනමිණ’ පුවත්පතක මුල් පුවතක් ඇස ගැටුණි. මීට වසර 10කට පෙර, 2012 අගෝස්තු 14 වැනිදා පළවූ දිනමිණ පුවත්පතින් වාර්තා කොට තිබුණේ, පොහොර සහනාධාරයට වසර 7කදී රජය කෝටි 15,000 ක් වැය කොට ඇති බවය. එම වාර්තාවෙන් කියවෙන්නේ මේ හේතුව නිසා රට සහලින් ස්වයංපෝෂිත වු බවකි. වසර 2000 දී රටේ වී වගා කළ හෙක්ටයාර් ප්‍රමාණය 878,000කි.
හාල් තොග කඩේ ගොඩ ගසා ඇති හාල් මුට්ට දෙය බැලුවෙමි. ඒවා සියල්ල ඉන්දියාවෙන්, බංගලිදේශයෙන් හා පාකිස්තානයෙන් ආනයනික හාල් ය. වෛවර්ණයෙන් මුද්‍රණය කොට ඇති එම හාල් ගෝනි, ඉස්කොලෙ ළමයකුගේ පොතකට කවරයක් දාගන්න තරම් විසිතුරුය. "දැන් ලංකාවේ හාල් එහෙම හෝල්සේල් විකුණන්නේ නැද්ද?" හාල් කඩේ මුදලාලිගෙන් විමසුවෙමි.
මුදලාලිගේ අසුනට උඩින් තිබුණේ විවිධ දෙවි දේවතාවුන් සමඟ බුදු හිමියන්ගේ රුව රැගත් රත්රන් පාටින් දිලිසෙන රූපය. ඒවා හැම එකකටම උදේම තෙත බේරෙන ගැට පිච්ච මල් මාලා පලඳවා පහන් දල්වා ඇත.
" ඔය ‘රට හාල’ කොච්චර කිව්වත් ලංකාවේ හාල් වගේ තැබ්බෙන්නේ නෑ. ආණ්ඩුව පොල්ලෙන් ගැහුව වගේ පෝර, කෘමිනාශක තහනම් කළ නිසා වී ගොවියෝ ගොවිතැන අතහැරියා. අපිත් මේ කැමැත්තෙන් රට හාල් විකුණනවා නෙමෙයි. දැන් නම් ඔන්න රනිල් මහත්තයා පෝර ටික දුන්නා කියලා ආරංචි වුණා. එහෙම වුණොත් ඉතින් මෙදා පාර රටින් හාල් ගේන්න වෙන එකක් නැහැ” ඔහු කීවේය.
මේ වෙළෙඳුන් පවසන්නේ රට හාල් මාෆියාවක් ඇති කිරීමට ලංකාවේ හාල්වල කැන්ඩියම් ඇති බවට සංවිධානාත්මක ව්‍යාපාරයක් ගෙන ගොස් හාල් ආනයනකරුවන් හාල් ජාවාරමක් බවට පත් කරගත් බවය. මේ රසායනික පොහොර පමණක් භාවිත කරන කුඹුරක ගොයමක ඇති කැන්ඩියම් ප්‍රමාණයට වඩා රසායනික හා කාබනික පෝර දෙවර්ගයම එක්කොට වගා කරන ලද කුඹුරක ශාකයක අන්තර්ගත කැන්ඩියම් ප්‍රමාණය 50% කින් අඩු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සොයා ගත්තේ 2013 දීය. එවක පුවතකින් වාර්තා කළේ ලංකාවේ හාල්වල ඇති කැන්ඩියම් නමැති බැර ලෝහය දෙවැනි වන්නේ බංග්ලාදේශයට පමණක් බවය. එහෙත් බැරලෝහය අඩංගු වන්නේ කුමන හාල් වර්ගයේදැයි පැහැදිලිව සඳහන් නොකිරීම නිසා සිදු වූයේ 'රට හාල්' වලට ඇති ඉල්ලුම ඉහළ යෑමේ මාෆියාවක් ඇති වීමය. එවක ආණ්ඩුව පෝර තහනම් කරනු ලැබුවේ 2021 වසරේ මැයි මාසයේදීය. ඉන්පසු පැමිණි මහ කන්නයේ හා යල කන්නයේදී කිසිදු බෝගයක් වගා කිරීමට පෝර ලැබුණේ නැත. එම නිසා වී ඇතුළු බෝග වගාවට වැදුණේ මරු පහරකි.
රසායනික පොහොර මෙන්ම කෘෂි රසායන ලංකාවේ තහනම් වුණත් ඒවා හොර රහසේ ලංකාවට පැමිණි අතර ඒවා ගොවින්ට අලෙවි වූයේ රත්තරන්වලට වඩා ඩිංගිත්තක් මිල අඩුවෙන් යයි කිව්වොත් නිවැරදිය.
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වා දෙන බව කිව්වත් එවැන්නක් සිදු වුයේ නැත. ආනයනික එක් දියර පොහොරක් ජනතාව 'අවඥාවට' ලක් කළේ ඒවා බල්ලන්ට කන්න දැමීමෙනි. එක පොහොර නැවක් ඇවිත් රිටන් වී ගියත් එයට මුදල් ගෙවීමට එවක ආණ්ඩුවට සිදු විය. ඒත් ඒ පොහොර නැව ද නිසි ප්‍රමිතියට තවම ආවේ නැත. අවසානයේ සිදු වූයේ වී මෙන්ම එළවළු පලතුරු ඵලදාව 50%කින් පහත වැටීමය. ඉකුත් යල කන්නයේ වගා කිරීමට කිසිදු පොහොරක් නොතිබූ නිසා ගොවීන් අවසානයේ වී ගොවිතැනෙන් ඈත් වීමට තීරණයක් ගන්නා ලදී. එළවළු බඩ ඉරිඟු ඇතුළු බෝගවලින් ද අපේක්ෂිත ඵලදාව ලබා ගැනීමට හැකි වූයේ නැත.
ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ වන්නේ මීට ශතකයකටත් පෙර 1912 දී ඉංග්‍රීසින්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ අරමුණෙනි. එහෙත් මෙරට පොහොර සහනාධාරය ආරම්භ වන්නේ 1951 දීය. මෙහිදී හඳුනාගත් රසායනික ලවණ අඩංගු පොහොර ලබා දී ඇත. එමෙන්ම ඇමෝනියම් සල්ෆේට් සම එප්පාවල රොක් පොස්පේට්ද සමඟ සත්ත්ව ඇටකටු කොටස් ද මේ සහනාධාරය යටතේ ගොවින්ට ලැබී ඇත. එහෙත් මෙම තත්ත්වය වෙනස් වී ඇත්තේ 1967 දී එම්. ඩී. බණ්ඩා කෘෂිකර්ම ඇමති වූ වකවානුවේදීය. ඇමතිවරයා ගිවිසුමක් අත්සන් කිරීම නිසා මෙරට ගොවින්ගේ පෝර සහනාධාරයෙන් කාබනික පොහොර ලබා දීම ගිලිහී ගියේය. ඉන් පසු එලඹෙන්නේ පොහොර සහනාධාරය ලෙස රාජ්‍ය මැදිහත්වීම මත මුලින්ම රසායන පොහොර කේන්ද්‍ර කරගත් එකක් විය. අන්තිමට රජරට ගොවින් වකුගඩු රෝගයෙන් ජන්මාන්තර ගතවීමට හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන තුරුම අපේ පාලකයින්ට ඇහැ ඇරුණේ නැත.
පොහොර තහනම නිසා වී වල මෙන්ම හාල් මිලද 'හිටු' කියා ඉහළ නැග්ගේ බලන් හිටිද්දිය. කොළඹ හතේ ධනවතුන් අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට ආදි ප්‍රදේශවලට ගොස් වී මිලදී ගත්තේ අධික මිලකට මිටි පිටිනි. වී කිලෝවක් රුපියල් 300 කට ලන්සු තැබිම ඔවුනට මහ දෙයක් වූයේ නැත. ඊට වැඩි මිලකටත් විකිණුනේ නම් මිලදී ගන්නට කොළඹ ධනවතුන්ගේ පොකට්වල 5,000 කොළ මිටි පිටින් තිබුණි. අන්තිමට සිදු වූයේ හාල් කිලෝව රුපියල් 200 සීමාව පසුකොට යෑමය. මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නෙන් 40% ක් අහිමි වී යෑම නිසා බොහෝ ගොවීන්ගේ ආදායම අහිමි වී ගිය අතර පොදු ජනතාවට අඩු මිලට හාල් මිලදී ගැනීමට සිහිනයක්ම පමණක් විය. ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දේශපාලන බල පෙරළියක් තුළින් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ රනිල් වික්‍රමසිංහ ය. ඇමැති රනිල්ගේ ඇමති මණ්ඩලයේ කෘෂිකර්ම ඇමති ධුරයට මහින්ද අමරවීර පත්වන්නේ මේ පොහොර අර්බුදය මධ්‍යයේය. අභිනව අගමැති රනිල් ජනතවාට ආහාර අර්බුදයක් ඇති වීමට ඇති ඉඩ ප්රස්ථා වැඩිවීම නිසා වගා සංග්‍රාමයකට ජනතාවට සූදානම් වන ලෙස දන්වන ලදි. මේ වන විට යල කන්නයට වී වගාව අල්ප ලෙස ආරම්භ වී තිබූ අතර මාස් කන්නයට අවශ්‍ය පොහොර ආනයනයට සාකච්ඡා ඇරඹෙන්නේ ඉන් පසුවය.
යල කන්නයට පෝර ලබාදීම ගැන කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසන්නේ ඊට අනුග්‍රහකත්වය දැක්වූයේ ඉන්දියන් රජයේ ණය ආධාරයක් යටතේ බවය. ගොවින් සියයට සියකට යල කන්නයට පෝර දීමට නොහැකි වුවද බහුතරයකට ඉන්දියන් ණය ආධාර යටතේ පෝර දුන් බව කිවහොත් වඩාත් නිවැරදිය. එහෙත් ගොවින්ගේ පාර්ශ්වයෙන් මේ වන විට පැවති තත්ත්වය අසතුටුදායක එකක් විය. ඒවන විට යල කන්නය ආරම්භ වී තිබුණත් වගාවට නොපැමිණි ගොවීන්ට රජයට ගොවින්ට රජය විසින් ගොවීන්ට ආරාධනා කරන්නට සිදුවූයේ රසායන පොහොර ලබා දෙන පොරොන්දුව පිටය. යල කන්නයට පමණක් ප්‍රමාණවත් වූ එම පොහොර තොගය ගොවින්ට බෙදා හැරීම හමුවේ රජයට පැවති ප්‍රබලම අභියෝගය වූයේ පොහොර නැතුව උකටලි වූ ගොවින් කුඹුරු ගොවිතැන අතහැර පලාගොස් තිබීමය. අගමැති රනිල් ආහාර හිඟයක් ගැන කළ අනාවැකිය නිසා තමන්ට කන්නට නැතිවේය යන බිය නිසාද ඇතැම් ගොවින් ටිකෙන් ටික ආණ්ඩුවේ පොහොර සහනාධාරය රැගෙන කුඹුරට සේන්දු වන්නට විය.
යල කන්නයේ ඇස්තමේන්තු ගතව තිබුණේ කුඹුරු හෙක්ටයාර් දෙලක්ෂ හැන්තපන්දාහක් වගා කිරීමටය. නමුත් එම සැලසුම අනුව වගා කිරීම ආරම් කොට තිබුණේ හෙක්ටයාර් ලක්ෂ දෙකක පමණ වීම නිසා ඉතිරි කොටස ප්‍රමාද වී හෝ ආරම්භ කිරීමට ගොවින් පසුබට නොවූයේ ආණ්ඩුවෙන් රසායන පොහොර ලැබෙන බවට වු දැඩි විශ්වාසය නිසාමය. දැන් අමාත්‍ය මහින්ද අමරවීර කියන්නේ හෙක්ටයාර් දෙලක්ෂ හැත්තැපන්දහසක වී වගාවට කළ සැලසුම අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ සෘජු මැදිහත් වීම මත හෙක්ටයාර් පන්ලක්ෂ පන්දහස දක්වා ඉහළ ගිය බවය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ශ්‍රී ලංකා ආණ්ඩුව මුලින්ම ඉන්දියාවෙන් ආනයනය කිරීමට ගිවිසගත් යුරියා මෙට්‍රික් ටොන් ගණන 65,000 කි. මුලින්ම එයින් මෙට්‍රික් ටොන් 25,000 ක් යල කන්නයට මුදා හැරීමට විධිමත් ලෙස පියවර ගන්නා ලදි. විධිමත් ලෙස යනුවෙන් සඳහන් කළේ ගොවින් ඒවා පෝලිම්වල රස්තියාදු නොවී ලබාගත් නිසාය. රසායන පොහොර තහනම නිසා වක්‍ර ලෙස මිල ඉහළ ගිය ප්‍රධාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රවයක් වන්නේ කුකුල් මස් හා බිත්තර මිලය. රසායන පොහොර නැතිකමින් බඩ ඉරිඟු ඇතුළු වගාවන් රැසක් නිසි ඵලදාවක් ලැබුවේ නැත. බඩ ඉරිඟු වගාව පෙර කන්නයට සාපේක්ෂව 17% කටත් වඩා අඩු අගයක් ගත්තේය. කුකුල් කර්මාන්තයේදී ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන්නේ බඩ ඉරිඟුය. දැන් මේ බඩ ඉරිඟු හිඟය නිසා බිත්තරයක මිල රුපියල් 62/- දක්වාත් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1200/- ඉක්මවමින් පැවතීම සැලකිල්ලට ගත් රජය තීන්දුවක් ගෙන ඇත්තේ බඩ ඉරිඟු වගාව හෙක්ටයාර් හැට දාහක් දක්වා වැඩි කිරීමට රසායන පොහොර ලබා දීමටය. වී සහ බඩ ඉරිඟු ඵලදාව නෙළන කාලය වන විට ආනයනික හාල් සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට වැයවන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකියාව ඇතිවන්නේ නිතැතිනි.
මෙම වර්ෂය ආරම්භයේ මෙරටට ආනයනය කළ සහල් තොගය මෙට්‍රික් ටොන් හාරලක්ෂ විසිදහසකි. හාල් උදෙසා මේ වැයවු මුදල මෙරට ගොවීන්ගේ සාක්කුවට වැටිය යුතු මුදලක් බව අමතක කළ යුතු නැත. ඒත් දැන් පොහොර නිසි ලෙස බෙදා හැර ඇති බැවින් මාස් කන්නයෙන් පසු මෙරටට හාල් ආනයනය අවශ්‍ය නොවනු ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගේ මතය වී තිබේ. ඊටත් වඩා ගොවි ජනතාව දැන් පවසන්නේ තමන්ට හොඳම පෝර ලැබුණේ මේ වතාවේ බවය. මීට පෙර රජයට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඉන්දියාවෙන් ගේන්නේ බාල පොහොර බවය.
ලෝක වෙළෙඳපොළේ පොහොර යනු අධික ඉල්ලුමක් ඇති ද්‍රව්‍යයකි. ඒ නිසා මුදල් තිබුණත් හොඳ පොහොර ලබාගැනීම අභියෝගයකි. අග්‍රාමාත්‍ය රනිල් මුලින්ම පොහොර තොගයක් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට කටයුතු කළේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ ඉතිරිව තිබූ මුදලකි. සත්‍ය තත්ත්වය නම් ඒ වන විට පොහොර ආනයනයට අවශ්‍ය විදේශ විනිමය ඍනාත්මක තත්ත්වයක පැවතියද ඉන්පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු ඉන්දියාවේ මෝදි අගමැතිවරයාට කතා කොට ලංකාවට පොහොර ගෙන්වා ගැනීමට පියවර ගත් අතර ඒවා නියම ප්‍රමිතියේ පොහොර බවට රසායනාගාර වාර්තා සහතික කොට ඇත.
විපක්ෂයේ ප්‍රධාන චෝදනාව ගොවීන්ට රුපියල් 10,000 ට පොහොර ලබාදිමය. එහෙත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ රුපියල් 40,000ට වත් පොහොර ගැනීමට හැකියාවක් නැති කාලයක් වූ බැවින් එම මිල ගැන ගොවීන්ගේ අමනාපයක් නැති බවය. ඇමතිවරයා පවසන්නේ විපක්ෂය අමනාප වී ඇත්තේ ගොවින්ට පොහොර දීම ගැන බවය. ඉදිරි මහ කන්නය වෙනුවෙන් පොහොර මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයා පැවරුවේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට ය.
දැන් අලුත්ම තත්ත්වය අපේක්ෂිත පොහොර තොගය ලබා ගැනීමට ඉන්දියාව, ලෝක බැංකුව හා ජත්‍යාන්තර පොහොර සැපයුම් සමාගම් සමඟ පූර්ණ විනිවිධ භාවයෙන් යුතුව සාකච්ඡා ආරම්භ කොට තිබීමය. කන්න දෙකක් අසාර්ථක වුවත් දැන් ඉදිරි කන්නයේදී ගොවීන්ට මෙන්ම ජනතාවට ද සැනසුම් සුසුම් හෙළිය හැක්කේ දෙසැම්බර් මාසය වනතුරු දේශීය වෙළෙඳපොළ තුළ සහල් ප්රශ්නය උද්ගත නොවන නිසාය.