රනිල්ගේ ‍කොළ එළි­යට සජ­බයේ වලි | Page 2 | සිළුමිණ

රනිල්ගේ ‍කොළ එළි­යට සජ­බයේ වලි

මේ දිනවල ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්‍ෂයේත් දේශපාලන පක්ෂ අතර වැඩිපුරම කතාබහ වෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳවයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලින් සහයෝගය නොලැබෙන්නේ නම් බහු පාක්ෂික ආණ්ඩුවක් හෝ නිර්මාණය කරන ලෙසට ඇතැම් ආගමික නායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

නො 30 උණුසුම් වෙයි

 

සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න තීරණයක් ගැනීම සඳහා සමඟි ජනබලවේගයේ දේශපාලන මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වයේ විශේෂ රැස්වීමක් පසුගිය සතියේදී ශ්‍රීමත් අර්නස්ට්ද සිල්වා මාවතේ අංක 30 දරන ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණ. විපක්ෂ නායක, සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාවට විපක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, වෛද්‍ය රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ඉමිට්තියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරළ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“මේ අවස්ථාවේදී අපිට මේ ආණ්ඩුවට එක්වෙලා ඇමතිකම් ලබාගන්න බැහැ. සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් නිසි කාල රාමුවකට ක්‍රියාත්මක වෙනවා නම් ඒ සඳහා අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒකට ආණ්ඩුවටම එකතු වෙන්න ඕන නැහැ. අපිට විරුද්ධ පක්ෂයේ ඉඳලා මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබාදෙන්න පුළුවන්” යනුවෙන් සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

“මේ වෙලාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි සහයෝගය ලබාදෙයි කියලා ජනතාව විශ්වාස කරනවා. ඒක නිසා මේ වෙලාවේ ආණ්ඩුවට එක්වෙලා සහයෝගය ලබාදීලා මේ ප්‍රශ්න විසඳන විට එහි වාසිය සමඟි ජනබලවේගයට ලබාගන්න පුළුවන්. ඒක නිසා මං කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුව එක්වීම වැදගත්. සමඟි ජනබලවේගයට ආණ්ඩුවට එක්වෙන්න අවස්ථාව ලබාදෙන්න. ඔබතුමාට විපක්ෂ නායකතුමා විදිහට ඉන්න පුළුවන්. නමුත් කිහිපදෙනෙකුට ආණ්ඩුවට එකතුවෙන්න අවස්ථාව ලබාදුන්නෙත් ඒක යහපත් කියලයි මට හිතෙන්නේ” යනුවෙන් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

“ඒක හරි කතාවක්නේ.මං විපක්ෂ නායක විදියට ඉන්න ගමන් ඔබතුමාලා කිහිපදෙනෙක් ආණ්ඩු පක්ෂයට යනවා. එතකොට මටත් විපක්ෂ නායක විදියට සිදු වෙනවනේ ඔබතුමාලාටත් එරෙහිව කතාකරන්න. එහෙම කරන්න බැහැ.” යනුවෙන් සජිත් ප්‍රේමදාස තරමක් දැඩි ස්වරූපයකින් කියා සිටියේය.

“කවුරු ගියත් මං නම් යන්නේ නැහැ. විරුද්ධ පක්ෂයේ ඉඳගෙන අවශ්‍ය සහයෝගය ලබාදෙන්න මට පුළුවන්” යනුවෙන් විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේය.

“ලක්ෂ්මන්ගේ කතාව හරි. මම ඉන්නෙත් ඒ ස්ථාවරයේ” යනුවෙන් පැවසුවේ තිස්ස අත්තනායක සහ ඉම්තියාස් බාකීර් මාකාර්ය. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බොහෝ විට කියවුණේ සමඟි ජනබලවේගයේ ප්‍රතිපත්ති බවත් එම නිසා මේ අවස්ථාවේදී සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබාදීම අවශ්‍ය බවත් රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, තලතා අතුකෝරාළ ප්‍රකාශ කළහ. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස දැඩිව කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්නොවී විරුද්ධ පක්ෂයේ සිට සහයෝගය දැක්විය යුතු බවයි.

පොහොට්ටුවෙන් ජනපතිට පණිවිඩයක්

 

සමඟි ජනබලවේගය දිගින් දිගටම සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සහයෝගය ලබා නොදෙන්නේනම් සහයෝගය ලබාදෙන පිරිස් එකතුකරගෙන කැබිනට් මණ්ඩලය සකස් කර රාජ්‍ය අමාත්‍යවරුන්ද නම් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. සමඟි ජනබලවේගයෙන් එන්න ඉන්න පිරිස යම් අදිමදිකමක් සිදුකරනවා නම් එම අමාත්‍යධුර පොහොට්ටුවේ ජනතා නියෝජිතයන්ට හෝ ආණ්ඩුවට සහය දක්වන අනෙකුත් පිරිස් වලට ලබාදිය හැකි බව පොහොට්ටුවේ මතය වී ඇත.

මාස 3කට පසු ජනාධිපති ලේකම්  කාර්යාලයේ වැඩ

 

මේ අතර දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුවූ තවත් රැස්වීමක් පැවැත්වුණේ පසුගිය 08 වැනි සඳුදා සවස 5.00ට කොටුව පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මෙහිදී පැවැත්වුණේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමයි. පසුගිය කාලයේදී ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වූ නිසා ජනාධිපති ලේකම් කාර්යාල‍ය ද අවහිර වී තිබූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ පටන්ගෙන තිබෙන්නේ මාස 3කට පසුව වීම විශේෂත්වයකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ආණ්ඩු පක්ෂ රැස්වීමේ ප්‍රධාන මේසයේ සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අසුන්ගෙන සිටියහ.

මුලින්ම අදහස් දැක්වූයේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගය.

“අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීතුමා ඉතා අමානුෂික ලෙස ඝාතනය කරලා හෙටට (09) මාස 3යි. අද මන්ත්‍රීවරුන් පිරිසක් අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ පින්කම් ගෙදර ගිහිල්ලා තියෙනවා.” යනුවෙන් ප්‍රසන්න රණතුංග පැවසීය.

මෙම ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කිරීමට අධිකරණ අමාත්‍යවරයා අවධානය යොමු වී තිබෙන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“මැයි 09 සිදුවූ සිදුවීම් ගැන හොයන්න බටගොඩ කමිටු පත්කරලා තියෙනවා. මේක අලුතෙන් පත්කරපු කමිටුවක්. මැයි 09 වැනිදා සිට අැතිවූ සියලු සිදුවීම්වලට අදාළ තොරතුරු මේ කමිටුවට ලබාදෙන්න පුළුවන්. ගෙවල් ගිනිගත්තු ප්‍රාදේශීය දේශපාලඥයන්ටත් මේ කමිටුවට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රනිල්ට හා කංචනට ස්තූතිය පුද කෙරේ

 

ඉන්පසුව අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරය.

“තෙල් පෝලිමක් ළඟින් යනකොට පසුගිය කාලවල මං බයෙන් ගියේ. මර බියක් බොහෝ මන්ත්‍රීවරුන්ට දැනුණා. දැන් ‍තෙල් පෝලිම් නැහැ. ගෑස් පෝලිම් නැහැ. මේ සඳහා ආභියෝග රැසක් මධ්‍යයේ කැපවුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාටත් ස්තූතිය පුද කරනවා.” යනුවෙන් ජගත් කුමාර ප්‍රකාශ කළේය.

කබීර් ව්‍යංගයෙන් රනිල්ට කියූ දේ

 

ජනාධිපතිවරයා ඉකුත් සතියේ වැඩි ඉඩ කඩක් වෙන් කර තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමේ සාකච්ඡා වෙනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සේම දෙමළ ජාතික සන්ධානය ඇතුළු සෙසු පක්ෂ ද මුණ ගැසීමට ඔහු අමතක නොකළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඔහු මුණ ගැසුණේ ඉකුත් සති අන්තයේ ය. සාකච්ඡා මේසයේ කබීර්, ඉරාන් හා හර්ෂ අසුන් ගෙන සිටියේ එකිනෙකාට ආසන්නයේ ය. සර්ව පාක්ෂික ආණ්ඩුවකට සරත් ෆොන්සේකා විරෝධය පළ කරද්දී ඔහුට පිළිතුරු ලැබුණේ කබීර් හෂීම්ගේ කතාවෙනි. ඔහු ව්‍යංගයෙන් බරපතළ පණිවුඩයක් ලබා දුන්නේය.

“ඔබතුමාට මේ වෙලාවේ ජනප්‍රිය තීණ්දු ගන්න බැරි බව අපි දන්නවා. විපක්ෂය ලෙස අපටත් ජනප්‍රිය තීන්දු ගන්න බෑ. අපිටත් මේ වෙලාවේ ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා.” ඔහු එම ප්‍රකාශය කරද්දී ඉරාන් හා හර්ෂ ද හිස සලනු පැමිණ සිටියවුන්ට දැක ගත හැකි විය.

 

ගෝඨාභය ගැන රාහුල හිමියන් රනිල්ට කිව්වේ මොනවාද?

 

සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙක තුළදී ද ජනාධිපතිවරයා සිය කාර්යාලය වෙත පැමිණ රාජකාරීන් හී නිරත වූහ. සෙනසුරාදා දහවල් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් මුණ ගැසුණු ජනාධිපතිවරයා සවස රුක්මලේ විහාරස්ථානය වෙත ගියේ කෝට්ටේ කළ්‍යාණි සාමාග්‍රී ධර්ම සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් බැහැ දැකීමටය.

මහාචාර්ය කොටපිටියේ රාහුල මාහිමියන් ද ඊට එක්ව සිටියහ. මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේ “ එදා අගමැතිකම ගන්න කලින් ඔබවහන්සේ මට දුන්නු ඔවදන නිසි ලෙස පිළිපැදීම නිසා අද මෙතනට එන්න අවස්ථාව උදා වුණා.” යනුවෙනි.

මෙහිදි කොටපිටියේ රාහුල මාහිමියෝ අසලට ජනාධිපතිවරයා ගිය අවස්ථාවේ උන්වහන්සේ ජනාධිපතිවරයාගේ කනට කොට රහසක් කීවෝය.

“මෙනාවා වුනත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හිටපු ජනාධිපති නේ එතුමාටත් ලංකාවට ඇවිල්ලා නිදහසේ ඉන්න අවස්ථාව හදලා දෙන්න.” උන්වහන්සේ කියා සිටියහ. ජනාධිපති රනිල් ද සිනා සී හිස සැලුවා මිස පිළිවදන් දුන්නේ නැත.

හමුදා පුහුණුව ගැන රනිල් විමසයි

 

අඟහරුවාදා උදෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානය වෙත පැමිණියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී විම සඳහාය. ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානය වෙත ගියේ විශේෂ කටයුත්තකට ය. ඒ් අරගලකරුවන්ට මුවා වී කැරලිකරුවන් පිරිසක් පාර්ලිමේන්තු සංකිර්ණය අත්පත් කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කළ හමුදා නිලධාරින්ට සම්මාන පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමටය .

තේ පැන් සංග්‍රය අතරතුරදී ජනාධිපතිවරයා හමුදාපතිගෙන් විමසුවේ හමුදා නිලධාරින්ට ලැබෙන පුහුණුව ගැනය.

“මෙරට දී දෙන හොඳම පුහුණුව අපි ලබා දෙනවා. විදෙස් පුහුණුවීම්වලටත් ඉල්ලුම් කරලා තියෙනවා.” ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ පිළිතුරු සැපයූවේ එලෙසිනි.

හමුදා නිලධාරීන්ට සම්මාන දුන් බවට වාර්තාවීමත් සමඟ පොලිසියෙන් ද සේවා ඇගයීමක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයාට දැන ගන්නට ලැබුණි. එම පණිවුඩය ගෙන ආවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසිනි.

“සර් පොලිසියේ හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ටත් ඇගයීම් සහතිකයන් දුන්නොත් හොඳයි නේද? පොලිස්පතිතුමා මාත් එක්ක කතා කළා. එතුමාගේත් ඉල්ලීමක් තියෙනවා මේ ගැන.” සාගල රත්නායක පණිවුඩය ජනාධිපතිට දුන්නේය.

“හොඳයි ඒකත් ලැහැස්ති කරන්න. සුදුසු දිනයක් ඒ් වෙනුවෙන් වෙන් කරන්න. ජනාධිපතිවරයා කීවේය.

බැසිල් අගමැතිට දීපු තෑග්ග

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය සිකුරාදා හැන්දෑවෙ පොහොට්ටුවේ පක්ෂ මූලස්ථානයට පැමිණියේය. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් නෙලුම් පොහොට්ටු පොකුරක් දෙමින් අලුත් අගමැතිතුමාව ප්‍රධාන ගේට්ටුව ළඟදි පිළිගත්තේය.

අගමැතිවරයා නෙලුම් මාවතේ ශ්‍රවණාගාරයට ඇතුළු වෙද්දී බැසිල් රාජපක්ෂ ප්‍රමුඛව ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ ඇතුළු ඉදිරි පෙළ සහ පසුගිය මැති ඇමතිවරු පිරිසක් සහ පොහොට්ටුවේ අනුසංවිධාන නියෝජිතයන් එහි රැඳීී සිටිය. පිළිගැනීමේ කතාව කළේ සංජීව එදිරිමාන්න ය.

ඉන් අනතුරුව කතා කළේ බැසිල් රාජපක්ෂ ය.

"ඔබතුමාව මට මුලින්ම මුණගැහුණෙ ඉස්කෝලේ යන කාලේ. ඔබතුමාගෙන් මම ඉල්ලන්නෙ ඉල්ලීම් දෙකයි. පළවෙනිම එක රටේ ජනතාව මූණ දෙන මේ දුෂ්කර පොදු ප්‍රශ්න ටික ඉක්මනින් විසඳල ජනතාවට සහන දෙන්න. අනික තමයි පොහොට්ටුවට ජන්දය දුන්න ජනතාව ආරක්ෂා කරන්න. ඒ අයව බලාගන්න. අපි ඔබතුමාට බොහොම අවංකව සුබ පතනවා."

අගමැතිතුමා කතාව පටන් ගන්නේ ඉන් පසුවය.

"මම තාම මහජන එක්සත් පෙරමුණේ මූලස්ථානයටවත් ගියෙ නෑ. එහෙ යන්නත් කලින් නෙලුම් මාවතේ ආව කියල අපේ ලේකම්තුමා මාව පක්ෂෙනුත් අස්කරයිද දන්නෑ. අගමැතිතුමා එහෙම කිව්වෙ සභාවේ හිටපු මහජන එක්සත් පෙරමුණේ මහලේකම් දෙස බලමිනි.

අගමැතිතුමා අවුරුදු දහයෙදි විතර සිය සහෝදර සහෝදරියන් සහ දෙමව්පියන් එක්ක ඉන්න පරණ ජායාරූපයක් රාමු කරල බැසිල් රාජපක්ෂ අගමැතිතුමාට තෑගි කළේය.

දිනේෂ්ට ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රසාදය

 

ජාතික සංවිධාන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් අගෝස්තු 10 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතීඥ කල්‍යාණන්ද තිරාණගම, මහාචාර්ය ආර්. බී. හේරත්, ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ, නීතීඥ මදුමාලි අල්විස්, ප්‍රිමාල් ප්‍රනාන්දු, යසස් ධර්මදාස ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරන විද්වත්තු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

“එදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා එක්ක එකතුවෙලා අපි අතීතයේ සැබෑ අරගලවලට පණ දුන්නා. අද විදේශ අවශ්‍යතා පිරිමසා ගන්නා, මුදලට කරන අරගල තියෙනවා. ඒවා අරගල ලෙස හඳුන්වන්න බැහැ "ආචාර්ය ගුණදාස අමරසේකර මෙහිදී පෙන්වා දුන්නේය.

එම අවස්ථාවට සහභාගි වෙමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් ප්‍රකාශ කළේ “පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් රටේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කිරීමට කැපවී සිටින ඔබතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම රටට ඉතා වැදගත්. සර්ව පාක්ෂික රජය වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් අප සංවිධාන විසින් ඉදිරිපත් කර තිබෙනවා"

එහිදී අදහස් දැක්වූ කල්‍යානන්ද තිරාණගම මෙසේ කීය. “රටට අහිතකර වූ සිතාගත නොහැකි නීති කිහිපයක් අපි ආපස්සට හැරෙව්වා. ඔබත් එදා යෝධ ශක්තියක් ලබා දෙමින් අපිත් එක්ක හිටියා. අද අපි එකතුවෙලා හරි තීරණයක් අරගෙන වැඩ කරමු"

මේ අතර වෛද්‍ය වසන්ත බණ්ඩාර පෙන්වා දුන්නේ “ඔබ අගමැති ධුරයේ සිටීම ජාතික සංවිධානවලට විශාල ශක්තියක් සහ ආලෝකයක්"

“ජාතියට මුල් වූ ප්‍රතිපත්තියක් අඛණ්ඩව අනුගමනය කළ එකම නායකයා ඔබයි,” මහාචාර්ය ආර් බී හේරත් ප්‍රකාශ කළේ, “එම ප්‍රතිපත්තිය නිවැරදි මාවතේ ඉදිරියට ගෙන යාමට අපි ඔබට සහාය දෙන බව” සහතික කරමිනි.

ජ.වි.පෙට ප්‍රසන්නගෙන් අලුත් නමක්

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී අවසන් විය. මෙම විවාදයට එක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ටොයිබයියෝ යනුවෙන් කළ කතාවට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

“ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවේ අයට කිව්වේ බයියෝ කියලා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟ ජනබලවේගයේ අයට කිව්වේ ටොයියෝ කියලා. අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා ටොයියොයි බයියොයි එකතුවෙලා ටොයිබයි ආණ්ඩුවක් හදනවා කියලා” යනුවෙන් ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳීමට වජිර මැදිහත් වෙයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පසුගිය අඟහරුවාදා පැවැත්විණි.

ඉන් අනතුරුව අගෝස්තු 09 වෙනි අඟහරුවාදා සවස 01 :00 ට පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය ආරම්භ වූ අතර පක්ෂ විපක්ෂ බොහෝ දෙනා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැදගත්කම ගැන කරුණු දීර්ඝ වශයෙන් ප්‍රකාශ කළේය.

අගෝස්තු 10 වෙනි බදාදා දවස පුරා පාර්ලිමේන්තුවේදී ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විවාදය පැවැති අතර වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විටින් විට විවිධ මන්ත්‍රීවරුන්ට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති ජනාධිපති කාර්යාලය වෙත සම්බන්ධ කරමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් වීම දක්නට ලැබුණි.

එදිනම සවස 04 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස පිලිස්සීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති විශේෂ කමිටුව මුණගැසීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හි රැස්වුණි.

මේ සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බටගොඩ මහතාත්, තීක්ෂණ අබේවර්ධන මහතාත්, ජනාධිපති කාර්යාලයේ නිලධාරිනුත්, පාර්ලිමේන්තු කටයුතු ලේකම් ආශු මාරසිංහ මැතිතුමා ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්ව සිටියහ. එම අවස්ථාවට වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාද එම මන්ත්‍රීවරු සමඟම සහභාගී වෙමින් මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Comments