විදුලි මිල ඉහළයාම වසර අටක් බිල වැඩි නොකිරීමේ ප්‍රතිඵලයක් | සිළුමිණ

විදුලි මිල ඉහළයාම වසර අටක් බිල වැඩි නොකිරීමේ ප්‍රතිඵලයක්

ම්කිසි පාරිභෝගික භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට යම් මුදලක් වැයවෙයි. එසේ නම් ඒ භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන්නා ඒ අදාළ මුදල ගෙවීම සාමාන්‍ය සිද්ධාන්තයකි. එසේ නොගෙවන තත්ත්වයක් මත ඒ සේවාව හෝ භාණ්ඩ සපයනු ලබන ආයතනයන් පවත්වාගෙන යෑම අසීරුය. විදුලි බල මණ්ඩලයේ තත්ත්වය ද එයයි. මේ වනවිට සියලු භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ ගොස් ඇත. නමුත් 2014දී විදුලි ඒකකයක මිල රුපියල් 16 යි ශත 29 ක සාමාන්‍ය මිලකට (විවිධ කාණ්ඩ ගෙවන මිල ගණක් වෙනස් වේ) නියම කිරීමෙන් අනතුරුව මිල ඉහළ දැමීමක් කෙලෙසකවත් සිදු නොවිණි.

මේ වන විට විදුලි ඒකකයක් නිපදවා බෙදාහැරීමට වියදම රුපියල් 33ක් යැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි. මෙම තත්ත්වය මත විදුලි බලමණ්ඩලයේ ණය බර ඉවත් කර පාඩුව අවම කිරීමට අදාළ කටයුතු නොකළහොත්, මෙවැනි විශාල පාඩුවක් මත විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යන්නේ කෙසේද යන ගැටලුව මතුවෙයි. 2014 වර්ෂයෙන් පසුව විදුලි බිල වැඩිවීමක් සිදුවී නැත. එසේ නම් මේ ආයතනය එලෙස පාඩුවට පවත්වාගෙන යන්නේ කෙසේද? මෙය විදුලිය, ඩීසල්, ගල්අඟුරු, පුනර්ජනනීය, සේවක මණ්ඩල, හෝ ඉංජිනේරු ආදි විවිධ මාෆියාවන්හි ප්‍රතිඵලයක් ලෙස අර්ථ දැක්වීමට පහසුය. එසේ කියන්නේ විදුලියේ වියදම් සහ පිටරටවල මිල ගණන් හදාරන්නට නොදත් අයයි. පවතින යථාර්ථය පිළිබඳ තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. මේ සඳහා අදාළ ආයතනවල නිලධාරින් 2015 සිට නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීම සිදුවූයේ නම්, මේ විදුලි මිල එකවර වැඩිවීමේ අර්බුදය නිර්මාණය නොවෙයි.

එසේ නිෂ්පාදන මිලට සාපේක්ෂව මිල ඉහළ දැමීම වසරක් පාසා සිදුනොවීම නිසා 2015 සිට මේ දක්වා විදුලි බල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයේ පවතී. පවතින තත්ත්වය මත මේ වන විට විදුලි පද්ධතිය වසා දමා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමට තරම් පාඩුවක් සිදුවී ඇති බව පෙනෙයි. මහජන උපයෝගිතා කොමිසම පත්කරනු ලැබූයේද විදුලියේ වියදම ආදායම නොගැළපෙන අවස්ථාවලදී නිෂ්පාදන වියදමට ගැළපෙන ලෙස විදුලි මිල නියම කිරීමටය. එසේම වියදම් වැඩිවීම, මිල ගණන් වැඩි කිරීම ඇතුළු ජනතාවට විදුලි සැපයීමේදී වන හිරිහැර පිළිබඳ සොයා බැලීමට මහජන උපයෝගිතා කොමිසම 2010දී බලාත්මක කරන ලදි.

විදුලිය නිපදවන්නේ මුළුමනින්ම හිරු එළියෙන් සුළං බලයෙන් හා ජලය මඟින් හෝ කුණු දහනයෙන් යැයි ඇතැම් පිරිස් විශ්වාස කළ ද ඇතැම් මාසවලදී විදුලියෙන් වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ ඩීසල්වලිනි. අධික ඩීසල් භාවිතයත් වියදම සහ පාරිභෝගික මිල නොගැළපීමත් නිසා 2021 වසරේ පමණක් විදුලි බලමණ්ඩලය ලැබූ පාඩුව රුපියල් බිලියන 80 ලෙස මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. එහෙත් ඔවුන් ඒ ගැන කිසිත් නොකළ දේශපාලනයේ දිශානතිය ගැන කුරුමානම් අල්ලමින් සිටි නිසා විය යුතුය. නීතිය මෙයයි. විදුලි මිල ගැන දේශපාලනඥයාට නීතිමය බලයක් පනත අනුව නැත. එහෙත් මිල වැඩි කරන්න දෙන්නෙම නැහැ ආදී ඇමති ප්‍රකාශ වරින් වර ඇසෙයි. විදුලි බල මණ්ඩල සභාපති සහ මහජන උපයෝගිතා කොමිසමත් එවිට කිසිත් නොකර ඇත්ත සඟවා ගෙන අවුරුදු ගණන් සිටිති.

රටේ විදුලි සැපැයුම පිළිබඳ මිල ගණන් පරීක්ෂා කිරීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීමකි. එලෙසම ඔවුන්ගේ වගකීම මේ විදුලිය නිෂ්පාදන වියදම පිළිබඳ ගණනය කර සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කිරීම සහ ඊට සමානුපාතිකව විදුලි බිල තීරණය කිරිමයි. වසර 10ක් පුරා එම කොමිසමේ ක්‍රමවේදයන් නිසි ලෙස සිදුවූයේද යන්න ගැටලුවකි. මහජන උපයෝගිතා කොමිසමේ එකම කාර්ය මණ්ඩලයක් පසුගිය වසර 12 පුරා අඛණ්ඩව කටයුතු කරයි. මහජන උපයෝගිතා කොමිසමත් මෙතෙක් කල් වරින් වර ප්‍රකාශ කළේ ඔවුන් විදුලිය මිල වැඩි කිරීමට ඉඩනොදෙන බවය. එහෙත් විදුලි බල පනතේ සඳහන් කර ඇත්තේ වියදම අනුමත කළ පසු ඊට සමාන පාරිභෝගික මිල කොමිසම අනුමත කළ යුතු බවයි. ලොව සියලු රටවල් ක්‍රමයෙන් අඩු වන වියදමකින් විදුලිය නිපදවද්දි ලංකාවේ විදුලි නිෂ්පාදන වියදම 2015 සිට දිගටම වැඩිවීමක් සිදුවී ඇත. ඒ රටවල ආර්ථිකය ඉදිරියට යද්දී, අපේ ආර්ථිකය ආපස්සට ගමන් කරන්නේ මෙවැනි හේතු නිසාවෙනි. විදුලි බල ක්ෂේත්‍රයේ නොහැකියාව, වැරදි තීරණ, බලාගාර ව්‍යාපෘති හිතුමතේට අහෝසි කිරීම ආදිය නිසා අධික ඩීසල් භාවිතයට රජය ඇබ්බැහි වීම සිදුවීම මෙතෙක් සිදුවී ඇත. නමුත් ඊට වගකිව යුත්තන්ගේ වැරදි නිසා විදුලි වියදම් වැඩි වූ බව පිළිගැනීමට අදාළ එම පාර්ශ්ව සූදානම් නැති තත්ත්වයක මේ සඳහා විසඳුම් සෙවීම ද අසීරු කාර්යයකි. මේ විදුලි උත්පාදනයට ඩීසල් ගෙන්වීමට ලබාගන්නා බැංකු ණය රටේ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට අලුත් ව්‍යාපාර ගොඩනැඟීම සඳහා ණය ලබා දීමට ඇති මුදල් ය. විදුලිය නිපදවිමට වැය වන ඩීසල්වලට යන වියදම පොළිය සමඟ විදුලි පාරිභෝගිකයන්ට ම ගෙවීමට සිදුවීම අවසාන ප්‍රතිඵලයයි.

විදුලි ඉංජිනේරුවන්ට සහ විශේෂඥයන්ට වඩා විදුලිය ගැන දන්නේ දේශපාලනඥයන් හා ඔවුන් පිටුපස සිටින ව්‍යාපාරිකයන් බව ඒ අයගේ විශ්වාසය වී ඇත. විදුලි පද්ධතිය ස්ථායි ලෙස සහ ලාබදායි ලෙස පවත්වාගෙන යෑමට හැකි ද සෙවීම වඩා වැදගත් කරුණයි. පුනර්ජනනීය බලශක්ති වන හිරු එළියෙන්, සුළං බලයෙන් හා කුණු දහනයෙන් පමණක් විදුලිය හැදිය යුතු යැයි ඇතැමුන්ගේ තර්කය වී ඇත. එම ප්‍රභවයන්ගෙන් පමණක් විදුලිය ලබා ගැනීමට නම් රටේ අතිවිශාල බැටරි පද්ධති විශාල වශයෙන් ස්ථාපිත කළ යුතුය. එම තාක්ෂණයන් තවමත් පර්යේෂණ තත්ත්වයේ තිබීම නිසාත් මිල අධික නිසාත්, විදුලි බල පද්ධතිය එකට බැඳ තබා ගැනීමට නම් අපිට විශාල ප්‍රමාණයේ බලාගාර අවශ්‍ය වේ. පුනර්ජනනිය බලශක්ති යනු තවමත් ප්‍රධාන ප්‍රභවයන්ට ආධාරකයක් පමණයි. එසේ නොවන්නට මේ රටට අඛණ්ඩව විදුලිය ලබා දීමේ හැකියාවක් තවම නැත. අපි න්‍යායාත්මක කුමන දේවල් සඳහන් කළත් පර්යේෂණයන් තුළින් තහවුරු වන ප්‍රායෝගික ලෝකයේ සත්‍ය ඊට වඩා වෙනස් වෙයි. දැනට ලෝකයේ භාවිත වන තාක්ෂණික මෙවලම් සමඟ අප ජීවත් විය යුතුය.

ජනතාවට හොඳ ප්‍රමිතියෙන් යුතු ලාභදායි විදුලිය සැපයුමක් ලබාදෙන බවට අධීක්ෂණය කිරීමේ වගකීම ඇති මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල පනතේ ප්‍රකාරව රජයට නිවැරදි උපදෙස් ලබාදිය යුතුය. ඒ වෙනුවට, රජය ගනු ලබන නුසුදුසු තීරණයක් ම සාධාරණිකරණය කරමින් විදුලියේ මිල වැඩි කිරීමට සිදු වන බලාගාර ඉදිකරන තීරණවලට එකඟතාව පළ නොකළ යුතුය.

මේ සතියේ සිදු කළ විදුලි මිල වැඩිකිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කළහොත්; ඒ අනුව බැලීමේදී 2014 පසුව ප්‍රථමවරට විදුලි මිල වැඩිවීමක් සිදුවී ඇත්තේ මේ වසරේ එනම්; 2022 අගෝස්තු මසයේදීය. නියම කලට මිල ගණන් වැඩි නොකිරීම නිසාත් 2022 සිදුවු රුපියලයේ අවප්‍රමාණය නිසාත් 2014 විදුලි සැපයුමේ වියදම රුපියල් 16 ශත 84 වුවත් 2022 දි එය රුපියල් 33 බවට වැඩි වී ඇති බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. එසේ නම් විදුලි මිල වැඩි විය යුතු ප්‍රමාණය 100%කි. සියලු පාරිභෝගිකයන්ගේ බිල් දෙගුණ විය යුතුය. නමුත් මෙතෙක් අඩුවෙන් පරිභෝජනය කරන නිවෙස් සඳහා විදුලි බිලට 90%ක ලැබුණ සහනාධාරයක් පැවැති බව මගේ ගණනය කිරීමයි. එමෙන් ම වාණිජමය ආයතන හා වැඩියෙන් පරිභෝජනය කරන නිවාසවල, විදුලි වියදමට වඩා සමහර විට 50%ක් වැඩියෙන් ගෙවූ අවස්ථා ඇත. එබැවින් පසුගිය සතියේ මිල වැඩි කිරීමෙන් විවිධ පාරිභෝගිකයන්ට ගලා ගිය සහනාධාර අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇති බව පෙනෙයි. එයද හොඳ ප්‍රවණතාවකි. මා එසේ සඳහන් කරනුයේ අඩු ආදායම් ලාභීන්ට සහන දීමවත් වැඩි ආදායම් ලබන අයගෙන් අධිභාරයක් අය කිරීමවත් මහජන උපයෝගිතා කොමිසම හෝ විදුලි බල මණ්ඩලයට අයත් කාර්යයක් නොවෙන බැවිනි. එය කළ යුත්තේ පිළිවෙළින් අදාළ අංශ විසිනි. එනම් සමෘද්ධි අධිකාරියත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් විසිනි.

 

එසේ නමුත් ප්‍රකාශිත විදුලි මිල ගණන්වලින් අපේක්ෂිත ආදායම ලැබේදැයි මහජන උපයෝගිතා කොමිසම ගණනය කර පෙන්වා නැත. මින් ඉදිරියට සිදුවිය යුත්තේ මෙයයි. විදුලි නිෂ්පාදන වියදම අවම කර ගැනීම සඳහා රජයේ හා ව්‍යාපාරිකයන්ගේ මැදිහත් වීමෙන් තොරව තරගකාරීත්වය යළි පිහිටුවිය යුතුය. විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතා ඇති බව සැබෑය. එහි කාර්යක්ෂමතාව වැඩි කළහොත් මගේ ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව විදුලි ඒකකයක වියදම රුපියල් 3කින් අඩු කළ හැකිය. එනමුත් සියලු බලාගාරවල ඇතිවන ප්‍රමාදයන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන මැදිහත්වීම නිසාත් වැඩිම වියදමක් ඇත්තේ විදුලි ජනනයටයි. පසුගිය මස දක්වා පැවැති මිල ගණන් අනුව පුනර්ජනනීය බලාගාරවලින් පවා විදුලිය මිලදී ගත්තේ රුපියල් 20ක් හෝ ඊට වැඩි මිලකටය. නමුත් රුපියල් 20කට වඩා වැඩි විදුලි ඒකකයක් ගෙවන පාරිභෝගිකයන් මේ රටේ 20%වත් නැත. සමහර කර්මාන්ත ආයතනයන් තම වහලයේ ඇති සූර්යය පැනලයේ නිෂ්පාදිත විදුලිය රුපියල් 22ක පද්ධතියට විකුණා රුපියල් 11ක සහනදායි මිලකට විදුලි ඒකකයක් මිලදී ගනු ලබයි. එවැනි අනිසි ප්‍රතිලාභ ලබන පිරිස්ම විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේදී ප්‍රකාශයට පත් කරයි.

මෙම තත්ත්වය වෙනස් කළ යුතුය. විදුලිය මිල නියම කිරීමේ මුලික සිද්ධාන්තය වන්නේ එක් එක් පාරිභෝගිකයා වෙනුවෙන් පද්ධතිය දරන ස්ථාවර වියදම සහ ඒකක වියදම එම පාරිභෝගිකයා හෝ එම පාර්ශ්ව වෙනුවෙන් වෙනත් පාර්ශ්වයක් මාස්පතා වියදම දැරීමයි. එකී වෙනත් පාර්ශ්වය වන්නේ රජයයි. එසේ තමන්ගේ වියදම නොදරන තාක් කල්, විදුලි බල මණ්ඩලය පාඩු යැයි කීමෙන් පලක් නැත. මේ හේතු කාරණාවන් නිසා එදා සිට අද දක්වාම විදුලි බලමණ්ඩලය ලබන වාර්ෂික පාඩුව රුපියල් බිලියන 10 සහ බිලියන 80 අතර දෝලනය වෙයි. කෙසේ වෙතත් නිශ්චිත තීරණය කළ වියදම කොපමණද මිල ක්‍රමය අනුව අදායම අනුව වන පාඩුව සඳහා පිළියම් සෙවිය යුත්තේ කෙසේද යන්න නිසි ගණනයක් කර ඒ අනුව මිල තිරණය කළ යුතුය. එසේ නොවන්නට ජනතාවට ඉතිරිව ඇත්තේ මේ ගනු ලබන තීරණවලට හෝ වසර ගණන් මගහරින තීරණවලින් ඇතිවන විපාක පියවීමට අනුව බිල ගෙවීමට පමණයි.

 

Comments