
යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ගෙන් මෙරට ආර්ථිකයට ලැබුණු දායාදය වූයේ තේ වගාවයි. මුලින්ම උඩරට ප්‍රදේශයෙන් ආරම්භ කළ තේ වගාව ‘වතු ක්‍රමය’ යටතේ කඳුකරය පුරාම ව්‍යාප්ත කරවීම ඔවුන් කටයුතු කළේ එයින් ඔවුන්ට ලැබුණු අධික ලාබය නිසාය.
යටත් විජිත සමයේ නාවලපිටිය ‘කඩියන්ලෙන’ නගරය ඉදි වූයේ නුවරඑළිය නගරයට දෙවැනි වන ලෙසය. ඒ සමඟම පළාතේ පිහිටි කැටඹුලා වත්ත ද ඉතා දියුණු තේ වගාවකින් සමන්විත විය.
වතු කම්කරුවන්ගේ ශ්‍රමයෙන් මෙම වත්තෙන් විශාල ආදායමක් ලැබුණි.
වතු පාරවල් අතර ඇළ දොළ ගංගා සඳහා කුඩා පාලම් ඉදිකිරීම ද සුදු ජාතිකයන් අතින් සිදුවුණි.‘කැටඹුලා තේ වත්තෙන්’ ගලායන ‘කැටබුලා ඔය’ එම වත්තේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවයි. පුදුකාට්ටු සහ අක්කරවත්ත වතුකම්කරු නිවාස මැදින් ගලා යන කැටඹුලා ඔය හරහා ද සුදු ජාතික වතු පාලකයන් විසින් පාලමක් ඉදිකර තිබුණි.
නමුත් වසර සිය ගණනක් ගිය පසු එම යකඩ පාලම දිරාගිය අතර වතු කම්කරුවන් මෙම ඔය හරහා ලී කොට දමා තාවකාලික පාලමක් සාදා ගනු ලැබීය.
පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් මෙම අනාරක්ෂිත ලී දඬු මතින් ගමන් කිරීම නිසා අනතුරු බහුල විය. මේ නිසාම 2020 වසරේදී ප්‍රදේශවාසීන් සහ කහවත්ත වැවිලි සමාගම මගින් මෙම ස්ථානයේ කුඩා පාලමක් ඉදි කරනු ලැබීය.
නමුත් මෙම පාලමේ ශක්තිමත් ඇඳිවැටක් ඉදිකර ගැනීමට ගම්මුන්ට ශක්තියක් නොවූ නිසා අත්වැටක් ලබාදෙන ලෙස කොත්මලේ ප්‍රාදේශිය සභාවට සහ මධ්‍යම පළාත් සභාවට දන්වා තිබුණි. නමුත් ඔවුන් අතින් එය මේ වන තුරු ඉටු වී නැත.
කැටඹුලා ඔය සහ කැටඹුලා තේ වතු යායේ ඉතිහාස කතාව එය වුවද කැටඹුලා ඔය ගැන මහජන අවධානය නැවත සුවිශේෂීව යොමු වූයේ පසුගියදාය.
ඒ මීට දෙසතියකට පමණ පෙර මධ්‍යම පළාතට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා දෙගොඩ තලා ගිය කැටඹුලා ඔයේ දිය පහරට හසුවී පුද්ගලයින් තිදෙනෙක් අතුරුදන් වීම නිසාය. කැටඹුලා වත්තේ පදිංචි පිරිමි දෙදෙනකු සහ කාන්තාවක ධාරානිපාත වර්ෂාව මොහොතේ කැටඹුලා ඔයෙන් එතෙර වීමට යද්දී දියපහරට හසුව ගසාගෙන ගොස් තිබිණි. මේ හේතුවෙන් නාවලපිටිය කැටඹුලා වත්ත ප්‍රදේශවාසීහු කම්පාවට පත්වූහ.
කැටඹුලා ඔයේ ගසා ගෙන ගොස් අතුරුදහන් වූ තිදෙනා ගෙන් එක් අයෙකුගේ සිරුරක් බ්‍රහස්පතින්දා (11) පස්වරුවේ ගම්පොල මොරගොල්ල මහවැලි ගඟේ තිබී හමුවන්නේ ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ද කම්පාවට පත්කරමිනි.
මෙසේ හමු වූ සිරුර සත්‍ය ශීලන් සුරේෂ් කුමාර්ගේ බව ඔහුගේ මස්සිනා විසින් ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් මැදිවක මහතා ඉදිරියේ දී හඳුනාගනු ලැබීය. සුරේෂ්ගේ සිරුර හමුවූ ආරංචියත් සමඟ කැටඹුලා වත්තේ පදිංචිකරුවන් විශාල පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. කැටඹුලා අක්කරවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දෙදෙනකු සහ එක් කාන්තාවක කැටඹුලා ඔයෙන් එගොඩ වීමට ගොස් මෙසේ ගසා ගෙන යාමෙන් අතුරුදහන්ව තිබුණේ අගෝස්තු මාසයේ පළමුවැනිදාය. එදින ධාරානිපාත වර්ෂාව පැවැතිණි.
තිදරු පියකු වූ 36 හැවිරිදි අම්මාවාසි චන්ද්‍රමෝගන් සිව් දරු පියකු වූ 49 හැවිරිදි සත්‍ය සීලන් සුරේෂ් කුමාර් තිදරු මවක වූ 45 හැවිරිදි ජෙයරාම් ජෙයලක්ෂ්මි යන තිදෙනා කැටඹුලා ඔයට බිලි වූහ. මේ සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීහු කම්පාවට පත්වූහ.
කඳුකරයේ පැවැති අධික වර්ෂාව සමඟ කැටඹුලා ඔය උතුරා යාමෙන් පුදු කාට්ටු සහ අක්කරවත්ත යා කරන සපත්තු පාලම මතින් ද මෙම ජලය ගලා යමින් තිබිණි. පාලම හරහා ගමන් කළ නොහැකිවූ බොහෝ දෙනෙක් ජලය බැස යන තෙක් බලා සිටියේ ජල පහරේ වේගවත් බව නිසාය.
කැටඹුලා වත්ත සහ වෙනත් ස්ථානවල කුලී වැඩ අවසන් කර මෙම පාලම මතින් නිවාස වලට යාමට පැමිණි පිරිසට එගොඩවීමට නොහැකි ව තිබීම නිසා ප්‍රදේශවාසීන් එක්ව එම පාලම හරහා බැඳ තිබූ ලණුවක ආධාරයෙන් මේ පිරිස එගොඩ යාමට උත්සාහ දරා ඇත්තේ ඒ වනවිට පැවැති අනතුරුදායක බව නොතකාය. ඇත්තෙන්ම එය මහා අවදානම් ගමනක් බව කිසිවකු වටහා ගෙන තිබුණේ නැත.
නමුත් හදිසියේ ගලා ආ වේගවත් ජලපහරට හසුවූ තිදෙනෙකු ජලයේ ගිලී නොපෙනී ගියේ තත්පර කීපයක් ඇතුළතදීය.
මෙම පාලම මධ්‍යම පළාත් සභාව හෝ කොත්මලේ ප්‍රාදේශීය සභාව මගින් දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ප්‍රදේශවාසීන් සහ කහවත්ත වැවිලි සමාගම එක්ව එය ඉදිකළ බව ප්‍රදේශවාසීහු පවසති.
නමුත් මේ පාලමේ ආරක්ෂාව සඳහා දෙපස ආරක්ෂිත ඇඳි ඉදිකර දෙන ලෙස ප්‍රාදේශීය සභාවෙන් සහ පළාත් සභාවෙන් ඉල්ලීමක් කළත් එය වත් ඉටුකර නොදුන් බවද මේ පිරිස පවසති.
මේ ප්‍රදේශයේ පවුල් හාරසිය පනහකට වැඩි පිරිසක් ජීවත්වන බවත් ඡන්ද කාලයට මෙහි එන දේශපාලකයන් තමන්ට විවිධ පොරොන්දු ලබාදී යන බවත් ඔවුන්ගේ එකම ඉල්ලීම වූ මෙම පාලම සහ මාර්ගය සාදා දෙන ලෙස කළ ඉල්ලීම වත් එම දේශපාලඥයන් ඉටු නොකල බව ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
පාලමේ මෙම ආරක්ෂක ඇඳි නොමැති නිසා ලණුවක් බැඳ එය අල්ලා ගෙන මේ පිරිස් එගොඩ මෙගොඩ යෑම වර්ෂා කාලයට සිදුවන බවද එය අනතුරුදායක බව ද පදිංචිකරුවෝ සඳහන් කරති.
ගම්පොල මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය අසල මහවැලි ගඟේ තිබී සුරේෂ්ගේ සිරුර හමුවී ඇත්තේ ගම්පොළ පොලීසියට ලැබුණු තොරතුරක් මතය.
පසුව කැටබුලා ප්‍රදේශයේ සිටින ඥාතීන් පැමිණ මෙසේ මෙම මළ සිරුර හඳුනා ගනු ලැබීය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර ගම්පොළ ශික්ෂණ රෝහලට රැගෙන යාමට කටයුතු යොදා තිබිණි.
සුරංග දිල්හාන්, ගම්පොල සමූහ