විදුලිය කපන අස්සේ හොර රහ­සේම වැඩි­වුණු විදුලි බිල | Page 2 | සිළුමිණ

විදුලිය කපන අස්සේ හොර රහ­සේම වැඩි­වුණු විදුලි බිල

 

හාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75%කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයට අවසර දුන්නේ ඉකුත් අගෝස්තු 10 වැනිදාය. ආර්ථික අහේනියෙන් බැටකන මෙරට ජනතාවට පාත් වූ තවත් කුළු ගෙඩි පහරක්ම විය. මෙම විදුලි බිල ඉහළ දැමීමේ ක්‍රමවේදයට අනුව, වැඩිම දඬුවමක් විඳින්නට සිදුව ඇත්තේ, විදුලි ඒකක අඩුවෙන්ම පරිභෝජනය කරන ජනතාවට වීම විශේෂත්වයකි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ පැහැදිලි කිරීමට අනුව, විදුලි ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කරන ජනතාව අගෝස්තු 10 වැනිදා සිට 264%ක් ඉහළ ගිය බිල් පතක් ගෙවිය යුතුය. එම ප්‍රතිශතය, රුපියල් 198ක පමණ අමතර මුදලකි. ඒකක 31-60ත් අතර අඩු පරිභෝජනයක් ඇති ජනතාව ද, 211%කින් ඉහළ ගිය බිල් පතක් ගෙවිය යුතු අතර, එය අමතර රුපියල් 599ක පමණ වැඩි වීමකි. ඒකක 61-90ත් අතර විදුලිය පරිභෝජනය කරන ජනතාව ගෙවිය යුතු මිල ඉහළ යෑම 125%කි. එය රුපියල් 1,461ක පමණ අමතර වැඩි වීමකි. ඒකක 91-120ත් අතර භාවිත කරන්නන් හට 89%ක මිල වැඩි වීමක් සිදුවන බැවින්, ඔවුන්ගේ මාසික විදුලි බිල ද, රුපියල් 2,976කින් පමණ ඉහළ යන අතර, විදුලිය ඒකක 121-180 ත් අතර භාවිත කරන පාරිභෝගිකයන්ට 79%ක වැඩි වීමක් සිදු වේ. එය ඔවුන්ගේ මාසික විදුලි බිල්පතට රුපියල් 5,005 ක වැඩි වීමක් ලෙස එක් වන බවත් ඔහු පවසා තිබේ. මේ අතරින් ලක්ෂ 48ක් පමණ අයත් වනුයේ, ඒකක 30-90 ත් අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ගේ ගොඩටය.

කර්මාන්ත හෝටල් සහ පොදු කාර්ය අංශවල අඩු විදුලි පරිභෝජනයක් ඇති ආයතන සඳහා ,39% ක වැඩිවීමක් හා කර්මාන්ත අංශය සඳහා සිට 75% ක වැඩිවීමක් අනුමත කර තිබෙන අතර, සංචාරක කර්මාන්තය සඳහා කොමිසම අනුමත කළ ගාස්තු වැඩි වීමෙන් 50% ක් පසුගිය 10 වැනිදා සිට බලාත්මක වූ අතර, ඉතිරි 50% ක ගාස්තු වැඩිවීම ක්‍රියාවට නැඟෙනුයේ තවත් මාස තුනකට පසුවය. සංචාරක සහ අපනයන කර්මාන්තවලට සහනයක් ලෙස විදුලි බිල්පත් ඩොලර් මඟින් ගෙවන්නේ නම් 1.5 %ක වට්ටමක් ලබා දීමට ද කොමිසම නිර්දේශ කර තිබේ. මෙතෙක් ක්‍රියාත්මක වූ, ඒකක 180 ට අඩු විදුලි භාවිතයක් ඇති පූජනීය ස්ථාන සඳහා වන සහනදායි ක්‍රමවේදය වෙනුවට, ආගමික ස්ථාන ද, අධික විදුලි පරිභෝජනයක් සිදු කරන්නේ නම්, ඒ සඳහා ද සාමාන්‍ය පරිදි අය කිරීම් සිදු කිරීමට නියමිතය.

මේ පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක පැවසුවේ මෙවැන්නකි.

" මේ රටේ විදුලි බිල ඉහළ යෑමක් සිදුවුණේ වසර 09කට පස්සේ. පුනර්ජනනීය විදුලි ජනනය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි පාරිභෝගිකයන් දිරිමත් කිරීමට ද මේ ගාස්තු තීරණය තුළ පියවර ගෙන තිබෙනවා. සූර්ය බල පද්ධති හිමියන්, මහජන උපදේශනයේ දී පෙන්වා දුන්නේ ඔවුන්ගේ සමස්ත පරිභෝජනය මත මාසික ගාස්තු අය කිරීම අසාධාරණ බවයි. ඒ අනුව, ඔවුන්ගේ සමස්ත පරිභෝජනයෙන් ජනනය කළ විදුලි ඒකක ප්‍රමාණය අඩු කළ විට ලැබෙන ශුද්ධ පරිභෝජනය මත ස්ථාවර ගාස්තු තීරණය විය යුතු බවට කොමිෂන් සභාව තීරණය කළා. ඒ නිසාම පරිභෝජනයට වඩා ජනනය කරන එ්කක ප්‍රමාණය වැඩිවන විටදී සූර්ය බල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයන්ට මාසික ස්ථාවර ගාස්තුවක් ගෙවන්න සිදු වන්නේ නැහැ.

පනතේ තිබෙන ක්‍රියා පටිපාටියට අනුව යෝජනා චෝදනා කැඳවා, පුවත්පත් දැන්වීම් පළ කර, මහජන උපදේශනයක් වාචික පවත්වා, මහජනතාව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුකූලවයි අප මෙම නව ගාස්තු ක්‍රමය සඳහා අනුමැතිය දී තිබෙන්නේ. ඒ අදහස් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට කොන්දේසි පැනවීමට අපි තීරණය කළා.

විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ස්වාධීන විගණනය කිරීම ඇතුළු කොන්දේසි නිශ්චිත දින වකවානු සහිතව දක්වා තිබෙනවා. එම කොන්දේසි ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සපුරාලිය යුතුයි. සාධාරණ භාවය සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාවට නැඟිය හැකි පාරිභෝගිකයන්ගේ තැන්පතු සඳහා පොලී ගෙවීම ලංකා විදුලි පුද්ගලික සමාගම පසුගිය වසරේදී ආරම්භ කළා. ඒ වගේම, සංචාරක හෝටල් ක්ෂේත්‍රය හා කර්මාන්ත සඳහා සහන සැලසෙන පරිදියි, නව ගාස්තු සංශෝධනය සකස් කර තිබෙන්නේ. ගෘහස්ථ, ව්‍යාපාරික, පූජනීය ස්ථාන සහ සාමාන්‍ය කාර්යයන් යන සියලු අංශ ආවරණය වන පරිදියි මෙම වැඩි වීම් සිදු කළේ.

ඒකක 39,60 සහ 90 කාණ්ඩවල අයට සහනාධාරයක් සිදු වන ආකාරයටයි, මේ වැඩි කිරීම් කර තිබෙන්නේ. අනික ඒකකයක් නිපදවන්න යන මුදල රුපියල් 32ක්. නමුත් ඒකක 30 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයාට අපි ඒ ඒකකයක් දෙන්නේ රුපියල් 8කට. එතැනම 75% ක වට්ටමක් අපි ඔවුන්ට දී තිබෙනවා.."

මේ පිළිබඳ විමසීමට විදුලිබල මණ්ඩලයේ සභාපති, නලින්ද ඉලංගකෝන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ අතර, ඔහුගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, නන්දික පතිරගේ සම්බන්ධ කරගතිමු.

" තෙල් ගල් අඟුරු ඩීසල් ඇතුළු මොන දේ පාවිච්චි කළත්, විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා රු.බිලියන 500-600 අතර දැවැන්ත මුදලක් වාර්ෂිකව වියදම් වනවා. නමුත් විදුලිබල මණ්ඩලයේ වාර්ෂික ආදායම රු.බිලියන 256යි. ඒ හිඟය මෙපමණ කලක් පියෙව්වේ මහා භාණ්ඩාගාරයෙන්. ලාභයක් නැතිව අඩුම තරමේ වියදමවත් පියවා ගන්න නම්, රු.බිලියන 256ක මේ ආදායම අනිවාර්යෙන්ම දෙගුණයක් කරගන්න ඕනේ. නඩත්තු, වැටුප්, ණය සහ සෙසු වියදම් පියවන්න නම් හරියටම ආදායමත් රු. බි. 600ක් වෙන්න ඕනේ. මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් පියෙව්වා වුණත් ඒ දුන්නෙත් ජනතාවගේ සල්ලි. එතකොට නොපෙනී වුණත් වක්‍රාකාරයෙන් ජනතාවම තමයි මේ මුදල් මෙතෙක් කලක් ගෙවා තිබෙන්නේ. දැන් මේ වැඩි වීමෙන් වුණේ, මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම නවතා, ජනතාවට සෘජුව ගෙවන්න සිදු වීම පමණයි. ඒ ගෙවීම දැන් ජනතාවට පේනවා; දැනෙනවා.අපි කියන්නේ විදුලිය ඇත්ත මිලට විකුණන්න කියලා. ජනතාවට කරුණු සඟවලා, පාඩුවට විකුණන්න එපා කියලා. මේකෙ අසාධාරණයක් වෙනවා නම් වෙලා තියෙන්නේ ලොකු බිල් ගෙවන අයට විතරයි. ජනතාවත් තේරුම් ගන්න ඕනේ, මේ විදුලි පිරිවැය විතරක් වත් හරියන්න නම්, 100% වත් මිල වැඩි වෙන්න ඕනේ කියන එක. මේ විදියට මිල වැඩි වෙන්න මේ නිලධාරීන් සහ අමාත්‍යාංශයත් වගකිව යුතු බවත් අඩු වියදම් සැලසුම් ගේන්න කියලත් අපි කිව්වා. විදුලි බිලේ වැඩිවීමට, මේ හේතු ඍජුවම සහ ඉතාම බරපතළ ලෙස බලපා තිබෙනවා..."

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, රංජිත් විතානගේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ මිනිස්සු කවදාවත් නැති තරමට අමාරුවෙන් ජීවත් වන වෙලාවක විදුලි බිල 75%කින් වැඩි කිරීම අප ඉතාමත් පිළිකුල් සහගතව හෙළා දකිනවා. ඒ වැඩි වීම තුළ පාරිභෝගිකයාට ලයිට් බිල ගෙවීමෙන් පමණක් නවතින්න ලැබෙන්නේ නැහැ. මේ වැඩි වීමට සමගාමීව සියලු නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ඊළඟට ඒ බර එකතු වෙන්නේ භාණ්ඩ හා සේවාවලට. ලයිට් බිලත් වැඩියෙන් ගෙවලා, ඊළඟට බඩු භාණ්ඩවලටත් වැඩිපුර ගෙවන්න පාරිභෝගිකයාට සිද්ධ වෙනවා.

 වමේ සිට,  ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජි­නේරු  සංග­මයේ මාධ්‍ය ප්‍රකා­ශක නන්දික පති­රගේ, විදු­ලිය පාවිච්චි කර­න්නන්ගේ  සංග­මයේ ලේකම් සංජීව ධම්මික, පාරි­භෝ­ගික අයි­තීන් සුරැ­කීමේ ජාතික ව්‍යාපා­රයේ සභා­පති රංජිත් විතා­නගේ,  ලංවිම වෘත්තීය සමිති ඒකා­බද්ධ සන්ධා­නයේ කැඳ­වු­ම්කරු රන්ජන් ජය­ලාල් සහ මහ­ජන උප­යෝ­ගිතා කොමි­සමේ සභා­පති ජනක රත්නා­යක

අනෙක් අතට මිල වැඩි වෙනවා නම් සේවාවත් වැඩි වෙන්න ඕනේ. සේවාවේ වැඩි වීමක් කොහෙත්ම නැහැ. මේ වෙද්දි පැය ගණනක් ජනතාව ඉන්නේ කළුවරේ. විදුලිය සේවාවෙන් රටම පීඩාවට පත්වෙලා ඉඳිද්දි තමයි, මේ වගේ ගාස්තු අධික ලෙස ඉහළ දැමීම සිදු කරන්නේ.

නිසි පරිපාලනයක් සහ කළමනාකරණයක් නොමැති නිසයි, විදුලිබල මණ්ඩලයේ පිරිවැය වැඩි වී තිබෙන්නේ. පරිපාලනයේ අකාර්යක්ෂමතාව සහ දූෂණ වංචා නිසා නිෂ්පාදන පිරිවැය වැඩි නම්, ඒකට පාරිභෝගිකයා වග කිවයුතු නැහැ. මොකද පාරිභෝගිකයා ඉන්නේ කළමනාකරණය කියන පැත්තේ නෙවෙයි. ඔහු පාරිභෝජනය කියන පැත්තේ සිට, තමන් ගන්නා සේවයට මුදල් ගෙවනවා. ඇතුළේ තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් ඒක පරිපාලනයේ දුර්වලකම. ඒක පාරිභෝගිකයාට අදාළ නැහැ. ලෝකයේ බොහෝ රටවල් භාවිත කරමින් සිටින LNG හෙවත්, ස්වභාවික ඝන වායු බලාගාර තවම අපේ රටට හදාගන්න බැහැ. ටෙන්ඩර් කරලත් තවම දුවන්නේ ඩීසල්වලින්.මහජන උපයෝගිතා කොමිෂන් සභාව තියෙන්නේ පාරිභෝගිකයාට හොඳ විදුලි සැපයුමක් ලබා දීම සඳහා මැදිහත් වීම වෙනුවෙන්. නමුත් දැන් ඔවුන් ඉන්නේ පාරිභෝගිකයන් තළා පෙළා මඩි තර කර ගන්නට උත්සාහ කරන නිලධාරීන්ගේ පැත්තේ. මේ වගේ ආයතන නඩත්තු කිරීමත් ජනතාවට බරක්. පහුගිය කාලය පුරා අපි දැක්කා ඔය කියන සභාපතිවරයාත් සමහර දේශපාලකයෝත් විදුලි බිල් ගෙවීම පැහැර හැරිය හැටි. පාරිභෝගිකයන් හැටියට බිල් නොගෙවමින් සිය වගකීම් පැහැර හැරිය ඔවුන්ට, බිල් ගෙවන පාරිභෝගිකයන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නවත් කිසිම අයිතියක් නැහැ..."

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ විදුලි බිල වැඩි කීරීම සිදු කර තිබෙන්නේම, විදුලි බල පනත උල්ලංඝනය කරමින්. විදුලිබල පනතේ 30 වැනි වගන්තියේ ඉතාමත් පැහැදිලිව සඳහන් වනවා, 'විදුලිබල මණ්ඩලය දරා ඇති පිරිවැය සාධාරණ යැයි හැඟී ගියොත් පමණයි, විදුලි බිල්පත් වැඩි කිරීමකට යන්න පුළුවන්...' කියන එක. විදුලි පාරිභෝගිකයන් ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති දේවාලයක් බඳු මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද පාරිභෝගිකයා ගේ ඔළුවටම කඩා වැටිලා. අපි මේ කොමිසමේ සභාපතිතුමාට අවධාරණයෙන් කියනවා, මේ සා විශාල විදුලි බිල් වැඩි කිරීමකට යන්න, ඔබ මේ පිරිවැය ගණනය කළ පදනම මොකක්ද කියලා රටට හෙළි කරන්න ඕනේ.! එහෙම නැතිනම්, ටෙන්ඩර් ක්‍රමවලින් පරිබාහිරව නීති විරෝධී! යැයි ඔබ විසින්ම හඳුන්වා දුන් ඩීසල් බලාගාරවල මිල පදනම් කරගෙනද, පිරිවැය ගණනය කළේ? කොමිෂන් සභාව මීට සති දෙකකට කලින් BMICH එකේ හෝල් එකක් බුක් කරලා මහජන විමසුමක් කළා. ඒකට ආවේ පොදු මහජනතාවමද? නැත්නම් එයාලගෙම අයද? ඔවුන් මොනවද කොමිසමට කිව්වේ. ඒ ආපු අය කිව්වේ වැඩි කරන්න කියලද. නැත්නම් ඒ ජනතාව ගේ අදහස් විමසුම් කුණු කූඩෙට දාල ද කටයුතු කළේ? සභාපතිවරයා අද විදුලිබල මණ්ඩලයේ පිරිවැය හොයනවට වඩා, ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය හොයනවා. මං අහනවා, ඔහු කියන්නේ ඉන්ධන මිල රුපියල් 250 නම්, මේ 250 පිරිවැය ද ඔහු ගණනය කළේ.

වැදගත්ම දේ තමයි, මේ රජයේ ගනුදෙනු සම්බන්ධව වගකියන්නේ විගණකාධිපතිතුමා. අපි අහන්නේ, විගණකාධිපතිවරයා මේ පිරිවැය සම්බන්ධයෙන් මතයක් දරා තිබෙනවා ද? කොමිෂන් සභාව, ඒ මතය අනුව ද ක්‍රියා කළේ? අපි සොයාගත් තොරතුරු අනුව නම්, මේ මිලදී ගැනීම් විගණකාධිපති ගේ විගණනයට ලක් වෙලා නැහැ. එය බරපතළ වරදක්. අපේ යෝජනාව නම්, මේ 75% මිල වැඩි කිරීම එකවර නොකළ යුතුයි. විදුලිබල මණ්ඩලයට 15% -20ක් අතර මිල වැඩි කිරීමකට අවස්ථාව දීලා, මේ විදුලි ඉංජිනේරුවන් ගේ කාර්ය සාධනය විමර්ශනය කළ යුතුයි. අඩුම තරමේ අඩු ආදායම්ලාභී නිවාස දාහකට සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක්වත් මේ අය ආරම්භ කළ යුතුයි. පුනර්ජනනීය බලශක්තිය භාවිතාවට ගැනීමට මේ ඉංජිනේරුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ද කියා දැඩි අවධානයක් යොමු කොට, ඔවුන්ගේ කාර්ය සාධනය අනුවයි, 75% ක මිල වැඩි කිරීමකට යා යුත්තේ..."

දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු විදුලිබල මණ්ඩලයෙන් හොරා කා මණ්ඩලය පාඩු කළ පළියට, රටේ ජනතාව 75%කින් වැඩි විදුලි බිලක් ගෙවිය යුතු නැතැයි මේ පිළිබඳ අදහස් දක්වමින් ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසීය.

" විදුලිබල මණ්ඩලය පාඩු බව කියා විදුලි බිල සියයට 75%කින් ඉහළ දැමීම අතිශය අසාධාරණයි. ජනතාවට මෙය කිසිසේත් ම ඔරොත්තු නොදෙන කාරණයක් බැවින් වහාම මේ තීරණය හකුළා ගත යුතු බවයි මගේ අදහස. මේ වගේ වෙලාවක විදුලි බිල වැඩි කළාට, මණ්ඩලයට හෝ රටට ඉන් කිසිදු සෙතක් ලැබෙන්නේ නැහැ..."

 

 

Comments