සාදය මාරයි මිතුරා හමාරයි | සිළුමිණ

සාදය මාරයි මිතුරා හමාරයි

 

මීට වසර විස්සකට තිහකට එහා අතීතයේ මනුෂ්‍ය ඝාතනයක් ගැන අසන්නට දකින්නට ලැබුණේ ඉතා විරලවය. නමුත් දියුණු යැයි සම්මත මනුෂ්‍යයා ඉතා කුඩා අතපසුවීමක්, බහින්බස්වීමක් සඳහා වුවද පළිගන්නේ මනුෂ්‍යයෙකුගේ දිවිය හිළව්වට ගනිමිනි. එකෙකු පරයා තවකෙකු නැඟී සිටින්නට ගන්නා තැතත්, පරාජය භාරගැනීමට තරම් නිරහංකාර හදවත් නොමැතිකමත්, ඉවසීම අවමවීමත් ආදී මෙකී නොකී බොහෝ කරුණු මෙවන් අමානුෂික අපරාධ වලට බොහෝදුරට හේතු වේ.

මේ කතාව වාර්තා වන්නේ හොරණ ජාතික නිවාස සංකීර්ණයෙහි අලුතින් ගොඩනැඟෙන දෙමහල් නිවෙසකිනි. එහි ඉදිකිරීම් බාර ප්‍රධාන කොන්ත්‍රාත්කරු යටතේ මේසන් බාස්වරු දෙදෙනෙක් සහ අත්උදවුකරුවන් දෙදෙනෙක් සේවයේ නිරතව සිටි අතර, දුරබැහැර ප්‍රදේශ වල පදිංචිකරුවන් වූ ඔවුන් නිවස ගොඩනඟන ස්ථානයේම නවාතැන් ගෙන සිටියේ ගමන් පහසුව සඳහාය.

මෙම ‘සිවු කට්ටුව‘ අතුරින් ‘රොෂාන්‘ සහ ‘තුෂාර‘ ගජ මිතුරන්ය. දවසේ මෙහෙවර නිමාකර වෙහෙසට පත්වූ විට ඇඟපතේ තෙහෙට්ටුව මකා ගැනීමට මත්වතුරද ඔවුන්ටද නැතුවම බැරි ‘අංගයක්ව‘ තිබිණි. එදිනද සවස නිවසේ ඉදිකිරීම් කටයුතු නිමාව පිරිස නැවතී සිටි කාමරයට එක්ව සිටි එම මිතුරන් දෙදෙනාට සෙසු මිතුරන් අතරින් එක්ව සිටියේ එක් අයෙකු පමණි. ඒ එක් අයෙකු අලුතින් ඇඳුම් මිලදී ගැනීමේ කටයුත්තක් සඳහා බැහැරට ගොස් සිටි බැවිනි.

"බෝතලයක් ගහමුද" යෝජනාව පැමිණියේ තුෂාරගෙනි. අනෙක් දෙදෙනාගෙන්ද ඊට ලැබුණු ප්‍රතිචාරය සුභවාදී වූ නිසා යෝජනාව ගෙනා තුෂාරම ගොස් මත්වතුර බෝතලයක් රැගෙන එන්නේ සුළු කාලයක් ඇතුළතදීය.

මත්පැන් වීදුරු කාල බාගය වෙමින් පසුව වීදුරුවල කට දක්වාම පිරෙමින් ජයටම ‘නැඟ ගිය‘ සාදය පැය ගණනාවක් ගතවුවද අවසන් වන ලකුණක් නම් පෙනෙන මානයක නොවුණි. එකිනෙකාගේ ලොකුකම්, හැකියාවන් ගැන සිදුකළ පුරාජේරුවලින්ද සාදයේ කිසිදු අඩුවක් නොතිබුණේ සියල්ලන්ටම ඒ වනවිට ‘පදමට වැදී‘ තිබුණු නිසාය.

යන්තමින් බිම් කරුවල වැටෙද්දී පටන්ගත් සාදය රාත්‍රී 11.30 වන විටද පැවැත්වෙමින් තිබියදී මත්බවේ රතු කට්ට පැනීමට ආසන්නව සිටි තුෂාරගේ මුවින් පිටවුණේ ඔහුගේ හැකියාවන් පිළිබඳව වූ පම්පෝරියකි. "මට ජේ.සී.බී. එකක් ගලවලා තනියෙන් හයිකරන්න පුළුවන්. උඹලට මොනවද පුළුවන් එහෙම බලද්දි...."

"හපෝ, ඕක මහ ලොකු වැඩක්ද බං...? අනික ජේ.සී.බී. ගලවලා හයිකළා කියලා උඹට මොනවද කියපන් බලන්න හම්බ වුණේ...." රොෂාන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයත් සමඟ තුෂාරට දැනුණේ දැඩි කෝපයකි. ඒ මිතුරා විසින් තම හැකියාව පහත්කර කතා කිරීම නිසාය. "අනේ නිකන් පලයන් බන් යන්න. උඹට මොනවද කරන්න පුළුවන්? මෙලෝ දෙයක් කරන්න දන්නෙ නැතුව නිකන් තව කියවන්නත් එනවා..." තුෂාරගේ කතාවට රොෂාන්ගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.

"මට මොකුත් බෑ කියලා උඹ කියන්නෙ කොහොමද බොල? මට පුළුවන් මාළු අල්ලන්න..."

"පුහ්... මාළු අල්ලන්න? ඕකත් මහ ලොකු වැඩක්ද? ගමේ ගොඩේ කොල්ලො කුරුට්ටන්ට වුණත් පුළුවන්නෙ යකෝ මාළු අල්ලන්න..." තුෂාර පැවසුවේ කොක්හඬලා සිනාසෙමිනි. එකිනෙකාගේ හැකියාවන් ඔවුන් විසින්ම හෙළා දැකීම හේතුවෙන් සහ දෙදෙනාගෙන් කිසිවෙකු හෝ පරාජය බාර ගැනීමට අකමැති වීමෙන් සුළු වේලාවක් ගතවෙද්දී එතැන මැවුණේ දැඩි මතභේදාත්මක තත්ත්වයකි. මධුවිත නිසා ඇතිව තිබුණු වාදය තව තවත් උත්සන්න වීම නිසා තුන්වැන්නා විසින් මෙම දෙමිතුරෝ සමඟි කිරීමට උත්සාහ ගත්තේ එනපොට හොඳ නැති බව වෙරිමතේ සිටියද ඔහුට දැනුණ නිසා වන්නට හැකිය.

නමුත් ඔවුන් දෙදෙනාගේ ‘වාග් සංග්‍රාමය‘ නතර කිරීමට තුන්වැන්නාට කිසිසේත්ම හැකියාවක් නොවීය. ඔහු එතැනින් නැගිට කාමරයෙන් එළියට පැමිණියේ තවත් එම ස්ථානයේ සිටීම ඇඟට ගුණ නොවන බව වටහාගත් බැවිනි. ඉන් අනතුරුව ඔහු වහා තම ප්‍රධානියා වූ ඉදිකිරීම් බාරවූ ප්‍රධාන කොන්ත්‍රාත්කරු හට දුරකතන ඇමතුමක් ගත්තේය.

"මහත්තයා, ඉක්මණට එනවද? අරුන් දෙන්නා ‘මරාගන්නවා‘ කාමරේ. මොනවා වෙයිද දන්නෑ. දෙන්නටම ඇතිවෙන්නම වැදිලා තියෙන්නෙ. පුළුවන් ඉක්මණට එනවද?..."

වේලාව මධ්‍යම රාත්‍රී 12 වීමට ආසන්නව තිබුණද තම සේවකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිව තිබෙන බව ඉවෙන් මෙන් වටහා ගත් ප්‍රධාන කොන්ත්‍රාත්කරු විනාඩි කිහිපයක පමාවෙන් එතැනට ළං වනවිටත් සියල්ල සිදුව හමාරව තිබුණු බව ඔහු දැන නොසිටින්නට ඇත. සාදය පැවැත්වෙන කාමරය තුළට තැබූ පය විදුලියක් වැදුණාක් මෙන් ක්ෂණයකින් ඔහු යළි පිටතට ගත්තේ එතුළ දුටු ශරීරය ලොමුඩැහැගැන්වෙන දසුන නිසාය.

තම වැඩ බිමෙහි සේවකයෙකු වූ රොෂාන් බිම දණ ගසාගෙන සිටි අතර, ඔහුගේ හිස පොළවට ආසන්නව පහළට එල්ලා වැටී තිබුණි. සමස්ත ශරීරයම තෙත් කරමින් ගලා ගිය රුහිරු ගංගාව පොළවට වැටී තිබුණේ කාමරයේ ගෙබිමද තෙත් කරමිනි. "මොකක්ද මේ කරපු අපරාදේ? ඉක්මණට රොෂාන්ව ඉස්පිරිතාලෙට ගෙනියමු..." යැයි පැවසූ ඔහු තවත් තත්පරයක්වත් අපතේ නොයවා ඒ වනවිටත් වෙරි හිඳී තිබූ අනෙක් දෙදෙනාගේද සහය ඇතුව තමන් පැමිණි වාහනයෙන්ම රොෂාන් හොරණ මූලික රෝහල කරා රැගෙන ගියේ කෙසේ හෝ ඔහුගේ දිවි බේරා ගැනීමේ අරමුණ ඇතුවය.

ඇඳුම් මිලදී ගැනීමට බව කියමින් බැහැරට ගොස් සිටි තැනැත්තාටද මධ්‍යම රාත්‍රිය පසුව විනාඩි කිහිපයක් ගතවෙද්දී ඇමතුමක් ලැබුණි.

"රොෂාන්ට කරදරයක් වුණා. ඉක්මණට ඉස්පිරිතාලෙට එන්න...."

ඇමතුමෙන් කියැවුණු පණිවුඩය වචන කිහිපයකට සීමා වුවත් එතුළ මහා ව්‍යසනයක තතු ගැබ්ව ඇති බව ඔහුට අවබෝධ වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. නිදිමත පසෙක තැබූ ඔහු වහා හොරණ රෝහල වෙත ළඟා වූයේ එක බත්පත බෙදාගෙන කෑ සිවු මිතුරන් අතුරින් එකෙකුට සිදුවූ කරදරය තමන්ට වූවා සේ සිතාය. රෝහලට ඇතුළුවූ ඔහුට දැකගැනීමට ලැබුණේ ට්‍රොලියක ලෙයින් නැහැවී සිටි තම මිතුරු රොෂාන්ය. ඔහුගේ ළයෙහි අඟල් තුනක පමණ දිගු දරුණු තුවාලයකි. ඉන් වෑහුණු රුධිරය ඒ වනවිටත් පිටතට කාන්දුවෙමින් තිබුණි.

"දෙයියනේ, මේ මොනවද කරගත්තේ උඹලා? රොෂාන්, මචං... කතා කරපන්..." තම මිතුරාගේ සිරුරට අත තබා සොළවමින් ඔහු හඬනැඟුවද ඒ වනවිටත් රොෂාන්ගේ පණනල ඔහුගෙන් මිදී වා තලයට මුසුවු තිබුණේ සැවොම සෝ සයුරක ගිල්වමිනි. පාන්දර යාමයේ නැවත තමන් නතරව සිටි කාමරය වෙත පැමිණි සිවුවැන්නාට මුළුතැන්ගෙය පිහිටි කොටසේ ගෑස් ළිප යට විසිකර තිබූ අඩියක් පමණ දිගු පිහියක් හමුවූ බවත්, එහි ගෑවී තිබූ රුධිරය පිසදා දැමීමට උත්සාහ දරා තිබූ බව තමාට පෙනී ගිය බවත් ඔහු පොලිසියට ලබාදුන් කටඋත්තරයෙහි සඳහන්ව තිබිණි.

රොෂාන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිය සිටියේ විදේශගතවය. මව හදවත් රෝගියෙකි. කිසිසේත්ම වැදගත්කමක් නැති කාරණාවකට වාද කරගැනීමට ගොස් නිරපරාදේ මරුමුවට පත් රොෂාන්ගේ ආදරණීයයන් මේ මොහොතෙහිද විඳින වේදනාව සුළුපටු නොවේ.

රැකියාවක් කර තම නිවැසියන්ට සවියක් වීමට සිතා පිටව ගිය රොෂාන් අවසානයේ නිවසට පැමිණියේ ප්‍රාණය නිරුද්ධවය. පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, හොරණ සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.සී. සේරසිංහ යන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ, උප පරීක්ෂක තරිඳු බණ්ඩාර සහ සැරයන්වරුන් වන (35477)ලලිත්, (60604)සුභසිංහ, (14934)ජනක, කොස්තාපල්වරුන් වන (83935)ක්‍රිෂාන්ත, (96978)කුමාරසිරි යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, කොස්තාපල් (41050)ගීකියනගේ කරුණු දැක්වීමෙන් සිදුවූ අධිකරණ කටයුතුවලින් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

Comments