ඉයුනිස් පීරිස්ගේ අවසන් සුසුම් පොද වාතලයට | සිළුමිණ

ඉයුනිස් පීරිස්ගේ අවසන් සුසුම් පොද වාතලයට

 

මැතිව් පීරිස් දේවගැතිවරයා වෛද්‍යවරයාගෙන් පුන පුනා ඇසුවේ තම බිරිය මිය යා හැකිද යන්නයි. ඇගේ රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වීම හෝ සාන්ද්‍රණය මත ඇගේ ජීවිතය රඳා පවතින බව වෛද්‍යවරයා පවසා තිබිණි. ඉන් අනතුරුව වෛද්‍ය රාජා සිල්වා දිවා ආහාරය සඳහා විවේකාගාරයට ගියේ සිය වාට්ටුවට ඇතුළත් කළ අමුතු රෝගියා ගැන කල්පනාවේ නිමග්න වෙමිනි.

මේ පිළිබඳව විවේකාගාරයේ සිටි සගයන්ට පවසන විට මෙවැනිම සිදුවීමක් තවත් වාට්ටුවක වූ බව ශල්‍ය වෛද්‍ය විශේෂ මොහාන් ද සිල්වාට සිහිපත් විය. මෙම සංවාදයේදී රෝගින් දෙදෙනාම සිහි මුර්ජා තත්ත්වයෙන් ඇතුළත් කළ බවත් රෝගින් දෙදෙනාවම බාර දී තිබෙන්නේ රැවුල වවාගත් ඇන්ග්ලිකන් සභාවට අයත් පූජකවරයකු බවත් හෙළි විය. මීට පෙර රෝගියා දියවැඩියාවට ලබාදෙන ඖෂධ අධි මාත්‍රාවක් ලබා දීමෙන් මිය ගිය බවද සාකච්ඡාවට භාජනය විය. ඊට පසුව රාත්‍රි කාලයේදී පැමිණි වාට්ටු බාර වෛද්‍ය වික්‍රමසිංහට මෙම අපුරු කතාන්දරය දැන්වූයේ වෛද්‍ය රාජා ද සිල්වාය. මේ අනුව තියුණු සැකයකට යොමු වූ මෙම සිදුවීම, පොලිසියට දැනුම් දිය යුතු බව වෛද්‍ය වික්‍රමසිංහ විසින් ඇඳපතෙහි ඇති ටිකට් පතෙහි සටහනක් තබන ලදී. මරදාන පොලිසියේ නිලධාරියෙක් වාට්ටුවට පැමිණ වෛද්‍යවරුන්ගෙන් කට උත්තර ලබා ගත්තේ ඉන් අනතුරුවය.

කොළඹ මහ රෝහලේ 47- B වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඉයුනිස් පීරිස්ට ඩෙක්ස්ට්‍රෝස් ලබා දුන් නමුදු කිසිම විටෙක යළි සිහිය ලැබුවේ නැත. ඊට හේතු වූයේ ඇයව රෝහල්ගත නොකර සිහි මූර්ජා තත්ත්වයෙන් පැය 16ක් පමණ තබා ගැනීම නිසා මොළයට තදබල ලෙස හානි සිදු වීමයි. මේ අතරවාරයේදී ඉයුනිස් පීරිස්ව බැලීමට රෝහලට පැමිණි වෛද්‍ය ලක්ෂ්මන් වීරසේනට මහත් ප්‍රහේලිකාවක් වූයේ ඉයුනිස් සිහි මුර්ජා වීමට හේතුව කුමක්දැයි සිතා ගැනීමට නොහැකි වූ නිසාය. වෛද්‍ය සතානාදන් ලබා දී තිබු ඖෂධවලට මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන බව සක්සුදක් සේ පැහැදිලි බැවින් ඇයට සිහි මුර්ජා වීමට බලපෑවේ කවර කාරණයක්දැයි ඔහුට සිතා ගැනීමට අසීරු විය. ඉයුනිස්ගේ රුධිරයේ සීනිවල යම් ප්‍රශ්නයක්දැයි වෛද්‍ය ලක්ෂ්මන් වීරසේනට සිතුණේ මෙවැනි රෝග ලක්ෂණ පළ වන්නේ සීනි අවසාන්ද්‍රණය වූ විට බව ඔහු හොඳින් දන්නා නිසාය.

"වැරදීමකින්වත් ෆාදර්ගේ බේත්පෙති වයිෆ් ගත්තාද?" යනුවෙන් වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන මැතිව් පීරිස් දේවගැතිවරයාගෙන් විමසුවේ එබැවිනි.

"එහෙම වෙලාද කියලා ගිහින් බලන්න ඕනෑ" යැයි දේවගැති මැතිව් පීරිස් ඊට දුන් පිළිතුරෙන් වෛද්‍ය ලක්ෂ්මන් වීරසේනගේ සිත තුළ හට ගත්තේ බලවත් විමතියක් මෙන්ම සැකයකි. මෙම අවස්ථාවේ මැතිව් පීරිස් දේවගැතිවරයා "නැහැ, එහෙම වුණේ නැහැ." යන පිළිතුර ලබා දුන්නේ නැත. එහෙත් මෙම සිද්ධියෙන් පසුව මැතිව් පීරිස් දේවගැතිවරයා, වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන සමඟ කිසිම සම්බන්ධතාවක් පැවැත්වුයේ නැත.

පෙබරවාරි 07 වැනි දින වන තුරු ඉයුනිස් පීරිස්ට ඩෙක්ස්ට්‍රෝස් ලබා දුන් නමුදු පෙබරවාරි 07 සිට පෙබරවාරි 12 වැනි දින දක්වා ඩෙක්ස්ට්‍රෝස් ලබා දුන්නේ නාසයෙන් බටයක් දමමිනි. පෙබරවාරි 12 වැනි දින පටන් සිහි මුර්ජා තත්ත්වයේ රෝගින්ට ආහාර ලබා දෙන ආකාරයට ආහාර ලබා දෙන ලදී. පෙබරවාරි 13 වැනිදා වන විට ඉයුනිස් පීරිස්ගේ ඇඳ තුවාල හට ගැනිණි. ඉන් අනතුරුව ඇගේ රුධිර පීඩනය පහත බසින්නට විය. ඒ අතරේදීම එහි අතුරු ආබාධයක් ලෙස ඇයට නිව්මෝනියාව වැලඳිණි. මේ ආකාරයට දිනෙන් දින මරණය කරා ඇදී ගිය ඉයුනිස් පීරිස් මාර්තු 19 වැනි දින අවසන් සුසුම්පොද වාතලයට එකතු කළේ සිහිසුන් තත්ත්වයෙන්වත් ජීවත්වීමට ඉඩක් නොලබමිනි.

සිහිසුන් තත්ත්වයෙන් මරු වැලඳගත් ඉයුනිස් ෆිලිෂියා පීරිස්ගේත් රසල් ඉන්ග්‍රම්ගේත් මරණ පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී සමානතා රැසක් දැකගත හැකිය. ඉයුනිස් සහ රසල් යන දෙදෙනාම කිසිම රෝගයකින් නොපෙළුණු මනා ශරීර සෞඛ්‍යයෙන් පසු වූ දෙදෙනෙකි. අනෙක මේ දෙදෙනාම රෝගි වූයේ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ පූජක නිල නිවසේදීය. දෙදෙනා කෙරෙන් පළ වුයේ එක සමාන රෝග ලක්ෂණ වන අතර දෙදෙනාගේම රෝග ඉතිහාසය වෛද්‍යවරුන්ට පැවසුවේ මැතිව් පීරිස් දේවගැතිවරයා විසිනි. දෙදෙනාටම ඩෙක්ස්ට්‍රෝස් ලබා දුන් විට රෝගි තත්ත්වය උත්සන්න වන බව මැතිව් පීරිස් දේවගැතිවරයා පවසා ඇත. දෙදෙනාටම ආහාර ප්‍රතිකාර දුන්නේ දේවගැතිවරයාමය. දෙදෙනාවම රෝහල්ගත කරනු ලැබුවේ සිහි මුර්ජා වී දීර්ඝ වේලාවකට පසුවය. එනම් සිහිසුන් වු සැණින් දෙදෙනාවම රෝහල්ගත කළේ නැත. රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වීම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි ආකාරයට මොළයට හානි වී, අනතුරුව අතුරු ආබාධයක් ලෙස නිව්මෝනියාවට ගොදුරු වීමෙන් දෙදෙනාම මරණයට පත් වී තිබිණි.

ඉයුනිස්ගේ මරණයත් සමඟ පොලිස් පරීක්ෂණ යළි ආරම්භ විය. රසල් ඉන්ග්‍රම්ගේ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දී තිබුණ ද එකී පරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ නැත. එහෙත් එය යළි පණ ගසා ආවේ ඉයුනිස්ගේ මරණයත් සමඟය. ඇත්ත වශයෙන්ම ඉයුනිස් මිය යෑමට පෙර ඈ රෝගි තත්ත්වයේ පසු වෙද්දි පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබුණ ද පොලිස් නිලධාරියකු පැමිණ වෛද්‍යවරුන්ගෙන් කටඋත්තර ලබා ගත්තා මිස ඉන් ඔබ්බට පරීක්ෂණයක් සිදු කෙරුණේ නැත.

සාමාන්‍යයෙන් මිනීමැරුම් සහ අපරාධ පිළිබඳව විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන නමුදු මෙම පරීක්ෂණය, පොලිසිය යටතේ ඇති අපරාධ පිළිබඳව විමර්ශනය කෙරෙන අංශයට බාර විය. මෙම අංශය බාරව කටයුතු කළේ පොලිස් අධිකාරි ටිරල් ගුණතිලකය. ඔහුගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට සහකාර පොලිස් අධිකාරි හේමා වීරසිංහ, පොලිස් පරීක්ෂක කෲස් ඇතුළු කණ්ඩායමක් යෙදවිණි. මෙහිදි ප්‍රථමයෙන්ම සිදු වූයේ කටඋත්තර ලබා ගැනීමයි. වෛද්‍ය රාජා ද සිල්වා, වෛද්‍ය වික්‍රමසිංහ, වෛද්‍ය ෂෙරිෆ් ඩීන්, වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන,වෛද්‍ය ජෝශප්, වෛද්‍ය අර්නි පීරිස් ඇතුළු බොහෝ පිරිසකගෙන් කටඋත්තර ලබා ගැනීම සිදු විය. මේ අතරවාරයේදී මැතිව් පීරිස් දේවගැතිවරයාගේ පූජක නිල නිවස පොලිස් පරික්ෂාවට ලක් කෙරිණි. එහි තිබූ බෙහෙත් පෙති විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට පත් විය.

ඉන් අනතුරුව පොලිසිය විසින් මාර්තු 29 වැනි දින රසල් ඉන්ග්‍රම්ගේ දේහය ගොඩ ගැනීම සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටීමත් සමඟ ඉන් වඩාත් කලබල වුයේ මැතිව් පීරිස් දේවගැතිවරයාය. දේවගැති මැතිව් පීරිස් මෘතදේහය එම්බාම් කළ මල් ශාලාවට දුරකථනයෙන් අමතා එම්බාම් කළ මළසිරුරක් මාස 8කට පසුව කුමන තත්ත්වයේ තිබේදැයි විමසීමක් කළේ එමනිසාය. එම්බාම් කළ මෘතදේහයක් මාස 8 ක් තුළ සම්පූර්ණයෙන් නරක් වී දිය නොවන බව මල් ශාලා හිමිකරු දන්වා සිටියේය. රසල් ඉන්ග්‍රම්ගේ මෘතදේහය ගොඩගත් පසුව දේහය හඳුනාගත් නමුදු පරීක්ෂණ කටයුතු සාර්ථක නොවුයේ අභ්‍යන්තර අවයව සියල්ල ඉවත් කර තිබූ බැවිනි.

මේ කාලය වන විට ඩැල්රින් ඉන්ග්‍රම් කොලෝනියල් මෝටර් රථ සමාගමේ දුරකථන ක්‍රියාකාරිනියක ලෙස සේවය කළාය. ඇයට ඉන් හොඳ වැටුපක් හිමි විය. ඩැල්රින් දරුවන් තිදෙනා සමඟ නාවල ඇල්ෆ්‍රඩ් පෙරේරා මාවතේ කුඩා ඇනෙක්සියක පදිංචියට ගියාය. මේ වන විට ඩැල්රින්ට හොඳ ආර්ථික හැකියාවක් තිබුණද ඇනෙක්සියේ මාස තුනක අත්තිකාරම් මුදල් ගෙවා තිබුණේ මැතිව් පීරිස් දේවගැතිවරයා විසිනි. ඩැල්රින් මෙම නිවසේ පදිංචියට පැමිණි පසුව දේවගැතිවරයා සෑම දවසකම සවස් කාලයේ එහි පැමිණ රෑ 9.00, 10.00 වන තුරු රැඳී සිටි බව නිවසේ හිමිකරු පසුව අධිකරණය ඉදිරියේ සාක්ෂි දී තිබිණි. ඇතැම් දිනවල නුගේගොඩ සුපර් මාර්කට්ටුවට ගොස් ඩැල්රින් සහ දරුවන් තිදෙනා සමග බඩු රැගෙන එන බවද නිවසේ හිමිකරු පවසා තිබිණි. ඩැල්රින් සේවය කළ කොලෝනියල් මෝටර්ස් ආයතනයේම සේවය කළ ඉයුනිස් ෆිලිෂියා පීරිස්ගේ සොහොයුරා වන අර්ඩිලි, මැතිව් පීරිස් දේවගැතිවරයා ඩැල්රින්ගේ දිවා ආහාරය රැගෙන පාපැදියෙන් පැමිණෙන අයුරු ද දැක තිබිණි.

(ඉතිරි කොටස ලබන සතියේ)

 

Comments