ගම්පහ කෙහෙල්බද්දර දී අචිර මැරුවේ වැරදීමකින් ද හිතාමතා ද? | සිළුමිණ

ගම්පහ කෙහෙල්බද්දර දී අචිර මැරුවේ වැරදීමකින් ද හිතාමතා ද?

 

 

පසුගිය මාස දෙකකදී මෙරට විවිධ ස්ථානවල පාතාල කල්ලි කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් නිසා මේ වන විට මියගොස් සිටින සංඛ්‍යාව විසිතුනකි. පාතාල සාමාජිකයන් අතර ඇතිවන ගැටුම් නිසා අහිංසකයන් ද නිකරුණේ ඝාතනය වන අවස්ථා ඇත. මේ හේතුව නිසා එම අහිංසකයන්ගේ සාමාජික සාමාජිකාවන්ට කිසිවකුගේ හව්හරණක් නොලැබී අසරණ වීමට සිදුවීම ද ඉතා කනගාටුදායකය.

ඉකුත් අ‍ගෝස්තු මස 06 වැනි දින පෙරවරුවේ උඩුගම්පල කොටුගොඩ මාර්ගයේ කෙහෙල්බද්දර සැලුන් එකක සේවය කළ තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් මීට සමානම සිදුවීමකි.

ගම්පහ, බටහිර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි, එමෙන්ම කරණවෑමියෙකු ලෙස සේවය කළ විසි හැවිරිදි අචිර නෙත්රුවන් බෝඹුවල තරුණයා මෙලෙස වෙඩි තබා ඝාතනය කැරෙන්නේ අනපේක්ෂිතවය. අචිර වෙඩි තබා ඝාතනය වීමට පෙර මාස තුනක පමණ කාලයක සිට කෙහෙල්බද්දර සැලුන් එකක කරණවෑමියකු ලෙස සේවය කර ඇති අතර ඔහු ප්‍රදේශයේ ජනතාව අතර 'සුහදශීලී පුද්ගලයකු' ලෙස ද ප්‍රසිද්ධව සිටියේය.

මෙම සැලුන් එකේ අයිතිකරුගේ නිවෙස ඉදිරිපිට අදාල සැලුන් එක පිහිටා ඇති අතර එහි හිමිකරු ඩුබායිහි සැඟවී සිටින මෙරට ප්‍රබල පාතාල කල්ලි නායකයකුගේ ගෝලයකු බවට පොලිසිය විසින් මේ වනවිට හඳුනාගෙන තිබේ. මෙම ඝාතනය සිදුවූ දින අචිර එම සැලුන් එකේ සේවයේ නිරතව සිට ඇත. එහි හිමිකරු ඊට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගිය අවස්ථාවේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඉන් බැස සැලුන් එකට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර එම යතුරු පැදියේම නැගී පලා ගිය බව පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී හෙළිවිය.

වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ අචිර ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරුමුවට පත්විය. අචිරගේ මව වන ගම්පහ, බටහිර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි කේ.ඩී. නන්දිකා ගුණතුංග ගම්පහ මූලස්ථාන පොලීසියට පැමිණ සිය පුතුගේ ඝාතනය ගැන පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ කැරිණි.

වෙඩි තැබීම සිදුවූ ස්ථානය අපරාධ ස්ථානයක් ලෙසට නම් කළ ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර (සොකෝ) නිලධාරින් විද්‍යාත්මක විමර්ශනයක් ආරම්භ කරන ලදි. පසුව අදාළ ස්ථානයට පැමිණි ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ඒ.එම්. ඉන්ද්‍රානි අත්තනායක ඝාතනය සිදුවූ ස්ථානය සහ අචිරගේ මෘත දේහය පරික්ෂා කර බලා ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය.

ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පි.ටි.සි.ඩි. ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙළේය. වෙඩි තැබීමෙන් ශරීරයේ අභ්‍යන්තර අවයවවලට සිදුවූ හානිය නිසා අචිරගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කෙළේය.

ගම්පහ අධිකරණයේ නඩුවකට පෙනී සිට යමින් සිටියදි පාතාල නායකයකු වන පස් පොඩ්ඩා ඇතුළු දෙදෙනෙකුට ගම්පහ අධිකරණය අසලදි වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේ අචිර රතිඤ්ඤා පත්තු කර ඇති බව ප්‍රදේශවාසීන් පවසන බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

එම හේතුව නිසා ඊට පළිගැනීමේ අරමුණින් පාතාල කල්ලියක් අචිර ඝාතනය කරන්නට ඇත්දැයි සෙවීම සඳහා මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ඝාතනය සඳහා කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් උපයෝගි කර ගෙන ඇති බවට සැක කැරේ. අචිරගේ සිරුරට වෙඩි පහරවල් හතක් පමණ වැදී ඇති බව ද වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි විය. අචිරගේ ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී හිස් පිස්තෝල පතරොම් කොපු කිහිපයක් විමර්ශන නිලධාරින්ට හමුවී ඇත. අචිරගේ ඝාතනය සිදුවන අයුරු සීසීටීවී කැමරාවලද සටහන්ව ඇති අතර පොලිස් නිලධාරින් අදාළ සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් ගැන තොරතුරු අනාවරණය කැර ගැනීමට විමර්ශන කටයුතුවල නිරතව සිටිති. අචිර කෙහෙල්බද්දර ප්‍රදේශයේ සාමකාමී ලෙස ජීවත් වූ අයෙකි. ඔහුට අපරාධ චෝදනා නොමැති අතර ඔහු සේවය කළ සැලුන් එකට පැමිණෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි තම සේවය ලබාදෙන කාරුණික පුද්ගලයකු බව පොලිසිය තොරතුරු සොයාගෙන ඇත.

ගම්පහ අධිකරණය අසල පසුගියදා සිදුවූ වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමේ අරමුණින් අචිර ඝාතනය කර ඇත්දැයි යන්න සෙවීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. අචිරගේ පවුලේ ඥාතීන්ගෙන් සහ ප්‍රදේශවාසීන් කීපදෙනෙකුගෙන් ද මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඝාතනය කැරුණු අචිරගේ මව වන ගම්පහ, බටහිර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි තිදරු මවක වන කේ.ඩී. නන්දිකා ගුණතුංග පොලිසියට ප්‍රකාශයක් ද ලබා දුන්නාය.

"අචිර පුතා මාස තුනක පමණ කාලයක සිට අදාළ සැලුන් එකේ කරණවෑමියකු ලෙස සේවය කළා. ඉකුත් අගෝස්තු මස 06 වැනි දින උදේ පුතා රැකියා ස්ථානයට යන බව පවසා නිවසින් පිටව ගියා. පසුව අපේ හිතවත් පුද්ගලයකු අචිර පුතාට 'කරදරයක්' සිදුව ඇති බව සහ ඔහු ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මට කීවා. පසුව මම ගම්පහ මූලික රෝහලට ගියා. එහිදී මේ සිද්ධිය දැන ගත්තා. අනතුරුව ගම්පහ මූලස්ථාන පොලීසියට ගිහින් පැමිණිල්ලක් කළා.

අචිර පුතාට කිසිම තරහකාරයෙක් සිටියේ නැහැ. ඔහු කා සමඟත් සුහදව මිත්‍රශීලීව කටයුතු කළා. එම සැලුන් එකේ හිමිකරු සමඟ තිබූ ආරවුලක් මත වැරදීමකින් පුතාට වෙඩි තබා ඇති බවත් කියනවා. මෙම ඝාතනය සිදුකළ

පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා."

මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා ගම්පහ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චිගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජයකෝන්, උප පොලිස් පරීක්ෂක යසනායක, සැරයන්වරුන් වන (12839) රොෂාන්, (32795) ප්‍රේමලාල්, (55438) ප්‍රියන්ත, කොස්තාපල්වරුන් වන (1854) සම්පත්, (39627) මාලිංග, පොලිස් කොස්තාපල් රියදුරු (80957) ජයසිංහ යන නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.

Comments