
මේ දිනවල තැන තැන සොරකම් එසේත් නැතිනම් මංකොල්ල කෑම් බහුලව සිදුවන ආකාරයක් දක්නට ඇත. ඒ සඳහා අපරාධකාරයන් නොයෙක් වෙස් ගනිති. පසුගිය 8 වැනිදා කොටහේන, ශාන්ත බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසද එලෙස කොල්ලකා තිබුණේ. රහස් පොලිස් වෙස්ගත් කල්ලියකි. රුපියල් දෙකෝටි හයලක්ෂයක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමට අදාළව මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටහේන පොලිසියට හැකි වූයේ මේ කොල්ලය සිදුවී පැය 24ක් ගතවෙන්නටත් මත්තෙනි. මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
දමිළ ජාතික 31 හැවිරිදි ‘භවානන්දන්‘ ටයිල් සහ හාල්මැස්සන්, කරවල ආදිය මෙරට ගෙන්වන කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු මෝදර කිඹුලඇළ ප්‍රදේශයේ සිට මීට වසර දෙකහමාරකට පමණ පෙර කොටහේන, ශාන්ත බෙනඩික් මාවතේ 46/8 ලිපිනයේ පිහිටි නිවෙසට කුලියට පැමිණියේය. පටු මාර්ගයකට මුහුණලා පිහිටි එම නිවෙස තවත් නිවෙස් කීපයක් සමඟ පේළියට පිහිටි නිවෙසකි.
ඉකුත් අට වැනිදා පෙරවරුවේ ව්‍යාපාරික භවානන්දන් සිය නිවෙසට අවැසි කළමනා රැගෙන ඒමට වෙෙළඳපොළට ගොස් සිටියේය. ඒ වන විට නිවෙසේ සිටියේ ඔහුගේ 25 හැවිරිදි බිරිය සහ නිවෙසේ කාමරයක් කුලියට ගෙන සිටි කාන්තාව පමණි. පෙරවරු 9.15ට පමණ එකම විදිහේ ඇඳුම්වලින් සැරසුණ දෙදෙනෙක් ‘භවා‘ගේ නිවෙසට ඇතුළු වූයේ තමන් සීඅයිඩී නිලධාරින් ලෙස හඳුන්වා දෙමිනි. ඔවුන් දෙදෙනාම සැරසි සිටියේ ප්‍රභු ආරක්ෂකයන් අඳිනා ඇඳුමට සමාන ඇඳුම්ය.
“කෝ මහත්තයා...? එයා මොනවද කරන්නෙ...? අපිට ඉන්ෆොමේෂන් එකක් ලැබුණා තමන්ගේ මහත්තයා හොර බිස්නස් කරනවා කියලා. කෝ දැන් එයා..“
පැමිණි දෙදෙනා එලෙස පවසමින් භවාගේ බිරියට ‘සත්තම‘ දමන අතරේ භවානන්දන් සිය බිරියට ඇමැතුම් කිහිපයක්ම ගත්තේ නිවෙසට අවැසි කළමනාවල අඩුපාඩු මොනවාද යන්න දැනගැනීමේ අටියෙනි. එහෙත් බිරියගෙන් එම ඇමැතුම්වලට කිසිම පිළිතුරක් නොවීය. බිරිය එලෙස දුරකථන ඇමැතුම්වලට පිළිතුරු නොදීම ගැන සිතේ ඇතිවුණු සැකය නිසා භවා ක්ෂණයෙන් නිවෙසට පැමිණියේය. ඒ වන විට වේලාව පෙරවරු 9.50ට පමණය.
නිවෙසට පැමිණ දොරට තට්ටු කරන භවානන්දන් ඒ වන විට නිවෙසේ සිටි පුද්ගලයන් දෙදෙනාගේ ග්‍රහණයට නතු වන්නේ නොසිතූ ලෙසය.
“අපි සීඅයිඩී එකෙන්... උඹ කුඩු බිස්නස් කරනවා නේද? උණ්ඩියල් සල්ලි නේද උඹ ළඟ තියෙන්නෙ... කෝටි තුනක් උඹ ළඟ තියෙන්න ඕන... ඔක්කොම සල්ලි ටික එළියට ගනිං...“
දෙදෙනා සතුව මාංචු කුට්ටමක් සහ පිස්තෝලයක්ද පෙනෙන්නට විය. භවා ඇතුළු නිවැසියන් සිතුවේම ‘මේනම් පොලිස් නිලධාරින්ම‘ බවටයි. භවා නිවෙසට ඒමට පෙර පැමිණි දෙදෙනා නිවෙසේ තිබූ රන් අබරණ සියල්ල ඔවුන්ගේ බාරයට ගෙන තිබිණි. භවා පැමිණීමෙන් පසු මුදල් සඟවා තිබූ තැන් ඔහුගෙන් අසා දැනගත් පුද්ගලයන් දෙදෙනා එම මුදල්ද ඔවුන්ගේ බාරයට ගෙන තිබිණි.
“මේ රත්තරන් බඩුයි සල්ලියි ඔක්කොම අපි අරගෙන යනවා... මොකක්හරි බෑග් එකක් ගනිං... නැත්නම් අපි ගැන මිනිස්සුන්ට සැක හිෙතනවානේ...“
එකී ‘සැක හිතනවානේ‘ යැයි කී වදන් පෙළ භවාට ගෙන දුන්නෙ සැකයකි.
“මොකක්ද සර් සැක සිතනවා කියන්නෙ... ඕගොල්ලෝ පොලිසියෙන් නේද?“ යැයි භවා ඔවුනගෙන් විමසුවේ කුතුහලයෙනි.
“නෑ... නෑ අපි මේවා අරන් යනවා... උඹ අද හවස තුනට වරෙන් සීඅයිඩී එකට...“ යැයි දෙදෙනා පැවැසීමත් සමඟ භවාගේ සිතේ පැනනැඟුණු සැකය තවත් තීව්‍ර වූයේය.
“නෑ... නෑ... එහෙම කරන්නෙ කොහොමද? අරන් යනවනම් මාත් එක්කම සල්ලියි රත්තරන් බඩුයි අරන් යන්න...“ භවා එසේ එකට එක දෙදෙනා සමඟ කීවේ ඔහුට මේ පුද්ගලයන් දෙදෙනා ගැන ඒ වන විට ඇතිව තිබූ සැකය නිසාය.
ඒ සමඟම එම පුද්ගලයන් දෙදෙනා පිස්තෝලය ගෙන භවාගේ හිසට තබා ‘උඹ දඟලන්න හදන්න එපා... ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා...‘ යැයි කියා භවාගේ දෑතට මාංචු දැම්මේ තවත් විනාඩි කීපයක් ඇතුළතදීය.
ඒ අතරේ නිවෙසේ නැවති සිටි කාන්තාවගේ දෙඅත් සහ දෙපාද ගැටගසා ඇය සිටි කාමරයට දැමු දෙදෙනා භවා සහ බිරිය ඔවුනගේ කාමරවලට දමා දොරගුළු දැමුවේ භවා සහ බිරියට කරකියා ගත දෙයක් නොමැතිව බලා සිටියදීය.
භවාගේ නිවෙසට පැමිණි විගසම කොල්ලකරුවන් දෙදෙනා නිවෙසේ තිබූ සියලුම දුරකථන නාන කාමරයේ තිබූ ජලය පිරවූ බේසමකට දැමුවේ දුරකථන සබඳතාවන්ටද ‘තිත‘ තබමිනි. නිවැසියන් කාමරවලට දමා දොර ‘ලොක්‘ කොට දෙදෙනා පිටත්ව යන්නේ පැය එකහමාරක පමණ කාලයකට පසු පෙරවරු 10.50ට පමණය. ඒ යන අතරේ භවාගේ දෑතට දැමු මාංචුද ඔවුන් ගලවාගෙන යන්නේ භවාට කාමරයෙන් එළියට නොඑන ලෙස තර්ජනය කරමිනි.
කොල්ලකරුවන්දෙදෙනා පිටත්ව ගිය සැණින් භවා දිව යන්නේ කොටහේන පොලිස් ස්ථානයටය. ඔහු සිදුවූ සියල්ල ‘අකුරක් නෑර‘ පොලිසියට කියන්නෙ බියෙන් ගැහෙමිනි. කොල්ලකරුවන් දෙදෙනා රැගෙන ගිය දෑ අතර මුදලින් රුපියල් දහඅට ලක්ෂ අසූ දහසක් සහ රුපියල් එක්කෝටි අසූඅට ලක්ෂයක් වටිනා රන් අබරණ තිබූ බව භවා පොලිසියට පැවැසීය.
කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල නවරත්න ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ද එම කොල්ලය පිළිබඳව දැනුම්වත් කළේය. ඒ සමඟම කොල්ලකරුවන් කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් සූදානම් කැරිණි.
විමර්ශන සඳහා එක්වූ එක් පොලිස් කණ්ඩායමක රාජකාරිය වූයේ භවාගේ නිවෙස අවට පිහිටි සීසීටීවී කැමරා පරීක්ෂාවයි. එකී සීසීටීවී කැමරා පරීක්ෂාවේදී කොල්ලකරුවන් පැමිණි ආකාරය සොයා ගැනීමට පොලිසියට හැකි විය. කොල්ලකරුවන් දෙදෙනා පැමිණ තිබුණේ සුදු පැහැති ‘ප්‍රියස්‘ වර්ගයේ WP CAP 9475 දරන කාර් රථයෙනි.
එම කාරය පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී එය මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක නමට ලියාපදිංචි කරන ලද රථයක් බව අනාවරණය විණි. එම ලිපිනය සොයා ගිය පොලිස් නිලධාරින් එකී නිවෙසට යන විටත් රථය නිවෙසේ තිබිණි. රථයේ හිමිකාරියගේ පුත්‍රයා එම රථය ගුවන් තොටුපොළ කුලී රථයක් ලෙස භාවිත කළේය. එම තරුණයාද එකී රථයෙන් සොරකම වූ දින ශාන්ත බෙනඩික් මාවතට පැමිණ සිටි ආකාරය සීසීටීවී දසුන්හි මනා සේ සටහන්ව තිබිණි.
තරුණයා මෝටර් රථය සමඟ සැකපිට අත්අඩංගුවට ගැනිණි. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු පොලිසියට කීවේ අමුතුම කතාවකි.
“සර් මං දන්න කෙනෙක් ඉන්නවා 'රොෂාන්' කියල... එයාගේ ‘ගෙවල්‘ ග්‍රැන්ඩ්පාස් මහවත්තෙ. එයා කලින් එයාර්පෝට් හයර් දිව්වා. ඒ නිසයි එයාව හඳුනන්නෙ... ඉඳලා හිටලා කොළඹ ආවම හම්බ වෙනවා... එහෙම ආපු වෙලාවකයි ඔය හයර් එක සෙට් වුණේ... එයා කිව්වේ ඉඩමක වැඩකට ලෝයර් කෙනෙක් හම්බ වෙන්න යන්න තියෙනවා කියලා. ඒ ඉඩමේ වැඩේට තවත් මහත්තයෙක් එනවා... එයා කඳානෙන් දාගෙන එන්න කිව්වා. රොෂාන් මහවත්තෙන් නැග්ගා...“
ඒ අනුව එම කුලී ගමන සඳහා රොෂාන් සමඟ පැමිණි සෙසු පුද්ගලයා රොෂාන්ගේ එක කුස උපන් වැඩිමල් සහෝදරයා බව රියැදුරු තරුණයා දැන සිට නැත.
ඔහු කී ප්‍රකාශය සත්‍යයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා ප්‍රධාන සැකකරුවන් රථය පැදවූ තරුණයාට ගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවක් පොලිසිය ලබාගත්තේ ඉන් අනතුරුවය. එය සත්‍ය බව හෙළි වීමෙන් පසු සැකකාර අයියා-මලෝ සොයා ගිය පොලිස් නිලධාරින්ට ඒ දෙදෙනා කඳාන වැලිගම්පිටිය පාරේ හෝටලයකදී අත්අඩංගුවට ගත්තේ එම හෝටලයේ මත්පැන් පානය කරමින් සිටියදීය. කොල්ලය සිදුකළ දා කඳානෙන් මිනුවන්ගොඩ සිට පැමිණි තරුණයාගේ වාහනයට මුලින්ම ගොඩවී තිබුණේ රොෂාන්ගේ අයියා වන ඇනස්ලිය. රොෂාන් ඔහුට වඩා වසර දෙකකින් බාලය.
මේ අයියාමලෝ අත්අඩංගුවට ගැනුණේ කොල්ලයට පසු දින එනම් පසුගිය 9 වැනිදා දහවලේයි. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කොල්ලයට තවත් දෙදෙනෙක් සම්බන්ධ බවට තොරතුරු හෙළි විය. ඒ 20 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් වන සිත්ති වර්ජිනියා සහ චාරුනිය.
කඳාන ප්‍රදේශයේම පදිංචිකාරියන් වන එම තරුණියන් දෙදෙනාගෙන් වර්ජිනියා භවාගේ බිරියගේ හිතවතියකි. එම හිතවත්කම ඇතිවී තිබුණේ මෑතකදීය. භවාගේ බිරිය මෝදර, කිඹුලඇළ පදිංචි කතකි. ඇය කිඹුලාඇළ පදිංචිව සිටියදී වර්ජිනියාද කලක් කිඹුලාඇළ පදිංචිව සිටියාය. ඒ සමඟ දෙදෙනාගේ හිතවත්කම ඇතිවීමත් සමඟ භවාගේ නිවෙසට මේ තරුණියන් දෙදෙනා නිතර පැමිණෙන්නට වූහ. එසේ යන එන අතර භවාගේ නිවෙසේ රුපියල් ලක්ෂ-කෝටි ගණනින් මුදල් සංසරණය වන ආකාරය මේ තරුණියන් දෙදෙනාටද දකින්නට හැකි විය.
පසුගිය ජූලි 31 වැනිදා භවාගේ කුඩා දරුවාගේ උපන්දින සාදය මාලිගාවත්තේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. එම සාදයේදී භවා සහ බිරිය තමන් සතු සියලු ස්වර්ණාභරණවලින් සැරැසි සිටියහ. එකී සාදයට චාරුනි සහ වර්ජිනියාද පැමිණියෝය. දෙදෙනාගේ යටි සිත ‘කකියන්නට‘ ගත්තේ භවා සහ බිරිය පැලඳ සිටින ස්වර්ණාභරණ දැකීම නිසාය. මේ තරුණියන් දෙදෙනාගෙන් වර්ජිනියා කඳානේ ඉංග්‍රීසි පන්තියකට සහභාගි වූවාය. ඒ පසුව අත්අඩංගුවට පත්වූ ඇනස්ලිගේ බිරිය විසින් පවත්වාගෙන ගිය පන්තියකටය. ඇනස්ලිගේ බිරිය ඉංග්‍රීසි ගුරුවරියකි. ඇය පවත්වාගෙන ගිය එම ඉංග්‍රීසි පන්තිය නිසා වර්ජිනියා සහ ඇගේ සැමියා වන ඇනස්ලි අතර හිතවත්කමක් ගොඩනැඟිණි. එකී හිතවත්කම නිසාම වර්ජිනියා පසුගිය දිනෙක ඇනස්ලිට කීවේ මෙවැනි කතාවකි.
“ඇනස්ලි අයියේ කරනවනම් මරු වැඩක් තියෙනවා... අපි ඔක්කොටම ඉක්මනින්ම කෝටිපතියෝ වෙන්නත් පුළුවන්... උණ්ඩියල්වලින් කෝටි ගණන් හම්බ කරන බිස්නස්කාරයෙක් ඉන්නවා කොටහේනේ... ‘ගේමක්‘ දුන්නනම්හරි... උන් ඒ ගැන පොලිසියට කවදාවත් කම්ප්ලේන් කරන්නෙ නෑ... තනිකර හොර සල්ලි ඒ මිනිහා ගාව තියෙන්නෙ... සෙනසුරාදා ඒ ගෙදර අය තලවිල යනවා... ඊට කලින් වැඩේ දුන්නනම් හරි...“
වර්ජිනියා එලෙස කී කතාව ඇනස්ලි අහගෙන හිටියේ සාවධානවය. ඉන් පසුව ඔහු මේ කොල්ලය සිදුකිරීමට තීරණය කළේය. ඒ අනුව ඔහු එම කොල්ලය පිළිබඳව තම එක කුස උපන් සහෝදරයාද වන රොෂාන්ද දැනුම්වත් කරමින් ඔහුවද ඊට සම්බන්ධ කරගැනීමට තීරණය කළේය.
අනතුරුව එම කොල්ලය සඳහා ඇනස්ලි ඉකුත් 6 වැනිදා සවස දෙකට පමණ ත්‍රිරෝද රථයකින් කොටහේන ප්‍රදේශයට පැමිණ සිටි ආකාරය අවට සීසීටීවී කැමරාවලද සටහන් වී තිබිණි. එදින ඔවුන් පැමිණ මඳ වේලාවක් යද්දි භවා සිය වෑන් රථයෙන් නිවෙසින් පිටව යන ආකාරයද දිස්විය. නැවත භවා එන්නේ පැයකට පමණ පසුය. ඒ සමඟම වෑන් රථයට කෑන් එකකින් ඉන්ධන පුරවන ආකාරයද ඇන්ස්ලි දුටුවේය. ඒ සමඟම ඇනස්ලිගේ යටි සිත කියන්නට වූයේ භවාලා එදින තලවිල යෑමට සූදානම් වන නිසා එදින සැලැස්ම ක්‍රියාත්මක නොකරන ලෙසය. ඒ අනුව කොල්ලය සිදුකිරීම එදින අත්හිටුවන ඇනස්ලි කඳානට ගොස් ඒ බව වර්ජිනියාටද දැන්වීය.
“කමක් නෑ... එහෙනම් ඔය කට්ටිය තලවිල ගිහින් ඉරිදා රෑ එනවා... එහෙනම් සඳුදට (ඉකුත් 8) මේ වැඩේ දාගනිමු...“ වර්ජිනියා, ඇනස්ලිට එසේ කියන්නෙ ඉන් අනතුරුවය.
ඇනස්ලි සහ ඔහුගේ මල්ලි රෝෂාන් මේ කොල්ලය ඉන් අනතුරුව සිදු කරන්නේ 8 වැනිදාය. කොල්ලයෙන් පසු දෙසොහොයුරන් කාර් රථයෙන් ගොස් බැස තිබුණේ ඇනස්ලිගේ කඳාන නිවෙස අසලයි. එම ස්ථානයට වර්ජිනියා සහ චාරුනිද පැමිණ සිටියහ. එහිදී සම සමව මුදල් සහ රන් අබරණ බෙදාගත් සිවුදෙනා පසුව සිය නිවෙසට යන්නේ සතුටු සිතිනි.
අයිය-මලෝ පසුදා කඳාන වැලිගම්පිටිය පාරේ හෝටලයක මත්පැන් පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනිණි. සහෝදරයන් දෙදෙනාගෙන් හෙළිවූ කරුණු මත තරුණියන් දෙදෙනාද සිය නිවෙස්වල සිටියදී අත්අඩංගුවට පත්වූහ. ඒ අනුව කඳාන පාර රාගම නිවෙසක සහ සිටි පාර්ක්, නාවල, කඳාන නිවෙසක සිටියදී මේ අය එලෙස පොලිස් අත්අඩංගුවට ගැනිණි. කොල්ලකෑ ස්වර්ණාභරණ සහ මුදල් තොගයද සිවුදෙනා සන්තකයේ තිබී පොලිස් බාරයට ගැනිණි.
අනතුරුව මේ සිවුදෙනාම කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කරන්නේ නීතියෙන් ගැලවීමක් නොමැති වග පසක් වූ හෙයිනි. අත්අඩංගුව ගැනුණු සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර සහ කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අබේපිටියගේ උපදෙස් මත කොළඹ උතුර 4 සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්දගේ අධීක්ෂණයෙන් කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල නවරත්නගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරික්ෂකවරුන් වන සමීර, ලක්ෂිත, දිල්ෂාන්, ප්‍රසාද්, විමුක්ති, කොස්තාපල්වරුන් වන 74225 මධුෂංක, 65182 වසන්ත, 87166 ඉන්දික, 90109 තුෂාන්ත, 98746 මධුවන්ත සහ 99448 මනිෂ යන නිලධාරිහු සිදු කළහ.