
හබරණදී ගිනිතබා ඝාතනය කළ රතු රෝස ස්පා හිමිකාරිනි උදාරිගේ මව හැඬු කඳුළින් කියයි
අපරාධයක් සිදුකරන කවරකුට හෝ සැමදා වසන් වී සිටිය නොහැකි බව පරම සත්‍යයයි. අපරාධකරුවන් කොතෙක් අපරාධ සිදු කළද දිවා රෑ වෙහෙසෙන දක්ෂ පොලිස් නිලධාරින් සිදුකරන සූක්ෂ්ම විමර්ශන නිසා අපරාධකරුවන්ට කිසිදා ගැලවීමක් නැත.
එහෙත් ඇතැම් පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අපරාධකරුවන් නීතියෙන් රිංගා යමින් නිරුපද්‍රිතව සිටින අවස්ථාද එමටය. එසේම එවැනි පොලිස් නිලධාරින් නීතිය ‘නවමින්‘ බලයට සහ මුදලට යට වෙමින් අපරාධකාරයන්ට උල්පන්දම් දෙන්නේ මුළුමහත් පොලිස් දෙපාර්තමේන්තුවම අවමානයට ලක්කරමිනි.
ඉකුත් ජුනි 23 වැනිදා අලුයම 1.30ට පමණ මිනිස් ඝාතනයක් සිදු වූයේ හබරණදිය. ඒ හබරණ හතරමං හන්දියේ සිට කොළඹ දෙසට මඳ දුරක් ගිය තැන දඹුල්ල පාර, නිවාස 20, අංක 02 ලිපිනයේ පිහිටි ‘රතු රෝස ස්පා‘ ආයතනයේයි. එම ආයතනයට කඩාවැදුණු කිසියම් පිරිසක් එහි සේවයේ නිරත වූවන්ටද පහරදී ස්පා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවටද ගිනි තබා බරපතළ ලෙස පුලුස්සා දමන්නේ සාහසික ලෙසය.
පිලිස්සුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයෙන් දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි 34 හැවිරිදි උදාරි නිර්මලා හෙට්ටිආරච්චි මේ අපරාධයෙන් හරියටම පැය 24කට පසුව එනම් 24 වැනිදා අලුයම ජීවිතක්ෂයට පත් වූවාය.
මාතලේ පාර, මදුරාගොඩ පදිංචිව සිටි උදාරිගේ ඝාතනය පිළිබඳ මූලික විමර්ශන සිදුකළේ හබරණ පොලිසියේ නිලධාරින් විසිනි. ඒ අනුව හබරණ පොලිස් නිලධාරින් උදාරිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවකු අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. උදාරි ඝාතනය කළ බව කියන පුද්ගලයන් කීප දෙනෙක්ම වෑන් රථයකින් එදින අලුයම් කාලයේ එම අපරාධය සඳහා පැමිණෙන ආකාරය අසල සීසීටීවී කැමරා දර්ශනවලද මනා සේ සටහන් වී තිබිණි.
කෙසේ හෝ උදාරිගේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තද ඇගේ ඝාතනය මෙන්ම ඇයට අයත් රතු රෝස ස්පා ආයතනයට සිදුකළ හානිය පිළිබඳ විමර්ශන හබරණ පොලිසියෙන් සිදු වූයේ ඉබි ගමනේය.
එලෙස උදාරිගේ ඝාතනය පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණයකින් තොරව දින, සති, මාස ගණන් ගතවිය. එහෙත් එම ඝාතනයේ විමර්ශන ‘අලස‘ ලෙස දිගින් දිගටම ‘ඇදෙමින්‘ තිබුණේ පරීක්ෂණ ‘යට‘ ගැසෙන ආකාරයක් පෙන්වමිනි.
එකී ඝාතන අපරාධයේ විමර්ශන එසේ සිදු වෙද්දී පසුගිය අගෝස්තු දෙවැනිදාට එලඹිණි. ඒ එදින අලුයම් කාලයයි. එදින වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මෙන්ම එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ. සඳනුවන්ද ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස රාත්‍රී මුර සංචාරයන්හි නිරතව සිටියේය.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ කණ්ඩායමත් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයාගේ කණ්ඩායමත් අලුයම 4.30 පමණ වෙද්දී එකිනෙකා මුණගැසෙන්නෙ වත්තල හේකිත්ත මාර්ගයේදියි. අනතුරුව හේකිත්ත මාර්ගයෙන් කණ්ඩායම් දෙකම කොළඹ දෙසට ගමන් කරමින් සිටියේය. එසේ ඉදිරියට යද්දී අල්විස් ටවුන් වෙත හැරෙන මාර්ගයෙන් දිග කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳගත් පුද්ගලයකු පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණෙන ආකාරය පොලිස් නිලධාරින් දකින්නේ ඔය අතරය. පොලිස් නිලධාරින් දුටු සැණින් එම පුද්ගලයා තිගැස්සී ඔහුගේ සාමාන්‍ය ස්වරූපය වෙනස් වන ආකාරයද පොලිස් පරීක්ෂක සඳනුවන් ප්‍රමුඛ කණ්ඩායම හොඳින්ම දුටුවේය.
“මේ මිනිහනම් අමුතුම තාලේ කෙනෙක් වගේ...“ යැයි පවසමින් පොලිස් නිලධාරිහු එම සැකකටයුතු පුද්ගලයා ගැන අවධානය යොමු කළහ.
අනතුරුව පොලිස් පරීක්ෂක සඳනුවන් ඇතුළු කණ්ඩායම ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය.
“සර්... මං හැඳල අල්විස් ටවුන්වල පදිංචි කෙනෙක්... ළඟදියි මෙහාට ආවේ... පහුගිය දවස්වල ඈත පළාතක ඉන්න යාළුවෙක්ගෙ ගෙදර ගිහින් හිටියේ...“
එලෙස ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ශරීර ඉරියව්ද පොලිස් නිලධරයෝ හොඳින් නිරීක්ෂණය කළහ. එසේ කරන ලද නිරීක්ෂණයේදී පොලිස් නිලධාරින් දුටුවේ එම පුද්ගලයාගේ පාද දෙකම ‘පිලිස්සී‘ ඇති ආකාරයකි. එම පිලිස්සුම්ද මෑතකදී සිදු වූවක් බවටද පොලිස් නිලධාරින්ට ඒත්තු ගොස් තිබිණි.
“අනිවාර්යයෙන්ම මේ මනුස්සයානම් මොකක්හරි ‘ගේමකට‘ සම්බන්ධ කෙනෙක්...“ වගේ යැයි පොලිස් නිලධාරින් එකිනෙකාට පවසන්නේ එම පුද්ගලයාගේ සැකකටයුතු භාවය නිසාමය.
ඒ අතරේ ඔහුගේ පාදවල තිබුණු වූ පිලිස්සුම් තුවාල පිළිබඳවත් පොලිස් නිලධාරින් දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කෙළේ එම පිලිස්සුම් තුවාල කෙසේ සිදුවීද යන්න දැනගැනීම සඳහාය. පොලිසිය එලෙස කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පොලිස් නිලධාරින්ට ඒ ගැන පැවැසු තොරතුරු අසත්‍ය බව පොලිස් නිලධාරින්ට ඔහුගේ කතාබහෙන්ම වටහා ගැනීමට එතරම් අපහසු වූයේ නැත.
ඒ අතරේ එම පුද්ගලයාගේ පදිංචිය අල්විස් ටවුන්හි යැයි පැවැසුවත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලිස් නිලධාරින් ජාතික හැඳුනුම්පත ගැන ඔහුගෙන් විමසූහ. එහෙත් ඔහු සතුව කිසිම හැඳුනුම්පතක් හෝ ඒ මොහොතේ නොවීය. පොලිසිය ඒ ගැන ප්‍රශ්න කරද්දී තමාගේ නම ‘චන්දන‘ බවත් වයස අවුරුදු 41ක් බවද ඔහු පොලිසියට කීවේය.
අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වීමත් සහ මේ පුද්ගලයා ගැන ඇතිවූ සැකසංකා මත ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයෝ ඔහුව වත්තල පොලිසියට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කළේය. තමාට තවදුරටත් පොලිසියෙන් ගැලවීමක් නොමැති වග චන්දනට ඒත්තු ගොස් තිබිණි. පොලිස් ප්‍රශ්න කිරීමේදී ඔහු පැවැසුවේ අමුතුම කතාවකි.
“සර්... මේ වගේ සිද්ධියක්නම් පහුගිය දවසක සිද්ධ වුණා...“
“මොකද්ද වුණේ...? කියනවා... බලන්න... හැබැයි ඇත්ත කියන්න ඕනෙ...“
“සර්... හයවැනි මාසේ 23 වැනිදා පාන්දර පොඩි සිද්ධියක් වුණා සර්...“ එසේ පැවැසූ චන්දන ‘දීර්ඝ පාපෝච්චාරණයකට‘ සූදානම් වූයේ පොලිස් නිලධාරින්ද මඳකට නිහඬ කරවමිනි.
“සර්... එදා හරියටම ජූනි 22 වැනිදා එදා උදේ මගේ යාළුවෙක් ඉන්නවා අරෝෂ් කියලා... එයා හිටියේ වත්තල හැඳල අල්විස් ටවුන්වල. දැන් පදිංචිය අවිස්සාවේල්ල පැත්තේ... මිනිහා මාව හම්බවෙන්න අල්විස් ටවුන් එකට ආවා...“ “හොඳයි ඊට පස්සෙ මොකද වුණේ...“ පොලිස් නිලධරයෝ චන්දනගෙන් එලෙස විමසූහ. චන්දන කතාව කීවේය. එදින අල්විස් ටවුන් වෙත පැමිණ චන්දන හමුවූ අරෝෂ් චන්දනගෙන් කළේ ඉල්ලීමකි. “මචං... කඩේක 'සෙට් එකක්' ඉන්නවා... උන් ටික එළවගන්න ඕනෑ... පොඩ්ඩක් උදව්වක් විදිහට ගම්පහට යන්න එන්න පුළුවන් ද?“ අරෝෂ් චන්දනගෙන් එලෙස විමසුවේය. චන්දන ඊට එකඟ වන්නේ මිතුරාගේ ඉල්ලීම මඟහැරිය නොහැකි නිසාය.
මුල් කාලයේ රියැදුරු රැකියාවක් කළ චන්දනට වර්තමානයේ හරිහමන් රැකියාවක්ද තිබුණේ ද නැත. ඔහු දිනපතාම පාහේ මධුවිතෙන් සප්පායම්ව සිටි අයෙකි. කුරුණෑගල කතක් සමඟ විවාහ වී සිටි චන්දනගේ බිරියද දරුවන් සමඟ ඔහුව අත්හැර ගොසිනි. ඔහු අරෝෂ් කළ යෝජනාවට එකඟ විය. ඒ අනුව චන්දන, අරෝෂ් සමඟ එදින පෙරවරු 10 වෙද්දී මෝටර් බයිසිකලයකින් ගණේමුල්ලට ගියේය. දෙදෙනා සිටි ස්ථානය අසල ඉන්ධන පෝලිමකින් ඉන්ධන ලබාගත් රන්වන් පැහැති වෑන් රථයක් පැමිණියේය. රථය පදවාගෙන ආවේ ගම්පහ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහු ඉකුත් වසරේ මන්ත්‍රීකමින් ඉල්ලා අස්වූ 54 හැවිරිදි ‘බණ්ඩාර‘ නමැත්තෙකි.
අරෝෂ් විසින් චන්දනට එම මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේ, “මචං... මෙයාගෙ තමයි තැන...“ කියායි.
අනතුරුව දෙදෙනා පැමිණි යතුරුපැදිය ගණේමුල්ල ස්ථානයක ගාල්කොට මන්ත්‍රීවරයාට අයත් වෑන් රථයට නැඟි පිටත් වූයේ කඳානටයි. ඒ අරෝෂ් දන්නා හඳුනන පිරිසක් හමුවීමටය. එහිදී වෑන් රථයට තවත් හතරදෙනෙකු ගොඩ වූහ. ඒ කසිප්පු වෙළෙඳාමේ නිරත සමන් නමැත්තෙක් ඔහුගේ මිතුරෙකු වන සනත්, සහ ගාමිණිය. ඊට අමතරව ගාමිණිගේ වැඩිමල් සහෝදරියගේ පුත්‍රයාද මේ අයට එක්විය. ඔහුද දැඩි සේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ 35 හැවිරිදි අයෙකි. ගාමිණි නමැත්තාද නඩු රැසකටම සම්බන්ධව බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකි. ඒ අනුව වෑන් රථයේ ඒ වන විට සියලුම පිරිස හත්දෙනෙකි. එකී සියලු දෙනා කඳානෙන් පිටත් වූයේ කුරුණෑගල බලාය. කුරුණෑගල පසුකොට ගිය වාහනය නවතා සියලු දෙනා එක්ව මත්පැන් පානය කරන්නට විය. එම සාදයෙන් පසු පිරිසේ ඊළඟ නැවතුම දඹුල්ලයි. ඒ වන විට වේලාව සවස 5ට පමණය. සියලු දෙනා එක්ව නැවතත් දඹුල්ලේදී මත්පැන් සාදයක් පැවැත්වූහ. ගමන් වියදම් ඇතුළු සියලු දේට බරපැන හිටපු මන්ත්‍රීවරයාගෙනි.
දඹුල්ලේ මත්පැන් සාදයෙන් පසු කණ්ඩායම ගොස් තිබුණේ හබරණ මංසන්ධියට ආසන්නව පිහිටා තිබෙන රතු රෝස ස්පා ආයතනයටය. එම ස්ථානයට ළංවෙද්දී ඒ තුළ විශාල පිරිසක් සිටින වග වෑන් රථයේ පැමිණි පිරිසට හැඟිණි.
“අපි ආවා කලින් වැඩියි...“ මන්ත්‍රීවරයා කීය.
අනතුරුව පිරිස නැවත දඹුල්ලට පැමිණ නැවතත් මත්පැන් පානය කළහ. ඉන් අනතුරුව දපිරිස නැවත හබරණ රතු රෝස ස්පා මධ්‍යස්ථානය ඉදිරිපිටට යද්දී වේලාව 23 වැනිදා අලුයම 1ට පමණ විය.
වෑන් රථයෙන් බැසගත් චන්දන, කසිප්පු ව්‍යාපාරික සමන් ඔහුගේ මිතුරා සනත්, ගාමිණි සහ ඔහුගේ සහෝදරියගේ පුතු ක්ෂණයෙන් දිව ගියේ ස්පා මධ්‍යස්ථානය ඇතුළටයි. ඒ වෑන් රථයේ තිබූ පෙට්‍රල් බෝතල් කීපයක්ද රැගෙනය. පිරිස ඉවක්-බවක් නොමැතිව එහි සිටි පිරිසට පහර දෙන්නට වූයේ චිත්‍රපට දසුනක් විලසිනි. ඒ සමඟම ස්පා මධ්‍යස්ථානයේ සිටි තරුණියන්ද විලාප තියමින් දිව යන්නට වූහ. මැර පිරිසේ ඉලක්කය වී තිබුණේ ස්පා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාව වන උදාරිය.
පිරිස රැගෙන ගිය පෙට්‍රල් රතු රෝස ස්පා මධ්‍යස්ථානයේ හිමිකාරිය වන උදාරිගේ සිරුරට හළනවාත් සමඟින් ගින්නක් හටගැනිණි. එම ගින්නෙන් උදාරි පිලිස්සි යද්දී ඇගේ සිරුරට පෙට්‍රල් හැළු එම මැර කණ්ඩායමේ කීපදෙනෙකුගේ සිරුරුවලටද පෙට්‍රල් තැවරීම නිසා ඇතිවූ ගින්නෙන් චන්දනගේ දෙපා මෙන්ම සනත්ද බරපතළ ලෙස පිලිස්සිණි. ගාමිණිගේද පිට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ පිලිස්සිණි. ඔහුගේ පුත්‍රයාද යම් තරමකට පිලිස්සිණි.
එම මැර ප්‍රහාරයෙන් පසු පිරිස පිලිස්සුම් තුවාල සමඟ 23 වැනිදා පෙරවරු නවය වෙද්දී කඳානට පැමිණියෝය. අනතුරුව කඳානේ ඖෂධ හලකින් පිලිස්සුම් තුවාල සඳහා ආලේපනයක් ගෙන තවරා ගත් තුවාලකරුවන්ට මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මුදල් දුන්නේය. ඒ අතර කඳානෙන් වෑන් රථයට ගොඩවූ පිරිස බැස ගියහ.
චන්දන සහ අරෝෂ් මන්ත්‍රීවරයා සමඟ ඔහුගේ ගණේමුල්ල - ගම්පහ මාර්ගයේ පිහිටි නිවෙසට ගියහ.
එහිදී තිදෙනා උදේ ආහාරය සහ දිවා ආහාරයද ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් අරෝෂ් හා චන්දන ඔවුන් පැමිණි යතුරුපැදිය තිබූ ස්ථානයට ඇරලවා තිබුණේ චන්දනට රුපියල් විසිදහසක මුදලක් අතට දීමෙන් අනතුරුවය. එම මුදල්ද ගෙන චන්දන සහ අරෝෂ් පැමිණියේ මහබාගේ සිංහල ආයුර්වේද බෙහෙත් ශාලාවකටයි. ඒ චන්දනගේ පිලිස්සුම් තුවාලවලට ප්‍රතිකාර ලබැගනීමටයි.
අනතුරුව දෙදෙනා අවිස්සාවේල්ලේ අරෝෂ්ගේ නිවෙසට ගියහ. දින දෙකක් එහි ගත කරද්දී චන්දනගේ තුවාල ‘පැසවමින්‘ ඔඩුදුවන්නට විය. ඒ සමඟ චන්දන යතුරුපැදියක නැඟි ප්‍රතිකාර සඳහා නැවත මහබාගේ කලින් ප්‍රතිකාර ගත් ස්ථානයට පැමිණියේය.
ප්‍රතිකාරවලින් පසු ඔහු නැවත අවිස්සාවේල්ලට ගියේය. සති දෙකක කාලයක් එහි සිටි චන්දන, නැවත යතුරුපැදියක නැඟි අරෝෂ් සමඟ අල්විස් ටවුන් වෙත පැමිණ එහි නතර විය. ඒ වන විට චන්දනගේ පිලිස්සුම් තුවාලද යම් තරමකට හොඳ අතට හැරී තිබිණි.
“එහෙම ඉන්නකොට තමයි මම සර්ලාට අහුවුණේ...“ චන්දනගේ පාපෝච්චාරණයත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම දඹුල්ලේ රතු රෝස ස්පා හිමිකාරියගේ ඝාතනයට සැක සෙසු අපරාධකාරයන්ගේ නිවෙස්වලටම ගොස් මන්ත්‍රීවරයා සමඟ කඳානෙන් එම අපරාධයට ගිය තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව අත්අඩංගුවට පත් පිරිස පස්දෙනෙකි. ඉකුත් ජූලි 23 වැනිදා ඝාතනය වූ උදාරිගේ ඝාතකයන් තමන් ඇතුළු කණ්ඩායම බව චන්දනගේ පාපොච්චාරණයෙන් පසු හෙළිවිය. එම අපරාධය සඳහා වියහියදම් දරමින් සියල්ල සැලැසුම් කළේ හිටපු මන්ත්‍රීවරයා බවත් චන්දනගේ පාපොච්චාරණයෙන් අනාවරණය විය.
මාස එකහමාරක් පමණ නිශ්චිත තොරතුරක් නොමැතිව තිබූ දඹුල්ලේ රතු රෝස ස්පා හිමිකාරිය වන උදාරිගේ ඝාතනයට අදාළව වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව වත්තල පොලිස් නිලධාරින් හබරණ පොලිසිය දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය. වත්තල පොලිසිය විසින් සැකකරුවන් පස්දෙනා හබරණ පොලිසියට බාර කළේ එම ඝාතනයේ විමර්ශන හබරණ පොලිසිය සිදු කරන හෙයිනි.
හබරණ රතු රෝස ස්පා හිමිකාරිනිය උදාරි ඝාතනය කිරීමට මුල් වී ඇත්තේ ඉඩම් ආරවුලක් බව මේ වන විට සිදු කෙරෙන විමර්ශනවලදී අනාවරණය වේ. ඊට පසුබිම් වූ කතාව පෙළ ගැසෙන්නෙ මෙසේය.
උදාරි ඝාතනයට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ හිතවතෙක් වන මහරගම වෙසෙන වයෝවෘද්ධ ඉංජිනේරුවෙක් සහ උදාරි අතර ඉඩම් ආරවුලක් තිබී ඇත. අදාළ ස්පා ආයතනය පිහිටි ඉඩම ඉංජිනේරුවාට අයත් එකක් යැයි එම පාර්ශ්වයෙන් පැවැසේ. ඔහු එම ඉඩම මිලදීගෙන ඇත්තේ කොරෝනා වසංගතයේ මුල් කාලයේදීය. ඉංජිනේරුවරයා ඉඩම මිලදී ගනිද්දී එහි පිහිටි ගොඩනැඟිල්ලේ රතු රෝස ස්පා ආයතනය පවත්වාගෙන ගොස් තිබුණේ උදාරිය. කෙසේ හෝ ඉංජිනේරුවරයා එම ස්ථානය මිලදී ගත්තද ගිවිසුමකින් ඇයට එම ස්පා ආයතනය පවත්වාගෙන යාමට ඉඩහසර විවර කරදී තිබිණි.
ඒ අතරේ උදාරි එම ඉඩමට ව්‍යාජ ඔප්පුවක් හදා ගත් බවක්ද සැලවේ. මේ සමඟ දෙපාර්ශ්වය අතර ගැටුමකට මුල පිරිණි. එම සිදුවීම පොලිස් පොත්වලද සටහන් විය. ඉංජිනේරුවරයා අදාළ ගැටුම හේතුවෙන් කීප විටෙකදීම ගම්පහ මන්ත්‍රීවරයා සමඟ හබරණට ගොස් ඇත්තේ මේ ගැන සොයා බැලීම සඳහාය. ඉංජිනේරුවරයා වැඩිදුරටත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් උදාරිගේ ඝාතනය පිළිබඳ කිසිවක් නොදන්නා බවයි. එම අපරාධය ගැන පුවත තමන් රූපවාහිනි පුවත්වලින් දුටු බවද පසුව මන්ත්‍රීවරයාගෙන් ඒ ගැන විමසූ විටම තමන් ඒ පිළිබඳ සොයා බලන බව කීවත් ඔහු ඉන් අනතුරුව කිසිවක් තමාට නොපැවසු බවද ඉංජිනේරුවරයා පොලිසියට හෙළිකර ඇත.
එසේම ඉංජිනේරුවරයා පවසා ඇත්තේ උදාරි එම ඉඩම සඳහා අසත්‍ය ලියකියවිලි ඉදිරිපත්කොට ව්‍යාජ ඔප්පුවක් සකස්කර තිබූ බවයි. ඊට එරෙහිව තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් එම විමර්ශන අනුව ඇය සිදුකළ වංචාව හෙළිවී ඉඩම තමන් සතු කරගැනීමේ කටයුතු අවසන් අදියරේ තිබූ බවද ඔහු පොලිසියට කියා ඇත.
ඉඩම් ආරවුල කෙලෙස පැවැතියද උදාරි ඝාතනය කිරීමට කිසිවකුට අයිතියක් නැත. එම නිසා කුමන හේතුවක් මත හෝ සිදුවූ මෙම ඝාතනය පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවිය යුතුමය. මාස එකහමාරක පමණ කාලයක් නිදැල්ලේ සිටි සැකකරුවන් වත්තල පොලිසිය විසින් කොටුකර දී ඇති අතර විමර්ශන ‘යට‘ නොගසා අපරාධකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැනවීමට අවැසි කටයුතු සම්පාදනය හබරණ පොලිස් වසම බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහ හබරණ පොලිසියේ වගකීමයි.
ඝාතනය වූ උදාරි සම්බාහනය පිළිබඳ පාඨමාලා ගණනාවක් හැදෑරු තැනැත්තියක් බවත් ඇයට ඊට අදාළව තිබූ ‘සහතික‘ද පෙන්වමින් උදාරිගේ මව 60 හැවිරිදි නදිකා මානෙල් රත්නායක පැවැසුවාය. මදුරාගොඩ ‘බේක් හවුස්‘ නමින් ව්‍යාපාරයක නිරත උදාරිගේ පියා පේමරත්නය. එම දෙපළගේ එකම දරුවා උදාරිය.. සිය දියණියගේ ඝාතනය ගැන විමසීමට උදාරිගේ මව සොයා අප මාතලේ පාර, මදුරාගොඩ එම යුවළ දිවි ගෙවන නිවෙසට ගියෙමු. තම දියණියගේ අභාවය ගැන කම්පාවෙන් සිටින මානෙල් රත්නායක හැඬු කඳුළින් කීවේ මෙවැනි කතාවකි.
“අපි දෙන්නට හිටිය එකම දරුවා උදාරි... මගේ දුව මාතලේ ටවුන් එකේ පොල්තෙල් කඩයක් කරගෙන හිටියේ. එයාට යාන වාහනත් තිබුණා. පස්සේ බිස්නස් වැටුණා. මීට අවුරුදු පහකට පමණ කලින් යාළුවෙක් මාර්ගයෙන් තමයි එයා හබරණට ගියේ. එහේ ‘ස්පා එකක‘යි වැඩ කළේ. මාසෙකට සැරයක් මාවයි මහත්තයවයි බලන්න එනවා... අපි දෙන්නා ගැන හොඳට බැලුවා. ගෙදර ආපු වෙලාවක කිව්වා ඉඩමකුත් සල්ලි දීලා ගත්තා කියලා. ඒ ඉඩමේ තමයි ළමයි හයහත් දෙනෙක් එක්ක ස්පා එක පවත්වාගෙන ගියේ... කොහොමහරි ඔය ඉඩමට තුන්දෙනෙක් හවුල්කාරයෝ හිටිය කියල තමයි අපිට ආරංචි. මගේ දුව ඒ කාටහරි සල්ලි දීලා ඉඩම අරගෙන. ඒකට තමයි ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ... ඒත් අපි අහන්නෙ ඇයි මගේ දුව මරලා දැම්මේ...?
දුවට කරදරය වුණ දවසේ මම ඉස්පිරිතාලේ හිටියේ. මහත්තයා මටත් කියන්නෙ නැතිව ජුනි 23 වැනිදා දවල් දඹුල්ල ඉස්පිරිතාලෙට ගිහිල්ලා දුව බලන්න. ඒ වෙලාවෙ දුව තාත්තට කියලා තියෙනවා, ‘තාත්තේ මට මේ දේ කළේ මං උදවු කරපු කට්ටියම තමයි කියලා‘ දුව මැරෙන්න කලින් පොලිසියටත් ප්‍රකාශයක් දීලා තියෙනවා. අන්තිමට 24 වැනිදා පාන්දර දුව නැතිවුණා.
අපි අසරණ මිනිස්සු මහත්තයෝ... අන්තිමට දුවගේ මරණෙන් පස්සෙ මගේ මහත්තයට ඇතිවුණ කම්පනය නිසා එයාට තවම හරිහැටි කතා කරගන්නවත් බැහැ... මම ආපහු කියන්නෙ මේ මිනිස්සු ප්ලෑන් කරලා මගේ දුව මැරුවා... නීතිය හරිහැටි ක්‍රියාත්මක කරලා අපරාධකාරයන්ට දැඩි දඬුවම් දෙන්න... මගේ දුවට සාධාරණය ඉටුකරන්න කියලයි මම කියන්නෙ...“ ඇයගේ ඉල්ලීම සාධාරණය. ඊට නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීමයි.
ඡායාරූප - ප්‍රියන්ත සුමනසේන
(උකුවෙල සංචාරක)