මගේ බෙල්ලට පිහිය තිබ්බේ ඇයි තාත්තේ? | සිළුමිණ

මගේ බෙල්ලට පිහිය තිබ්බේ ඇයි තාත්තේ?

 

රට ගිය බිරිය ගෙන්වා ගන්න පුංචි පුතුගේ ගෙලට පිහිය තබා වීඩියෝ කළ නරුම පියා රිමාන්ඩ්

 

මෙරට පහළ මධ්‍යම පන්තිය සහ මධ්‍යම පන්තියේ සමාජ සංස්ථාවේ පවතින දරිද්‍රතාවය, නූගත්කම, අනවබෝධය, ආදායම් බෙදීයාමේ විෂමතාවය ඇතුළු කරුණු කාරණා රැසක් නිසා අඹු සැමියන් අතර ඇතිවන ගැටුම්වලින් පීඩා විඳින්නේ මල් කැකුළු වන් කුඩා දරුවන්ය. ඇතැම් අවස්ථාවලදී මේ පුංචි දරුවන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුවීම අතිශය ඛේදනීයය.

විශේෂයෙන් පවුලේ ආර්ථික අගහිඟකම්, බඩගින්න, ඉවසා දරාගත නොහැකි තැන මෙන්ම සැමියා විසින් දරු පවුල නිසි ලෙස නඩත්තු නොකරන අවස්ථාවන්හි බිරිය කුඩා දරුවන් තම ඥාතීන් හෝ හිතවතුන්ට බලාකියා ගැනීමට බාරදී විදේශගත වන්නේ පසු කාලයක මෙරටට පැමිණ ගෙයක් දොරක් තනාගෙන කීයක් හෝ අතමිට ඉතිරි කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නටය. එහෙත් සැමියා සමඟ දරුවන් තබා මැදපෙරදිග ඉසුරු සොයා යන ඇතැම් බිරියන්ට අන්තිමේදී සිදුවන්නේ තම පවුල් ජීවිතය මෙන්ම පණ මෙන් ආදරය කරන දූ දරුවන් ද අහිමි වීමයි.

එවැනි අනුවේදනීය කථා පුවතක් කුලියාපිටියෙන් පසුගියදා වාර්තා විය.

මැදපෙරදිග රටක සේවයට ගිය සිය බිරිය නැවත මෙරටට ගෙන්වා ගැනීමට උපක්‍රමයක් ලෙස මිතුරන්ගේද උදව් ඇතිව පස් හැවිරිදි තම පුතුගේ ගෙලට පිහියක් තබා තර්ජනය කරමින් එය වීඩියෝගත කර එම වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරිය තිරිසන් පියකු පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගියදාය. සැකකරු කුලියාපිටිය පහළ පිදුම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අනුවේදනීය කතාව පොලිස් පොතේ ලියැවෙන්නේ මෙසේය.

මේ පවුලේ සැමියා කුලී සහ ස්වයං රැකියාවල නිරත අයෙකි. ඔහු සිය මිතුරන් සමඟ මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියේය. පදිංචියට හරිහැටි නිවෙසක්වත් මේ පවුලේ අයට තිබුණේ නැත. මේ පවුලේ බිරිය මේ හේතුව නිසාම තීරණය කරන්නේ මැදපෙරදිග රැකියාවකට යාමටය. ඒ ආර්ථික අහේනියෙන් මිදීම සඳහාය. බිරියගේ බලාපොරොත්තුව එය වුණත් ඒ තීරණයට සැමියා කැමැත්තක් දැක්වූයේ නැත. රට රැකියාවකට නොයන ලෙස සැමියා බිරියට තර්ජනය කෙළේය. එහෙත් ඇයට ජීවත්වීම සඳහා කිසිම හව්හරණක් නොවූ නිසා තම පුංචි පුතු තම මව බාරයේ තබා විදේශ රැකියාවකට යාමට තීරණය කළාය.

බිරිය විදේශගතවී මාසයක් දෙකක් යනවිට ඇය නොමැති අඩුව සැමියාට තදින්ම දැනිණි. ආහාර උයා පිහා ගැනීමේ දුෂ්කරතා ද මතුවිය. මත්පැනට තදින් ඇබ්බැහි වී සිටි නිසා සැමියාගේ අතේ මුදල් ද හිඟ විය. තමන්ට මුදල් එවන ලෙස විදේශගත බිරියගෙන් ඉල්ලා සිටියත් ඈ මුදල් එව්වේ තම දරුවා බලා කියාගන්නා තම මවගේ නමටය. මෙයින් උරණ වූ සැමියා නැන්දම්මා සමඟ ද ගැටුම් ඇති කරගත්තේ නැන්දම්මාට ද තර්ජනය කරමිනි.

එයින් ද නොනැවතුණු ඔහු මිතුරන්ගේ ද උදව් ඇතිව මේ සඳහා 'උපායක්' සෙව්වේ නව තාක්ෂණය ද ප්‍රයෝජනයට ගනිමිනි. මොවුන් මේ 'රූගත කිරීමට' යොදා ගත්තේ ඉඩමේ තිබූ කඩා ඉවත් කිරීමට නියමිත පැරණි නිවසකි. නිවසේ තිබුණු පිහිය තදින් මුවහත් කරගත් ඔහු පුංචි පුතු වඩාගෙන දරුවාගේ ගෙලට එය සමීප කෙළේය. හැකි ඉක්මනින් නැවත මෙරටට නොපැමිණියහොත් දරුවාගේ ගෙල කපා මරා දමා තමන් ද ගෙල සිඳගෙන මියයන බව ඔහු ප්‍රකාශ කෙළේ ජංගම දුරකතනයකින් මේ සිද්ධිය රූගත වෙමින් තිබියදීය.

මේ සිද්ධිය කැමරාවට හසුකරගත්තේ ඔහුගේ මිතුරකු විසිනි. කිසිවක් නොදත් දරුවා බියට පත්වී කෑමොර දුන්නේ තාත්තා තමාගේ ගෙල කපාවියැයි භීතියට පත්වීම නිසාය. පියා දරුවාගේ ගෙලට තබා තිබුණු පිහිය නිසා දරුවා ගෙල හරවන විට දරුවාගේ ගෙලට සියුම් තුවාල සිදුවිය. "තාත්තේ බෙල්ල රිදෙනවා. අතඅරින්න" කියූ විටත් මේ නරුම පියාගේ හදවත තෙත් නොවීය. පූරුවේ වාසනාවට දරුවාගේ ජීවිතය බේරුණි.

ජංගම දුරකථනයෙන් රූගත කළ මෙම සිද්ධිය සහිත වීඩියෝව මේ නරුම පියා විසින්ම සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහල අතර තම බිරියට සහ බිරිය රට යැවූ ඒජන්සිකරුට වට්ස්ඇප් මඟින් ද යැවීමට මේ පියා කටයුතු කර තිබිණි. තමා මහා වීරකමක් කළාක් වැනි හැඟීමක් මේ පියාට ඇතිවුණත් එහි ආදීනව ගැන ඔහු දුරදිග කල්පනා කෙළේ නැත.

මේ තිරිසන් පුද්ගලයාගේ බිරිය විදේශ රැකියාවට යැවූ විදෙස් රැකියා සමාගම කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂගේ අවධානය සඳහා අදාළ වීඩියෝව ලබාදීමෙන් අනතුරුව දරුවා සිටින දැඩි අවදානම් තත්ත්වය පිළිබඳව සලකා වහාම ක්‍රියාත්මකවූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සැකකරු අත්අඩංගුවට ගන්නේ උපාය දූතයකු ද යොදවා සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ අය පොලීසියට කරුණු වසන් කළ ද පොලිස් නිලධාරින්ගේ ආදරය කරුණාව මැද්දේ දරුවා සියලු දේ හෙළි කෙළේය. දරුවාගේ මුවින්ම මේ සිදුවීම අනාවරණය කර ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන්ට හැකිවිය. පොලිස් නිලධාරින් සහ කුලියාපිටිය ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ වීඩියෝව කිහිප වතාවක් නැරඹුවේ හැඬු කඳුළිනි. එහිදී දරුවා තම ගෙල රිදෙන බව පවසමින් හඬා වැලපුණත් සැකකරු දිගින් දිගටම දරුවාගේ ගෙලට පිහිය තබා තර්ජනය කරනු පොලිස් නිලධාරින්ට හොඳින් නිරීක්ෂණය විය.

මෙහිදී දරුවා පොලිසියට පවසා තිබුණේ අම්මා පිටරට ගොහින් සෙල්ලම් බඩු අරන් ඉක්මනින් එනතුරු 'චූටි අම්මා' නමින් හඳුන්වන 'මිත්තණිය' සමඟ සිටීමට කැමති බවත් තාත්තා ගෙදර නොඑවා පොලිසියේම තියාගන්නා ලෙසත්ය. පුංචි දරුවාගේ එම වදන් පෙළ ද පොලිස් නිලධාරින්ගේ නෙත්වලට කඳුළු මුසු කිරීමට සමත් විය.

කැපුම් තුවාල සහිත දරුවා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලදි.

මීට පෙර සිදුවූ මෙවැනි සිදුවීම් කීපයක් ද දරුවා විසින් පොලිස් නිලධාරින්ට හෙළි කරන ලදි. කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන් අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ, කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා තේජානි වීරසේකර, උප පොලිස් පරීක්ෂක ජයසූරිය, කාන්තා පොලිස් සැරයන්වරුන් වන චතුරිකා (2571), උමේෂි (10456) යන නිලධාරීන් සහ නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදුකැරේ.

ඡායාරූප - කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

 

Comments