මල්ලියාට මරු කැඳවූ බූරු පොළේ ආරවුල | සිළුමිණ

මල්ලියාට මරු කැඳවූ බූරු පොළේ ආරවුල

 

පොට්ට අසංකටත් බරපතළයි

ඝාතනයට සැක තෝන්කරු අත්අඩංගුවට

 

මළ ගෙදරකට අසල්වැසියන් එකතුවීම ස්වභාවිකය. ඒ දුකට පත් 'නෑදෑයාට' 'හිතවතාට' කළ හැකි උපරිම සහයෝගය ලබා දීමටය. මියගිය පුද්ගලයා වෙනුවෙන් කළ යුතු වැඩ කටයුතුද බොහෝය. නිදි වරමින් කාලය කා දමන පිරිසට කිරීමටද කුමක් හෝ වැඩක් තිබිය යුතුය. කනබොන බොහෝ අය වැඩි වශයෙන් මළගෙවල් තෝරා ගන්නේ බූරුවා ගැසීමටය. මෙවැනි අවස්ථාවල නොයෙක් ප්‍රශ්න ආරවුල් ඇතිවීම මියගිය පුද්ගලයාටත් කරන නිගාවක් වුවත් අවසානයේ සිදුවෙන්නේ එවැන්නක්මය.

මේ කියන සිද්ධියද ඊට සමාන එකකි. ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයේදී මේ සිද්ධිය වූයේ මියගිය අයකුගේ හත් දොහේ බණ පිංකමදාය.

'මල්ලියාත්' 'කයියාත්' සහ 'පොට්ට අසංකත්' තරුණ වියත් මැදි වයසත් අතර පසුවෙන මිතුරන්ය. එදිනෙදා ලැබෙන කුලියක් මලියක් කරගෙන දවස ගෙවන මෙම තෙමිතුරන් වැඩි වශයෙන් එකතු වෙන්නේ මත්කුඩු තිප්පොළවල්වලදීය. ඒ ඔවුන් ජීවත්වෙන ප්‍රදේශයේ වරදක්දැයි දන්නේ ඔවුන්ම පමණි. කෙසේ වුවත් ගල්කිස්ස, බඩෝවිට කුසුම් නිවාස සංකීර්ණය මත්කුඩුවලට ප්‍රසිද්ධියක් උසුලන්නේ අද ඊයේ සිට නම් නොව්. කුඩා අතුරු මාර්ග රැසක් පිහිටා ඇති මෙම ගම්මානයේ එකිනෙකට ආසන්නව ඉදිකර ඇති නිවෙස්වල ජිවත්වෙන පිරිස අති විශාලය. 01 සිට 06 ක් පමණ වන අදියර ඇති මෙම ගම්මානයේ එක අදියරක නිවෙස් හාරසීයක් පමණ ඇත.

හොඳට නරකට රොත්ත පිටින් එකතු වෙන මෙහි පදිංචිකරුවන් කරන්නේ කුමක්දැයි සිතන්නේ සියල්ල සිදුවී හමාර වූ විටය. මෙම ගම්මානයේ නම 'කුසුම්' වුවත් එහි පිපෙන්නේ තහනම් මල් වර්ග පිපෙන්නේ අද ඊයේක සිට නොවේ.

'මල්ලියා' පදිංචිව සිටියේ පළමු අදියරේ නො 81 දරන නිවෙසේය. තිස්පස් හැවිරිදි වියේ පසු වු ඔහු දෙදරු පියෙකි. 'මල්ලියා' නමින් ප්‍රසිද්ධ වුවත් ඔහුගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ධනුෂ්ක ප්‍රේමකුමාර යනුවෙන්ය.

කුසුම් නිවාස සංකීර්ණයේ 03 වෙනි අදියරට හැරෙන හන්දියේ සිට මිටර් 15 ක් පමණ දුරින් ඇති නිවෙසේ පදිංචිව සිටියදී මියගිය ප්‍රේමරත්නගේ මතක බණ යෙදි තිබුණේ පසුගිය 30 දාටය. ඔහු ජීවත්ව සිටි කාලයේ රැකියාව ලෙස කළේ වඩු වැඩය. මේ බණ ගෙදරද පාළු කැපීමට 'බූරු පොළක්' කිසියම් පිරිසක් විසින් පවත්වාගෙන ගියේ එය ඔවුන්ට ආවේණික ක්‍රීඩාවක්ද වන බැවිනි. බූරු පොළ පවත්වාගෙන ගියේ 03 වැනි අදියරේම පදිංචිකරුවෙකු වන 'මෝල් බන්දු' නැමැත්තා විසිනි. ඔහු නිතරම පිහියක් ඉනේ ගසාගෙන ඉන්නේ පුරුද්දට මෙන්ය. බණ ගෙදරට පැමිණි 'කයියා'ද එම නිවෙස පිටුපස ජයටම කෙරෙන බූරු පොළේ ඉඳගත්තේ යහමින් මුදල් ටිකක් එකතු ක ගැනීමේ අරමුණ ඇතිවය. මේ බූරු පොළේ හොඳ හොඳ සෙල්ලම් පටන්ගත්තේ එළිවන ජාමය ආසන්නයේදීය. 'කයියා' සිටියේ කුට්ටම අනමිනි. ඒ අතර ඔට්ටුද ඇල්ලීමට ඔහු කටයුතු කළේ දිනුවොත් මුදල දෙගුණ තෙගුණ වන බැවිනි. මුදල් අකුළා ගැනීමේදී පරාද වූ ඔට්ටුවක්ද අකුළා ගැනීමට 'කයියා' කටයුතු කළේ කිසිවෙකුටත් නොපෙනෙන ලෙස වුවද මේ සියල්ල දෙස ඇස ගසාගෙන සිටි 'තෝන්කරු'ට යකා ආරූඪ වූයේ ඉබේටමය.

“ඒයි ඔහොම හිටපං... කැත වැඩ කරන්න එපා යකෝ...“

ඔහු 'කයියා'ට එලෙස බැණ වැදුණේ සිදුකළ නොහොබිනා වැඩේ අනුමත නොකරමිනි.

“මං වැරැද්දක් කළේ නෑ බං... කාගෙවත් කෙහෙල්මලක් ගත්තෙ නෑ මම...“ කයියා ද අතහැරියේ නැත.

“නැත්තෙ මොකද? මං දැක්කා. සෙල්ලම් කරනවනං සෙල්ලං කරපං සාධාරණේට. පැරදුන ඔට්ටුවනෙ උඹ අකුළගත්තෙ...“ තෝන්කරු කයියාට එලෙස සැර දැම්මේ අසාධාරණයට එරෙහිවය.

“මං ගත්තෙ මගෙ ඔට්ටුව විතරයි බං...“

එසේ පැවසූ කයියා පිරිස සන්සුන් කර මුදල් බේරා හිමිහිට නැගිට බුරු පොළෙන් ඉවත්ව ගියේ සිදුවූ ලජ්ජාව වසා ගැනීමටය. බුරු පොළද මේ කතාවෙන් පසු නතර කිරීමට සිදු වුවේ පිරිසගේ හිත්වලද කලකිරීමක් ඇති කරමිනි. 'කයියා'ට මෙය අමතක කළ නොහැකිය. 'තෝන්කරු'ට පාඩමක් කියා නුදුන්නොත් තවත් දිනකදිද මෙවැනි හොරයක් සිදු කරනවා නොඅනුමානය.

“ඒයි 'මල්ලියො'. 'බන්දුවා' මට පාට් එකක් දැම්මා. බුරු පොළේ මගෙ ඔට්ටුවෙ සල්ලි ටික ඌ උදුර ගත්ත බං...“

කයියා 'මල්ලි'යාට සිද්ධිය එලෙස විකෘති කර දුරකතනයෙන් පැවසුවේ එම නිවෙසින් පිටව ටික දුරක් යන අතරය.

"ඒවා කොහෙද මේ වැයික්කියෙ.? උඹ බය වෙන්න එපා. ආපහු 'මණ්ඩිය ගාවට' වරෙන්. ටක් ගාල එතනට මාත් එන්නං. 'පොට්ටයට'ත් එන්න කියමු...“

ඉන් අනතුරුව මිතුරන් තිදෙනා නැවත යන්නේ බුරුපොළේ 'තෝන්කරු' සොයාගෙනය.

වේලාව අලුයම 5. 30 ත් 6.00 ත් අතරය. තෝන්කරු සමඟ තෙමිතුරන් 'සටනට' පිවිසෙන්නේ ඒ අනුවය. වාග් සංග්‍රාමයෙන් ඇරඹි 'සටන' අතින්-පයින් පොලුවලින් පහර දෙන තැනට දෙපිරිසම බලවත් වුයේ සැණිනි. තුන්වැනි අදියරට හැරෙන ස්ථානයේදී වටින්-ගොඩින් එළිය වැටිගෙන එන ජාමයේ සිදු වු මෙම ආරවුලෙන් තෝන්කරු අත තිබු පිහිය කීප වරක් ඉහළට එසවී පහළට වැටුණේ ක්ෂණිකවය. සියල්ල සන්සුන් වෙන විට මල්ලියාත් පොට්ට අසංකත් සිටියේ ලේ විලක් මැදය. ත්‍රිරෝද රථයක දමා ගත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට රැගෙන යන්නේ 'කයියා' විසිනි. ඒ තවත් කෙනෙකුගේ උපකාරද ලබාගෙනය.

ගල්කිස්ස පොලිසියට මෙම තොරතුර ලැබෙන්නේ රෝහල් පොලිසිය මඟිනි. ඒ ගල්කිස්ස, බඩෝවිට තුන්වන අදියරේ දී සිදුවු පිහි ඇනුමක් නිසා මනුෂ්‍ය ඝාතනයක් සිදුවී ඇති බවටය.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දිලිප සී. පෙරේරා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන්, සැරයන්වරුන් වන (61189) රත්නායක, කොස්තාපල්වරුන් වන (51508) උදයංග, (54760) ජයකොඩි, ( 71341) ගුණවර්ධන, (88381) සංජීව සහ පොලිස් කොස්තාපල් රියදුරු 80193 කුලරත්න යන නිලධාරින් විමර්ශන ආරම්භ කරන්නේ මේ අනුවය. ඒ ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය සහ ගල්කිස්ස දිස්ත්‍රික් 03 බාර සහකාර පොලිස් අධිකාරි සාරානාත් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් සහ මඟපෙන්විම අනුවය.

පොලිසිය එලෙස සිදු කළ විමර්ශනයේදි අනාවරණය වුවේ තිස් පස් හැවිරිදි මල්ලියා හෙවත් ධනුෂ්ක ප්‍රේමකුමාරගේ පපුවට එක් පිහි පහරකුත් එම වයසේම පසුවෙන අසංක සංජීව හෙවත් 'පොට්ට අසංක'ගේ පපු ප්‍රදේශයේ වම් පැත්තට වන්නට පිහි පාරවල් තුනකුත් වැදී ඇති බවය.

ධනුෂ්ක ප්‍රේමකුමාරට පරලෝකයත් අසංක සංජීවට දැඩි සත්කාර ඒකකයත් මේ වන විට උරුම වී ඇත්තේ මිතුරා වෙනුවෙන් පෙනී සිටිමේ වරද නිසාය.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රවී මතුගම සිද්ධිය වු ස්ථානයේ ස්ථානීය පරික්ෂණ සිදු කර කළුබෝවිල ශික්ෂණ රෝහලේදි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස පොලිසියට නියෝග කළ අතර අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වි ඇත්තේ හෘදය වස්තුවේ කිරීටක ධමනිය කැපි යාම නිසා මෙම මරණය සිදු වි ඇති බවය.

දරු දෙදෙනෙකුට පිය සෙනෙහස සදහටම අහිමි කරමින් ධනුෂ්ක ප්‍රේමකුමාර බඩෝවිට කුසුම් නිවාස සංකීර්ණයෙන් නික්ම ගියේ මිතුරාගේ අනවශ්‍ය ප්‍රශ්නයට අත පෙවීමේ වරදටය.

Comments