මහනුවර-ඇල්ල කෝච්චි ටිකට් ජාවාරම | සිළුමිණ

මහනුවර-ඇල්ල කෝච්චි ටිකට් ජාවාරම

 

ප්‍රවේශ පත්‍රයක් රු.3650 බැගින් විදේශිකයන්ට විකුණලා

 

කොළඹ සිට බදුල්ල බලා ධාවනය කරන අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත් සඳහා පවතින්නේ අධික ඉල්ලුමකි. මෙම දුම්රියේ පළමු හෝ දෙවන පන්තියේ ආසනයක් සතිඅන්තය සඳහා කලින් වෙන් කරවා ගැනීම ‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා‘ හා සමානය. ප්‍රවේශ පත් සඳහා පවතින අධික ඉල්ලුම නිසාම ජාවාරම්කරුවෝ නොයෙකුත් කූට ක්‍රම මඟින් දුම්රිය මගීන් රවටා වැඩි මුදලට ටිකට් පත් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන්නේ දීර්ඝ කාලයක සිටය.

මෙම ජාවාරම්කරුවන්ට වැඩිපුරම ගොදුරු වන්නේ විදේශිකයින්ය. මහනුවර සිට බදුල්ල දක්වා උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1300 කි. ජර්මන් ජාතික යුවළකට 14 වැනිදා අදාළ දුම්රියෙන් මහනුවර සිට ඇල්ල දක්වා යෑමට රුපියල් 7300 ක මිලකට ටිකට් පත් දෙකක් අලෙවි කළ පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශය මගින් මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 13 වැනි දින පස්වරු 4.00 ට පමණ ය.

කොළඹින් පෙරවරු 8.00 ට ගමන් ආරම්භ කරන දුම්රිය මහනුවරට පැමිණ යළි බදුල්ල දක්වා ගමන් ගන්නේ පෙරවරු 11. 10 ටය. මෙම දුම්රියෙන් 14 වැනි දින මහනුවර සිට ඇල්ල දක්වා ගමන් ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ජර්මන් ජාතික යුවළ ගමන සඳහා ටිකට් පත් දෙකක් වෙන්කර ගැනීමට උත්සාහ කර ඇතත් ඒවන විටත් ටිකට් පත් විකිණී අවසන්ව තිබිණි. එහෙත් ඔවුන් ඒ සඳහා අවස්ථාවක් තිබේද යන්න සොයා බලා තිබුණේ Book a Way අන්තර්ජාල වෙබ් පිටුව ඔස්සේය.

ඉන් පසුව සිදුවූ දේ පිළිබඳව වෘත්තියෙන් පොලිස් නිලධාරියෙකු වන ජර්මන් ජාතිකයා ලිඛිතව දුම්රිය ආරක්ෂක අංශයට ලබාදී තිබුණේ මෙසේය..

අගෝස්තු 06 වැනිදා රාත්‍රී 11.30 ට පමණ වෙබ් පිටුව ගොස් මහනුවර සිට ඇල්ල දක්වා ටිකට් පත් දෙකක් වෙන්කර ගත්තා. ඒ සමඟ වට්ස්ඇප් පණිවිඩයක් ආවා ශ්‍රී ලංකා ආයතනයක නියෝජිතයෙකුගෙන්. ඔහු කිව්වා මහනුවරදී දුම්රිය ටිකට්පත් දෙක දෙන්නම් කියලා. ඔන්ලයින් මඟින් ඒ ටිකට් දෙකට රුපියල් 7300 ක් ගෙව්වා. අපි මහනුවරට පැමිණ එම පුද්ගලයාට දුරකතන ඇමැතුමක් ගත්තා. එහිදී ඔහු ප්‍රවේශ පත්‍ර මහනුවරදී ලබා ගැනීම සඳහා තවත් පුද්ගලයෙකුගේ අංකයක් ලබා දුන්නා. මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ 13 වැනිදා හවස 4.00 ට පමණ ඔහුට ඇමතුමක් ලබා දුන් අවස්ථාවේ ප්‍රවේශ පත්‍ර දෙක රැගෙන එන බව ඔහු දැනුම් දුන්නා.

කලින් වෙන් කරවා ගත හැකි දුම්රිය ආසන ප්‍රවේශ පත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම අද ඊයේ ආරම්භ වූවක් නොවන අතර මෙයට පෙරද වැඩි මිලට ප්‍රවේශ පත්‍ර විකිණූ ජාවාරම්කරුවන් මහනුවරදී අත්අඩංගුවට පත්ව තිබේ. දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේදී මිලදී ගන්නා පුද්ගලයාගේ හැඳුනුම් පත් අංකය ලබා ගැනීමටත් එක්වර නිකුත් කරන ටිකට් පත් සංඛ්‍යාව සීමා කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව කලකට ඉහත පියවර ගනු ලැබුවේ මෙම ජාවාරමට ‘තිත‘ තැබීමේ අරමුණ ඇතිව වන්නට පුළුවන. එසේ වුවත් ජාවාරම් කරුවන් මෙය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා සිවිල් ඇඳුමින් සැරසී මොවුන් පිළිබඳ තොරතුරු සෙවීමට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට සිදුවිය.

දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරි (ගම්පොළ ඉහළ) කාර්යාලයේ දුම්රිය ආරක්ෂක සැරයන් 91035 එච්.පී.පී ගුණවර්ධන මහතා සිවිල් ඇඳුමින් සැරසී පසුගිය 13 වැනි දින මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිට රාජකාරී කරමින් සිටියේය.සුදු ජාතික යුවළක් දුම්රිය ස්ථානය ඉදිරිපිටට වී සිටිනු දුටු ඔහු ඔවුන් ගෙන් තොරතුරු විමසද්දී ටිකට් ජාවාරමේ සුලමුල හෙළිවී තිබේ.

සුදු ජාතික යුවළ කිසිවෙකු පැමිණීම අපේක්ෂාවෙන් විමසිල්ලෙන් පසුවනු දුටු ගුණවර්ධන කොහාට යන්නදැයි ඔවුන් ගෙන් විමසා ඇත.එහිදි ඔවුන් පවසා ඇත්තේ 14 වැනිදා ඇල්ලට යෑමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.ටිකට් ගත්තා දැයි විමසූ අවස්ථාවේ සුදු ජාතික යුවළ ප්‍රකාශ කර ඇත්තේ කෙනෙකු ටිකට් පතක් රැගෙන එන බව දැනුම් දුන් නිසා ඔහු පැමිණෙන තෙක් සිටිනා බවයි. දුම්රිය ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දැන සිටි සැරයන් ගුණවර්ධන මේ පිළිබඳව විමසිල්ලෙන් සිටිමින් අදාළ පුද්ගලයා ටිකට් පත විදේශිකයාට ලබා දෙන විටම අල්ලා ගෙන තිබේ.

රුපියල් 2600 ක වටිනාකමින් යුත් මහනුවර සිට ඇල්ල දක්වා වන දෙවන පන්තියේ ආසන දෙකක් සඳහා මෙම ජාවාරම්කරුවන් සුදු ජාතික යුවළ ගෙන් රුපියල් 7300 ක් අයකර තිබෙන බව එහීදී අනාවරණය වී ඇත. එම ටිකට් පතට අමතරව අදාළ පුද්ගලයා සතුව තිබී එම දුම්රියේ දෙවන පන්තියේ තවත් ටිකට් පතක්ද සොයාගෙන තිබේ. මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයාව දුම්රිය ආරක්ෂක අංශය මඟින් වැඩිදුර විමර්ශන සඳහා මහනුවර සංචාරක පොලිස් ඒකකයට බාර දී ඇත්තේ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා අදාළ ටිකට්පත් ද සමඟය.

උඩරට මැණිකේ දුම්රියේ අදාළ ආසන දෙක සඳහා දෙපාර්තමේන්තුව මඟින් වෙනම අවසර පත්‍රයක් නිකුත් කර විදේශීය යුවළට අදාළ දුම්රියෙන්ම ඇල්ල බලා යෑමට පහසුකම් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සලසා ඇත.දුම්රිය ආරක්ෂක අධිකාරී කේ.ජී.ඒ ප්‍රේමරත්න,සහකාර ආරක්ෂක අධිකාරී එම්.ජී සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත දුම්රිය ආරක්ෂක සැරයන් 91035 එච්.පී.පී ගුණවර්ධන විසින් මහනුවර දුම්රිය ආරක්ෂක කාර්යාලයේ කාර්යභාර නිලධාරිවරයාගේ සහ සෙසු නිලධාරීන්ගේ සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමේ තැරව්කාරයෙකි.සිද්ධියේ මහ මොළකරු නිදැල්ලේය.

අවශ්‍යතාව ඇත්නම් ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුවන.ජර්මන් ජාතික යුවළට වැඩි මිලට විකිණූ ටිකට් පතේ අංකයට අනුව එය මිලට ගත් පුද්ගලයාගේ හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය සොයා ගැනීමට පුළුවන.

ඒ ඔස්සේ අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාව ඇත. එසේ වුවත් අපට තිබෙන අත්දැකීම් අනුව මෙම පරීක්ෂණ වැඩිදුර නොයයි. තැරව්කරු දංගෙඩියට ගිය පසු මහමොළකරු ඒ වෙනුවට තවත් පුද්ගලයෙකු තෝරාගෙන යස අපූරුවට ටිකට් ජාවාරම සිදු කරගෙන යන අතර එයට ඇතැම් දුම්රිය නිලධාරීන්ගේද සහය ලැබීම කනගාටුවට කරුණකි.

Comments