යතුරු නැතිව මෝටර් බයිසිකල් උස්සන සෙබළා පොලිස් ඉවෙන් කොටුවුණු හැටි | සිළුමිණ

යතුරු නැතිව මෝටර් බයිසිකල් උස්සන සෙබළා පොලිස් ඉවෙන් කොටුවුණු හැටි

 

 

‘උකුසු ඇස' තමන්ගේ 'ගොදුර' ග්‍රහණයට හසුකරගන්නේ නිමේෂයකිනි. අත්දැකිම් බහුල රාජකාරියේ කෙල පැමිණී ඇතැම් පොලිස් නිලධාරින් ද එවැනි තියුණු විමර්ශනාත්මක 'ඇස්' ඇති අය වෙති.

මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලකද එවැනි නිලධරයෙකි. පසුගිය කාලය පුරා නොවිසඳුණු අපරාධ රැසක් මෙන්ම සොරකම් මංකොල්ලකෑම් රැසක අගමුල සොයා සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ඔහුට හැකි වූයේ මෙම දක්ෂතාවයත් ඔහු තුළ ඇති තියුණූ විමර්ශනාත්මක බුද්ධියත් නිසාය.

ඒ තවත් දවසක ආරම්භයයි. දිනය පසුගිය 26දාය. වෙලාව සවස 2.30ට පමණය. ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක රාජකාරියට යන අතරතුර මොනරාගල හුලංදාව හන්දියේ බස් නැවතුමේ සිටි සැකකටයුතු අයෙකු දුටුවේ අහම්බෙනි. පොලිස් වාහනය දුටු එම පුද්ගලයා කලබල වන අයුරු දුටු ප්‍රියන්ත වහාම තම වාහනය නවතා එම පුද්ගලයා සමීපයට ගියේ සැක කටයුතු පුද්ගලයකු බව දැනුණු නිසාය.

ඔහුගෙන් ප්‍රශ්න කරද්දි ඔහු පවසා සිටියේ තමන් යුද හමුදා සෙබළෙකු බවයි .

අනතුරුව ඔහු ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් සමීපයට කැඳවාගෙන ගිය පොලිස් නිලධාරින් මේ පුද්ගලයා පරික්ෂා කිරීමේදි ඔහු සිය යට කලිසමේ සඟවාගෙන සිටි මත්කුඩු ග්රෑම් 7.180ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වන්නේ අදාළ පුද්ගලයාගේ සැක කටයුතු බව තහවුරු කරමිනි.

එම අවස්ථාවේ සිට ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුව මත්කුඩු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගන්නේ කෙසේදැයි පොලිස් නිලධාරින් ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා සිටියේ තමන්ගේ යතුරුපැදිය බුත්තල ප්‍රදේශයේ අයෙකුට විකුණා මුදල් ලබාගෙන ඒවායින් මත්කුඩු මිලදී ගත් බවයි .

සැකකරුගෙන් තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු පවසා සිටියේ බිරියට ගමන් බිමන් යන්නට යතුරුපැදියක් නොමැති නිසා යතුරුපැදියක් සොරකම් කර අංක තහඩු වෙනස්කර නිවසේ තබා ඇති බවය. එහි අංක තහඩු අල්මාරිය උඩ ඇති බවද සැකකරු පොලිසියට පවසන්නේ මේ සමඟමය.

ඒ අනුව රතු පැහැති යතුරුපැදියක් ඔහුගේ නිවස ඉදිරිපිට නවතා ඇති අයුරු පොලිස් නිලධාරින්ට දැකගන්නට ලැබෙන්නේ පොලිසිය හමුදා සෙබළා සමඟ ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදිය.

එම යතුරු පැදියේ සවිකර තිබු අංක තහඩු වෙනස් බැවින් මෙම සෙබළාගේ බිරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසන්නේ මෙම යතුරුපැදියේ අංක තහඩු කුස්සියේ කැබිනට් එක උඩ ඇති බවයි. ඒ අනුව ඇය විසින් ඒවා පොලිසියට ලබාදෙන අතර එම යතුරුපැදිය මොනරාගල අධිකරණයේ රාජකාරි කටයුතුවලට එන පොලිස් සැරයන් බණ්ඩාර නැමති අයෙකුට අයත් යතුරුපැදියක් බවට තහවුරු වන්නේ නක්කල හංදියේදි එය කලකට පෙරදී සොරාගෙන ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බැවිනි. යතුරුපැදි සොරකමේ කෙල පැමිණි මෙම හමුදා සෙබළා ඕනෑම 'ස්මාර්ට් යතුරු' සහිත බයිසිකලයක් තත්පර 4-10ත් අතර ගලවා වයර් දෙකක් අමුණා පණගන්වාගෙන රැගෙන යාමට හපනෙක් බව හෙළි විය. තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදි සෙබළා විසින් සිදුකළ යතුරුපැදි සොරකම් රැසක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඇතුළු පොලිස් නිලධාරින්ට හැකි වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ‍දීර්ඝ විමර්ශනය නිසාය.

"සර් මම සිරිගල ඉස්පිරිතාලේ වැඩ කරන නර්ස් නෝනා කෙනෙක්ගේ බයිසිකලේකුත් ඉස්සුවා... ඒක ගත්තේ ඔක්කම්පිටියේ ගෙදරදි. ඒක මම බෙලිඅත්ත කඩේකට විකිණුවා තුන්ලක්ෂ පනස්දාහකට තමයි ඒක දුන්නේ...“ සැකකරු තවත් යතුරුපැදි සොරකමක් ගැන පොලිසියට එලෙස තොරතුරු හෙළි කෙළේය.

'බයිසිකලේ පොත නැතුව කොහොමද විකුණන්නේ?' ප්‍රධාන පොලිස් පරිකෂක ප්‍රියන්ත සැකකරුගෙන් විමසීය.

මෙම හෙද නිලධාරිනිය තමන්ගේ යතුරුපැදියේ ආදායම් සහතිකය ලබාගැනීමට ඊට පෙර දිනයේ බයිසිකලේ පොත සහ ලියාපදිංචි සහතිකය දෙකම යතුරුපැදියේ ආසනය ඇතුළට දමා වසා ඇති අතර නිවසේ දොර වසා එළියට එන ටිකට සෙබළා මෙම යතුරුපැදිය සොරාගෙන තිබේ. ඒ අනුව මේ සෙබළා මෙම ලියකියවිලි සමඟ බෙලිඅත්ත කඩේකට මෙම යතුරුපැදිය අලෙවිකර ඇත්තේ හමුදා සෙබළාගේ බිරියගේ යතුරුපැදිය බව පවසමිනි.

තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරිමිවලදි මොනරාගල නගරයට නුදුරින් පිහිටි 'නර්සිංහෝම්' ඉදිරිපිට නවතා තිබු තවත් රතු පැහැති යතුරුපැදියක් සොරකම් කර ඇති බව හෙළි විය. එය රුපියල් ලක්ෂයකට අලෙවිකර ඇති අතර එසේ අලෙවි කර ඇත්තේ ද ඔහු සමඟ යුද හමුදා කඳවුරේ සේවය කරන පදියතලාවේ පදිංචි ජයතිලක නැමැත්තෙකුටය.

මෙම යතුරුපැදිය සොයා ගැනීමෙන් පසු කෙසෙල් පඳුරක් අතර සඟවා තිබූ අංක තහඩු සොයාගන්නා ලදි. එම යතුරුපැදියද රැගෙන යළි මොනරාගලට පැමිණි මෙම පොලිස් කණ්ඩායම තවදුරටත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය කරගත්තේ තවත් මෝටර් බයිසිකල් දෙකක් සොරා ගැනීමේ සිදුවීම්ය.

බුත්තල ඔක්කමිපිටිය පාරේ පදිංචි ගුරුවරියකගේ යතුරුපැදියක්ද සොරාගෙන එම යතුරුපැදිය අලෙවිකර ඇත්තේ ඔහුගේ හමුදා මිතුරෙකු වු 'යාපා' නැමැත්තෙකුටය.

යුද හමුදා මුලස්ථානයට ලිපියක් රැගෙන යමින් සිටින අතරතුර කොට්ටාවේ කඩයක් අසල නවතා තිබු යතුරුපැදියක් සොරකම් කළ බවත් මාතලේ පදිංචි ප්‍රේමරත්න නැමැත්තාට එය අලෙවිකර ඇති බවත් එය විකුණා ඇත්තේ රුපියල් ලක්ෂයකට බවත් ඔහු ලබාදි ඇත්තේ රුපියල් 95000ක් බවත් සැකකරු පවසා තිබේ. තවත් පන්දහසක මුදලක් ලබාගැනීමට ඇති බවත් සැකකරු පොලිසියට පවසා ඇත.

මත්කුඩු ජවාරමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට යතුරුපැදි සොරකම් කළ මේ යුද හමුදා සෙබළාගෙන් සොරකම් වැලක සුලමුල හෙළිදරව් වුයේ ඒ ආකාරයෙනි.

ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ඩබ්. එස්. යූ. ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී.එස්.පී. සන්දනායක, මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් සහකාර පොලිස් අධිකාරි ගාල්ලගේ යන නිලධාරින්ගේ උපදෙස් මත මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරිකෂක ප්‍රියන්ත ප්‍රේමතිලකගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර උප පොලිස් පරිකෂක සුමිත්, සැරයන් සනත්(1607) වික්‍රමසිංහ(45561) සැරයන් අබේවර්ධන(40872) අමිල (61433)ඇතුළු කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණ සිදුකරති.

Comments