
මත්කුඩු, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ගම් නියම්ගම්ව ව්‍යාප්ත වන අයුරු දක්නට ලැබීම කනගාටුවට කරුණකි. මහව නගරයේද මත්කුඩු ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ඇත. එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීප දෙනෙක් සිය ජාවාරම් සිදුකරගෙන යන අයුරු ද දක්නට ඇත. මේ නිසා විමසිල්ලෙන් පසු වු පොලීසිය මහව පොළ පාරේ දී, රාහුල මාවතේ දී, නගරය තුළදී, කැත්තපහුව සහ අඹන්පොළ සීමාව ඇතුළු ප්‍රදේශ කීපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වරින්වර නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසිය පසුගිය කාලයේදී කටයුතු කර ඇතත් ඇතැම් ජාවාරම්කරුවන් දිගින් දිගටම එම ජාවාරම් කෙසේ හෝ සිදුකරගෙන යන බවක් ද පෙනෙන්නට ඇත.
අතර මහවට නව සහකාර පොලිස් අධිකාරිවරයෙක් වැඩ බාර ගැනීමට පැමිණියේ මේ අතරය.
ඔහු ජයන්ත ගුණවර්ධනයි. සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහව ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර දන්නා අයෙකි. ඒ ඔහු කලක් මෙම පොලිස් ස්ථානයේම මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙසට කටයුතු කර තිබුණු නිසාය.
මේ නිසා අලුතින් වැඩ බාර ගත් ඔහු තමන්ට අදාළ සියලු පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් කැඳවන ලදි. ඉන් අනතුරුව මහව නගරයේ ඔහු දන්නා හඳුනන හිතවතුන් ද හමු විය. පොලීසිය සහ මහජනතාව අතර මනා සබැඳියාවක් ඇති කරන්නට නම් ජනතාවගේ නොමසුරු සහයෝගයද පොලීසියට අවැසිය.
"පිරිමි පමණක් නොව කාන්තාවන්ද කුඩා දරුවන්ද සම්බන්ධ වී කරගෙන යන
කුඩු ජාවාරම් නවත්වන්නට සහයෝගය දෙන්න. අපරාධ මැඬලමු“ යැයි ඔහු හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කළේය. ඒ හැම දෙනා හමුවුණු අවස්ථාවේදීය. මේ දැනුම්වත් කිරීම අවසන් වන්නටත් මත්තෙන් අඹන්පොළ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකථනය නාද විය.
"සර්... කුරුණෑගල අනුරාධපුර පාරේ අඹන්පොළ ටවුන් ඒරියා එකේ ඇහැටුවැව පාරට හැරෙන හංදියේ කළු පාට කාර් එකක් නවත්තලා තියෙනවා. ඒකේ ඉන්න ගෑනු කෙනෙක් මත්කුඩු ජාවාරම් කරනවා." යැයි පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු එම ඇමතුමෙන් කියැවිණි. ඇමතුම ලබාදී තිබුණේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික ඔත්තුකරුවකු විසිනි.
අඹන්පොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරා මේ සිද්ධිය වහාම මහව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධනට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් රැගෙන දහවල් 12.00 ට පමණ එම ස්ථානයට යාමට අඹන්පොළ පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා කටයුතු කෙළේ සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධනගේ උපදෙස් පරිදිය.
එලෙස අදාළ ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමට එහි නවතා ඇති කළු පැහැති කාරය ඈත සිටම දැක ගැනීමට හැකි විය. පොලිස් නිලධාරින් සමඟ පැමිණි කාන්තා පොලිස් සැරයන් (5715) නදීකා ඉන් අනතුරුව තනිවම ඒ දෙසට පියමැන්නාය. අනිත් කණ්ඩායම ඈතින් සිට ඒ දෙස බලා සිටියහ.
සැරයන්වරිය දැන් මෝටර් රථය අසලය. ඇය එහි දොර විවෘත කළාය. ඇය තනියම ඇතුළට පිවිසුණාය. නමුත් සිදු වූවේ කිසිවෙකු නොසිතූ දෙයකි. නවතා තිබූ වාහනයේ දොරවල් වැසුණි. එය පවනට බදු වේගයෙන් ඉදිරියට යමින් ඇහැටුවැව දෙසට ධාවනය වෙන්නට පටන් ගත්තේය. මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් කණ්ඩායම මේ සිද්ධිය ඒ සැණින් මහව සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දෙමින් ඒ වාහනය පසුපස ලුහු බඳින්නට වූහ. ගල්ගමුව, ඇහැටුවැව, මීගලෑව පොලිස් ස්ථානවලින් පවා පොලිස් නිලධාරින් පලා යන මෝටර් රථය කොටුකර ගැනීමට ඉදිරියට එමින් තිබිණි.
ඒ සමඟම සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු කණ්ඩායමක් ද ඒ දෙසට යාමට පිටත් වුහ. සිද්ධිය වු ස්ථානයේ සිට කිලෝමීටර් හතක පමණ දුරක් කාර් රථය පසුපස පන්නා යන පොලිස් කණ්ඩායමට මහව, මැඩියාව මාවතේ අබලකොළ වැව සීමාවේ දී පවනට බඳු වේගයෙන් යන කාරයට ළංවීමට හැකි විණි. පොලිස් සැරයන්වරිය බේරා ගැනීම සඳහා අවම බලය ක්‍රියාත්මක කරන ලෙසට උසස් පොලිස් නිලධාරින්ගෙන් උපදෙස් ලැබිණි.
ඒ අනුව නීතියට අවනත නොවී ධාවනය වෙන කාරයට පිටුපසින් ගමන්ගන්නා පොලිස් ජීප් රථයේ සිටි පොලිස් කණ්ඩායම් විසින් වෙඩි තබන ලදී. එක් වෙඩිල්ලක් කාරයේ පිටුපස දකුණු රෝදයට එල්ල විණි. ඒ අතරේ තවත් වෙඩි කිහිපයක් ද කාරයේ බඳ පසාරු කරගෙන ගියේ තත්පර කිහිපයක් ඇතුළතදීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වැරදුණි. කාරය නතර විණි. මෙදින දහවල් 12.00 ට පමණ පොලීසියේ අණ නොතකා ගිය කාරය පස්වරු 1.00 පමණ වනවිට පොලිස් බාරයට ගැනීමට හැකි විය .
ජාවාරම්කරුවන් පැහැරගෙන ගිය පොලිස් සැරයන්වරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි විය. කාරයේ රියදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්රෑම් 3240ක් සහ එහි සිටි කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්රෑම් 2760ක ප්‍රමාණයක් පොලිස් බාරයට ගැනීමට හැකිවිය. මේ සිද්ධිය දැක ගැනීමට මහව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු කණ්ඩායමද එහි ළඟා වූයේ මිනිත්තු කිහිපයක් ගතවෙද්දියි.
වෙඩි වැදුණු කාරය සමඟ හෙරොයින් ජවාරමේ යෙදුණු ජෝඩුව අඹන්පොළ පොලීසිය වෙතට ගෙනඒමට පොලිස් කණ්ඩායම කටයුතු කරන ලදි. පොලිස් නිලධාරිනිය පැහැරගෙන මෙලෙස පොලීසියට 'වෙට්ටු දැමු' දෙදෙනා පිටස්තරයින් යැයි සිතා සිටියත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දි අනාවරණය වූයේ ඔවුන් දෙදෙනා අඹන්පොළ, කැත්තපහුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය. මේ දෙදෙනා නීතියට හසු නොවන ලෙසට සූක්ෂම අයුරින් සුඛෝපභෝගි වාහනවලින් ගොස් විවිධ ප්‍රදේශවල රැදී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන යුවළක් බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.
අත්අඩංගුවට ගත් 'හෙරොයින් යුවළ' අඹන්පොළ පොලීසියේ නිලධාරින් විසින් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ ඉන් අනතුරුවය. මේ යුවළ සිදුකර තිබෙන ජාවාරම් සහ අපරාධ සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දීමට මහව මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය. ඒ අනුව මේ යුවළගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ ඉන් පසුවය.
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජේ. නන්දනගේ උපදෙස් මත මහව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධනගේ ඍජු අධීක්ෂණයෙන් අඹන්පොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් පෙරේරාගේ මෙහෙයවීමෙන් සැරයන් (47636) වසන්ත, කාන්තා පොලිස් සැරයන් (5715) නදීකා,
කොස්තාපල්වරුන් වන හේරත් (88635), ලක්මාල් (75908), හේරත් (67883), රත්නමලල (86139), රත්නායක (85358) හේරත් (97232) යන නිලධාරින් වැටලීමට එක් වූහ.