
- යුවාන් වැන්ග් යන චීන වදනෙහි අරුත දීර්ඝ දසුන යන්නයි
- නෞකාවේ දිග මීටර් 222ක්, පළල මීටර් 25.2 ක්
ඒ වන විටත් රාත්‍රී අඳුර මැකී තිබුණේ නැත. මදින් මඳ පොළොවට පතිත වෙමින් තිබූ අරුණාලෝකය අතරින් හම්බන්තොට වරායේ ගේට්ටු අංක 1 බොහෝ කාර්ය බහුල වෙමින් තිබිණි. තම කැමරා ආම්පන්න ඔසවා ගත් මාධ්‍යවේදීන් රථවලින් බිමට බසිමින් ගේට්ටුව වෙත ගමන් ගන්නට වූ අතර, වැඩි වේලා නොගෙන ඔවුන් වරාය ජැටිය වෙත ගෙන යෑමට වරාය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණේ ඒ වන විටත් මුළු ලෝකයේම කතාබහට ලක් වූ යුවාන් වැන්ග් 5 නෞකාව වරායට ප්‍රවිෂ්ට වෙමින් පැවති බැවිනි.
වරාය ජැටිය මතට පිවිසි සැණින් දක්නට ලැබුණේ ක්ෂිතිජය මායිමට වන්නට ක්‍රමයෙන් වරායට දෙසට ධාවනය වෙමින් පැවති ධවල පැහැ නෞකාවයි. සාමාන්‍ය නෞකාවල දක්නට නොලැබෙන, යුවාන් වැන්ග් 5 නෞකාවටම අනන්‍ය වූ යෝධ තාක්ෂණික උපකරණ සහ ඇන්ටෙනා මඳ ආලෝකය අතරේ වුවද ඉතා පැහැදිලිව දක්නට ලැබිණි.
මිනිසා නෞකා නිෂ්පාදනයට පෙලඹුණේ පරිවහන පහසුව වෙනුවෙනි. ආරම්භක යුගයේදී දේශ ගවේෂණයට මෙන්ම භාණ්ඩ ප්රවාහනයටද යොදා ගත් නෞකා කල්යත්ම වඩා වැඩි තාක්ෂණය යොදා ගනිමින් වැඩි දියුණු කිරීමට මිනිසා සමත් විය. ඒනයින්ම නොයෙක් අන්දමින් නවීන තාක්ෂණය කැටිවූ නෞකා ලොව පුරා බිහිවන්නට වූ අතර මිනිසා නෞකා තාක්ෂණයේ පෑ පෙළහර පිළිබඳ හොඳම උදාහරණයක් පසුගියදා හම්බන්තොට වරායේදී සියැසින් දැක ගැනීමේ අවස්ථාව උදා විය. ඒ යුවාන් වැන්ග් නෞකාව ජැටිය වෙත ළඟා වීමත් සමඟිනි. වරාය ආසන්නයේදී ටග් යාත්‍රා මඟින් අදිනු ලැබූ නෞකාව ජැටියේ නෞකාවට වෙන් කළ ඉඩ ප්‍රමාණය වෙත ආසන්න වූ පසු ක්‍රමයෙන් ඒ වෙත යාත්‍රා කළේය. ඒතැන් සිට දෑස් මානයේ පැවති මහ සයුර වසාගෙන දැවැන්ත නෞකාව අප දර්ශන පථය ආවරණය කර සිටියේය.
යුවාන් වැන්ග් නෞකාව අති දැවැන්ත නෞකාවකි. එහෙත් එය තට්ටු ගණන් උසැති, පාපන්දු පිටි සහ පිහිණුම් තටාක සහිත කෘස් වර්ගයේ අධි සුඛෝපභෝගී නැවක් නොවේ. එය සරලව යුද නැවක් ලෙස හැඳින්විය හැකි වුවද එය සැබවින්ම තාක්ෂණික සහ පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නා වර්ගයේ නැවකි. නෞකාවේ දිග මීටර් 222කි. 2007 වර්ෂයේදී නිෂ්පාදනය කරන ලද මේ නෞකාවේ පළල මීටර් 25.2කි. නැව් බඳෙහි තනිකරම සුදු පැහැය අලේප කර ඇත්තේය. එමතුද නොව නැවේ ඈතට දිස්වන සන්නිවේදන තාක්ෂණ උපාංග පවා පුංචි ඉඩක් නො නොමැතිව ධවල පැහැය ලබා දී තිබුණේ දර්ශනයට කිසියම් එකමිතියක් ලබා දෙමිනි.
යුවාන් වැන්ග් යනු චීනයේ නිෂ්පාදනය කරන නෞකා ඛාණ්ඩයකට ලබා දී ඇති නාමයයි. මේ යුවාන් වැන්ග් යන චීන වදන්වල අර්ථය වන්නේ ‘දීර්ඝ දසුන‘ යන්නයි. මේ නාමය ලබාදීමෙන්ම පෙනී යන්නේ යුවාන් වැන්ග් වර්ගයේ නෞකා නිෂ්පාදනය කිරීම ආරම්භයේ සිට එම නෞකාවල කාර්ය භාරය පිළිබඳව චීන බලධාරීන් සතුව දැක්මක් පැවති බවයි. ඒ මන්ද යත් ආරම්භයේ සිට මේ නෞකා පර්යේෂණ සහ ආවේක්ෂණ කටයුතු සඳහා යොදා ගත් බැවිනි. මේ නෞකා ආරම්භයේ සිට චන්ද්‍රිකා සහ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල ආවේක්ෂණ සහ සහය දීම් කටයුතුවල නිරත වූ අතර මේ නෞකා චීනයේ මහජන විමුක්ති හමුදාවේ උපාය මාර්ගික සහය බළකායට අයත් සේ සැලකේ.
එහෙත් මෙහිදී විශේෂයෙන් පැවසිය යුතු වන්නේ යුවාන් වැන්ග් ඛාණ්ඩය යනුවෙන් පොදුවේ ගත්තද මේ ඛාණ්ඩයට අයත් නෞකා සියල්ල එකම හැඩයේ හෝ එකම තාක්ෂණය සහිත නෞකා නොවන බවයි. මේ නෞකා එකිනෙකට වෙනස් වේ. ඒවායේ තාක්ෂණික උපාංගද එකිනෙක වෙනස් වන්නේ දිනෙන් දින දියුණුවන උපාංගද එක් කරමිනි. මේ නෞකා ඛාණ්ඩය පිළිබඳ සැලැස්ම 1965 වර්ෂයේදී ඉදිරිපත් කර සිටියේ එවකට චීනයේ ජනපද කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ චෞ එන්ලායි විසිනි. 1968දී ඔහුගේ එම යෝජනාව එවකට මහජන චීනයේ ප්‍රධානියා වූ මාඕ සේදොං විසින් අනුමත කළ පසු මේ නෞකා ඉදිකිරීම ආරම්භ විය.
එතැන් සිට චීනය විසින් යුවාන් වැන්ග් වර්ගයේ නෞකා හතක් ඉදි කර තිබේ. ඒ අතරින් නෞකා දෙකක් කල් ඉකුත් වීමෙන් භාවිතයෙන් ඉවත් කර විනාශ කර දමා තිබේ. නෞකා හතරක් උපරිම ධාරිතාවයෙන් සේවයේ යෙදී සිටි. තවත් එක් නෞකාවක් පිළිබඳව නිශ්චිත සඳහන් සොයා ගැනීමට නොහැකිය. කෙසේ වුවද යුවාන් වැන්ග් 5 සහ යුවාන් වැන්ග් 6 නෞකා එකම කාලයකදී සේවයට එක් වූ නිවුන් නෞකා වශයෙන් හඳුන්වා දිය හැකිය. එයින් පසු යුවාන් වැන්ග් 7 නමින් ද නෞකාවක් නිෂ්පාදනය කිරීමට චීනය කටයුතු කර තිබිණි. 2013 වසරේදී යුවාන් වැන්ග් ඛාණ්ඩයේ නවතම නෞකා දෙකක් සේවයට එක් කළ අතර එම නෞකා යුවාන් වැන්ග් 21 සහ යුවාන් වැන්ග් 22 යනුවෙන් නම් කර තිබේ. එහෙත් මේ යාත්‍රා පිළිබඳව තහවුරු කළ නිශ්චිත තොරතුරු තවමත් හෙළිදරව් කර නොමැත.
මේ නෞකා අතරින් හම්බන්තොට වරායට පැමිණියේ යුවාන් වැන්ග් 5 නම් වන අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීමේ හැකියාව සහිත වන ප්‍රබල නෞකාවයි.
මේ නෞකාවේ නාවිකයන් 400කට පමණ එකවර ගමන් කිරීමේ හැකියාව සහිත වුවද ලංකාවට පැමිණීමේදී නාවිකයන් 240ක් පමණ සහභාගී වූ බව ප්රකාශිතය.
නෞකාව පිළිගැනීම වෙනුවෙන් හම්බන්තොට වරාය පර්යන්තයේ ධජ සේසත් සමඟ සම්ප්‍රදායික නර්තන ශිල්පීන්ද සූදානමින් සිටි අතර දෙරටේ ධජ ලෙළවමින් වරාය පර්යන්ත සේවකයන් සහ චීන ජාතිකයන්ද විය.
නෞකාව ජැටියට ළඟාවීමෙන් පසු නෞකාවේ කපිතාන්වරයා සහ සහායකයෙක් පමණක් නෞකාවෙන් ඉවතට පැමිණියේ සෞඛ්යාරක්ෂක හේතූන්වලට මුල්තැන දෙමිනි. බෙර වාදනය සහ නර්තන මධ්‍යයේ ඔවුන් ජැටියේ සූදානම් කර තිබූ උත්සව සභාව වෙත කැඳවාගෙන යෑමෙන් පසු උත්සව සභාවේ වැඩ ආරම්භ විය.
ආරම්භක දේශනය පැවැත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන් දෙරටේ මිත්‍රත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් පවසා සිටියේ ‘චීනය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තීරයක් සහ මාවතක් ව්‍යපෘතියේ එක් සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට අන්තර්ජාතික වරාය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට වැදගත් යාන්ත්‍රණයක් වී ඇති බවයි‘. එමෙන්ම චීනය සහ ශ්‍රීලංකාව අතර වසර 65ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳවද සිහිපත් කර සිටි තානාපතිවරයා වැඩිදුරටත් සිහිපත් කර සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතර රබර්, සහල් ගිවිසුම අත්සන් කර සිටියේ මීට වසර 70ක් තරම් ඈතකදී බවයි. උත්සව සභාව අමතමින් නෞකාවේ කපිතාන් ෂැං හොන්ග් වැන්ග් පවසා සිටියේ යුවාන් වැන්ග් 5 නෞකාව සාමයේ සහ මිත්‍රත්වයේ මෙහෙවරක නිරතව සිටින බවයි. බහු ජාතික නැව් සඳහා පහසුකම් සපයන වරායක් ලෙස හම්බන්තොට වරාය යුවාන් වැන්ග් 5 නෞකාවටද පහසුකම් සපයනු ඇති බව පවසා සිටි කපිතාන්වරයා, එම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම දෙරට අතර සබඳතාවේ වර්ධනයට හේතුවනු ඇතැයි තමා විශ්වාස කරන බවද පවසා සිටියේය.
නෞකාවේ බඳෙහි චීන, ශ්‍රී ලංකා මිතුදම දිනේවා යනුවෙන් සඳහන් රතු පැහැ ධජයක් පලඳවා තිබූ අතර නෞකාව මත සිටිමින් නාවිකයන් චීන සහ ශ්‍රී ලංකා ධජ ලෙළවමින් ආචාර දැක්වූහ. නෞකාව පිළිගැනීම සඳහා සරත් වීරසේකර, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද පැමිණ සිටියහ.
තෙදිනක කාලයක් පුරා යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායේ නවාතැන් ගත් අතර අගෝස්තු 19වැනිදා යළිත් ස්වකීය මවු රට බලා යාත්‍රා කිරීම අරඹනු ලැබීය.
ඡායාරූප - සුලෝචන ගමගේ