එකඟතාවෙන් යුතුව රට ගොඩනැඟීමට මේ හොඳම අවස්ථාවයි | සිළුමිණ

එකඟතාවෙන් යුතුව රට ගොඩනැඟීමට මේ හොඳම අවස්ථාවයි

ටේ මූලික වශයෙන් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇත. එම ආර්ථික අර්බුදය ඇතිවීමට හේතු මොනවාද යන කරුණ පිළිබඳ අවබෝධ කරගෙන ඉන් මිදීමට අවශ්‍ය අංගෝපාංග අවබෝධ කරගෙන එකඟතාවකින් යුතුව කටයුතු කිරීම මේ අ‍වස්ථාවේ වඩා වැදගත් වෙයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුත්තේ කෙසේද යන කරුණ පැහැදිලි කිරීමේදී ද මගේ අදහස අනුව සියලු දෙනා මැති ඇමැති තනතුරු හිමිකර ගනිමින් ආණ්ඩුවට සම්බන්ධ වීමට වඩා විය යුත්තේ එකඟතාවෙන් යුතුව රට ගොඩනැඟීමයි.

එවැනි එකඟතාවක් ප්‍රධාන පක්ෂ අතර සහ පාර්ලිමේන්තුවේ ඇති විය යුතුයි. ඒ අනුව එම වැඩසටහන දිගුකාලීන සහ මැදකාලීන වශයෙන් මෙරටේ සකස් කර ගත හැකියි. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම වන්නේ; ඊළඟ මැතිවරණයේදි ආණ්ඩු වෙනස් වුවත් නායකයන් වෙනස් වුවත්; මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ හැකියාව නිසයි. ‍ඒ සඳහා යහපත් අවකාශයක් අද හිමි වී ඇත. මෙතෙක් කල් පැවැති ආණ්ඩු ය‍ටතේ එකිනෙකාගේ කකුලෙන් අදිමින් යම් අයෙක් යම් දෙයක් කිරීමට උත්සාහ කිරීමේදී විරුද්ධ වීමේ සම්ප්‍රදායක් පැවතිණි.

එසේ ම අවශ්‍ය දේ අවශ්‍ය කාලය තුළ නොකිරීමත් ඔවුනොවුන්ගේ පටු දේශපාලනික අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වීමත් මෙතෙක් සිදුවිය. එමඟින් ස්ථිර ප්‍රතිපත්තිතයක් ඉදිරියට ගෙනයාමේ හැකියාව නැති විය. යහපත් ප්‍රතිපත්ති දිර්ඝකාලීනව ක්‍රියාත්මක වීමක් නොව නව ආණ්ඩු යටතේ පොරොන්දු දීම් සහ එම කාලය තුළ එදිනෙදාට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමක් මෙතෙක් දක්නට ලැබිණි. එම තත්ත්වය වෙනස් කරගෙන සර්ව පාක්ෂික එකඟතාවකට ගමන් කිරීම වැදගත් වෙයි. රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට මෙන්ම සෞභාග්‍ය කරා රටේ අනාගතය ගෙනයාමට රට හරි මඟට ගැනීමක් අත්‍යවශ්‍යය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට නොහැකි බවට විවිධාකාර හේතු දක්වන පාර්ශ්වයන් වෙයි. මෙහිදී මතුවන ප්‍රශ්නය නම් එයට විරුද්ධවීමට හේතුව සහ ඒ සඳහා විකල්ප මොනවාද යන්න යෝජනා විය යුතුයි. විරුද්ධ වන්නේ නම් විකල්පය කුමක්ද යන්න තීරණය කළ යුතුයි. ආර්ථිකය ගොඩනැඟීමේ විකල්ප ක්‍රියාමාර්ග යෝජනා නොමැතිව විරුද්ධ වීම ඉතිහාසය පුරා පැවැති ලාබදායි දේශපාලන සංස්කෘතියේ අංගෝපාංගයක් මිස එය කිසිදු දේශපාලනික වටිනාකමක් ඇති ප්‍රකාශයක් නොවෙයි.

උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදයන්වලට මුහුණ දුන් රටක් වන තායිලන්තය 1997දි නැඟෙනහිර ආසියානු මුල්‍ය අර්බුදයට මුහුණ දුන් රටකි. මුල්‍ය අරමුදලට ගිය ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන තායිලන්තය එම අර්බුදයෙන් ගොඩ එන ලදී. එසේම නැවත IMFයෑමට කිසිදු අවශ්‍යතාවයක් පැනනැඟි නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නැවත නැවතයාම අපේ රටේ ආර්ථික ක්‍රමවේදයේ යම් ගැටලුවක් මිස IMFගැටලුවක් නොවෙයි.විවේචනය කරන්නන් IMF එකට යාම වැරදි බව දකී නම් නොයා ගතයුතු විකල්පද පෙන්වා දිය යුතුය. IMF සහය ලැබූ අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ ඒමට රටක් ලෙස අප වගබලා ගත යුතුයි. එසේ ගොඩ නොඑනතාක් අපිට නැවත නැවත එතැනට යාමට සිදු වෙයි.

අපේ රට දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති නොගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අපොහොසත් වූ රටකි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඒ සඳහා හොඳ අවස්ථාවකි. මේ අවස්ථාවේ මතුවී ඇති ආර්ථික ගැටලුවලින් මිදීමට නම් අපි එකිනෙකට වෙනස් ආර්ථික වැඩපිළිවෙළවල් පසෙකලා නව සාධනීය වැඩපිළිවෙළක් ඉදිරියට ගත යුතු වෙයි. මින් පෙර පැවැති ක්‍රමවේදයන් නිසා සංයතභාවයකින් යුතුව පුරෝකතන හැකියාවකින් යුතුව ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙනයාමට නොහැකි වීම සිදුවෙයි ;ඒ අනුව බැලීමේදී මේ අවස්ථාවේදී අපි පස්සට ගමන් කිරීමක් සිදු නොකිරීමට කටයුතු කළ යුතුය. අපිට IMF නොයා සිටිමට හැකියාවක් නැත. අවසාන වශයෙන් මේ වැනි අර්බුදයකදි IMF එකට යාමට සිදු වෙයි. IMFයාමේ එක් වැදගත්කමක් නම් අපි IMF ගියද අපිට ඩොලර් බිලියන තුනක් පමණ හිමිවීමක් සිදු වෙයි; IMF සමඟ එකඟතාවකට එළඹෙන්නේ අපි යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහ මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට කෙටිකාලින දිගු කාලින සහ මැදකාලිනව වැඩපිළිවෙළට එකගතාවකට පැමිණ ඒ මාර්ගයේ ගමන් කිරිම අවශ්‍යයි.

IMF එකත් සමඟ කටයුතු කිරීමෙන් අනෙකුත් බහුපාර්ශ්විය සංවිධාන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි බොහොමයක සහය හිමිවීමට හේතු සාධකයන් වෙයි.

IMF වැඩසටහන සමඟ එකඟ වීම ක්‍රියාත්මක වීම නිසා එවැනි බහු පාර්ශ්වයන්ට කිසි අපහසුවකින් තොරව ලංකාවට ආධාර කිරීමේ හැකියාව ලැබෙයි. එසේම මෙරට පිළිබඳව ආයෝජක විශ්වාසය ව්‍යාපාරික විශ්වාසය සම්පූර්ණයෙන් බිඳවැටි ඇති අවස්ථාවක ජාත්‍යන්තර වශයෙන් මෙරට සමඟ වෙළෙඳ ගනුදෙනු සහ අපේ නිෂ්පාදන අලෙවියට ඇති අකමැත්ත වැනි කරුණු වලින් මතු වන ගැටලු විසඳාගැනීමට හැකිවෙයි. විදෙස් ප්‍රේරණයන් ලැබෙන ඩොලර් මඟින් නැවත ගෙන්වා ගැනීම, ආයෝජකයන් කැඳවා ගැනීම, පැවැති ආයෝජන ව්‍යපෘති සියල්ල නැවත ස්ථාපිත කිරීම වැනි ප්‍රශ්න රැසක් අප ඉදිරියේ වෙයි.

IMF එක සමඟ එකතු වීමෙන් ජාත්‍යන්තර විශ්වාසය වැඩි දියුණු වීමට හේතුවෙයි. මේ කාරණා IMF එකෙන් ලැබෙන ඩොලර්වලට වඩා ඉතාමත් වැදගත්වෙයි. ඒ නිසා IMF එකට යාම සාධනීය පිළිතුරක් වෙයි. අපේ රටේ ආර්ථක තත්ත්වය විග්‍රාහයකට ලක් කළහොත් අපිටද රටේ පවතින ක්‍රමවේදයන් ගැන දක්නට හැකිදේම IMF ආර්ථික විශේෂඥයන් විසින් මෙරට පිළිබඳ නිර්ණය කිරීම සාමාන්‍ය කරුණකි. වසර 20කට පෙර අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ මිලියනක් පමණ සේවක සංඛ්‍යවක් විය. එහිදි අපි අද බැලුවොත් මිලියන එකාමාරක් පමණ වෙයි.

මිලියන බාගයෙකින් වැඩිවී ඇත. නමුත් ශ්‍රම බලකාය වැඩිවී ඇත්තේ ඊට වඩා අඩුප්‍රමාණයකිනි. මේ ලැබුණ බොහෝදේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබාදෙන රැකියාද යන්න ගැටලුවක් පවතී. දේශපාලන අධිකාරීය බලතල පාවිච්චි කරමින් තමන්ගේ උපකාරකරුවන් පාවිච්චි කරමින් ඒ හරහා ඔවුන්ගේ පවුලේ අය රැකියාවන්ට පිරවිම පමණක් සිදු කරයි. එසේ ම රාජ්‍ය ආයතන 400 ක් පමණ වෙයි. වර්තමානය දක්වාම පවත්වාගෙන එන ඇතැම් රාජ්‍ය ආයතනයන් පාඩු ලබයි. ඒ පාඩු මහජන බදු ආදායමෙන් වැසිමක් සිදුවෙයි. ණය ආණ්ඩුවේ බැංකුවෙන් නඩත්තු කිරීම රටේ ජනතාවට බරකි. ජනතාව ගෙවන බදු‍වලින් මෙවැනි පාඩු වැසිම අවශ්‍ය කරුණක් නොවෙයි.

දේශපාලනඥයන් රැකියා ලබාදීමේ ක්‍රියාවලිය 1970 ගණන්වලින් පසුව අතට ගැනීමක් සිදුවිය. ඉන්පෙර රැකියාදිමේදී අයිතිය තිබුණේ අදාළ රාජ්‍ය ආයතනවලටය. තවද මෙ රටේ ඇතැම් සමෘද්ධි වැනි සහනාධාර බෙඳීම සිදුවන්නේ ඉලක්කගත ක්‍රමයකට නොවෙයි. ආර්ථික අර්බුදයෙන් මිදීමට විදේශ විනිමය අර්බුදය විසඳාගත යුතුයි.

ලංකාවේ දුප්පත්කම පිළිබඳව සංඛ්‍යා ලේඛනයට අනුව ලංකාවේ සිටින දිළිදු පවුල් සංඛ්‍යාව ලක්ෂ 2ක් පමණ වෙයි. සමෘද්ධිලාභීන් ලක්ෂ 14ක් පමණ වෙයි; ලක්ෂ 2ක් නම් දිළිඳු පවුල් ලක්ෂ 14 සමෘද්ධිලාභීන් සිටීම ගැටලු සහගත වෙයි; මෙය දිළිදුකම තුරන් කිරිමේ වැඩපිළිවෙළකි. සමෟද්ධි වැඩ සටහන පිළිබඳව IMF එකට පමණක් නොවෙයි එය මේ රටේ ඇතැම් පිරිස් අතර ද සාකච්ඡාවට බදුන් කළ ගැටලුවකි. IMF ඉලක්කගත සහනාධාර වැඩපිළිවෙළ දිළිදුකම තුරන් කිරිමේ වැඩපිළිවෙළක් බවට පත් කළ යුතුයි. ආර්ථික සංවර්ධනය අවශ්‍ය ආකාරයට බදු මුදල් යොදා ගැනීම වඩා වැදගත් වෙයි.

විදුලිබල මණ්ඩලය ඛනිජතෙල් නීතිගත සංස්ථා‍ව ජනතාවට සැපැයීමට පොරොන්දු වූ සේවාවන් සැපයීමට අපොහොසත් වී ඇත. එසේ නම් මෙවැනි ආයතනයන් පාඩුව ලබමින් ජනතාවගේ බදු මුදලින් ඇදගෙන යන්නේද යන තර්කය මතු වෙයි;

අපේ රටේ වර්තමාන අර්බුදයේ ඇති ප්‍රධානම ලක්ෂණය විදේශ විනිමය අර්බුදයයි. කිරීමට අවශ්‍ය දේ නොකර මේ ගැටලුව නොසලකා හැරීම අවධානය යොමු නොකිරිම ප්‍රතිපත්තිවල පසුගාමී විම්, වූ අංශයක් ලෙස මේ විදේශ විනිමය ඉපයීමේ අංශය පැහැදිලි කරගත හැකියි.

අපිට වඩා දිළිඳුව සිටි රටවල් ලෙස ගැනුණු මියන්මාරය, කාම්බෝජය වැනි රටවල් මේ මෑතකදී ඉතිහාසයේ එනම් වසර10 කට ආසන්න කාලයේදිත් ඩොලර් 2කට ආසන්න භාණ්ඩ අපනයනයක් තිබුණ රටවල් විය. නමුත් අවුරුදු 10 ක්‌ 12 ක්‌ ඇතුළත ඒ රටවල් අපනයන අදායම ලංකාව ඉක්මවා ගොස් ඇත.

වියට්නාමය අවුරුදු 25 කට ඉස්සර ලංකාව අපනයනය ආදායම ඩොලර් බිලියන පහයි. අපේ පසුගිය වස‍රේ අපනයනයන ආදායම බිලියන 12.5වන අතර වියට්නාමය ඩොලර් බිලියන 280ක්‌ අපනයනය කරයි. අපේ විදෙස් විනිමය ඉපයීම කෙතරම් පසුගාමී ද යන්න පැහැදිලිය. මේ තත්ත්වය දිගටම නොසලකා හැරියොත් අපේ රට පරාජයට පත්වෙයි.

සංචාරක අදායම් හා විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන අදායම මඟින් අපි විදෙස් ණය ප්‍රශ්නය වසාගෙන සිටීමක් සිදුවිය. සංචාරක කර්මාන්තය කඩාගෙන වැටෙනකොට විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේරණයන් කඩා වැටෙනවිට අපේ ණය ගෙවීම් ප්‍රශ්නය ඉස්මතු විය. විදේශ විනිමය ඉපයීමෙන් අපි බොහොම දුර්වලය. බිලියන 12.5 ක්‌ වන අපනයන ප්‍රමාණය තව 10ක් ගත වෙද්දී ඩොලර් බිලියන 25 ක්‌ දක්වා ඊළඟට ඩොලර් බිලියන 50 ක්‌ 100ක්‌ දක්වා වැඩි කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයට අපි ආමන්ත්‍රණය කළ යුතුයි. විදේශ ආයෝජන නොමැතිව මෙය කළ නොහැකියි. ඊටත් වඩා ජාත්‍යන්තර වෙළෙඳපොළ ලබා ගැනීම සම්බන්ධයෙන් නව තාක්ෂණික දියුණුවීම් යොදා ගැනීම අලුත් කළමනාකරණ ප්‍රවණතාවයන් හඳුන්වා දීම පිළිබඳව මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම විදේශ ආයෝජන ඉදිරියෙන් සිටියි. එම විදෙස් ආයෝජන වැඩි කිරිමෙන් අවුරුදු 50 කින් සිදුවන ප්‍රතිඵලය වසර කිහිපයක් තුළ ලබා ගැනීමට හැකිවෙයි. එහෙම නම් අපිට විදේශ ආයෝජන වැඩිකර ගැනීම වැදගත් වෙයි.

අපනයන ප්‍රවර්ධනය හරහා විදේශ විනිමය ඉපයීම මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස අත්නොහැරිය හැකි කරුණකි. මෙරට දේශීය ව්‍යාපාරවලට එකවර ඩොලර් මිලියන ගණන් සෙවීමට නොහැකියි. නමුත් කොවිඩ් ගැටලුව සහ තෙල්, විදුලිය, ගෑස් ඇතුළුව අනෙකුත් හිඟයන් අතරමැදි භාණ්ඩ, අංගෝපාංග, අමුද්‍රව්‍ය හිඟය සිදුවි ඇත්තෙ ඩොලර් හිඟය නිසයි.

මේ ආනයන නිෂ්පාදනයට අවශ්‍ය කරන ආනයන පහසුවෙන් ලබාගැනීමට ඉඩකඩ සපයන්න සිදුවෙයි. ඒ අනුව දේශීය ව්‍යාපාරික අංශයේ ආර්ථික කටයුතු නැවත යථා තත්වයට පත්කර ගැනීමට හැකිවෙයි.

කෘෂිකර්මය දියුණු කිරීම පිළිබඳව අපි කතා කළද විශාල ජනගහනයෙන් කොටසක් කුඩා කුඩා ඉඩම්වල හිරවී පුංචි නිෂ්පාදන ප්‍රමාණයක් වෙ‍ෙළඳපොළට ගෙන ඒමට උත්සාහ කිරීමක්ද පෙනෙයි. සාමාන්‍ය ගොවිපල ඉඩම් ප්‍රමාණය සාමාන්‍ය අගය වෙන්නේ අක්කරයයි. අක්කරයකින් පවුලකට ජිවත් විය නොහැකියි.

දැන් ලංකාවේ ගොවියෙක් ආර්ථිකයට කරන දායකත්වය මාසයකට ඩොලර් 260ක්‌ විතර වෙයි. මිලියන දෙකහමාරකට කිට්ටු වැඩකරන ජනතාවක් කෘෂි අංශයේ හිරවී ඇත. මේ ප්‍රමාණය 1/5ට අඩු කර ගත යුතුයි. ඉන් වැඩි පිරිස කාර්මික හා සේවා අංශවලට අනුයුක්ත කර ගැනීම සඳහා කාර්මික හා සේවා අංශ පුළුල් විය යුතුයි. ඒ හරහා කෘෂිකර්මයත් දියුණු වෙ‍යි.

ඵලදයිතාවය වැඩිකිරිම, අලුත් තාක්ෂණය දීමට පොහොරදීමෙන් ව්‍යුහාත්මක ගැටලු ආර්ථිකමය දෘෂ්ටි කෝණයකින් බලා නොවිසඳා මේ ප්‍රශ්නය තිරසරව විසඳිමට නොහැකියි. ලංකාවේ 25% ක්‌ පමණ කෘෂි අංශයේ නියැළෙයි. ඒ වැනිම කෘෂි අංශයක් චීනයෙත් වෙයි. චීනය ඉහළ අදායම් ලබන රටක් බවට පත්වී ඇති රටක් ලෙස මිලියන 100 ක්‌ ග්‍රාමීය ජනතාව නගරයේ පදිංචි කරවීමට ඔවුන් පියවර ගන්නා ලදී. එහි ආර්ථික ප්‍රතිඵල ලෙස කෘෂි අංශයේ ඵලදාව වැඩිවෙයි. ඒ මෙන්ම නගරයේ මිලියන 100 ක ජනගහනය නාගරික ආර්ථික කාර්මික හා සේවා වලට අවශ්‍ය ශ්‍රමය සපයයි. එය බොහොම උපායශීලි ආකාරයට ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීමට චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ගයකි.

මෙවැනි දිගුකාලීන සැලසුම් කිරිමට අපට අපහසු වන්නේ මෙවැනි සැලසුම් ආණ්ඩුවල පවතින්නේ ඡන්දය දක්වා පමණක් වීම නිසයි.

අපේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් මූලිකව අපි අවධානය යොමු කළ යුත්තේ විදෙස් විනිමය අර්බුදය විසඳා ගැනීමටයි. එය තිරසාර සහ දිගුකාලීන වැඩපිළිවෙළ යොමු කළ යුත්තේ එතැනටයි. ඒ අතරමැද ආර්ථික ස්ථායිතාව ඇතිකර ගැනීමට, එමෙන්ම ආණ්ඩුවේ අය පැත්ත සහ වැය පැත්ත කළමනාකරණය කරගැනීමට මුල්‍ය අරමුදල වැනි ආයතන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙයි. වියදම් කළමනාකරණය කරගැනීම හා අදායම් වැඩි කරගත යුත්තේ බදු අනුපාත වැඩිකර ගැනීමෙන්ම නෙවෙයි. අපේ රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නය බදු පදනම කුඩා වීමයි. බොහොම සුළු පිරිසක් මෙරටේ බදු ගෙවීම සිදුවෙයි. ආණ්ඩුව අපේ රටේ ජනතාවගේ අදායම් සහ වත්කම් මොනවද යන්න නොදැනීම මෙයට හේතුවකි. මෙවැනි දේ නිවැරදි කරගනිමින් ආර්ථික ස්ථායිතාව වැඩිකර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ඒ ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඉදිරි මාස කිහිපය තුළ නිෂ්පාදනවලට හානියක් නොවී මේ අර්බුදය කළමනාකරණය කරගන්නේ කොහොමද යන ප්‍රශ්නයත් විසඳාගත යුතුයි. IMF එකට යාම වගේම හිතවත් රටවල් සමඟ ගනුදෙනු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට සිදු වෙයි.

සමහර විට මෙතෙක් කල් නොකළ ප්‍රතිසංස්කරණ කිරිමට ආණ්ඩුවට සිදුවෙයි. මේ සඳහා පසුබිම් සකස්වි ඇත. මෙය අත්හැර නොදැමිය යුත්තකි. අපිට කිරීමට ඇති ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආණ්ඩුවට මේ අර්බුදය ඉඩප්‍රස්තාවක් ලබා දී ඇත. අපි මේ තත්ත්වය ප්‍රයෝජනයට ගන්නේ නම් අපේ රටේ අනාගතයට වඩා යහපත් වෙයි.

Comments