කිලිනොච්චියේ සිට ඉන්දියාවට ගිය සෙල්වරාණිට පෑදුණු කෝටි නවයේ වාසනාව | Page 3 | සිළුමිණ

කිලිනොච්චියේ සිට ඉන්දියාවට ගිය සෙල්වරාණිට පෑදුණු කෝටි නවයේ වාසනාව

- අබුඩාබියේදී ලොතරැයි දිනුමකින් හිමිවූ මුදලක්
- සෙල්වරාණී ඉන්දියාවේ සරණාගතභාවය ලබන්නේ වයස අවුරුදු 6 දී
- ඇය මේ වන විට සැමියා සමඟ අබුඩාබියේ පදිංචියි

1990 වසර උතුරේ වැසියන්ට ඉතාම තීරණාත්මක වසරක් වූයේය. ඒ දෙවන ඊළාම් යුද්ධය එල් ටී ටී ඊ සංවිධානය විසින් ආරම්භ කිරීමත් සම­ාගම මෙරට ආරක්ෂක අංශ කිළිනොච්චිය සහ මුලතිව් පළාත්වලට සිය ප්‍රහාරයන් දැඩි කිරීම නිසාය.

බොහෝ වැසියන්ට සිදුවූයේ තම පණ කෙන්ද බේරා ගැනීමට රුපියල් කීයක් හෝ පළාතේ ධීවර බෝට්ටුවකට ගෙවා ඊට නැඟී ඉන්දියාවට පලා යාමටය.

මෙසේ පලාගිය උතුරේ වැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට වඩා වැඩි වූ අතර මේ කාලයේදී කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි ‘පුංචි සෙල්වරාණී‘ට වයස අවුරුදු හයකි.

ඇයගේ මව්පියන්ද යුද බියේ ඉන්දියාවට පලා යන විට කිසිවක් නොදත් දියණියටද කිළිනොච්චිය අතහැර ඉන්දියාවේ තමිල්නාඩු රාමනාදන්පුරම් මණ්ඩපම් සරණාගත කඳවුරට යාමට සිදු වූයේ දෛවයේ කුරීරු සරදමක් නිසා විය හැකිය. වයස අවුරුදු දහනවයේදී පාසල් අධ්‍යාපනය හමාර කළ සෙල්වරාණී සරණාගත කඳවුරෙන් පිටතින් පිහිටි අධ්‍යාපන ආයතනයක පරිගණක පාඨමාලාවක් හදාරන්නට වූවාය.

වයස අවුරුදු 22 ක් වන තුරුම ඇය පරිගණක පාඨමාලාව හදාරමින් ඒ අවට කාර්යාල වල තිබූ දෛනික රාජකාරිය මත වැටුප් ලබා ගැනීමේ පදනම මත විවිධ රැකියාවල නිරත වූවාය.

සෙල්වරාණිට තමිල්නාඩුවේ රජයේ කාර්යාලයක සේවය කරන අරුල්සේකර් හමු වන්නේ මගී බසයකදීය. දෙදෙනා දෙස දෙදෙනාම එක් වරම බැල්ම හෙලුවත් ඒ බැල්ම එතරම් දුරදිග යනු ඇතැයි ඔවුන් දෙදෙනාම නොසිතන්නට ඇත.

කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ මිතුරු දම ප්‍රේම සබඳතාවක් දක්වා වර්ධනය වූයේ ඔවුන්ටත් හොරාය. කෙසේ වෙතත් කිළිනොච්චියේ සිට තමිල්නාඩුවට ගිය සෙල්වරාණිට තමිල්නාඩුවේ අරුල්සේකර් නම් කඩවසම් තරුණයා සමඟ ඇයට අවුරුදු විසි හතරේදි විවාහ වන්නට වාසනාව උදා වූයේය.

ඇත්තෙන්ම එය වාසනාවක් වන්නේ කිළිනොච්චියේ වන්නියේ දෙමළ දිළිඳු සරණාගත සෙල්වරාණීගෙන් අරුල්සේකර් ගේ පවුලේ උදවිය කිසිදු දෑවැද්දක් ඉල්ලා නොසිටීමය.

දෙදෙනා විවාහ වී කල් ගෙවද්දී මීට වසර දාහතරකට පෙර ඔවුන් දෙදෙනාටම අබුඩාබියේ රැකියාවක් කිරීමට වාසනාව උදා වන්නේ ඔවුන් තමිල්නාඩුවේදී ලද පරිඝනක අධ්‍යාපනයට පින්සිදු වන්නටය.මේ දෙපළට දුවකු හා පුතකු ලැබෙන්නේද ඔවුන් අබුඩාබියේදී සේවය කරමින් සිටින අතරවාරයේදීය.

අබුඩාබියේදී රැකියාවක්, නිල නිවසක් මෙන්ම සුරතල් දරුවන් දෙදෙනෙකු ද මේ දෙපළටම ලැබුණි. එහෙත් තවත් වාසනාවක් ඔවුන්ට උදා වූයේ මේ වසරේ අගෝස්තු මස 14 වෙනිදාය.

ඒ මහා වාසනාව ගැන සෙල්වරාණී ඉන්දියාවේ ස්කයි රූපවාහිනියට පළ කළ අදහස් ඇගේම වචනයෙන් විස්තර වන්නේ මෙසේය. 

‘මම සාමාන්‍යයෙන් අබුඩාබි නගරයට ගියාම ලොතරැයි පත් කිහිපයක් මිලට ගැනීමට පුරුදු වෙලා හිටියා. මේ දවසේ මම ලොතැරැයි පත් අසූවක්ම මිලට ගත්තා. ඒ එක ලොතැරැයි පතක් අබුඩාබි ඩිරාම් දෙසීයක් වෙනවා. මේ ලොතරැයිය දිනුම් ඇදීමට නියමිත දවසේ අපිට අබුඩාබියේ ඉන්න බැරි වුණා. මාසයක නිවාඩුවක් ලැබුණු නිසා මමයි මහත්තයයි ළමයි දෙන්නයි තමිල්නාඩුවට ආවා. සඳුදා පාන්දර මගේ දුරකතනයට ඇමතුමක් ලැබුණා. මම ඒකට කතා කළාම කිව්වේ ලොතරැයි මධ්‍යස්ථානයෙන් කතා කරන්නේ, මට ඒ ලොතරැයියේ පළමු දිනුම හිමි වෙලා තියෙනවා කියලා. මම ඇහුවම කොච්චරක්ද කියලා එයාලා කිව්වේ අබුඩාබි ඩිනාර් මිලියනයක් කියලයි. මේක අපේ ශ්‍රී ලංකාවේ රුපියල් වලින් කෝටි නවයකට වඩා වැඩියි. හරියටම කියනවා නම් රුපියල් 9,82,52,277.32 ක මුදලක් වෙනවා.

ඒත් මම ඒක විශ්වාස කළේ නෑ. මම මගේ අබුඩාබියේ ඉන්න යාළුවකුට කතා කරලා කිව්වා ලොතරැයි මධ්‍යස්ථානයට ගිහින් මේ ගැන හොයලා බලන්න කියලා. එයා ඒක හොයලා බලලා කිව්වා කතාව ඇත්ත කියලා.

ඉතින් ඒ වෙලාවේ තමයි මට ඇත්තටම සතුටක් දැණුනේ. දැන් නිවාඩුව ඉවර වෙන්න තව සතියයි තියෙන්නේ. ඊට පස්සේ අබුඩාබි ගිහින් දිනුම් මුදල ගන්නවා. මේක මට නම් අදහා ගන්න බැරි දෙයක්. ඒත් මම විශ්වාස කරනවා අපි ජිවිත කාලේ පුරාම විඳපු දුක් සේරම අවසන් වෙන්න අපිට දෙයියෝ දුන්න තෑග්ගක් කියලා.

සෙල්වරාණී එහෙම කිව්වට පස්සේ ඊළඟට වාරය එළඹුණේ ඇගේ සැමියටයි. ඔහු අරුල්සේකර්. ඔහුත් මේ ගැන කතා කළා.

'' අපේ වාසනාවට ලැබුණු තෑග්ගක් තමයි මේක. අපි මුළු ජීවිත කාලයම හම්බ කළත් අපිට මේ වගේ විශාල මුදලක් එකතු කර ගන්න බැහැ. ඒක හොඳින්ම දන්න නිසා අපේ ළමයින් දෙන්නාගේ අනාගතය වෙනුවෙන් මේ මුදල් වෙන් කරනවා. අපි මේ දැන් ජීවත් වුණු විදිහටම ඉදිරියටත් ජීවත් වෙනවා.

හැබැයි අපි මේ මුදල අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් යොදවනවා වගේම, දුප්පත් ඉගෙන ගන්න පහසුකම් නැති තමිල්නාඩුවට ලංකාවෙන් ඇවිත් ඉන්න ළමයින්ටත් කොටසක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි මගේ බිරිය සෙල්වරාණී ඉගෙන ගන්න ගොඩාක් මහන්සි වුණා; හැකියාවත් හොඳටම තිබුණා.

ඒත් ආර්ථික අහේනිය නිසා එයාට ගොඩාක් දුරට ඉගෙන ගන්න බැරි වුණා. ඒක මම හොඳටම දන්න නිසා ඒ වගේ ළමයින්ටත් උදව් කරන්න අපි දෙන්නම තීරණය කළා.

රසුල දිල්හාර ගමගේ - දකුණු පළාත් විශේෂ

Comments