තැපැල් ගාස්තු නැංවීම ගැන ජනතාව කියන කතා | සිළුමිණ

තැපැල් ගාස්තු නැංවීම ගැන ජනතාව කියන කතා

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ වැඩිවීම් දැනෙන්නෙම නෑ
- රුවන් ප්‍රනාන්දු (54) කිරුළපන සංගීත උපදේශක

සීමාසහිත වැටුපක් ලබන රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ වැටුප් ලබන වගේම සුළු ස්වයං රැකියා කරන අයට තමයි මේ හැම මිල වැඩිවීමකින්ම ලොකු බලපෑම් සිදුවන්නේ. ලොකු වැටුප් ලබන හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ වැඩිවීම් දැනෙන්නෙම නෑ. මේ රුපියල් පනහේ සීයේ වැඩිවීම් ගණනය කිරීම්වලට අනුව ලොකු ගාණක් වෙන්න පුළුවන්. නමුත් අද රුපියල් සීයට අඩුවෙන් ගන්න දෙයක් නැති තරම් භාණ්ඩ හා සේවා මිල වැඩිවෙද්දි ජනතාවගේ ජීවන තත්ත්වය හා ආදායම වැඩි කරගන්න උපක්‍රම යෙදීමයි වැදගත් වෙන්නේ.

එකවර සියයට දෙසීයකටත් වඩා වැඩි කිරීම අසාධාරණයි
- ද්‍රහීකා වාසිනී (36) හොරණ - නීති නිලධාරිනී

තැපැල් ගාස්තු එකවර විශාල ප්‍රමාණයකින් වැඩිවීම අපට ලොකු ගැටලුවක්. අපි දුර පළාත්වල අයට ඔප්පුවලට අදාළ මුද්දර ගහලා යවලා තියෙන්නේ පෙර මුද්දර ගාස්තු ගානට. දැනුම් දෙන්න ක්‍රමයකුත් නෑ. හරිම ප්‍රශ්නයක් තමයි. දේශීය තැපැල් ගාස්තුව පැවති මිලට සාපේක්ෂව සියයට දෙසීයකටත් වඩා වැඩි කරලා. සාමාන්‍ය ලියුමකට රුපියල් 50 මුද්දර ගැසිය යුතුයි. රුපියල් තිහට තිබුණු ලියාපදිංචි ගාස්තුව දැන් රුපියල් 60 යි. කොළඹ නාගරික කලාපය තුළ රුපියල් 12ට තිබුණු මුද්දර ගාස්තුව දැන් රුපියල් 30 ක් පාර්සල් අවම ගාස්තුවත් රුපියල් 90 ඉඳලා 150 දක්වා වැඩි කරලා.

තැපෑලේ මිල වැඩිවීම සාමාන්‍ය දෙයක්
- ඇත්තනී පුෂ්පකුමාර (37) කාර්මික ශිල්පී - නාරාහේන්පිට

වර්තමානයේ නවීන තාක්ෂණයට පාසල් සිසුන් හා ජනතාව වැඩිපුර නැඹුරු වී ඇති නිසා, තැපෑල වගේ දේවල් අභාවයට යමින් තියෙන්නේ. සාමාන්‍යයෙන් රාජකාරි ලියුමක් හා ඉඳහිට තැපෑල භාවිත කළාට පුරුද්දක් ලෙස භාවිතයක් නැහැ. රජය හා පෞද්ගලික අංශය තමයි වැඩි වශයෙන් තැපෑල භාවිත කරන්නේ. මේ වෙද්දි අනිත් හැම දෙයකම මිල ඉහළ ගිහින් තියෙන්නේ. ඉතින් තැපැල් ගාස්තුත් ඉහළ යාම සාමාන්‍ය දෙයක්. ලෝක ප්‍රවණතාවක් සමඟ සියල්ලගේම මිල ඉහළ යාම මුළු ලොවටම පොදු දෙයක්.

අනික්දේට සාපේක්ෂව තැපැල් ගාස්තු වැඩීවීම සාධාරණයි
- ශානි දිල්හානි ප්‍රනාන්දු (40) ගුණසිංහපුර - ස්වයංරැකියා

මේ වෙද්දි වෙළෙඳපළේ සියලුම අංශවල භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතිනවා. ඒ රුපියල් දාස් ගණනින් ඒ අනුව බලද්දි නම් රුපියල් 50,60 කියන්නේ එච්චර ලොකු ගාණක් නෙමේ. ප්‍රතිශතයක් වශයෙන් සියයට දෙසීයක් වෙන්න පුළුවන්. ඒත් අනිත් සියලුදේම ඉහළ යද්දි තැපෑලටත් පාඩු ලබන්න බැහැනේ. අනිත් දේවලට සාපෙ­්ක්ෂව බලද්දි සැලකිය යුතු ගාණක් නෙමේ. මුද්දර කවරයක් රුපියල් විස්සේ ඉදලා හැත්තෑවක්. සාමාන්‍ය තැපැල් ගාස්තු තාමත් රුපියල් 100ට අඩුයි.

කොයි පැත්තකින්වත් ජනතාවට සහනයක් නැහැ
- පාතිමා හසීනා (44) ග්‍රෑන්ඩ්පාස් - මවක් ගෘහණියක්

ගෙදර දොර අවශ්‍යතාවලට වගේම අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් තැපැල් කටයුතු යොදා ගන්නවා. පිටරටවල සිටින අය තැපැල් මගින් භාණ්ඩ එවනවා. ඉස්සර වගේ ලියුම් යවනවා වෙනුවට දුරකථන තියන නිසා ජනතාව අතර පෞද්ගලික ලිපි හුවමාරුව අඩු වුණත් රජයේ ලිපි හා ව්‍යාපාරික කටයුතු සඳහා තැපෑල තමයි භාවිතාවන ප්‍රධාන ක්‍රමය. රුපියල් 18ක කුඩා මුද්දර කවරයක් රුපියල් 60 ක්. රුපියල් 20 විශාල මුද්දර කවරයක් රුපියල් 70ක්. කොයි පැත්තකින්වත් ජනතාවට සහනයක් නැහැනේ.

විශාල පිරිසකට ගැටලුවක්
- ගිහාන් විෂ්වප්‍රිය (42) පිළියන්දල - ව්‍යාපාරික

සාමාන්‍ය තැපෑල භාවිත කරන විශාල පිරිසක් තාමත් සිටිනවා. නව තාක්ෂණය කෙතරම් දියුණු වුවත් මේ වෙද්දි හැම දේකම මිල ඉහළයි. මෙතෙක් පුණ්‍යායතන, ස්වෙච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තු මත ලිපි තැපැල් කිරීමට දෙන පහසුකම යටතේ තැපැල් ගාස්තුවත් රුපියල් 12 සිට 30 දක්වා සංශෝධනය කරලා. රුපියල් 10 තිබූ තැපැල් පතක් රුපියල් 20 ට වැඩි කරලා. මේ හැම දෙයක්ම වැඩි කළ යුත්තේ ටිකින් ටිකයි. සාමාන්‍ය ජනතාවගේ ආදායමත් මීට සාපේක්ෂව වැඩි නොවීම නිසා තමයි ගැටලුව.

Comments