
ඉතිහාසය ගලා එන්නේ බොහෝ දුර්ග වකවානු පසුකරමිනි. මේ ගතවන්නේ ද එවැනි එක් කාලපරිච්ඡේදයකි. ගතවූ දශක හත තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින අවස්ථාවක එහි අන්ධකාරම අත්දැකීම් ලබන්නේ දරුවන් බව යුනිසෙෆ් ආයතනය සිය අලුත්ම වාර්තාවකින් ප්‍රකාශයට පත්කර තිබිණ.
ජෝන් හොප්කිස්න් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හන්ක් ගේ ලෝක සම්භාවනාවට ලක්වන උද්ධමන දර්ශකයේ ලංකාව නිරූපණය කරන්නේ උද්ධමනය වැඩි රටවල් අතර ලෝකයෙන්ම තෙවැනි ස්ථානයේ පසුවන රට ලෙසිනි. අපට ඉදිරියෙන් ඇත්තේ සිම්බාබ්වේ සහ තුර්කිය පමණි. අප අපේ ආහාර සපයා ගැනීමේ නොහැකියාව පිළිබඳ අර්බුදයකට පත් වී සිටින්නෙමු. මේ තත්ත්වය තුළ නාගරික දුප්පතුන්ට වන දැවැන්ත හානිය ගැන සඳහන් කරන යුනිසෙෆ් ආයතනය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ගෙන් අඩකට ආසන්න පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය වෙන බවයි.
යුනිසෙෆ් පවසන්නේ වත්මන් අර්බුදයට පෙර සිටම, ශ්‍රී ලංකාව ලෝකයේ හත්වැනි ඉහළම ළමා මන්දපෝෂණ අනුපාතය ඇති රට බවය. වයස අවුරුදු 5ට අඩු දරුවන් මන්දපෝෂණයට ලක්වීමේ අවදානම සම්බන්ධයෙන් දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට පත්ව තිබුණු රට බවය. ඒ වකවානුවේත් ළදරුවන් පස් දෙනකුගෙන් දෙදෙනකුට අවම පිළිගත හැකි ආහාර වේලක් නොලැබුණු බවට යුනිසෙෆ් ආයතනය කළ තක්සේරුව දැඩි විවාදයට ද ලක්වී තිබිණි.
එදා තත්ත්වය එසේ නම් අද මේ ආර්ථික ව්‍යසනකාරී තත්ත්වය තුළ දරුවන්ට ඇති වීය හැකි දැඩි අවදානමක් ගැන ජාත්‍යාන්තර මට්ටමින් පුරෝකථනය සිදුවන්නේය.
“කුටුම්භවලින් සියයට හැත්තෑවක් වාර්තා කරන්නේ ඔවුන් ආහාර පරිභෝජනය අඩු කර ඇති අයුරුය. බොහෝ විට දිනකට ආහාර වේල් තුනේ සිට දෙක දක්වා අඩු වී ඇත්තේය. අඩු පෝෂ්‍යදායී ආහාර වෙත පවුල් යොමු වීමත් සමඟ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.” යනුවෙන් යුනිසේෆ් කළ ප්‍රකාශය හේතුවෙන් මෙරටේ ළමා මන්දපෝෂණය සම්බන්ධව තිගස්වනසුලු සංවාදයක් ඇති වී තිබිණි.
ළමා මන්දපෝෂණය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්ව කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ය. එම හෙළිදරව්වට අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන ළමයින්ගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක් තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළුණි. මේ දරුවන් කොළඹ නගරාශ්‍රිතව ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් බව ද නිරීක්ෂණය විය.
“ පසුගිය වකවානුවේ නිරීක්ෂණය වුණු කරුණු මත පදනම්ව මීට සති කීපයකට පෙර අප රෝහලට ඇතුළත් කළ ළමුන් 53 දෙනකු සම්බන්ධ කරගෙන නියැදි පරීක්ෂාවක් කළා. ඉන් හරි අඩකගේ පෝෂණ ඌණතා තත්ත්වය කනගාටුදායකයි. ඉන් දරුවන් 11 දෙනෙක් තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙමින් හිටියා. අපේ දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක වන කාබොහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ඛනිජ, විටමින් ලැබීමේ අඩුවක් තිබුණා.” විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
විශේෂඥ වෛද්‍යවරයාගේ යෝජනාව වූයේ වැඩිහිටියන් ස්වකීය පරිභෝජන රටාවෙන් ඈත් වී ස්වකීය දරුවන් වෙනුවෙන් කැපකිරීමක් කළ යුතු කාලය එළැඹ ඇති බවය.
රටේ ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන්, සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මවුපියන්ට යෝජනා කළේය. බිත්තර මිල ඉහළ යෑම ගැන දැඩි සංවාදයක් ඇති වී තිබුණද එක සිගරට්ටුවක් සඳහා වැය කෙරෙන මුදලින් දරුවන්ට බිත්තර දෙකක් මිලදී ගැනීමට හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
“මන්දපෝෂණයට ගොදුරු වන දරුවන් පහසුවෙන්ම වෙනත් රෝගාබාධවලට ලක් වෙනවා. එය බරපතළ ලෙස බලපාන්නෙ රටේ අනාගතයටයි. චීස්, බටර් ගැනම තැවෙන්න එපා. වත්ත පිටියේ වැවෙන කොළ වර්ග, පලා වර්ග මේ අවස්ථාවේදී දරුවන්ට වැඩි වැඩියෙන් ලබාදීම ද ඉතා වැදගත්. විශේෂයෙන්ම මුරුංගා කොළ වැනි කොළ මැල්ලුමක් දෛනික ආහාර වේලට එකතු කර ගැනීමෙන් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැකියි. දියර කිරි, බිත්තර දරුවන්ට හැකි පමණින් ලබා දිය හැකියි. ගෙවත්තේ එළවළු, පලා වර්ග වගා කිරීමට වැඩි වැඩියෙන් උනන්දු වෙන්න. ඒ වගේම දරුවාට කහ පාට එළවළු ලබා දෙන්න. අල, බතල මඤ්ඤොක්කා පෝෂණීය ආහාර වේලකට එක් කරගත හැකියි. දඹල, පොකුණු මෑ, බඩඉරිඟු වගේම කෙසෙල්, ගස්ලබු, නමිනං, ජම්බු වගේ පලතුරු දීමත් වැදගත්.” විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
මේ නිරූපිත සංඛ්‍යා දත්ත පදනම් කරගෙන විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත විශේෂ පරීක්ෂණයක් ද ඇරඹී තිබිණි.
ළමා රෝහල මේ තත්ත්වය වාර්තා කරන අතර, ගර්භණී මවුවරුන්ගේ හා කුඩා දරුවන්ගේ බර අඩුවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කීවාය. ඇය පෙන්වා දුන්නේ දුර බැහැර ප්‍රදේශවල මේ තත්ත්වය ඉහළ බවය. දරුවන්ගෙන් සියයට 20ක පමණ සංඛ්‍යාවක් සුළු බර අඩුවීමක් පෙන්වනවා සේම මවුවරුන් පෝෂණ ඌණතා ලක්ෂණ නිරීක්ෂණය වන බවත් ඇය කීවාය.
පවතින තත්ත්වය අනුව පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ ශක්‍යතාව බිඳ වැටෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහනට (WFP) අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල වෙළෙඳපොළේ එළවළු අලෙවියෙහි 50%ක පමණ අඩුවීමක් දක්නට ඇත. මීට පෙර ඩොලර් මිලියන 130ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර ආනයනය මසකට ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී තිබේ. පවුල්වලින් සියයට 86 ක් සිය ආහාර වේල කළමනාකරණය කරගෙන අඩුවෙන් ආහාර ගැනීම සඳහා පෙලඹී තිබේ. එසේවුවත් ගැබිනි මවුවරු දිනපතා පෝෂ්‍යදායී ආහාර අනුභව කළ යුතු අතර, නැතහොත් එය ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය අවදානමට ලක් කරන බව කොළඹ හා ආසියා සහ පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ අන්තියා වෙබ් පැවසුවාය. ඔවුන්ගේ ගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22ක් ආහාර අනාරක්ෂිතව සහ ආධාර අවශ්‍යව සිටිති. ඒ අර්බුදයට මානුෂීය ආධාර සැපයීම සඳහා ඔවුහු වැඩි වශයෙන් අරමුදල් වෙන් කරමින් සිටිති.
අප පසුවන්නේ රට මුහුණ දී ඇති පෝෂණ අර්බුදය සම්බන්ධයෙන් විධිමත් විවරණයක් අවශ්‍ය අවස්ථාවක බැවින් ඒ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සඳහා අප මේ කතාබහට එක්කර ගත්තේ මහනුවර ජාතික රෝහලේ සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (වැඩ බලන) ශානලී ඉහගම ය.
“ලංකාවේ දැන් පවතින සංකීර්ණ වාතාවරණය උඩ පුද්ගලයන් තමන්ගෙ ආහාර රටාව වෙනස් කර තිබෙන බවට සාධක තියනවා. එය විශේෂයෙන්ම සිදුවන්නේ ආහාරවල මිල ගණන් ඉහළ යෑම මතයි.මොන තරම් ජනතාව දැනුම්වත් කළත්, තමන්ගේ ආහාරවේල සෞඛ්‍ය සම්පන්න වස විසෙන් තොර ආහාර වේලක් විය යුතු යැයි මිනිසුන්ගේ මනසට කාවැද්දුවත් තමන් විසින් එම ආහාරවේල සකසා ගන්නා පරිසරයක් ලංකාව තුළ ඇතිවුණේ නෑ. ඒ අනුව ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ සිරුරට අත්‍යාවශ්‍ය පෝෂක වෙන ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදය, සහ විටමින් වර්ග අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සිරුරට ලබා දීමේ උග්‍ර ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා.
මෙතැනදී අපේ ආහාර රටාව නිසා ඇතිවුණ සාධනීය කාරණාත් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ බහුතර ජනතාව ප්‍රධාන ආහාරය ලෙස බත් ආහාරයට ගන්නෙ. බත් හරහා ප්‍රෝටීන් සිරුරට ලැබෙනවා. බත්වලත් තියනවා ප්‍රෝටීන්. නමුත් ඒ ඉහළ තත්ත්වයෙන් යුතු ප්‍රෝටීන් නෙමෙයි. එය යම් ප්‍රමාණයකින් ප්‍රෝටීන් කළමනාකරණයට යහපත් තත්ත්වයක් ඇති කරලා තියනවා. ඒ හැරුණුවිට මුං ඇට කඩල,කවුපි, මස් මාළු කිරි බිත්තර පරිප්පු ආදියෙන් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගත හැකිව තිබුණත් එම ආහාර මිල ඉහළ යෑම මත පරිභෝජනය පහත වැටී තිබෙනවා. ඒ හරහා සිද්ධ වන්නේ සිරුරට ප්‍රෝටීන් ලැබීම අඩපණ වීමක්.
කෙසේ වෙතත් පෝෂණ ඌනතාව නිසා ඇතිවන තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපාන්නේ වෙනස් ආකාරයටයි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සෑම පුද්ගලයකුගේම සිරුරේ පවතින පෝෂණ මට්ටම වෙනස්. ප්‍රතිශක්තිකරණය වෙනස්. ඒ නිසා මුලින්ම දුර්වල වන්නේ කවුද යන්න නිගමනය කරන්න අපට බෑ. නමුත් විවිධ රෝගවලට ගොදුරු වූ පුද්ගලයන්, ගර්භණී කාන්තාවන්, මහලු පුද්ගලයන් වැනි අය පෝෂණ මට්ටමින් උසස් ආහාර වේලක් අනුභව කළ යුතු වෙනවා. දරුවන් දිගින් දිගටම පෝෂණ බහුල ආහාර නොගැනීමෙන් මන්දපෝෂණ තත්ත්වයකට යෑමට ඇති ඉඩකඩ වැඩියි.
එහෙත් අද පවතින තත්ත්වය යටතේ පෝෂණ ඌණතාවට ලක්වන පිරිස් අතර මන්දපෝෂණ තත්ත්වයක් ප්‍රකට වෙනවා නම් ඒ කවර කාලයක ද කියලා නිශ්චිතව කියන්න බෑ. පාරිසරික, සමාජ තත්ත්ව මත ආහාර රටා විටින් විට වෙනස් වෙනවා.
අනෙක මන්දපෝෂණ තත්ත්වය හඳුනා ගැනීම සඳහා බිම් මට්ටමින් විධිමත් පෝෂණ පර්යේෂණ ක්‍රමවේදයකුත් ලංකාව තුළ නෑ. මන්දපෝෂණ තත්ත්වයක් හඳුනා ගන්නේ රෝහලක රෝගියකුගේ සිදු කරන පරීක්ෂණයකින් තමයි. මේ තත්ත්වයට මුහුණ දීමට අපේ යෝජනාව වන්නේ බිත්තර ආහාරයට ගැනීම අත්නොහැර අවම වශයෙන් දෙන්නෙක් එක බිත්තරයක්වත් ආහාරයට ගනිමින් සිරුරේ ප්‍රෝටීන් තත්ත්වය ආරක්ෂා කරගන්නා ලෙසයි. සෝයා ආහාරයට ගනිමින් ප්‍රෝටීන් තත්ත්ව රඳවා ගන්නා ලෙස ද යෝජනා කරනවා. ”
විශේෂඥ වෛද්‍යවරියගේ ඒ අදහස් අනුව ලංකාව තුළ හඳුනාගෙන යෝජනා කළ හැකි වෙනත් විකල්ප ප්‍රෝටීන් ප්‍රභවයක් නැත. අපේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා ආහාරවේල වෙනදාට වඩා වැඩි කැපවීමකින් සැලසුම් කරගැනීම සමාජයේ හිස මත පැටවී තිබේ. මේ අවස්ථාව නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වුවහොත් අනාගතය දුර්භාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වනු ඇත.