
- ගමේ පන්සලේ හාමුදුරුවෝ දේවාලය කුඩුපට්ටම් කරන්න ආ ගමේ තරුණයන්ව වැළැක්වූ හැටි
- දෙසතියකට පෙර බිරියගේ අතටම මාට්ටු වුණු හැටි
- පොලිස් ලොක්කාට කපුවාගෙන් අවුට්ලෑන්ඩර් රියක්
- නිදන ඇඳක් සහිත සුපිරි බස්රිය ඇතුළෙත් දරුවන්ට අතවර කරලා
- අතුරුගිරියෙත් කෝටි ගාණක් වටිනා නිවෙසක්
අන්ධ විශ්වාසයන්ට මුල්තැන දෙන්නෝ අපේ රටේ බොහෝය. යකුන්,ප්‍රේතයන්, දෙවියන් වගේම මළගිය ප්‍රාණින්ගෙන් වැඩ ගන්නවා යැයි කියන බොරුකාරයන්ට සමාජයේ රජකරන්නට අද හැකියාව ලැබී ඇත්තේ එබැවිනි. උණවටුනේ මැටරඹ ගම්මානයේ සතර මහා දේවාලය නමින් අටවාගත් දේවාලයක් පවත්වාගෙන ගිය කීර්ති කුමාර බටේගොඩද එවැන්නකි. ඔහු ඒ දේවාලය අටවා ගන්නේ මියගිය පියා තමාට වැහී ඇතැයි කියමිනි. මළ පෙරේත ආත්මයක් සමඟ සෙල්ලම් පෑ ඔහු අවසානයේදී සමාජයේ වැඡඹුණේ දෙවියන් සමඟ ගනුදෙනු කරන්නකු ලෙසිනි. සිය පියාගේ සොහොන මත සිට අණවින කොඩිවින කළ මේ කියන කපුවා අවසානයේ ඒ සොහොන් භූමිය සතර මහා දේවාලයක් බවට පත්කරගන්නේ තමාද දේවගැතිවරයෙක් බවට පරිවර්තනය වෙමිනි.
මෙකී දේවගැතිවරයාගේ නිරුවත එළියට එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ළමා අපචාරකයෙක් ලෙස ඔහුව කොටුකර ගැනීමත් සමඟිනි. ගමේ පොලීසියේ කොස්තාපල්ගේ පටන් ඉහළට පොලීසියේ ලොකු මහත්වරු සමඟ මෙන්ම මැති ඇමතිවරු සමඟ කිට්ටුවන්තකම් පෑ තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කුදලාගෙන යාවි යැයි සිහිනෙකින්වත් සිතන්නට නැතුවා ඇති. අඩුම තරමින් ඔහුට වැහී සිටින්නේ යැයි කියන සිය පියාගේ මළ පෙරේත ආත්මය හෝ දේවාලයට අරක්ගෙන සිටින බව කියන සතර මහා දෙවිවරු හෝ ඒ ගැන කණටකර ඔහුට පවසා පරිස්සම් වන්නැයිවත් කියා තිබුණේ නැත. අඩුම තරමින් ඔහු අහිංසක පිරිමි දරුවන් සිය පහත් ලිංගික ආශාවන් වෙනුවෙන් ගොදුරුකර ගන්නා විට ඒ වැඩේ වැරදි යැයි ඒ කිසිවකුත් ඔහුට කියා තිබුණේද නැත. දෙවියන්ට මුවා වී ඔහු කාලයක් තිස්සේ කර තිබුණේ මහා බොරුවක් බව දැන් එළියට ඇවිත් හමාරය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දේව වෙස් ගෙන සිටි කීර්ති කුමාර බටේගොඩගේ දෑතට මාංචු දමා රැගෙන යන විට දේවාලය කුඩු පට්ටම්කර බිමට සමතලා කරන්නට ගමේ තරුණ කොටස් පෙළගැසෙන්නේ එබැවිනි. එහෙත් ඊට එම තරුණයන්ට අවස්ථාවක් නොලැබෙන්නේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඊට ඉඩක් නොලැබුණු බැවිණි. එසේ නොවන්නට අද කීර්ති කුමාර බටේගොඩගේ දේවාලය තබා ගොඩනැගිල්ලක් වත් එහි දක්නට නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීර්ති කුමාර බටේගොඩ නැමැත්තා අත්අඩංගුවට ගන්නේද ආවාට ගියාට නොව, සති කිහිපයක් තිස්සේ කළ විමර්ශනයකින් අනතුරුවය. මූලික විමර්ශනයේදී පෙනී යන්නේ ඔහු ගාල්ලේ ප්‍රසිද්ධ පාසල් කිහිපයක් ඇතුළු පාසල් කිහිපයකම බාල වයස්කාර පිරිමි දරුවන් 09දෙනෙකු සිය පහත් ලිංගික ආශාවන් සන්තර්පනය කර ගැනීමට යොදාගෙන තිබෙන බවය. හැබැයි දැන් ඒ ගාන ඊට වඩා වැඩිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ දරුවන් 20කට වැඩි පිරිසක් මේ කියන කාමතුරයා බිලිගෙන ඇති බවකි.
මෙසේ ඔහු ගොදුරු කරගෙන ඇත්තේ ගාල්ලේ දරුවන් පමණක් නොව, පිට පළාත්වල දරුවන්ද ඒ අතර සිටින බව පරීක්ෂණවලින් පෙනී ගොස් තිබේ. එසේ පිටපළාත්වල දරුවන්ව ඔහු ගොදුරුකරගෙන ඇතැයි විශ්වාස කරනුයේ සමාජ සත්කාරක වැඩසටහන් රටපුරා විහාරස්ථාන කේන්ද්‍රකරගෙන සිදුකරගෙන යමිනි. එම වැඩසටහන් පවා ඔහු කර ඇතැයි පෙනී යන්නේද සිය පහත් ලිංගික ආශාවන් සන්තර්පනය කර ගැනීමට දරුවන් බිලිබා ගැනීම් වෙනුවෙන්මය.
මොහුට ගොදුරු වූ දරුවන් දැන් සියල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ සිදු වූ දේ දිග හැර හමාරය. ඒ වීඩියෝ සාක්ෂි ද ලබාදෙමිනි. ඒ කාමාතුර කීර්ති කුමාර බටේගොඩට නීතිය හමුවේ ගැලවෙන්නට ඉඩක් නොතබමිනි. දරුවන්ගේ එම වීඩියෝ සාක්ෂි තවත් ශක්තිමත් වන්නේ දරුවන් සමඟ ඔහු සිය පහත් ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නා හැටි දැක්වෙන වීඩියෝ ගොන්නක්ම ඇති බැවිනි.
කීර්ති කුමාර බටේගොඩගේ ඉතිහාසය දන්නා මැටරඹ වැසියන් බොහෝ දෙනෙකුටම ඔහුගේ වැඩපිළිවෙළ මුල සිටම රිස්සුවේ නැත. ඒ නිසාම ඔහු ගම්වැසියන් තමා වෙත නම්මා ගන්නට වගබලා ගන්නේ මුලින්ම ගමේ දුප්පත් වැසියන් තෝරාගෙන ඒ අයට කන්න බොන්න අදින්න පලඳින්න දෙමිනි. ඒ අතර ගමේ පොදු කටයුතුවලදී ඊට අවශ්‍ය වියහියදම් දෙන්නට ඔහු ඉදිරිපත් වූයේ ඉල්ලන්නටත් පෙරය. ඒ ඔස්සේ කීරති කුමාර බටේගොඩ ගමේ ප්‍රභූ චරිතයක් ලෙස හිස ඔසවන්නට පටන්ගෙන තිබුණේ ගැටරඹ ගම සිය රාජධානියකර ගනිමිනි.
එහෙත් ඔහුගේ සල්ලිවලට නම්මා ගැනීමට නොහැකි වූ පිරිසක්ද ඒ ගම්මානයේ ජීවත් වූහ. ඒ අය අටපාස් වත් නැති කීර්ති කුමාර බටේගොඩ නටන නාඩගම ගැන බලා සිටියේ උපේක්ෂා සහගතවය. දේවාලයක් මුවාවෙන් මෙතැන කෙරන්නේ ජාවාරමක් බව ඒ අය හොඳින්ම දැන සිටියේය.
ගම්මානයේ ජනතාව අතර කැපී පෙනෙන්නට තම දේවාලය කේන්ද්‍ර කරගනිමින් මහා පෙරහරක්ද වාර්ෂිකව කීර්ති කුමාර බටේගොඩ පවත්වන්නේය. වෙසක් එකට වෙසක් කලාපයක් සංවිධානය වන්නේද ඔහුගේ ධන පරිත්‍යාගයෙනි. සිංහල අවුරුද්දට මුළු ගමටම බඩු මලු බෙදෙන්නේ ද ඔහුගේ වියදමිනි.
මේ සියල්ලක් තුළින්ම ඔහු ගම ඇල්ලුවේය. ඒ අතර ගමේ පොලීසියද ඇල්ලුවේ පොලීසියේ ලොකු මහත්වරුන්ගේ සාක්කු පුරවමිනි. ගමේ පොලීසියේ හිටපු ලොකු මහත්මයෙක් අදටත් කීර්ති කුමාර බටේගොඩ සමඟ හොඳටෝම හොඳය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කීර්තිව කුදලාගෙන හික්කඩුව පොලීස් කූඩුවේ කූරු ගණන් කරන්නට දමා තිබියදී කූඩුවෙන් එළියට ගන්නට උත්සාහයක් ගත්තේද එකී ස්ථානාධිපතිවරයාය. හැබැයි ඒ ස්ථානාධිපතිවරයා අද ඉන්නේ තනතුරෙන් ඉහළට ගොස් ලොකු මහත්තයෙක් ලෙසිනි. සුඛෝපභෝගී රථයක් පරිහරණයට කීර්ති ලබාදී තිබුණේ යැයි කියන්නේද මේ කියන පොලිස් ලොක්කාටය. කීර්තිව පොලිස් කූඩුවෙන් එළියට ගන්නට ඔහු ගේමක් ගසන්නට ඇත්තේ එවන් සැලකිලි ඔහුට කීර්තිගෙන් නිරන්තරයෙන් ලැබෙන නිසා විය හැකිය. මෙසේ කීර්ති කුමාර බටේගොඩගේ මුදලට යටවී නීතිය අවනීතියක් බවට පත්කළ පොලීසියේ දූෂිතයින් පිරිසක් ගැන ද විමර්ශනයක් ඇරඹි ඇත්තේ පොලිස්පති නියමයෙනි. ඒ දකුණු පළාත් භාර පොලිස් ලොක්කා වන අජිත් රෝහණගේ ඉල්ලීමකට අනුවය. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට මෙන් කීර්ති කුමාර බටේගොඩ සහ පොලීසියේ එක එක මහත්වරු ගැනද හෙට අනිද්දා වන විට එළියට එනු ඇත.
කුඩාවට සිය නිවසේ පවත්වාගෙන ගිය දේවාලය කීර්ති විසින් ටිකෙන් ටික ලොකු කරන්නේ සිය දහන් ගැටවලට හසුවන පිරිස් දිනෙන් දින ඉහළ යාමට පටන් ගැනීමත් සමඟිනි. ඒ සඳහා ඔහුට හොඳ මෙවලමක් බවට පත්වන්නේ සමාජ මාධ්‍ය ජාලයයි. ෆේස් බුක් හරහා ඔහු ලස්සනට රටම ඇන්දුවේය. රටේ ජනප්‍රියම රූපවාහිනී නාළිකාවක මුදල් ගෙවා රාත්‍රී කාලයේ වැඩසටහනක් පවා සතියේ සෑම දිනකම කරගෙන ගියේ ද තමා වෙත ඇදී එන පිරිස් වැඩිකර ගැනීමටය. එය අදාළ රූපවාහිනී ආයතනයට සල්ලි දී කරන වැඩසටහනක් බව කිසිවක් නොදත් බොහෝ අය කීර්ති සොයා වැල නොකැඩී ඇදී එන්නට ගත්තේ රට වටින්මය. එය ඔහුට ලොතරැයියක් ඇදුණා හා සමාන විය. මළ පෙරේත ආත්මයක් සමඟ ගනුදෙනු කළ කීර්ති දේවත්වයට පත්වෙමින් දෙවියන් සමඟ ගනුදෙනුව අරඹන්නේ එහිදීය. ඒ සිකුරාදා සහ අඟහරුවාදා විශේෂ පුද පූජා වැඩසටහන් ආදිය පවත්වමිනි. අණවින කොඩිවින පමණක් නොව, පූජා පවත්වන්නේත් ඒ දිනවලදීය. හැබැයි පූජා භාණ්ඩ පිටින් ගෙන එන්නට බැරිය. ඒවා මිලදී ගත යුත්තේ එතැනින්මය. එකම පූජා වට්ටිය දහ දොළොස්දෙනකු අතේ කැරකැවෙන බව දන්නේ ඒ ගැන දන්නෝ පමණි. අන්ධ භක්තියෙන් අන්තයට ගොස් මොනර කොළවලින් පින් පෙට්ටි පුරවන කිසිවකුට මෙහි සිදුවන ඒ කිසිවක් පෙනෙන්නේ නැත. ඒ අයට කීර්ති කුමාර පේන්නේ දෙවියෙක් ලෙසිනි. ඔහු ඉදිරියේ සාදුකාර දෙමින් ඔවුන් දණින් වැටෙන්නේ එබැවිනි.
මෙසේ පුද පූජා සිදුවන අඟහරුවාදාටත් සෙනසුරාදාටත් ගමේ පොලීසියෙන් දේවාලයට ලැබෙන්නේ විශේෂ ආරක්ෂාවකි. එම ආරක්ෂාව දේවාලයට දෙන්නට පටන් ගන්නේ උසස්වීමක් ලබා සිටින ස්ථානාධිපතිවරයා එහි සිටි වකවානුවේ සිටය. ඔහුගෙන් පසු ස්ථානාධිපතිධුරයන්ට පත්වූ නිලධාරීන්ද ඔහුගේ මඟයමින් දේවාලයට ආරක්ෂාවක් ලබාදුන්නේ ඒ ගැන වග විභාගයක් නොකරමිනි. ගමේ ඇත්තන් නම් පවසන්නේ කිසිදු බියක් සැකක් නොමැතිව දරුවන්ව බිලිගන්නා තැනට කීර්ති පත්වූයේ පොලිස්කාරයනුත් දේවාලයට රිංගීමට පටන්ගත් පසුව බවය.
එකී පොලිස් හිඟන්නෝ අතර සිටින්නේ අඟහරුවාදාට සහ සෙනසුරාදාට දේවාලයේ ආරක්ෂාවට යෙදවෙන පොලිස් පොඩ්ඩෝ කිහිප දෙනෙක් පමණක් නොව, කොස්තාපල්වරයාගේ සිට ඉහළ සියලුම තරාතිරමේ පොලිස් නිලධාරීන් බොහොමයක්ම සිටිති.
පොලීසියේ උදවිය පමණක් නොව, තරු පටි ගැසූ හමුදාවේ නිලධාරීන්ද මෙහි නිතර එන යන අනුගාමිකයන් අතර සිටිති. එපමණක් නොව, පාතාල අපරාධකරුවෝද නැත්තේම නැත. කීර්තිගේ දේවාලයට මුදල් උණන මැෂිම බව කියන්නේ එම අපරාධකරුවන්ය. වැඩිහරියක් පාතාල අපරාධකරුවන් කීර්ති සොයා එන්නේ යැයි කියැවෙන්නේ වෙඩි නොවදින සුර සකස්කර ගන්නටය. හැබැයි ගාන සුළුපටු නැත. වටිනාකම් කියැවෙන්නේ ලක්ෂ තිහ හතළිහට උඩිනි. එවැනි ගණන් දී වෙඩි නොවදින සුර හදාගත් අය ද නැත්තේම නැත. එය එළියට එන්නේ මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වූ කැවුමා නැමැති මත්කුඩු ජාවාරම්කරු ලක්ෂ 37ක් දී සුරයක් සකස්කර ගැනීමක් හෙළිවීමත් සමඟිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කීර්ති කුමාර බටේගොඩ පස්සේ පැන්නුවේ පාතාලයේ අරාධකරුවන්ට වෙඩි නොවදින සුර හදාදුන් නිසා හෝ දෙවියන් පෙන්වා ජනතාව රවටමින් කරනු ලබන තක්කඩි ක්‍රියා නිසා නොව, අහිංසක දරුවන් සිය පහත් ලිංගික ආශාවන් වෙනුවෙන් කළ බිලි ගැනීම් වලට නැවතීමේ තිත තැබීමටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගන්නේද ඔවුන්ට ලද තොරතුරක් හෝ පැමිණිල්ලක් ලැබූ පමණින්ම නොව, ඒ ගැන ගැඹුරින් සොයා බලා සාක්ෂිද රැස් කිරීමෙන් අනතුරුවය. හැබැයි එම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් යැපුණු ගොන් වස්සන් පිරිසක් මතයක් ගොඩ නඟමින් යන්නේ දරුවන් ඔහු සමඟ සිට ඇත්තේ කැමැත්තෙන් බැවින් එහි ඇති වරදක් නොමැති බව කියාපාමිනි.
මෙවැනි මතයක් ගොඩනැගීමට ඔවුන්ට අවකාශ උදා වී ඇත්තේ පළමු හෝ දෙවැනි දරුවා මේ කියන මෘගයාට ගොදුරුවූ අවස්ථාවේදී ඒ ගැන නීතිය නිසි ලෙස පොලීසියෙන් ක්‍රියාත්මක නොවීම නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව ඒ සිදුවීම වී ඇත්තේ කලකට ඉහතදීය. කීර්ති කුමාර බටේගොඩගෙන් යැපුණු පොලිස් ලොක්කන් එදා නීතිය නවා ඇත්තේ එම ළමා අපයෝජනය යට ගසමිනි. ඒ යටගැසුණු අපරාධ පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ වන විට හාරඅවුස්සමින් ඇත්තේ නීතිය නැමූ ඒ පොලිස් ලොක්කාට ද පාඩමක් උගන්වන්නට වගබලා ගැනීමටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී යමින් ඇති ආකාරයට නම් කීර්තිගේ මේ අසම්මත ලිංගික ආශාවන් මතුවී ඇත්තේ අද ඊයේ සිට නොව. කාලයක් තිස්සේම පැවති චර්යාවක් ලෙසය. පළමු විවාහක බිරිය ඔහුව අතහැර යාමට පවා මුල්වන්නට ඇත්තේ මෙවන් සිදුවීම් නිසා විය හැකි බවට වූ විශ්වාසයක්ද මේ වනවිට ගම්වැසියන් අතර ගොඩ නැඟී ඇත්තේය. ඒ බව දන්නේ ඔහුත් පළමු බිරියත් පමණි.
පළමු බිරිය කෙසේ වෙතත් වත්මන් බිරිය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය සැමියාව අත්අඩංගුවට ගැනීමට පෙර සිටම ඔහු කුඩා පිරිමි දරුවන් බිලිගනිමින් සිටින මෘගයෙක් බව දැන සිටි බව කියැවෙයි. ඒ අත්අඩංගුවට පත්වීමට සතියකට හෝ දෙකකට පෙර කීර්තිගේ ජංගම දුරකනයේ ඔහු පිරිමි දරුවන් සමඟ එකට සිටින වීඩියෝවක් දැකීමෙනි. ඒ ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශේෂ අවධානයක් මේ වන විටත් යොමුවී හමාරය. එතෙක් කලක් කීර්ති සිය ජංගම දුරකතනයේ තබාගෙන සිටි පිරිමි දරුවන් සමඟ එකට සිටින වීඩියෝ දර්ශන මකා දමන්නේ ඒත් එක්කමය. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුව ඇත්තේ පරිගණක වෝහාරික විමර්ශනයකින් එසේ මකා දැමූ දසුන් නැවත මතුකර ගැනීමටය.
දෙවියන්ට මුවා වී කීර්ති කුමාර බටේගොඩ ඔහුගේ හැම දහජරා වැඩක්ම යට ගසාගත්තේ මුදල් බලයෙනි. ගමේ අහිංසක දුප්පත් වැසියන් පවා තමා වෙත නම්මා ගත්තේ මුදල් බලයෙනි. ඒ නිසාම ඔහුට ඇති අසීමාන්තික මුදල් හා දේපොළ බලය ගැනද විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතක නොකළේය. ඒ මුදල් විශුද්ධකරණ පනතෙනි.
දැනට බැලූ බැල්මට පෙනෙන්නට ඇති ආකාරයට අනුව කීර්ති කුමාර බටේගොඩගේ වත්කම් ප්‍රමාණය කෝටි 100කට වැඩිය. ඒ බැංකුවේ ගොඩගසා ඇති මුදල් වලට අමතරවය. ඔහුගේ කරේ අතේ ඇති රන්භාණ්ඩ තොගයේ වටිනාකම කෝටියකට එහාය. පොලිස් ලොක්කාගේ පරිහරණයට දුන් වාහනය හැරුණු කොට ඔහුට ඇතැයි කියන වාහන අතර ඩිපෙන්ඩර් රථ දෙකකි. ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකි. බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථ දෙකකි. ඒ හැරුණු කොට නිදන ඇඳක් නාන කාමරයක් සහිත සුඛෝපභෝගී බස් රථයක්ද ඔහු සතුව ඇත්තේය. ඒ බස් රථය තුළද දරුවන් ලිංගික ක්‍රියා සඳහා ඔහු යොදාගෙන තිබුණු බව මේ වන විටත් හෙළිවී හමාරය.
ඊට අමතරව ඔහු දැන් ජීවත්වන නිවස සහ දේවාලයේ ඇති ගොඩනැගිලිවල වටිනාකමද කෝටි ගාණකට වැඩිය. එම භූමිය නම් ඔහුට පියාගෙන් උරුම වූවකි. ඒ හැරුණු කොට ඔහුට අතුරුගිරියේ ඇත්තේ කෝටි ගාණක් වටිනා නිවෙසකි. එය විශාල වත්තක් මැද පිහිටියෙකි. එම නිවසද ඔහු භාවිත කර ඇත්තේ පිරිමි දරුවන් සමඟ නිදහසේ කාලය ගත කරන්නටය.
එම නිවස හැරුණු කොට තවත් නිවස දෙක තුනක්ම කොළඹ හා ඒ අවට ඔහුට ඇති බව විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේය. මේ මෙතෙක් අනාවරණය වී ඇති ඔහුට අයත් දේපොළවලින් කොටසක් පමණි. විමර්ශකයන් විශ්වාස කරනුයේ මෙතෙක් හෙළි නොවූ විශාල දේපොළක් ඔහු සතුව ඇති බවය. ඇතැම් පාතාල අපරාධකරුවන් සිය කළු සල්ලි සුදුකරන මෙවලමක් ලෙස මොහුව යොදා ගත්තේ දැයි සැකයක්ද මේ වන විට මතුවී ඇත්තේය. ඒ මෙතරම් අසීමාන්තික ධනයක් ඔහු අසාමාන්‍ය ලෙස උපයාගෙන ඇත්තේ ඉතා කෙටි කාලයන් තුළදී බව පෙනී යන බැවිනි.
විමර්ශන ආරම්භයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගත්තේ පිරිමි දරුවන් සමඟ ඔහු එකට සිටින අයුරු වීඩියෝ ගතකර පිටරටවලට විකුණා ඇති බවය. මේ සියලු ධනය ඔහු උපයාගත්තේ ඒ තුළින්ම බව කිව නොහැකිය. එබැවින් කීර්ති කුමාර බටේගොඩ සතුව ඇති ධනස්කන්ධය උපයාගත් ආකාරය ගැන පැහැදිලි විමර්ශනයක් නම් සිදුවිය යුතුය. හැබැයි එය නිදහසේ සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ ලැබෙන්නේ කීර්ති කුමාර බටේගොඩගෙන් පිහිට පැතීමට ගිය මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම පොලිස් ලොක්කන්ගෙන් කිසිදු බාධාවක් හෝ ඇගිලි ගැසීමකින් තොරව විමර්ශන කරගෙන යාමට ඉඩ ලැබුණහොත් පමණි.