
- පාඩු ලබන රාජ්‍ය ආයතන 39 ක් ප්‍රතිව්‍යුහගත ලැයිස්තුවේ
- මෙම ආයතන සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන්ම පෞද්ගලිකරණයට ලක් විය යුතුයි
- IMF යන්න ප්‍රථම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කර හොඳ කාර්ය සාධනයක් පෙන්විය යුතුයි
- IMF යන්න නැවත සැකසෙන කොම්පැණි
වර්තමාන ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එක්සත් ජාතීන්ගේ අනුගාමික ආයතනයක් සහ රටවල් 190 කින් සමන්විත වන IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට අවුරුදු 77 ට පෙර 1945 දී ඇමරිකාවේ වොෂින්ටන් නගරයේදී බිහි කරන ලද්දේ ලෝකයෙන් දුප්පත්කම තුරන් කිරීම ද අරමුණු කරගෙනය. මේ අරමුදලට ඇමරිකානු ඩොලර් බිලියන 850 ට වැඩි මුදල් සංචිතයක් ඇති අතර එය ලෝකයේ ධනවත්ම මිනිසා වන Elon Musk ගේ සමස්ත ධනය මෙන් තුන් ගුණයක් හා බිල් ගේට්ස් ගේ ධනය මෙන් හය ගුණයක් බවද පැවැසේ.
ජාත්‍යන්තතර මූල්‍ය අරමුදලින් ණයක් ගැනීම පහසු නැත. සමහරු කොන්දේසි පනවන බව කීවද, මෙම කොන්දේසි සඳහා ‘කොන්දේසි‘ යන වචනය පාවිච්චි නොකිරීමට තරම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෘදුය. ඒ සඳහා Structural Adjustment හෙවත් ව්‍යුහය නැවත හරිගැස්සීම යන යෙදුම යොදයි. පොලිසිය භාවිත කරන අවම බලය යන යෙදුමට මෙය සමානය. ඔවුහු තමන් දෙන මුදල්වලට ඒ ඒ රටවලදී සිදුවන්නේ කුමක් ද යන්න ගැන විශාල ඕනෑකමකින් පසුවෙති. මේ කොන්දේසි කඩකළොත් යළි කවදාවත් ආධාර මුදලක් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමට අදාළ රට පත්වෙයි. මේ නිසාවෙන් පසුගිය රජයන් IMF ගමන ප්‍රමාද කළේය.
IMF හරහා ණය ලබා ගැනීමේ ක්‍රියාවලියේදි ඔවුන් රටකින් සපුරාගත යුතු කරුණු ඉදිරිපත් කරති. ඒ අතර අයවැය හිඟය අවම කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම රජයෙන් ඉල්ලති. රජයේ දේපළ පුද්ගලික අංශයට විකුණා ලාභ ලබන පරිදි පවත්වාගෙන යාම තවත් ප්‍රධාන කොන්දේසියකි. එවැනි අකාර්යක්ෂම ආයතන ඇත්නම් ඒවා පෞද්ගලීකරණය කිරීම හෝ ප්‍රතිව්‍යුගතකරණය කිරීම හරහා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම IMF හි ප්‍රධාන කොන්දේසියකි.
මේ වින විට රටේ උද්දමනය අහස උසට නඟිද්දී, රාජ්‍ය ආදායම පහත අඩියටම ගමන් කරමින් සිටියි. විවිධ කාලවලදී රටේ ආර්ථිකයට උසුලාගත නොහැකි බරක් වූ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කළ යුතු දෑ පිළිබඳ විවිධ මත පළවෙමින් තිබේ. මේ වන විටත් එවැනි ආයතන සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමකට යායුතු තැනකට රට තල්ලු වී ඇත්තේ IMF ගමනය. පසුගිය කාලයේ වරින්වර කැඳවනු ලබන පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්තාවලින්ද මෙවැනි ආයතනවල පවතින විශාල අක්‍රමිකතා, නාස්ති සහ අකාර්යක්ෂම බව සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය විය. රාජ්‍ය ආයතන අතරින් දූෂිත ආයතන 32 ක් ඇති බව පසුගිය කෝප් කමිටුව අනාවරණය කළේය. කෝප් වාර්තාවට අනුව පසුගිය වසර පහ 5 තුළදී පමණක් එම ආයතන 32 පාඩුව රු. බිලියන 465 (රු. කෝටි 46,500) ක් ලෙස ගණන් බලා තිබේ. රටේ මුදල් කා දමමින් විවිධ අයගේ වුවමනා එපාකම් අනුව, පාඩු ලබන රාජ්‍ය ආයතන නිලධාරීන් සහ සේවකයන් බෝනස් පවා ලබාගත්තේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. සත්‍යය දැන දැනත් දිගින් දිගටම එවැනි ආයතන පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව අයවැය හරහා රුපියල් බිලියන ගණනින් මුදල් පොම්ප වූයේ රට අගාධයට වට්ටවමිනි.
ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක 2006 වසරේ සිට 2020 වසර දක්වා සිදුව ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 1.2 ක් බව ප්‍රවීණ ආර්ථික උපදේශකවරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පසුගිය වසරේ පවසා තිබුණි. මෙම රාජ්‍ය ආයතන 05 හි 2019 වසරේ දිනක පාඩුව රුපියල් කෝටි 38 කට (384,479,189) අධික බවද ඔහු සඳහන් කරයි. පසුගිය වකවානුවේ ලංකාව සංචාරක කර්මාන්තයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 4000 ක ආදායමක් ලැබුවද මේ වන විට එය ඩොලර් මිලියන 100 කටත් වඩා අඩුවී ඇතැයි හෙළිවේ. එසේම ශ්‍රි ලාංකීය විදේශිකයින්ගෙන් වසරකට ඩොලර් මිලියන 650 ක ආධාර ලැබුණද මේවන විට එය ඩොලර් මිලියන 250 කටත් වඩා නොලබන තත්ත්වයකට පත්ව ඇත.
මෙවන් තත්වයක් මැද රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටත්, ඒ සඳහා IMF ණයාධාර ගමන වේගවත් කිරිමටත් රාජ්‍ය ආයතන 39 ක් ප්‍රති ව්‍යුහගත කිරීමේ යෝජනාව මේ වන විට රජයට ඉදිරිපත් වී ඇත.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික වැටුප් කොමිසම, සේවක නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, විදේශගත රාජ්‍ය දූත මණ්ඩල, කම්කරු දෙපාර්තමේන්තුව, සේවක අර්ථ සාධක අරමුදල, ජාතික වෘත්තීය සුරක්ෂිත හා සෞඛ්‍ය ආයතනය, මාර්ග නඩත්තු භාර අරමුදල, ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, සීමාසහිත
ලංකා සතොස, ලංකා ධීවර සංස්ථාව, ලංකා තේ මණ්ඩලය, පොල් වගා කිරීමේ මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, සිමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්, තැපැල් දෙපාර්තමේන්තුව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒ අතර වෙයි.
“ රාජ්‍ය ව්‍යවසායට අයත් ආයතන 400 ක් පමණ තියෙනවා. මෙයින් කිහිපයක් අපේ ආර්ථිකයට දැඩි බරක්. මේ ආයතන පවත්වා ගෙන යාමට යන වියදම, පඩි නඩි ආදිය සැලකීමේදී රටේ ආර්ථිකයට ඒවා විශාල ප්‍රශ්නයක්. කෝප් කමිටුව හරහා අවධාරණයවුණෙත් එයයි. මේවායේ කළමනාකරණ ආකෘතිය මෙන්ම වරින් වර විවිධ අමාත්‍යවරු යටතට පාලනය පත්වීමේදි මේ ප්‍රශ්න තවත් වේගවත් වුණා. එසේම මේ ආයතනවල ආදායම හා වියදම යන කරුණු එකකට එකක් ගැලපෙන්නේ නැහැ. මේවායේ ඇති වෘත්තීය සමිති තමන්ගේ වැටුප්, වැටුප් වර්ධන මෙන්ම විවිධ බෝනස් හිතුමතේ වැඩි කිරීම් කළා. මේ ආයතන වල අයිතිකරු හා නියෝජිත කවුරුන්ද කියා හඳුනා ගැනීමේ ගැටලු පවතිනවා. එසේම මහජනයාට අවශ්‍ය සේවය ලබා දෙනවාද යන්න ප්‍රශ්නයක්. මේ ආයතන අද වන විට සිය වගකිම් ඉටු කර ගැනීමේ ගැටලුවට මුහුණ දීලා. තවත් කරුණක් වන්නේ මොවුන්ට ණය ලබා ගත හැකි වීම. ණය ලබා ගැනීම මේ ආයතනවලට බරක් සේම රජය මේ ණය ගෙවීමට බැඳි සිටිම හරහා ඔවුන් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය අද විශාලයි.
නමුත් පසුගිය කාලයේ විවිධ ගැටලු මැද මේ ආයතන පවත්වා ගෙන ආවා. ඒත් වර්තමානයේ අයවැය හා විදේශ විනිමය ප්‍රශ්න මතුවෙද්දී මේ තත්ත්වය ඉදිරියටත් පවත්වා ගත නොහැකි තත්ත්වයට පත්වුණා. මේ නිසා මේ ආයතන ප්‍රතිසංස්කරණය මඟ නොහැර කළ යුතු කාර්යයක්. මේ පාඩු ලබන ආයතන සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන්ම පෞද්ගලිකරණයට ලක් විය යුතුයි. තෙල් හිඟය නැති කිරීමට එහි තරගය වැඩි කිරීමට තවත් ආයතන ගණනාවකට ඒ සඳහා අවස්ථාව දිය යුතුයි. විදුලි බල මණ්ඩලය වැනි ආයතන කොටස්කර වෙන් කිරීම හරහා එම කාර්ය ඉටු කිරීමට පෞද්ගලික අංශයටත් අවස්ථාව ලබා දිය යුතුයි. පොදු ප්‍රවාහනය රාජ්‍ය හා පෞද්ගලික අංශය හවුල්කාරීත්වයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කළයුතුයි. එසේම ඉදිරියේදී සමහර ආයතන කොටස් වෙළෙඳ පොළ දක්වා යාම මෙන්ම අමාත්‍යාංශ පාලනයෙන් බැහැර කිරීම හා ඒවාට ස්වාධිනත්වයක් ලබා දිම සිදු කළ යුතු වෙනවා.“ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්නය.
පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කිරිම යනු පෞද්ගලිකරණය කිරිම නොවේ. රටක් වශයෙන් අප විපතකට පත්වූ මේ මොහොතෙ ඉන් ගොඩ ඒමට නම් ගල්ගුහාවක ජිවත් විමට හෝ අප සූදානම් වන්නා සේ අප යම් කැපකිරීම් කළ යුතු බව විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නලින් අබයසේකරගේ මතයයි.
“ IMF යාම කියන්නේ සුන්දර ගමනක් නෙමෙයි. නමුත් දැන් අප යායුතුයි. මේ තාප්පයටම අප හේත්තු වූ මොහොතක්. IMF තමයි එකම පිළිසරණ. මෙහිදි ඔවුන්ගේ ප්‍රධානම කොන්දේසියක් තමයි පාඩු ලබන ආයතන ප්‍රති ව්‍යූහගත කිරිම. රාජ්‍ය ආයතනවල වාත්තීය සමිතිවලට මේ කාර්යයයේදි ඇත්තේ විශාල වගකීමක්. ඔවුන් ඉල්ලීම් දිනාගැනීම පමණක් නොව මේ අවස්ථාවේ තම ආයතනය ගොඩ ගන්නා ආකාරය පිළිබඳවක් යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම කිහිපයක් හරහා සිදුවිය හැකියි. පසුගිය කාලයේ මෙසේ ප්‍රතිව්‍යුහගත වූ ආයතන සලකා බැලීමේදී ශ්‍රි ලංකා ටෙලිකොම් ඊට හොඳම උදාහරණයක්. මේ සඳහා සියලු දෙනාම එකතු විය යුතුයි. IMF සඳහා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භයට ප්‍රථම අපේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කර හොඳ කාර්ය සාධනයක් පෙන්විය යුතුයි. ඊට වෘත්තීය සමිති ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු වෙනවා....“ඒ
මහාචාර්ය නලින් අබයසේකරය.
ප්‍රවීණ ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසන්නේ මෙවැනි පාඩු ලබන ආයතන ආකාර කිහිපයක් යටතේ ලාබ ලැබිය හැකි පරිදි ප්‍රතිව්‍යූහගත කළ හැකි බවයි.
“ IMF වෙතින් මේ වන විට අපට ලබා දී ඇති ආර්ටිකල් 4 වෙතින් කරුණු 4 ක් අවධාරණය කළා. අපේ ආදායම වැඩි කිරීම, වියදම අඩු කිරීම, මහ බැංකුව ස්වාධීන කිරීම හා දුප්පත් ජනතාව බලසම්පන්න කිරීම පාඩු ලබන ආයතන ප්‍රති ව්‍යූහගත කිරීම යටතට වැටෙන්නේ වියදම අඩු කිරීම යන කරුණ යටතේ. උදාහරණයක ලෙස පසුගිය කාලයේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම මාස 4 ක පාඩුව පමණක් රුපියල් බිලියන 200 යි. නමුත් ලංකාවේ සමෘද්ධිලාභීන් වෙනුවෙන් වසරකටම වියදම් කරන්නේ රුපියල් බිලියන 50 යි. ආයතන 500 ගණනක් තියෙනවා. එයින් විශාල ප්‍රමාණයක් පාඩුයි. අනිකුත් ආයතන පාඩුද නැද්ද කියා සොයන්නවත් නිසි අධ්‍යයනයන් නැහැ. මේ නිසා ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට යායුතුයි. ආයතන ඒකාබද්ධ කිරීම, සමහරක් ආයතන පෞද්ගලිකරණයට ලක් කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළකට යාම, විදුලිය තෙල් ආදියට තරගකාරි අවස්ථා ලබා දීම, මේ ආයතන අමාත්‍යාංශ මට්ටමින් බැහැර කරවීම මෙන්ම වියදම් අඩු කිරීම කළ යුතුයි. අපි IMF යාමට ප්‍රථම අපේ ණය ගැනීමේ නිසි සැලස්ම අපි ඉදිරිපත් කළ යුතුයි...“ ඒ ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුය.