මුහුදු යන්න බැරිව වැල්ලට හූල්ලන ධීවරයෝ | සිළුමිණ

මුහුදු යන්න බැරිව වැල්ලට හූල්ලන ධීවරයෝ

- මත්ස්‍ය අපනයන ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක්, 2020දී ඩොලර් මිලියන 215ක් ගෙනාවේ සුළුපන්න ධීවරයන්
- සුළුපන්න යාත්‍රා - 26907 බහුදින යාත්‍රා - 7982 සුළුපන්න යාත්‍රාවකට මසකට භූමිතෙල් ලීටර් 1080ක්, බහුදින යාත්‍රාවකට ඩීසල් ලීටර් 80000ක් අවශ්‍ය වේ

දැන් දැන් අපේ බත්පතෙන් ගිලිහී යන මාළු කෑල්ල සංකේතවත් කරන්නේ ධීවර වෘත්තියෙන් දිවි සරිකරගන්නා ජීවිත රැසක කුසගින්නය. මේ ඛේදවාචකය පිළිබඳ පසුගිය දා එක්සත් ධීවර හා කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්.විජේන්ද්‍රන් අනාවරණය කළේය. ඒ අනුව අවසන් සංගණනයේදී හෙළි වූ ආකාරයට භූමිතෙල් ආධාරයෙන් පණ ගැන්වෙන කුඩා එක්දින එන්ජින් යාත්‍රා 25,500ක් මාස දෙකක් පුරා ඇත්තේ වැල්ලට ඇද දමාය. මුහුදු යන්නට බෝට්ටු පණ ගන්වන්නට භූමිතෙල් නැත. එක් යාත්‍රාවක් ආධාරයෙන් අඩුම තරමේ සුළු පන්න ධීවර පවුල් දෙකක් තුනක් ජීවත් වන්නේය. ඒ අනුව බලද්දී අඩුම තරමින් පවුල් හැට දහසක් අනාථය. පුද්ගලයන් ලෙස ගතහොත් ලක්ෂ තුනක පිරිසක් මේ වනවිට කුසගින්නේ පසුවන්නේ සිය ජීවනෝපාය කරගත නොහැකිවය. 

පසුගිය වසරේ සුළුපන්න ධීවර කර්මාන්තයෙන් රට ගොඩ ගිය ආකාරය රජය කීවේය. 2021 ගෙවී ගියේ කොවිඩ් ව්‍යසනයත් සමඟ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ කොවිඩ් පොකුරක් ඇතිවීමෙන් ධීවර වරායන් විටින් විට වසා දැමිණි. සංචරණ සීමා ඇති විය. විදේශ වෙළෙඳපොළ වැසී ගියේය. ගුවන් බහාලුම් තුන් ගුණයකින් වැඩි විය. එක්ස්ප්‍රස් පර්ල් ගින්න ධීවර කර්මාන්තය අඩපණ කළේය. එවැනි අතිශය පීඩාකාරී පසුබිමකත් ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඉතිහාසයේ වැඩිම මත්ස්‍ය අපනයන ආදායම රටෙන් වාර්තා වූ බව කීවේ එවකට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරය. 2020 වසරේ මත්ස්‍ය අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 215ක් වන අතර එම ආදායමින් වැඩිම ප්‍රතිශතයක් ගෙනාවේ සුළුපන්න ධීවරයන්ය. ඉස්සන්, කකුළුවන්, මුහුදු කූඩැල්ලන්, ගල් මාළු ඇතුළු මත්ස්‍ය වර්ග 118ක් අපනයනය සඳහා අවශ්‍ය අස්වැන්න නෙලා දුන්නේ මේ සුළුපන්න ධීවරයන්ය. පවුල් හැට දහසක බඩගින්න කෙසේ වෙතත් රටේ සමස්ථ ජනතාවගේ ජීවිත පීඩනයට මුල් වූ විදේශ විනිමය උපයා ගැනීමේ සාධනීය මාර්ගයක් ඇහිරී ගොස් තිබිණි.

ස්වාධීන ධීවර කමිටුවේ කැඳවුම්කරු මෙන්ම එක්සත් ධීවර හා කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්.විජේන්ද්‍රන් වත්මන් තත්ත්වය පිළිබඳ අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.

“කුඩා ධීවර යාත්‍රාවල භාවිත වන ප්‍රධානම ඉන්ධනය භූමිතෙල්. පෙට්‍රල් භාවිත කරන්නෙ එන්ජිම පණ ගන්වන්න සහ එන්ජිම නවත්වන්න. එන්ජින් එක ක්‍රියාත්මක වෙන්නෙ භූමිතෙල්වලට එන්ජින් ඔයිල් දාලා හදන මිශ්‍රනයෙන්. මාස දෙකක විතර ඉඳලා භූමිතෙල් සැපයුම සාධාරණ හේතුවක් නොදන්වා අත්හිටවනු ලැබුවා. ඒ කාලය පුරාවටම මේ බෝට්ටු මුහුදු යන්නෙ නෑ.

කිසිම ධීවර වරායකින්, නැංගුරම් පොලකින්, ලෙල්ලම් පොලකින් කිසිම එක්දින යාත්‍රාවක් මුහුදු යන්නෙ නෑ. මීගමුව, හලාවත, කල්පිටිය ගාල්ල කළුතර කොළඹ තත්ත්වය මේකයි. ගොවියන්ට පෝර ටික වගේ සුළුපන්න ධීවරයට භූමිතෙල් ටික ලැබෙන්න ඕන ඔවුන්ගේ අස්වැන්න රටට ගේන්න. ලංකාවේ ධීවර කර්මාන්තයෙ ජීවනාලිය තමයි මේ වෙරළාසන්න මුහුදේ මත්ස්‍ය සම්පත අල්ලා ගොඩට ගේන යාන්ත්‍රික කුඩා ධීවර යාත්‍රා සමූහය. මේ යාත්‍රාවලින් තමයි අපනයනය කරනු ලබන පොකිරිස්සන්, කකුළු වර්ග, දැල්ලන්, මුහුදු ඉස්සන්, විවිධ වර්ගයේ ගල්මාළු, මුහුදු කූඩැල්ලන්, පන්නාවො, පුළුන්නා, තෝරා, අංජිලාවා, වච්චාලයා, සාවාලයා, වැනි මසුන් අල්ලන්නේ. ඒ වගේම රටේ ජනතාව වැඩියෙන්ම පරිභෝජනය කරන හුරුල්ලා, සාලයා, සූඩායා, හාල්මැස්සා, පියාමැස්සා, කුම්බලාවා, පරව් වර්ග, ඇටවල්ලා, අලගොඩුවා, ලින්නා, ගල්මාළු අස්වැන්න ගෙනෙන්නෙ මේ කුඩා බෝට්ටුකරුවන්. ඔවුන්ගේ ඛේදවාචකය දැන් අපේ බත් පතට දැනෙනවා...”

ඔහු පවසන පරිදි යාන්ත්‍රික බෝට්ටු හිමියන් යනු රජයේ කිසිම මැදිහත්වීමක් රහිත ආයෝජකයන්ය. සෑම බෝට්ටුවක්ම ජාතික ආර්ථිකය විෂයෙහි කෙරෙන හුදෙකලා පුද්ගල ආයෝජනයකි. බෝට්ටු ඔවුන්ගේය. එන්ජින් ඔවුන්ගේය. දැල් ආම්පන්න ඔවුන්ගේය. ශ්‍රමය ඔවුන්ගේය. කර්මාන්තය සඳහා වූ ශිල්පීය දැනුම ඔවුන්ගේය. එය බලගන්වා කර්මාන්තයක් සේ රැකගෙන රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට රජය පාර්ශ්වයෙන් අවශ්‍ය වන්නේ භූමිතෙල් සම්පාදනය කිරීමය.

“රෑ මුහුදු ගිහින් පාන්දර තෙල් පෝලිමට එන්න බෑ. ඒ පෝලිම්වල ලීටර පහේ කෑන් එකට භූමිතෙල් ගන්න අයත් ඉන්නවා. ධීවරයන්ගේ කෑන් එක ලීටර තිහ යි, හතළිහයි. ඒ නිසා තෙල් ගන්න ගියාට පස්සේ ගැටුම් ඇතිවෙනවා. ධීවර තොටුපලට, ධීවර ගම්මානවලට බැරල්වලට, පොඩි බවුසර්වලින් හරි භූමිතෙල් බෙදාහැරීමේ යාන්ත්‍රණයක් හදන්න. පහුගිය වකවානුව පුරාම ධීවරයො ගැටුම් ඇති කරගත්තේ නෑ. අනිත් පාර්ශ්ව හැම වෙලාවෙම ධීවරයා දිහා බලන්නෙ තෙල් උදුරගත්තා වගේ. ඒ ආකල්පය නැති කරන්න.“ එය විජේන්ද්‍රන්ලාගේ යෝජනාවය. ඔහුට අනුව එය සිදුනොවීම මහා දැවැන්ත සමාජ ආර්ථික ගැටලුවක් නිර්මාණය කර ඇත. 

නාගමුනි කදිරවේල් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරව්පත්තු සිංගල්අඩි ධීවර සමිතියේ සභාපතිය. ඔහු අපට ඔහුගේ කතාව කියන්නේ ආයාසයෙන් ගැටගසා ගත් සිංහලෙනි. “ අපේ සමිතියේ පොඩි බෝට්ටු අයිති අය සීයකට වැඩියි. හෝස් පවර් 15 එන්ජිමක බෝට්ටුවකට එක දවසක් දුවන්න භූමිතෙල් ලීටර 20 - 30ක් ඕන. 25 එන්ජිමට 35ක් 40ක් ඕන. ඒ බෝට්ටු ටිකක් දුර යනවා. රස්සාව කරගෙන එන්න දවසට ඒ තෙල් ප්‍රමාණය නැතිව බෑ. අපිට සති දෙකකට, මාසෙකට සැරයක් තමයි තෙල් ආවෙ. දැන් එහෙමත් නෑ. ධීවරයා ගොඩාක් දුක් විඳිනවා. ලාම්පුතෙල් එක්ක පෙට්‍රලුත් ඕන. පාන්දර මුහුදු රස්සාවට ගිහින් ඇවිත් දවස් කීපයක් පෝලිමේ ඉඳලා ලාම්පුතෙල් නැතිව ගෙදර ඇවිත් රස්සාව අත්හැරලා කුලී වැඩ හොයන මිනිස්සු දැන් අපි අතරෙ ඉන්නේ. කුලියක් කරන්නත් මිනිස්සුන්ට සල්ලි නෑ. අපි යෝජනා කරන්නෙ අඩුම ගානෙ සතියකට දෙපාරක් ලාම්පුතෙල් දෙන්න කියලයි”

නානායක්කාරවසම් කළුදියවත්තගේ පියල් හේමසිරි ත්‍රී කුණාමලය දිස්ත්‍රික් ධීවර මහා සම්මේලනයේ සභාපතිය. මේ ඔහු අපිට කී කතාවයි.

“භූමිතලේ නැතිව දැන් මාස දෙක හමාරක සිට ධීවරයන් අන්ත අසරණවෙලා ඉන්නෙ. රජයෙන් මෙතෙක් මේ ප්‍රශ්නයට සාධනීය මැදිහත්වීමක් කරලා නෑ. මිනිස්සු ගෙවන ජීවිතේ බලන්න ඇවිත් යන්න. උදේට කෑවොත් දවල්ට කන්න නෑ. රස්සාව කරන්න මුහුදට යන්න භූමිතෙල් ඕන. දැනට ජීවත්වෙන්න කුලී කරනවා. ගස් බඩගානවා. ත්‍රිකුණාමලය 27,500කට වැඩි ධීවර ප්‍රජාවක් ඉන්නවා. ඔවුන්ගෙන් වැඩි දෙනා එක්දින යාත්‍රා එක්ක රස්සාව කරන අය.”

සුගත්, කල්පිටියෙ කුඩාව ධීවර සමූපකාර සමිතියේය. ඔහුගේ සමිතියේ සාමාජිකයෝ 151ක් වෙති.

“පොදුවෙ ගත්තොත් පුත්තලම් දිස්ත්‍රික්කයේ බෝට්ටු සංඛ්‍යාව තුන් දහස් පන්සියයකට වැඩියි. වැඩි ප්‍රමාණයක් කුඩා එක් දින බෝට්ටු. හැම කුඩා බෝට්ටුවකින්ම ඍජුව පවුල් දෙකක් යැපෙනවා. වක්‍රව එක බෝටුවක පවුල් හතරක්වත් යැපෙනවා. මාළු වේලීම, මාළු වෙළෙඳාම කරන අය ඒ අතර ඉන්නවා.

මේ අර්බුදයෙන් පස්සේ අපිට කළුකඩෙන් තෙල් ගත්තත් දවසට තෙල් ලීටර දහක් ගන්න බැරි වුණා. මේක තමයි ඇත්තම කතාව. මිනිස්සු රුපියල් හාරසීය, පන්සීයට තෙල් ගත්තා. අපේ ධීවරයො කරගන්නම දෙයක් නැතිව රුපියල් 87ක භූමිතෙල් ලීටරය රුපියල් දෙදාහට වැඩිපුර මිලක් දීලා අරගෙන අරන් රස්සාවට ගියා. එතකොට දවසට වියදම් කරලා තියෙන තෙල්මිල රුපියල් පනස් දාහකට වැඩියි. කොලොන්නාවෙන් තෙල් ගන්න ක්‍රමවේදයක් තිබෙනවා. රුපියල් 464යි. භූමිතෙල්ම නෙමෙයි. භූමිතෙල්වලට සමාන කරන්න පුළුවන් තෙල් විශේෂයක්. එහෙන් ගෙනා ඒ තෙල් ලීටරය රුපියල් දාහට එක්දාස් පන්සීයකට විකිණුවා. සමහරු ඒක අරන් රැකියාවට ගියා. ඊට සාපේක්ෂව මාළු මිල ගණන් ඉහළ ගියා. එහෙම හැමෝටම කරන්න බෑ. දැනට රස්සාවට යන්නේ සීයට දහයකටත් අඩු ප්‍රමාණයක්.

ධීවර කාර්යාලය හරහා දිස්ත්‍රික් ධීවර සංගමයෙන් කාර්ඩ් එකක් නිකුත් කරනවා. ඒ කාර්ඩ් එකට ධීවර සාමාජිකයන් ලියාපදිංචි කරලා එම කාර්ඩ් එක ධීවර කාර්යාලයට ලබා දෙනවා. ධීවර කාර්යාලයෙන් නිර්දේශ කරනවා දිස්ත්‍රික්කයට එවන තෙල් ප්‍රමාණය. දැනට රස්සාව කරන බෝට්ටු ප්‍රමාණය ගණනය කර ධීවර සමිති ඔස්සේ එම තෙල් බෙදා හරින්න ක්‍රමවේදයක් හදලා තියනවා. මේ ක්‍රමය තුළ අවශ්‍ය තරම් තෙල් නැතත් සාධාරණ පිළිවෙළකට තෙල් බෙදෙනවා. “

ඔහු තවදුරටත් පැවසුවේ මේ වනවිට කල්පිටියේ ධීවරයින්ගේ ජීවිත අතිශයින්ම සෝචනීය බවය. 

“ධීවරයො කියන්නෙ ඉතිරි කරන සංස්කෘතියක් තියන අය නොවෙයි. ඔවුන් එදිනෙදා උපයන මුදල එදිනෙදා කාලා බීලා ජීවත් වෙච්චි කණ්ඩායමක්. මේ පිරිස් අද ඉන්නෙ හාමතේ. මේ වාරකන් කාලය. මේ කාලේදි අපි අපේ ධීවර සමිතිය හෝටල් එක්ක කතා කරලා සංචාරකයන් ප්‍රවාහනයට ඉවෙන්ට් හදාගෙන කීයක් හරි හොයා ගත්තා. තෙල් නැති නිසා දැන් ඒකත් නෑ. “

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේය. ධීවර සුබසාධනය වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් කරන එම සම්මේලනයේ ශාඛා 110ක් රට පුරා විසිරී තිබේ. සාමාජිකත්වය 18,000කි. සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය ලෙස ඔවුන් පවසන්නේ රටේ පොදු ඉන්ධන ගැටලුව එක් පාර්ශ්වයක ජන ජීවිතය මුළුමනින්ම බිඳ දමා ඇති ආකාරයය.

“ධීවර කර්මාන්තය කියන්නෙම ඉන්ධන මත තීරණය වන කර්මාන්තයක්. බහුදින යාත්‍රාවකට එක් ගමන් වාරයකට අඩුම තරමින් ඩීසල් ලීටර හාරදාහක් අවශ්‍යයි. වරායකට එන 13,600 එක් බවුසරයක තෙල් ප්‍රමාණවත් වෙන්නෙ බෝට්ටු තුනක් හෝ හතරකට පමණයි. රටේම බහුදින යාත්‍රා 4,500ක් තියනවා. එක් වරායක යාත්‍රා තුන්සීයක් හාරසීයක් තියනවා. සතියකට දෙවරක් එන බවුසරයකින් මේ ප්‍රශ්නය විඳන්න බෑ. රටට ඩොලර් උපදවා දෙන ප්‍රධාන කර්මාන්තයක් ආශ්‍රිතව ජීවත් වෙන ලක්ෂ 16කට ආසන්න ඍජු හා වක්‍ර ජීවන වෘත්තීන් කරන ප්‍රජාවක් වෙනුවෙන් නිසි ඉන්ධන සැපයුම් ක්‍රමවේදයක් තවම හදලා නෑ. ඉන්ධන මිල, යෙදවුම් ගාස්තු, ඇතුළු සමස්ථය මිල වැඩිවිමත් එක්ක දැන් බහුදින යාත්‍රා සියයට හැටක් මුහුදු යන්නෙ නෑ. එක් දින යාත්‍රා සම්පූර්ණයෙන්ම පාහෙ නැවතිලා. අඛණ්ඩව නිසි ක්‍රමවේදයකට ධීවරයන් වෙනුවෙන් ඉන්ධන සැපයීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමට රජය මැදිහත් විය යුතුමයි...“

මන්නාරම දිස්ත්‍රික් ධීවර සමූපකාර සමිතියේ ලේකම් එන්. එම්. අලම් ය. ඔහු පැවසුවේ මන්නාරම දිස්ත්‍රිකය තුළ 10,000 අධික ධීවර ප්‍රජාවක් ජීවත් වෙතත් භූමිතෙල් නැති බැවින් ඔවුන් බොහෝ දෙනෙක් මාස දෙකකින් පමණ මුහුදු ගිහින් නොමැති බවය.

“මේ පිරිසෙන් කොටසකට කුලී රස්සාවක් කර ගන්න බැරි තරමට අන්ත අසරණ වෙලා. අපි අවුරුදු 30 යුද්ධ නිසාත් බැට කෑවා. ඒ කාලේ මුහුදු ගියෙත් ජීවිතේ අවදානමකින්. ඊට පස්සේ ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාවේ ධීවර කටයුතු කිරීම අපේ මාදැල් විනාශ කිරීම නිසාත් විටෙන් විට විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. දැනුත් නිදහසේ අපේ රස්සාව කරගන්න විදිහක් නෑ. මේ ව්‍යසනයට කිසිම රාජ්‍ය මැදිහත් වීමක් නෑ. එහෙම බැලුවොත් හැමදාමත් අපි දුක් විඳිමින් රස්සාව කරන ප්‍රජාවක්.“

රජය ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීමට QR කේතය හඳුන්වා දෙමින් වැඩපිළිවෙලක් දියත් කළත් භූමිතෙල් සඳහා එවැනි වැඩපිළිවෙළක් නොමැති වීම ගැන මේ ධීවරයන්ගේ සිත් තුළ ඇත්තේ කම්පාවකි. උතුරු පළාත් ධීවර සංගමයේ සභාපති එන්. සුබ්‍රමනියම් ඒ ගැන මෙසේ කීවේය.

“අපි දැක්කා විවිධ අය අදහස් පළ කර තිබුණා අනෙකුත් පළාත්වලට සාපේක්ෂව යාපනයේ ධීවර ප්‍රජාවට භූමිතෙල් ඇතුළු විවිධ සහනාධාර ඉන්දියාවෙන් සහ වෙනත් මාර්ගවලින් ලැබෙන බව. එය ඉතාම අසත්‍ය ප්‍රකාශයක්. අපේ ධීවර ජනතාවට එහෙම කිසිම විශේෂ පහසුකමක් මෙතෙක් ලැබී නැහැ. වරක් සහල් කිලෝ 10 ලැබුණා විතරයි.

පහුගිය කාලේ එක් ධීවරයකුට භූමිතෙල් ලීටර් 20 ලැබුණාම දෙන්නෙක් එකතු වෙලා එක බෝට්ටුවකින් පොඩි දුරක් ගිහින් මාළු අරන් ඇවිත් ඒ ආදායම බෙදා ගන්නවා. දැන් එහෙම කරන්නවත් තෙල් නැහැ. මාළු වැඩිපුර ගැවසෙන තැන් ඕනෑ තරම් තිබුණට අපිට ඒ දුරට යන්න විදිහක් නෑ. ”

ඔවුන් ඉල්ලන්නේ විශාල වරදාන, වරප්‍රසාද නොවේ. සිය ජීවනෝපාය ගෙනයන්නට තරම් ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයකි. මේ පිළිබඳ අපි ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා විමසුවෙමු. “මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේත් අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ධීවරයන්ගේ ඉන්ධන ප්‍රශ්නය විඳීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බොරතෙල් නැවෙහි තෙල් ගොඩබා පිරිපහදු කිරීමෙන් පසු ඉදිරි සතිය තුළ ධීවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල් ඇතුළු ඉන්ධන සියල්ල ලබා දීමට පියවර ගෙන තිබෙනවා.එක්දින ධීවර යාත්‍රා සඳහා දිනකට භූමිතෙල් ලීටර් ලක්ෂ නවයක් අවශ්‍යයයි. දැනට දිනකට ලැබෙන්නෙ ලීටර් ලක්ෂ තුනයි. බහුදින යාත්‍රාවල ප්‍රශ්නය දැනටමත් විසඳලා තිබෙන්නෙ. අපි අයි. ඕ. සී සමාගමත් එක්ක කතා කළා. අඩුව තිබෙන්නෙ භූමිතෙල්වලින් දුවන එක්දින යාත්‍රාවලට. ඒ සම්බන්ධව බලශක්ති ඇමතිවරයාත් එක්ක සාකච්ඡා කර තෙල් බවුසර් 32ක් දැනට ධීවර වරායන් 23කට යවා තිබෙනවා. එම වරායවල භූමිතෙල් බෙදා හරින්න ක්‍රමවේදයක් තියනවා. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි දිනපතා ලැබෙන භූමිතෙල් ලීටර ලක්ෂ තුන කළමනාකරණය කරන්නෙ. ළඟදීම ඉන්දියාවෙන් භූමිතෙල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ගෙන්වන්නත්, සිංගප්පූරුවෙනුත් ඉන්ධන ගෙන්වන්නත් අපි සූදානම්. රුසියාව සමඟත් සාකච්ඡා කරගෙන යනවා ඉන්ධන ගන්න.”

මේ සටහන නිමා කරන්නේ ඒ සුබවාදී අපේක්ෂාවෙනි. එය වැල්ලේ මිනිස්සුන්ගේ ජීවිත අපේක්ෂා යළි පුබුදුවනු ඇත.

Comments