ලාවට නොසැලකිය යුතු ලාදුරු | සිළුමිණ

ලාවට නොසැලකිය යුතු ලාදුරු

මේ දිනවල ජැක්සන් ඇන්තනි රංගධරයා පිළිබඳව කතාබහට ලක් වී තිබෙන්නේ ඔහු හදිසි අනතුරකට මුහුණපා රෝහල්ගතව ප්‍රතිකාර ලබන නිසාය. ඔහුගේ රංගන ප්‍රතිභාව විදහා දැක්වෙන චරිත ගැනද ඒ සමඟම සාකච්ඡාවට භාජනය වූයේ නිරායාසයෙනි. ඔහු රඟපෑ චරිත අතරින් ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ "ඇල්ල ළඟ වලව්ව" ටෙලි නාට්‍යයේ ග්‍රේෂන් අප්පොගේ චරිතය අපේ මතකයේ තවමත් නිදන්ගත වී තිබෙන්නේ එකී චරිතයේ ඇති විරූපි බව සහ භයංකාර බව නිසාය. එම ටෙලි නාට්‍යයට අනුව ග්‍රේෂන් අප්පො විරූපි අයකු බවට පත් වන්නේ ලාදුරු රෝගයට ගොදුරු වීමෙනි. 

"ඇල්ල ළඟ වලව්ව ටෙලි නාට්‍යයේ ග්‍රේෂන් අප්පොට එවැනි භයානක තත්ත්වයක් ඇති වුණේ ඔහු ලෙඩේ හංගාගෙන සිටි නිසායි. ඒ වුණාට ලාදුරු රෝගය මුලින්ම හඳුනාගෙන ප්‍රතිකාර කළොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ආයේ කිසිම කෙනෙකුට බෝවෙන්නෙත් නැහැ. ඒ පණිවිඩය චන්ද්‍රරත්න මාපිටිගමගේ ඉර පායා ටෙලි නාට්‍යයේ සමිතා එරන්දති රඟපෑ චරිතයෙන් අපූරුවට පෙන්වා දුන්නා, ලාදුරු හැදුණට පස්සේ මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර කළොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා. ලංකාවේ වසරකට ලාදුරු රෝගින් 2000ක් පමණ හඳුනා ගන්නවා. 2019 වර්ෂයේ පමණක් ලාදුරු රෝගින් 1,660 ක් වාර්තා වුණා. මේ අය අතරින් 181 දෙනකු වයස අවුරුදු 14ට අඩු ළමයි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 10% ක්. මෙම ලාදුරු රෝගින්ගෙන් 93 දෙනෙකු බරපතළ සංකූලතා ඇති අය. ඒ අය ඒ තත්ත්වයට පත්වෙන්නේ ප්‍රතිකාර ගැනීමට ප්‍රමාද වී පැමිණි නිසයි. 2021 වර්ෂයේ ලාදුරු රෝගින් 1026 ක් හඳුනාගෙන තියෙනවා. මෙම වසරේ අගෝස්තු වන විට වාර්තා වී තිබෙන්නේ රෝගින් 398 දෙනකු පමණයි. ඒ විදිහට බලද්දි ලංකාවේ වාර්තා වන ලාදුරු රෝගින් සංඛ්‍යාවේ අඩුවීමක් දකින්න ලැබෙනවා. ඒ වුණත් සමාජයේ හඳුනා නොගත් ලාදුරු රෝගින් සිටින බව අපි විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි බොහෝ දෙනා ලාදුරු රෝගය සුව කළ නොහැකි රෝගයක් කියලා අනියත බියක් ඇති කරගෙන සිටීම. මෙම දුර්මතය සමාජගත වීම නිසා සමහර රෝගින් සැඟවී සිටිනවා. " යනුවෙන් පැවසුවේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසාද් රණවීර ය.

මෙරට ලාදුරු රෝගීන්ගෙන් 40% ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ හැර මඩකලපුව, අම්පාර, කල්මුණේ, ගාල්ල, මාතර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික් තුළින්ද ලාදුරු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

ලාදුරු රෝගය වැලඳෙන්නේ Mycobacterium leprae නමැති බැක්ටීරියාව මඟිනි. මෙම බැක්ටීරියාව ශරීරගත වී කෙටි කාලයකින් රෝග ලක්ෂණ මතු වන්නේ නැත. බීජෞෂණ සමය අවුරුදු 4 හෝ 5 වැනි දීර්ඝ කාලයක් විය හැකිය. ලාදුරු රෝගය ව්‍යාප්ත වීම සිදු වන්නේ ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාදිත කෙළ බිඳිති සහ සෙම බිඳිති මඟිනි. මෙම රෝගය මිනිසකුගෙන් තවත් මිනිසකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයකු තවමත් හඳුනාගෙන නැත. කිසිම විටෙක ලාදුරු සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගියකුගෙන් තවත් අයකුට රෝගය බෝවන්නේ නැත. ගර්භණි මවක් ලාදුරු රෝගයට ගොදුරු වුවහොත් කුස තුළ සිටින දරුවාට රෝගය වැලඳෙන්නේ නැත. ලාදුරු රෝගීන් කාණ්ඩ 2කට වර්ග කළ හැකිය. ඒ බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගත වූ රෝගීන් සහ බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගත වූ රෝගීන් යනුවෙනි. බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගත වූ රෝගීන්ට මාස 6ක් නොකඩවා ප්‍රතිකාර කිරීමෙන් රෝගය නිට්ටාවට සුවපත් කළ හැකි වුවද බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගත වූ රෝගීන්ට අඛණ්ඩවම වර්ෂයක් ප්‍රතිකාර කළ යුතුය.

ඇඟේ ඇතිවන ලප ගැන නොසලකා ඉන්න එපා

ලාදුරු රෝග ලක්ෂණ ලෙස සංවේදනය, අඩුවීම, සමේ පැහැයට වඩා අඩු හෝ තද පැහැයකින් ලපයක් ඇති වීම, පැතලි ලපයක් හෝ නෙරා පැමිණි ගැටිත්තක් වැනි ලපයක් ඇති වීම, කනේ පහළ හෝ වැලමිට පහළ ස්නායු තද වීම, මාංශපේශිවල දුර්වලතා ඇති වීම යන ලක්ෂණ පෙන්වා දිය හැකිය. 

"සමේ පැහැයට වඩා වෙනස් පැහැයකින් ලපයක් ඇති වුණාම ලාදුරු හැදුණා කියලා එකපාරටම තීරණය කරන්න බැහැ. නමුත් ලපයක් ඇති වුණාම සැලකිලිමත් වීම වැදගත්. මේ බැක්ටීරියාවෙන් එම ලපය මැද ඇති ස්නායු මරා දමන නිසා ලපය මත දැනීමක් නැතිව යනවා. ඒ ලපය තිබෙන තැන රෝම කූප නැහැ. දහදිය දමන්නේ නැහැ. මේ ලපය ඉස්සෙල්ලාම හඳුනා ගත්තේ නැතිනම් ස්නායු ආබාධ ඇති වෙන්න පුළුවන්. මුලින්ම ඇඟිලි හිරි වැටීමක් වගේ දෙයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ලපය ඇති වෙලා ස්නායු ආබාධ ඇති වීමටත් අවුරුදු ගණනක් ගත වෙනවා. ඒ වෙනකොට ඒ තැනැත්තා වයසට ගිහින් හිටියොත් එයා හිතන්නේ ඇඟිලි හිරි වැටෙන්නේ වයස්ගත වීම නිසා කියලා. මේ නිසා ලාදුරු රෝගය හඳුනා ගැනීමට තවත් කාලයක් ගත වෙනවා. ඊට පස්සේ මාංශපේශි දුර්වල වෙනවා.

ලාදුරු තවමත් තුරන් කළ නොහැක්කේ සමාජ දුර්මත නිසා

ස්නායු ඝන වෙනවා. රෝගය උත්සන්න වුණාම අස්ථිවලටත් බලපානවා. ඇඟිලි වැටෙනවා. මාංශපේශිවලට සිදුවන බලපෑමෙන් මස්පිඬු විකෘති වෙලා විරූපි වෙනවා. අතපය කොරවෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් මුල් අවස්ථාවේදි රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. ඒත් ලාදුරු රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝගය වැලඳිලාද කියලා පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට හැකියාවක් නැහැ. මුලින්ම මෙම රෝගින් හමුවෙන්නේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්. සමේ ලපයකට පැල්ලමකට ප්‍රතිකාර ගැනීමට එන රෝගින්ට දෙතුන් වතාවක් ප්‍රතිකාර කරලා සුව නොවුණාම චර්ම පටක පරීක්ෂණයක් කරනවා. ඒ මඟින් ලාදුරු වැලඳිලා ද නැති ද කියලා තහවුරු කරගන්න පුළුවන්. ඒ නැතත් ඇඟිලි හිරි වැටීම, සංවේදනය නැති වීම වගේ අනෙකුත් රෝග ලක්ෂණ එක්ක ලාදුරු වැලඳිලාද කියලා තීරණය කරන්න පුළුවන්."

යනුවෙන් විස්තර කළේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකරය.

ලාදුරු රෝගීන්ගෙන් 10%ක් ළමයි

ලාදුරු රෝගය කොවිඩ්, ඒඩ්ස් වැනි අලුතෙන් සොයාගත් රෝගයක් නොවේ. බුදුන් දවස රහතන් වහන්සේ නමකට දානය බෙදන විට දන් බෙදු පුද්ගලයාගේ ඇඟිල්ලක් දන් පාත්තරයට වැටුණු පුවතක් අපි අසා ඇත්තෙමු. එදා ඇඟිල්ල වැටෙන්නට ඇත්තේ ලාදුරු නිසා විය යුතුය. හැඳල නගරයේ පිහිටි ලාදුරු රෝහලේ ආරම්භයද ක්‍රි: ව: 1700 ගණන් දක්වා දිව යයි. එවකට ලංකාව පාලනය කළ ලන්දේසි ජාතිකයන්ට අයත් කුමාරයකු ලංකාවට පැමිණි අවස්ථාවේ ලාදුරු රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඔහු හුදකලාව තැබීමට හැඳල ලාදුරු රෝහල ඉදිකළ බව සඳහන් වී තිබේ. කුමාරයකුගේ වාසයට තැනූ බැවින් සුඛෝපභෝගී ආකාරයට සකස් කළ බව තවදුරටත් සඳහන් වී ඇත. ඒ වන විට ලාදුරු රෝගයට කිසිම බෙහෙතක් ලොව කිසිම රටකින් සොයාගෙන තිබුණේ නැත.

රටක් ලාදුරු තුරන් කළ හැකි මට්ටමට එනවා කියන්නේ ඒ රටේ ලාදුරු නැත්තටම නැහැ කියන එක නොවෙයි.

ලාදුරු රෝගය වෙනුවෙන් ලෝකයේ ප්‍රථම වරට ඖෂධයක් සොයා ගනු ලැබුවේ 1940 වර්ෂයේදීය. එහෙත් ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීම ලංකාවේ ආරම්භ වූයේ 1984 වර්ෂයේදීය. එතෙක් ලාදුරු රෝගීන්ට සිදු වුයේ මිය යන තුරු ලාදුරු රෝහලේ හුදෙකලා ජීවිතයක් ගත කිරීම පමණි. ලාදුරු රෝගයට ප්‍රතිකාර ආරම්භ කළ මොහොතේ සිට අන්‍යයන්ට සම්ප්‍රේෂණය වීම වැළකෙන බැවින් දැන් ලාදුරු රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකිය. රෝහල්ගත වීමට අවශ්‍ය වන්නේ බරපතළ සංකූලතා ඇති අයට පමණි.

අපේ රටේ වාර්තා වන ලාදුරු රෝගීන්ගෙන් 60% ක් පමණ වාර්තා වන්නේ බැක්ටීරියා වැඩි ඛාණ්ඩයටය. ලාදුරු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් තවමත් අපේ රට තුළ තිබෙන්නේ එම නිසාය. ලාදුරු තුරන් කළ හැකි මට්ටමට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබියදී වසරකට ලාදුරු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම විමතිය දනවන කරුණකි. ඒ පිළිබඳව ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකරගෙන් විමසුවේ එබැවිනි. 

වර්ෂයකට ලාදුරු රෝගින් 2000ක් පමණ වාර්තා වෙනවා.

"රටේ ජනගහනයෙන් ලක්ෂයකට ලාදුරු රෝගීන් සංඛ්‍යාව 10ට වඩා අඩු නම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා ඒ රට ලාදුරු රෝගය තුරන් කිරීමේ මට්ටමට ඇවිත් කියලා. එය ගණනය කරන්නේ රටේ ජනගහනය සහ වර්ෂයකදී වාර්තා වන ලාදුරු රෝගින් සංඛ්‍යාව බෙදීමෙන්. හැබැයි මෙයින් අදහස් කරන්නේ නැහැ ලාදුරු තුරන් වුණා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව 1995 දී ලංකාව ඒ මට්ටමට ඇවිත් හිටියා. එතකොට ජනතාව අතර වැරදි අදහසක් ඇති වුණා දැන් ලංකාවේ ලාදුරු නැහැ කියලා ඒක වැරදි මතයක්. රටක් ලාදුරු තුරන් කළ හැකි මට්ටමට එනවා කියන්නේ ඒ රටේ ලාදුරු නැත්තටම නැහැ කියන එක නොවෙයි." යනුවෙන් ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි ජයසේකර පැහැදිලි කළාය. ජනතාව තුළ පවතින දුර්මත නිසා ලාදුරු රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අපහසු වී ඇති බව සඳහන් කළේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසාද් රණවීර ය.

"සමහරු හිතනවා ලාදුරු හැදුණු කෙනෙක් ඉන්න පවුලකින් කසාදයක් කරගන්න හොඳ නැහැ කියලා. ලාදුරු හැදුණම ඒ අයව සමාජයෙන් කොන් කරනවා. සමාජය තුළ පවතින අනබෝධය නිසා ලාදුරු රෝගින් සැඟවිලා ඉන්නවා. ඔවුන් ප්‍රතිකාරවලට යොමු වෙන්නේ බරපතළ වුණාම.

මුල් අවස්ථාවේ ප්‍රතිකාරවලට යොමු වුණා නම් පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. මෙහි තිබෙන තවත් ගැටලුවක් තමයි දරුවන් අතරින් ලාදුරු රෝගින් හමුවීම. මොකද දරුවන්ගෙන් තවත් දරුවන්ට ව්‍යාප්ත වීමේ හැකියාව වැඩියි. රෝගය ශරීරගත වුණාට සමහරවිට රෝග ලක්ෂණ පළ වෙන්නේ ඔවුන් වැඩිහිටියන් වු පසුව. ලාදුරු රෝගීන් අතරින් දරුවන් වාර්තා වීම ලාදුරු රෝගය පාලනය කිරීමට බලපාන්නේ ඒ විදිහටයි." යනුවෙන් ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසාද් රණවීර පැවසීය.

ලාදුරු රෝගය පිළිබඳව ඇති සමාජ දුර්මත හා වැරදි අවබෝධය දුරු කිරීමේ අරමුණින් ලාදුරු මර්දන ව්‍යාපාරය සමාජ මාධ්‍ය මෙන්ම විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළකට පිඹුරුපත් සැලසුම් කර තිබෙන්නේ එබැවිනි.

Comments