වෙඩින් ඇල්බමයටත් කලින් ලිහෙන කසාද | Page 2 | සිළුමිණ

වෙඩින් ඇල්බමයටත් කලින් ලිහෙන කසාද

- ලංකාවේ දික්කසාද වීමේ මට්ටම සියයට 18.05% යි
- අතැම් විවාහ පළමු අවුරුද්දෙන්ම දික්කසාදයෙන් කෙළවර වෙයි

ක ගෙදරක එකම ඇඳේ නිදාගෙන සිතින් කයින් වෙන්ව ජීවත්වන බොහෝමයක් පවුල් අද සමාජයේ දකින්නට ලැබේ. මින් බොහෝදෙනා අවසානයේ නවතින්නේ අධිකරණයේය. ලංකාවේ මේවනවිට දික්කසාද වීම සඳහා පැමිණෙන පිරිස් දිනකට 400 සීමාව ඉක්මවා ඇති බව දැනගන්නට ලැබේ. විවිධ ප්‍රශ්න නිසා මෙලෙස දික්කසාද වීමට පෙලඹෙන මේ අය එය එකම විසඳුම ලෙස කල්පනා කරති.

ශ්‍රී ලංකාවේ තුළ ක්‍රියාත්මක විවාහ නීතිය ඇතුළු නීති අණපනත් රැසක ආරම්භය යටත්විජිත යුගය දක්වා දිවයයි. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් මෙරට තුළ ක්‍රියාත්මක නීතියයි. උඩරට හා මුස්ලිම් පුද්ගලයන්ගේ විවාහ සහ දික්කසාද නීතිය 1952 අංක 44 උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සහ 1951 අංක 13 මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත අනුව සිදුවන්නකි. සාමාන්‍ය නීතිය යටතේ විවාහක යුවළක් දික්කසාද වීම තරමක් දීර්ඝ ක්‍රියාවලියක්වන අතර, ඒ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර විත්තිකාර පාර්ශ්වයේ ‘වරද‘ ඔප්පු කළ යුතුවේ. මේවනවිට දික්කසාද වීම අරමුණැතිව නීති උපදෙස් පතා එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ දෙනා කාන්තාවන් බව නීතීඥවරු පෙන්වා දෙති.

පසුගියදා නීතීඥවරියක වන හසාරා ගම්මන ලියනගේ මුහුණු පොතට එක්කර තිබූ වීඩියෝව හා ඒ සඳහා හේතු පාදක වූ කරුණු ගැන සිළුමිණ කළ විමසීමේදී ඇය පවසා සිටියේ “ 2014 සංඛ්‍යා ලේඛන හා වත්මන් තත්ත්වය පරික්ෂා කිරීමේදී දික්කසාද සඳහා ඉල්ලුම් කරන ප්‍රමාණය දිනකට 400 ඉක්මවා ඇති බවයි. 2014න් පසු මේ පිළිබඳව විධිමත් සංඛ්‍යා දත්ත නොමැති වුවත් තමන් විසින් දිගු කාලයක් තිස්සේ කරන ලද අධ්‍යනය අනුව ඒ බව සනාථ වන බවයි. එසේ වුවත් ලොව අනෙකුත් රටවල් සමඟ සසඳා බලනවිට ශ්‍රී ලංකාවේ දික්කසාද වීමේ මට්ටම සියයට18.05% තරම් අඩු ප්‍රතිශතයකි.

ඇය විසින් කොළඹින් පිට පළාත්වල කළ අධ්‍යයනය අනුව වයස අවුරුදු 18 -30 අතර තරුණ වයසේ පසුවන අය අතර මෙම ප්‍රවණතාවය වර්ධනය වෙමින් තිබේ. විවාහය පිළිබඳ නිසි අවබෝධයකින් හා අධ්‍යාපනයකින් තොරව ඒ සඳහා යොමුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතූ වී ඇති බවයි.

නීතීඥ හසාරා ගම්මන ලියනගේ වෙත නීති උපදෙස් පතා පැමිණි කාන්තාවක පවසා ඇත්තේ “මිස් මං කොළයක අත්සන් කළා විතරයි බැඳලා නැහැ“ කියාය. ඉන් ඇය විවාහ වීම පිළිබඳ සාමාන්‍ය අවබෝධයක්වත් නොමැති බව පෙනී යයි. අනෙක් ගැටලුව වන්නේ අත්දැකීම් නොමැති වයසේදීම එනම් තමා ජීවත්වන සමාජ වටපිටාව පිළිබඳ නිසි අවබෝධයකින් තොරව විවාහ දිවියට එළඹීමය.

වයස අවුරුදු 13 සිට සිදුවන ශාරීරික වෙනස්කම් සහ හෝමෝන ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුමක් නොමැති කමින් මේ අය වයස අවු 18 සම්පූර්ණ වූ ගමන් විවාහ වීමට පෙලඹේ. සමහරුන් ප්‍රේම සම්බන්ධයේදී ඔහු හෝ ඇය විවාහවීමට නුසුදුසු බව දැන දැනත් ඉන් ඇත් වීමට ආත්ම විශ්වාසයක් නොමැතිකම නිසාද මෙවැනි තත්ත්වයන්ට ගොදුරුවේ.

එසේ වුවත් විවිධ වධ හිංසාවලට හා පීඩාවන්ට ලක්වෙමින් එකට ජීවත් වනවාට වඩා දික්කසාද වීම යෝග්‍ය වේ. මෙනිසා දික්කසාදය නැති කිරීමට නොව ඒ සඳහා නිසි අධ්‍යාපනයක් ලබාදී පවුල් සංස්ථාව පවත්වාගෙනයෑමට උපකාර කරන ආයතන මෙරට තුළ ඇති කිරීම වැදගත් බවයි.

මේ පිළිබඳ අප සිළුමිණ සමඟ අදහස් දක්වමින් ආලෝකය පවුල් උපදේශන සංවිධානයේ මනෝවෛද්‍ය උපදේශීකා භද්‍රා උඩවත්ත පවසා සිටියේ“බොහෝ දෙනා අතර මේ තත්වය ඇතිවීමට බලපා ඇත්තේ අනෝන්‍ය අවබෝධය අඩු වීමත්, ඵලදායි ලෙස අදහස් හුවමාරු කරගැනීමේදී දක්වන මැළි කමත්, අනෙකාට ඇහුම්කන් නොදීමත්, ලිංගික සම්බන්ධතා කෙරෙහි දක්වන මැළිකමත්ය.

සතුට, ආදරණීය බව, නිවසේ ඇති සැහැල්ලුව ආදී දෑ වර්ධනය කර ගැනීම සඳහා පෙලඹිය යුත්තේ ඔවුන් දෙදෙනාය. එය බාහිරින් කළ හැකි දෙයක් නොවේ. මේ සමාජයේ ජීවත් වීමෙදී විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ. එවැනි අවස්ථාවලදී ගැටුම් ඇතිවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. නමුත් එවැනි තත්ත්වයකදී ඒ ගැටලු දෙදෙනාගේ පැවැත්මට ප්‍රශ්නයක් කර නොගෙන ඒ සඳහා එක්ව විසඳුම් සෙවීම කළ යුතුය. නැතිනම් එය දික්කසාදය දක්වා දුරදිග යන ගැටලුවක් බවට පරිවර්තනය වන බවයි.

මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමෙදී නියෝජ්‍ය පොලිස්පතිනි ළමා හා කාන්තා රේණුකා ජයසුන්දර පෙන්වා දෙන්නේ “ වර්තම­ානයේ ලැබෙන පැමිණිලි අනුව දික්කසාද වීමට අනියම් සම්බන්ධතා ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. ඔවුනොවුන් අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම විශ්වාසය නොමැතිකම මේ සඳහා හේතු වී තිබේ. අන්‍යෝන්‍ය ඇතැම් අවස්ථාවල විශ්වාසය පළුදු කර ඇතැයි යන සැකය නිසා ඇති වූ ඒවාය. අනෙක් අතට අසම්මත ලිංගික ක්‍රියා නිසා සිදුවන හිංසනයද මේ සඳහා බලපා ඇත.

අන්තර්ජාලය මඟින් එවැනි අසම්මත ලිංගික ක්‍රියා නැරඹීමෙන් මේ සඳහා ඔවුන් පෙලඹී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එසේම මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ලිංගික බෙලහීනතාවය නිසාද පවුල් ජීවිතය අර්බුදයට ගිය අවස්ථා අප දැක තිබේ.

විශේෂයෙන්ම අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙදී එහි විවිධ අවස්ථා අනුව ප්‍රචණ්ඩකාරී ස්වභාවය වර්ධනය වීම නිසා දික්කසාද වීම් වර්ධනය වී තිබේ. මින් 99% පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන්ය.

අනෙක් අතට නව යොවුන් වියේ පසුවන්නන් අතර ආදරය පිළිබඳ සංකල්පය වෙනස් අර්ථ ගැන්වීම්වලට ලක්ව නිදහස් ලිංගික සම්බන්ධතා කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම නිසාද නව තත්ත්වයන් නිර්මාණය වී ඇති බවයි. ස්ත්‍රීන් මාරුකර ගැනීම, සමූහ වශයෙන් එකතුවීම වැනි පැති ගණනාවක් ඔස්සේ මේ සම්බන්ධතා ගමන් කර තිබෙන අයුරු දැකගත හැකිය.

තාක්ෂණයේ දියුණුවත් සමඟ ලිංගික ක්‍රියා සඳහා ස්ත්‍රියක හෝ පුරුෂයකු අපේක්ෂා කරනු වෙනුවට විවිධ උපකරණ ආදේශ වී ඇත. මෙනිසා ඇතැමුන් ශාරීරික සම්බන්ධතාවලින් තොර මනසිකව තෘප්තිමත් වීමට පෙලඹී සිටින අතර එවැනි වෙනස් වෙනස් තත්ත්වයන් තුළ ආදරය විවාහය අපේක්ෂා නොකරන පරම්පරාවක් බිහිවීමේ ප්‍රවණතාවයක්ද පවතින බව ඇය පෙන්වාදෙයි.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්තාංජලී මාපිටිගම සිළුමිණ කළ විමසීමේදී පවසා සිටියේ “ ලොව ඉතා සුන්දර හැඟීමක් වන ආදරය නිසා කිසිදා නොදන්නා දෙදෙනකු එක්වීමට පෙරුම්පිරූවත් ඔවුන් අතර පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති කම නිසා විවාහ වී ඉතා අඩු කාලයකින් දික්කසාද විය හැකි බවයි. එහිදී ඔවුන් වැඩි අවදානයක් යොමු කරන්නේ විවාහ උත්සවය කෙසේ අලංකාරව සිදුකළ යුතුද යන්න මිස ඔවුනොවුන් අතර පවතින අවබෝධය දැනුම්වත්භාවය විවාහය සඳහා කෙතරම් ශක්තිමත්ද යන්න මත නොවන බවයි. විවාහ දිවියට පත් වන්නේ නම් ඔවුනොවුන් තෙරුම් ගැනීම, අනෙකාට ගෞරව කිරීම, බෙදාහදා ගැනීම, සොයා බැලීම, ඇහුම්කන්දීම, යම් යම් අවස්ථාවලදී අනෙකා ඉවසීම ආදී කාරණා පිළිබඳව අවබෝධයක් නොමැතිව විවාහ වීම දික්කසාද වැඩිවීමට හේතු වී ඇති බවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීර

“දැනට සිදු කර තිබෙන අධ්‍යයනයන් අනුව පෙනී යන්නේ බොහෝ දෙනා දික්කසාද වන්නේ විවාහ වී කල් ගතවූ පසුව නොව පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ බවයි. දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය නැතිනම් මානව අන්තර් ක්‍රියා පවත්වාගෙන යන්නේ කෙසේද යන්න මත මෙහි පැවැත්ම තීරණය වන බවයි. සමාජ විද්‍යාත්මකව බැලීමේදී අප ජීවත්වන සමාජය පාරිභෝජන සමාජයක් ලෙස හඳුනා ගත හැකි අතර නිරන්තරයෙන් පුද්ගලයා යන්න උත්කර්ෂයට නංවයි. සමාජ විද්‍යාඥයකු වන සිග්මන්ට් බූමාන් (Zygmunt Bauman) පෙන්වාදෙන ආකාරයට අප ජීවත්වන මේ ලෝකය තවදුරටත් නූතන හෝ පශ්චාත් නූතන අර්ථයන්ගෙන් හඳුනා ගැනීමට වඩා ‘හොඳින් දියාරූ නූතනත්වයක්(liquid modernity)‘ ලෙස හඳුනා ගැනීම තාර්කික බවයි. පුද්ගලයකුට පවුල, ආගම, ජාතිය වැනි ව්‍යූහ තුළ තවදුරටත් ස්ථාවරව පැවතිය නොහැකිය. මන්දයත් පාරිභෝජන ආශාවන් වෙන්වෙන මාර්ගවලින් අපව ආමන්ත්‍රණය කරන අතර ඊට ප්‍රතිචාර වශයෙන් පුද්ගල අනන්‍යතාව බිඳී යයි. එනම් අනන්‍යතා අර්බුදයකට ලක්වේ.

එවිට පවුල නම් ව්‍යූහය තුළට මේ අනන්‍යතා අර්බුදයට ලක් වූ පුද්ගලයා ගමන් කළ විට ගැටුම ආරම්භ වේ. මේ නිසා පවුල නැමැති ව්‍යූහය තවදුරටත් පවත්වගෙන යාමට නොහැකි තත්වයක් උදාවන බවයි.

Comments