අම්පාරේදී පොලිස් ඇසට හසුවූ ‘කුඩ්ඩෝ’ | සිළුමිණ

අම්පාරේදී පොලිස් ඇසට හසුවූ ‘කුඩ්ඩෝ’

 

මත්කුඩු ජාවාරම් සිදු කරන කල්ලි කණ්ඩායම් රටපුරා සිටිති. මෙරට විවිධ පළාත්වලට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් ජාවාරම්කරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරති. ඒ සඳහා විවිධ පුද්ගලයින් විවිධ දුරකතන සහ විවිධ භාෂා විලාසයන් භාවිත කරන බව රහසක් නොවේ.

මෙරට සෙසු පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේද තරුණයන්ගෙන් යම් ප්‍රමාණයක් මත්කුඩුවලට ඇබ්බහි වී සිටිති. විවිධ මාර්ගවලින් මත්ද්‍රව්‍ය සොයා ගන්නට ඔවුන් පෙලඹි ඇත.

අම්පාර දිසාවේ සිදු කැරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යටතේ පවත්වාගෙන යන කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස හඹා යන්නේ ඔවුන් දුටු තැන අල්ලා ගැනීම සඳහාය.

අම්පාර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. එම්. උදයාපාලය. ඉකුත් 07 වැනි දින ඔහු ඉඟිණියාගල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දැනට අම්පාර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන්නේ පොලිස් පරීක්ෂක සම්පත් මහතාය.

අම්පාර දිස්ත්‍රික්කය පුරා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස දිනපතාම හඹා යන කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරින්ට රාජකාරිවලින් අඩුවක්නම් නොමැත. අම්පාර කොට්ඨාස දුෂණ මර්දන අංශයේම කොටසක් වන විෂ මත්ද්‍රව්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චතුරංග අධිකාරි ඇතුළු නිලධාරින් 09 දෙනෙකු පසුගියදා උහන ප්‍රදේශයේ රාජකාරි කටයුත්තකට යමින් සිටියේය.

මේ නිලධාරින් ගමන් ගත් ජීප් රථය අම්පාර පොලිස් ස්ථානයෙන් පිටත්ව උහන බලා ගමන් ඇරඹිය. ජීප් රථයේ ඉදිරිපස උපපොලිස් පරීක්ෂක චතුරංග අධිකාරී සහ රියදුරු රුවන් විය. අම්පාර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම් හල අසලින් ජීප් රථය ධාවනය වන අවස්ථාවේ මාර්ගයේ වම්පසට වෙන්නට නවීන පන්නයේ කාරයක් නවතා තිබු අතර පොලිස් ජීප් රථය එය පසු කරනවාත් සමඟම එහි සිටි අය කලබලයෙන් මෙන් වාහනයේ වීදුරු වසා ගන්නා ආකාරය උපපොලිස් පරීක්ෂක චතුරංග අධිකාරිගේ උකුසු ඇසට හසුවු අතර ඔහු වහාම ජීප් රථය නතර කරන ලෙසට රියදුරු රුවන්ට උපදෙස් දුන්නේය.

පසුව උප පරීක්ෂක අධිකාරි ඇතුළු පිරිස කාරය අසලට ගොස් එහි සිටි අයගෙන් ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය ගැන විමසමිනි. තමන් කොළඹ සිට අම්පාරට යාළුවෙක් හමුවීම සඳහා පැමිණි බවත් ඉන්ධන ලබා ගැනීමට තවත් මිතුරකු පැමිණෙනතුරු බලා සිටින බව එහි සිටි අයද පොලිස් නිලධරයන්ට පවසන්නේ ඒ ඇසිල්ලේමය.

නමුත් මේ වාහනයේ සිටින තිදෙනා ‘යම් බියකින්‘ පසුවන බව උපපොලිස් පරීක්ෂක චතුරංග අධිකාරිට තේරුම් ගැනීමට හැකි වන්නේ ඔවුන්ගේ හැසිරීම නිසාය. පසුව මේ තිදෙනාට මාංචු දමා ඔවුන්ගේ සාක්කු පරික්ෂා කළ පොලිස් නිලධාරින්ට හෙරොයින්, අයිස් සහ කේරල ගංජා යම් ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. මේ තිදෙනා සතුව හෙරොයින් ග්‍රැම් 17 ක් , අයිස් ග්‍රෑම් 9 මිලි ග්‍රෑම් 500 ,කේරල ගංජා ග්‍රෑම් 13 මිලි ග්‍රෑම් 500 ක් සොයා ගැනීමට හැකි විය.

සැකකරුවන් තිදෙනා අම්පාර පොලිස් ස්ථානයේ දුෂණ මර්දන ඒකකයට රැගෙනවිත් ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.

වාහනයේ සිටි තිදෙනාගෙන් දෙදෙනෙක් පන්නිපිටියේ පදිංචිකරුවෝය. අනෙක් තැනැත්තා තලවතුගොඩ පදිංචිකරුවෙකි. මේ සැකකරුවන් තිදෙනා කොළඹ සිට අම්පාරට අවස්ථා තුනකදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව පසුව හෙළි විය. මේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේ ‘ජොනී‘ නමැති පුද්ගලයාය. ඔහු පන්නිපිටියේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් තිදෙනා අම්පාර දිස්ත්‍රික්කයේ හෙරොයින් ජාවාරම්කාරයින් තිදෙනෙක් තමන් වෙත පැමිණෙනතුරු මෙම ඉන්ධන පිරවුම් හල අසල සිටි අතර නමුත් ඊට පෙර උපපොලිස් පරීක්ෂක චතුරංග අධිකාරිගේ උකුසු ඇසට මොවුන් හසුවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය.

පොලිසිය සැකකරුවන්ගෙන් මෙතෙක් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අම්පාර දිස්ත්‍රික්කයේ ජාවාරම්කරුවන් කීපදෙනෙකුගේ තොරතුරු අනාවරණය වී ඇති අතර එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කීපයක් යොදා තිබේ. මේ වන විට එම ජාවාරම්කරුවන් සිය අඹු දරුවන්ද සමඟ සැඟවි සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණ නියෝගයකින් දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කැරිණි. පසුව අම්පාර වැඩබලන මහේස්ත්‍රාත් ඒ.යු.පී.උක්වත්ත වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

නැ‍ෙඟනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රි දමින්ද අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.සෙනෙවිරත්නගේ උපදෙස් මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ ඍජු අධික්ෂණය යටතේ පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්ගේ මෙහෙයවීමෙන්, කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් සම්පත්, විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග අධිකාරි, සැරයන්වරුන් වන 31362 තිලකරත්න, .39922 සුබසිංහ, කොස්තාපල්වරුන් වන 69262 සමන්ත, පො.කො.70346 නිලන්ත, පො.කො.70301 සෙනෙවිරත්න, 70607කීර්ති, 31465 මැණික්පුර, 29404 විජේවර්ධන, කොස්තාපල් රියැදුරු රුවන් යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 
 

Comments