උතුවන්කන්දෙන් වැටුණු විරශ්මි ගමක් හඬවා අවසන් ගමනේ | සිළුමිණ

උතුවන්කන්දෙන් වැටුණු විරශ්මි ගමක් හඬවා අවසන් ගමනේ

 

 ඇය පේරාදෙණිය කෘෂි පීඨයේ ශිෂ්‍ය උපදේශිකාවක්

 උතුවන්කන්ද තරණය කරන අතරේ සරදියෙල් ගලෙන් පය ලිස්සා අඩි 300ක ප්‍රපාතයකට වැටිලා

 

මවුපියන් තම ලෙයින් මසින් දරුවන් හදා වඩා පෝෂණය ලබාදී ලොකු මහත්කර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ දරුවන් තමන්ට වඩා සමාජයේ ඉහළින් සිටිනු දැකීම තම ලොකුම බලාපොරොත්තුව සහ අපේක්ෂාව වන බැවිනි.

එහෙත් එවන් අපේක්ෂා සහ බලාපොරොත්තු පොදි බැඳගෙන තමන් හැදූ වැඩූ තම දූ දරුවන් අකාලයේ මරු වසඟයට යනවා නම් ඒ මවුපියන් දරුදුක කෙසේ දරා ගන්නවාදැයි කිසිවකුට සිතාගන්නටවත් බැරිය. කෙසේ නමුත් ඇල්පිටිය මහජන මාවතේ මඟුරුකඩුව ප්‍රදේශයේ පදිංචි සුනිල් කුමාර කොඩිතුවක්කුටත්, ලතා ගමගේටත් අද එසේ එවන් වේදනාවක් දරාගන්නට සිදුව ඇත්තේ තම එකම දියණියගේ අකල් වියෝව නිසාය.

සුනිල් කොඩිතුවක්කු කලක් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේද සේවය කළ අතර ඔහු අවසන් වරට සේවය කෙළේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිලධාරියෙකු ලෙසය. ඔහු මීට වසර කිහිපයකට පෙර විශ්‍රාම ලබා දැනට 65 වියේ පසුවෙයි. සුනිල්ගේ බිරිය වන ලතා ගමගේ 58 වන වියේ පසුවන්නීය. ඇය වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට ‍අයත් යගිරල පෙර පාසල් පාලිකාව ලෙස සේවය කරමින් සිටින්නීය.

මේ දෙපළගේ එකම දරුවා දැනට 27 හැවිරිදි වියේ පසුවන විරශ්මි නිර්මාණී කොඩිතුවක්කු දියණියයි.

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය එම විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක වූවාය. එම විද්‍යාලයේදී විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි විරශ්මි එම විභාගයෙන් ඒ සාමර්ථ 09ක් ලබාගනිමින් ඉතා උසස් ලෙස විභාගය සමත්වූවාය. ඉන් පසුව කෘෂි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරු විරශ්මි උසස් පෙළ විභාගයට පෙනී සිටි ප්‍රථම වතාවේදීම ඒ සාමර්ථයක් සහ බී සාමර්ථ දෙකක් ලබාගනිමින් එම විභාගයද සමත් වූවාය. ඒ අනුව ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත්ව උපාධිය හදාරන්නේ එම සරසවියේ කෘෂිකර්ම පීඨයේ 14 වසර කණ්ඩායමේ ශිෂ්‍යාවක් ලෙසිනි.

ඇය උසස් පෙළ විභාගයට දෙවන වරටද ඉදිරිපත්ව සිටි අතර ඉන් ඒ සාමර්ථ දෙකක් හා බී සාමර්ථයක් ලබා ඇතත් ඒ වන විට ඇය තෝරාගෙන සිටි කෘෂි විද්‍යා පීඨයේම ඇය අධ්‍යාපනය හැදෑරුවාය.

ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වූ විරශ්මි උපාධිය ලබා ගැනීමෙන් පසු එම විශ්ව විද්‍යාලයේම සහකාර උපදේශිකාවක් ලෙස සේවය කළාය.

විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ඇය වඩාත් ජනප්‍රියව සිටියේ "මැක්කි " නැත්නම් "මැක්ස් "යන ආදරණීය නාමයෙනි.

ඒ බව ඇය ගැන විශ්ව විද්‍යාලයේ මිතුරෙකු සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක මෙසේ සටහන් විය.

"මට ඇගේ නම විරශ්මි කොඩිතුවක්කු කියන එක මතක් වෙන්නෙම නැති තරම්. මතක් වෙන්නෙ එයාට විශ්ව විද්‍යාලයෙන් දුන්න කාඩ් එක 'මැක්කි' නැත්නම් ආදරේට මැක්ස් කියන එකයි."

පේරාදෙණියේ පීඨ නමයක සහෝදර සහෝදරියන් එකම තැනකට එකතුවෙලා විශ්ව විද්‍යාලයේ මානසික සෞඛ්‍ය වර්ධනය කරවීමේ අදහසින් සංගමයක් හදාගෙන ඇත. එහි පළමු කාරක සභා සාමාජිකාවක් වූ විරශ්මි එම සංගමයේ ජේෂ්‍යඨත්වය සහ ඊට කළ කැපවීම නිසා පසුව එහි උප සභාපති ධූරය සඳහා තේරි පත්වූවාය.

එම සංගමය විසින් මනෝ උපදේශන සහ නායකත්ව වැඩමුළු ,මත්ද්‍රව්‍ය නිවාරණ, වැඩමුළු පවත්වා ඇති අතර ඒ සෑම වැඩසටහනකදීම විරශ්මි ඉතා කැපවීමෙන් කටයුතු කළාය.

විශ්ව විද්‍යලය තුළ "එක්ස්ප්ලෝරා "නමින් කඳු නගින්නන්ගේ සංගමයක්ද පිහිටුවාගෙන ඇති අතර එම සංගමයේ විවිධ තනතුරු හෙබවූ ඇය ඒ කටයුතුවලින් ජීවිතය වින්දා මෙන්ම අම්මා තාත්තාගේ සිහින මල්ඵල ගන්වමින් නිදහසේ ජීවත්වුණ බව ඇගේ මිතුරු මිතුරියන්ගේ අදහසයි.

විරශ්මි ඉකුත් ඉරිදා නොසිතූ අයුරින් සිය ජීවිතයෙන් සමුගන්නේ එම සංගමයේ සිසු සිසුවියන් 58 ක කණ්ඩායමක් සමග මාවනැල්ල උතුවන්කන්ද තරණය කරමින් සිටියදීය.

එම කන්ද තරණය කිරීමට යොදා තිබූ කඹයක ආධාරයෙන් අනෙක් පිරිස කන්ද තරණය කර ඇති අතර විශ්මි පාගමනින් ඉතා දුෂ්කරවූ මාර්ගයකින් කන්ද තරණය කරමින් සිටියදී පය ලිස්සා යාමෙන් අඩි 300 ක් පමණවූ ප්‍රපාතයකට වැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූවාය.

උතුවන්කන්දේ සරදියෙල් ගල නමැති ස්ථානයට කඹයක ආධාරයෙන් පිරිසක් ගොඩවී ඇති අතර විරශ්මි කඹයේ ආධාරය නොමැතිව තවත් අයකු සමඟ එම පුද්ගලයාගේ සහාය ද ලබා ගනිමින් කන්ද තරණය කළත් එහිදී මේ අනතුර සිදුවී ඇත්තේ ඇගේ පය ලිස්සා අඩි 250 - 300 අතර ප්‍රපාතයකට ඇය ඇද වැටීම නිසාය.

ප්‍රපාතයට ඇද වැටීම නිසා බරපතළ තුවාල ලද විරශ්මි සුවසැරිය ගිලන් රථයෙන් රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියාය.

ඇගේ සිරුර ගෙන ගොස් තිබුණේ මාවනැල්ල රෝහලටය.

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි, පොලිස් පරීක්ෂකවරුන් වන නිහාල් කුමාරතුංග, සංජීව බණ්ඩාර ඇතුළු නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරති.

විශ්මිගේ දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය මාවනැල්ල රෝහලේදි පැවැත්වූයේ 22 වැනිදාය.

ඇය මිය ගොස් ඇත්තේ මොළයට ලේ වහනය විමෙන් බව මාවනැල්ල මහ රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදි තහවුරු විය.

මෙම මරණ පරික්ෂණය සිදු කරන ලද්දේ මාවනැල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රංගන ගුණවර්ධන විසිනි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන මාවනැල්ල පොලිසියේ සැරයන් විපුල ( 28478 ) පැවසුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 59 ක යුත් කණ්ඩායමක් වාර්ෂිකව සිදු කරන සංචාරමය කටයුත්තක් සහ ගවේෂණ චාරිකාවක් වෙනුවෙන් 'සරදියල් ගල' තරණය තෝරා ගෙන එහි පැමිණි අතරවාරයේ මෙම අවාසනාවන්ත සිදු විම සිදු වු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එය සිදු වු දා සිටම පරික්ෂණ සිදු කරමින් පවතින බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය. ඒ සඳහා සිද්ධිය ඇසින් දුටු සහ ගම්වාසීන්ගෙන් මේ වන විට විස්තර ලබා ගත් බවද පවසයි.

පේරාදෙණියේ සිට මගී බස්රථවලින් උදෑසන 8 ට පමණ පැමිණ ඇති ඔවුන් මාවනැල්ල උතුවන්කන්ද ඔර්ලෝසු කණුව අසලින් බැස එතැන් සිට කිලෝමිටර් එකහමාරක් පමණ දුරින් පිහිටා ඇති සරදියල් ගල නැගීමට ගොස් ඇත.

බිම් මට්ටමේ සිට අඩි 1400 ක් පමණ උසකින් පිහිටා ඇති මෙම ගල් පර්වතය මුදුනට නැගිම තරමක් අපහසු වන්නේ එහි ඉහළ කොටසේ ඇති බැවුම් සහ කෙළින් පිහිටා ඇති ගල් කුට්ටි මතින් කන්ද තරණය කර ඉහළ කොටසකට ළඟා විම තරමක් අපහසු කටයුත්තක් වන නිසාය. සමහර ස්ථාන වලින් ලණු යොදා පර්වතයට නැගිම මෙම කණ්ඩායම විසින් සිදු කර ඇති අතර විරශ්මි ලණු වලින් එල්ලි උඩට නැගිම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇගේ අතේ ඇති යම් අපහසුතාවයක් හේතුවෙනි.

බොහෝ දෙනෙකු කන්ද මතට ක්‍රමයෙන් ළඟා වෙද්දි විරශ්මි කන්ද මතට නැගීමට සාමන්‍යයෙන් කඳු මුදුනට යන අනිත් ප්‍රවේශ මාර්ගය යොදාගත් අතර එය තරමක් අපහසු මාර්ගයක් වුවත් එම මාර්ගයේ අමාරුම කොටසින් ඇය ඒ වන විටත් කන්දේ ඉහළ කොටසට ළඟාවෙමින් සිටියාය. විරශ්මිට ඉදිරිපසින් ගමන් කර ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වන එච්.ජී. ප්‍රබෝද් තරංග යන අයයි. පොලිසිය හමුවේ ඔහු මෙම සිදු වීම සම්බන්ධයෙන් විස්තර කර ඇත්තේ මෙවැන්නකි.

"විරශ්මි අක්කා කන්දේ අමාරුම කොටස නැඟලා හිටියේ. මල්ලී දැන්නම් අමාරුවක් නැහැ කියලා මට පිටුපසින් ආපු නිසා මමත් කන්ද දෙසට ළඟාවෙමින් සිටියා. එක්වරම ශබ්දයක් ඇසුණා. හැරිලා බලනකොට මම දැක්කා ඇය පහතට රූටාගෙන වැටෙනවා. පොඩි වේලාවයි ගත වුණේ ඇය පහළටම වැටුණා. අපේ අනිත් අයට කෑ ගහලා කිවා. කරගන්න දෙයක් නැති වේලාවේ 1990 ගිලන් රථ සේවයට කොල් එකක් දුන්නා. ඉන් පස්සේ ප්‍රපාතයේ සිටි ඇයව රෝහලට අරගෙන ආවත් ඇයව බේරාගැනීමට නොහැකි වුණා."

22 වැනි දින දහවල් සිද්ධිය වු ස්ථානයේ ස්ථාන පරික්ෂාව මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ඩබ්.ඒ.එන්. ජයනාත් මහතා විසින් සිදු කරන ලදි. එම අවස්ථාවට මාවනැල්ල පොලිසියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන නිලධාරී කණ්ඩායමද එක් විය.

 

Comments