කඩුවෙල පාර මැද්දේ පාතාල යුද්දේ | Page 2 | සිළුමිණ

කඩුවෙල පාර මැද්දේ පාතාල යුද්දේ

 

විමර්ශන කඩුවෙල පොලිසියෙන්

මත්කුඩු ප්‍රතිවාදියා මහමඟ මරන්න ගිය කල්ලියේ 3ක් වෙඩි තබා අල්ලයි
 

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ජාවාරම්වල නිරත වන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හරිහම්බ කර ගැනීම සඳහාය. මේ හේතුව නිසාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර අද ඇත්තේ තරගයකි. ඒ තමන් සතු හෙරොයින්, අයිස්, කේරල ගංජා ගැනුම්කරුවන්ට තොග සහ සිල්ලර වශයෙන් අලෙවි කර ගැනීමටය. මේ හේතුව නිසා මත් ජාවාරමුන් අතර මේ වනවිට ඇතිවී තිබෙන්නේ ද බල අරගලයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය යුතු පිරිසකට ජීවිතයෙන් ද සමුගැනීමට සිදුවී ඇත.

දින හැට තුනකදී පුද්ගලයන් විසිතුන් දෙනෙකුට දිවි අහිමි වන්නේ මේ මත් ජාවාරම සහ පාතාලයේ බල අරගලය නිසාය. ඒ එකෙකු අබිබවා අනෙකා නැඟී සිටීමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසය.

ඩුබායිහී විසූ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා පාණදුරේ කුඩු සලිඳු සහ නමගිය අපරාධකරුවකු වන ගණේමුල්ලේ සංජීව එරට සිට මෙරට සිටින තම ගෝල බාලයන් ලවා තම විරුද්ධවාදීන් ඝාතනය කරවන්නේ මත්කුඩු සහ පාතාලයේ කිරුළ ආරක්ෂා කරගැනීම සඳහාය. කෙටියෙන් කිවහොත් තමන්ගේ ජාවාරම් නිරුපද්‍රිතව සිදුකරගෙන යාම සඳහාය. පොලිස් වාර්තාවලට අනුව ඩුබායිහී අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා එරට සිට මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා සිදුකරවන ලද මනුෂ්‍ය ඝාතන ගණන 26කි. ගනේමුල්ලේ සංජීව හෙවත් මාකිලංගමුවේ සංජීවටත් අඩුවැඩි වශයෙන් මනුෂ්‍ය ඝාතන ඇතළු අපරාධ චෝදනා ඇත.‍

විදේශගතව සිටිමින් මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරවන ප්‍රබල ජාවාරම්කරුවන්ගේ මෙරට සිටින ගෝලබාලයන් ද එක පොදියට ගහ මරා ගැනීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇත. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් නිසාය. එවැනි සිදුවීම් ගණනාවක් පසුගිය දින කීපයේදී වාර්තා විය. කඩුවෙලදී පසුගියදා සිදුවූ සිද්ධියත් එවැන්නකි. කඩුවෙල ප්‍රදේශය ද පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශේෂයෙන් ගැවසෙන තැනක් බවට පත්වී ඇත්තේ අද ඊයෙක සිට නොවේ. කඩුවෙල යැයි කියූ පමණින් පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ගම් ගණනාවක් බොහෝ දෙනෙකුගේ මතකයට නැඟෙන්නේ නිරායාසයෙනි. සමයං, ඉන්දා, ඌරුජුවා ඇතුළු පාතාලයේ එකී නොකී විශාල පිරිසක් ගැවසුණු කඩුවෙල අද එම පාතාලයන් මෙලොවින් චුත වී ඇතත් ඔවුන්ගේ ගෝලබාලයන් යහතින් වැජඹෙන සිය ජාවාරම් නිරුපද්‍රිතව සිදුකරගෙන යන ප්‍රදේශයක් බවට පත්වී ඇත.

කලක් නවගමුව පොලිස් වසමට අයත්ව තිබුණු කඩුවෙල ප්‍රදේශයේ අලුතින් පොලිස් ස්ථානයක් ස්ථාපිත කර එතරම් කාලයක් නැත. එහි වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහයි.

ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ගන්නා උත්සාහය අතිමහත්ය.

කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ ඇතුළු කණ්ඩායම පසුගිය දිනෙක සවස කඩුවෙල රන්කඩුපත්තිනි දේවාලයට යන්නේ එම දේවාලයේ දේව ප්‍රතිමා උත්සවය පෙරහර සඳහා ආරක්ෂාව සැපයීම පිණිසය.

පෙරහරේ කටයුතු නිම වීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම නැවත පොලිස් ස්ථානයට පැමිණෙන්නේ එම පොලිස් ස්ථානයට අයත් රේඩියෝ කාරයෙනි. ඒ එන අතරේ රෑ බෝවී තිබිණි.

පොලිස් කණ්ඩායම රැගත් 'රේඩියෝ කාරය' කඩුවෙල නගරයට ළඟා වෙද්දී පොලිස් ස්ථානාධිපතිවරයා දකින්නේ සුඛෝපභෝගී ජීප් රථයකින් බැසගත් පිරිසක් කඩු සහ මන්නා අතැතිව ඉදිරියට ගමන්කරන ආකාරයයි. ඒ කඩුවෙල නගරයේ ඉන්ධන පිරවුම්හල අසලය.

මෙසේ කඩු සහ මන්නා අතැතිව ගමන් කළ පිරිස තිදෙනෙකි.

ඒ මොහොතේම පොලිස් 'රේඩියෝ කාරය' දුටු එම පුද්ගලයින් වහාම දුවගෙන විත් සුඛෝපභෝගී ජීප් රථයට ගොඩවනු පොලිස් ස්ථානාධිපති ඛාන් වීරසිංහ නිරීක්ෂණය කරන්නේ ක්ෂණයකිනි.

මේ තිදෙනා කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා සුඛෝපභෝගී ජීප් රථයෙන් කඩුවෙල නගරයට පැමිණ ඇති බව වටහා ගන්නා පොලිස් පරීක්ෂකවරයා රේඩියෝ කාරයෙන් බැස එදෙසට පිස්තෝලය එල්ල කර ජීප් රථය නවතන ලෙස නියෝග කළත් ක්ෂණයකින් ජීප් රථය ධාවනය වෙද්දී ඒ පසුපස හඹා යන ලෙස පොලිස් රියදුරුට පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කරන්නේ තත්පර කීපයක් ඇතුළතදීය.

පලා යන ජීප් රථය පසුපස පොලිස් රේඩියෝ කාරය හඹා යන්නේ ඉන් අනතුරුවය.

එලෙස පලා යන සුඛෝපභෝගී ජීප් රථයේ ටයර්වලට පිට පිට වෙඩි පහර එල්ල කැරෙන්නේ ඉන් පසුවය. එම වෙඩි පහර ජීප් රථයේ වම්පස ටයරයට වැදී තිබිණි.

පොලිස් වෙඩි කාගෙනම මීටර 800ක් පමණ ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථය අතුරු මාර්ගයකට ඇතුළු කිරීමෙන් අනතුරුව එහි සිටි පිරිස ඉන් බැස පලා යන්නේ පොලිසියෙන් බේරීම සඳහාය. එලෙස පලා යන පිරිස පසුපස හඹා ගිය පොලිස් නිලධාරින් ඉන් තිදෙනකු අත්අඩංගුවට ගන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය.

එම පුද්ගලයන් තිදෙනාගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ ඔවුන් කඩුවෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ගමන් කරමින් සිටි බවකි.

එම මත්කුඩු ජාවාරම්කරු කඩුවෙල නගරයේදී මෝටර් බයිසිකලයකින් පැමිණෙනු දුටු මේ 'කඩු කල්ලිය' ඔහු ඝාතනය කිරීමේ අරමුණින් ජීප් රියෙන් බැස්සත් පොලිස් නිලධාරින් දුටු නිසා පලා ගිය බව විමර්ශනවලදී හෙළිවිය.

සැකකරුවන් සතුව තිබුණු වක් පිහියක්, කඩු තුනක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකිවිය. මේ තිදෙනාම කඩුවෙල සහ රණාල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 26 - 38 අතර වයස්වල පසුවන අය වෙති. මේ අතරින් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය චෝදනා මත කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හරිනු ලැබ සිටින අය වෙති.

පලාගිය පුද්ගලයන් සොයා විමර්ශන සිදුකැරේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගාරගත කරනු ලැබ සිටිති.

නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.පී.එස් ජයමහ සහ සහකාර පොලිස් අධිකාරි චාමික අරවින්ද අබේසිරි ගුණවර්ධනගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ, කොස්තාපල්වරුන් වන (72619) තුෂාර (84118) අභයකෝන් (99029) බණ්ඩාර (93863) බණ්ඩාර (97127) තිළිණ යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරති.

 

ඡායාරූප - චමින්ද නිරෝෂණ

 

 

Comments