
අපි ඔහුට නසිර් යැයි කියමු. ඔහු පදික වෙළෙන්දෙකි. හෙතෙම හොර භාණ්ඩ විකිණීමේ ජාවාරම්වලටද සම්බන්ධව සිටියේය. ඔහු තැරැව්කරුවන් කිහිප දෙනෙකු යොදාගෙන මෙම ජාවාරම ජයටම සිදුකරගෙන ගියේය. ඒ පමණක් නොව නසිර් මත්කුඩු ජාවාරමටද සම්බන්ධව සිටියේය. ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු විසින් නසීර්ට මත්කුඩු ගෙනවිත් දෙන අතර ඔහු ඉතා සුක්ෂම ලෙස මත්කුඩු ප්‍රදේශය පුරා තම තැරව්කරුවන් මඟින් බෙදාහැරීමට කටයුතු කළේය. මත්කුඩු ජාවාරම නසිර් විසින් කෙතරම් සූක්ෂම ලෙස කරගෙන ගියේ ද යත් ඔහුගේ මිතුරන් කීප දෙනෙකු හැර පවුලේ අය පවා මෙම ජාවාරම ගැන දැනගෙන සිටියේ නැත.
නසිර් අවිවාහකයෙකි. ඔහු මෙම ජවාරම් සඳහා උදෑසනින්ම නිවසින් පිටව යාමට පුරුදුව සිටියේය. එක් දිනක පදික වෙෙළඳාම සඳහා නිවසින් පිටව ගිය නසිර් රෑ බෝවන තුරුම නිවසට පැමිණියේ නැත. පවුලේ අයද නසිර් එන තෙක් මඟබලාගෙන සිටියෝය. මේ අතර නසිර්ගේ මිතුරන් පිරිසක් නසිර්ගේ නිවසට පැමිණියහ.
“නසිර් එදා අපිත් සමඟ බිස්නස් කළා. ටිකක් රෑ වෙනකම් එදා වෙෙළදාම් කළා. තේ බොන්න කඩේට යනකොට නසිර් වෑන් රථයක හැපුණා. නසිර් ඉස්පිරිතාලෙට ගෙනිච්චත් එයාගේ ජීවිතේ බේරාගන්න බැරිවුණා“ යැයි නසිර්ගේ මිතුරෝ ඔහුගේ පවුලේ අයට කීහ. පවුලේ අයද නසිර්ගේ මිතුරන් කියු කථාව පිළිගත්හ. නසිර්ගේ හදිසි මරණ පරික්ෂණය පවත්වනු ලැබුවේ ග්‍රාමිය රෝහලකය.
“නසිර් පාර අයිනෙන් ගියේ. වේගෙන් ආපු වෑන් එකක පැති කණ්ණාඩියේ නසිර්ගේ ඔළුව වැදුණා. එයා ඒ සමඟ විසිවෙලා ගිහින් වැටුණා“ යැයි නසිර්ගේ සමීපතම මිතුරෙකු හදිසි මරණ පරික්ෂණයේදි සාක්ෂි දෙමින් එසේ කීවේය.
නසිර්ගේ පවුලේ අයට ද ඔහුගේ මරණය ගැන කිසිම සැකයක් ඇතිවි තිබුණේ නැත. මක්නිසාදයත් නසිර්ගේ මිතුරන් ගැන පවුලේ අයට කිසිදුම සැකයක් තිබුණේ නැත. නසිර්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරනු ලැබුවේ ග්‍රාමිය රෝහලකය. ඒ වැඩබලන අධිකරණ වෛද්‍යවරයකු විසිනි. මළසිරුර එක්ස්රේ පරික්ෂණයකට ලක්කිරීම සඳහා අවශ්‍ය පහසුකම්ද එම රෝහලේ නොතිබිණි. පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු වැඩබලන අධිකරණ වෛද්‍යවරයා නසිර්ගේ මොළයට සහ හිස්කබලට සිදු වු බරපතළ තුවාල නිසා මරණය වී ඇති බවට නිගමනය කළේය. ඉන්පසු හදිසි මරණ පරික්ෂකවරයා විසින් ඉදිරිපත්වු සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් මෘතදේහය භූමදානය සඳහා ඥාතින් ට ලබාදීමට තීරණය කෙළේය.
නසිර්ගේ මරණය පිළිබඳ හදිසි මරණ පරික්ෂකවරයා විවෘත තීන්දුවක් ලබාදී තිබු බැවින් පොදු සුසාන භුමියකදි මෘතදේහය මිහිදන් කෙරිණි. නසිර් මුස්ලිම් ජාතිකයකු වූ නිසා නසීර්ගේ ඥාතින්ටද ඒ ගැන ගැටලුවක් ඇතිවුයේ නැත. නසිර්ගේ මරණය පිළිබඳ අවසන් කටයුතු සිදුකොට සති දෙක තුනක් ගෙවී ගියේය. ඔහුගේ මරණය පිළිබඳ විවිධ කතා ප්‍රදේශය පුරා පැතිර යන්නට විය.
“පොල්ලකින් ගහලා තමයි නසිර් මරලා තියෙන්නේ. මේ වැඩේ කරලා තියෙන්නේ නසිර්ගේ යාළුවෝම තමයි“ යැයි කට කථා පැතිර යමින් තිබිණි.
නසිර්ගේ පවුලේ අයටද මේ ගැන ආරංචි වි තිබිණි. මේ අතරතුරේ නසිර්ගේ මරණය ගැන පොලිසියටද නිර්නාමික පෙත්සමක් ලැබිණි. නසිර්ගේ මරණය සිදු වී මාසයකට පමණ පසු නසිර්ගේ සහෝදරයකු පොලිසියට පැමිණ තම සහෝදරයාගේ මරණය සැකසහිත බවට පොලිසියට පැමිණිලි කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අධිකරණයේ අවශ්‍යතාවක් මත දෙවැනි වරට මළසිරුරක් සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට නියෝග කිරීමේ බලය ඇත්තේ පළාතේ මහේස්ත්‍රාත්වරයාට පමණි. ඒ අනුව නසිර්ගේ සහෝදරයා විසින් නසිර්ගේ මරණය සැකසහිත බව කියමින් පළාතේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ අනුව නසිර්ගේ මළසිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝග ලැබිණි.
දෙවැනි වරට නසිර්ගේ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ දේහය රැගෙන එනු ලැබුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය. එවකට රුහුණු විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානියා වුයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල මහතාය. මහාචාර්වරයාගේ අධික්ෂණය යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර විසින් නසිර්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කරනු ලැබීය. අධිකරණ වෛද්‍ය රෝහාන් රුවන්පුර පළමුව නසිර්ගේ මළසිරුර බාහිරව පරික්ෂාවට ලක් කළේය. එහිදි නසීර්ගේ හිස්කබලේ පිටුපස තැළීම් තුවාල දක්නට තිබු අතර හිස්කබල පුපුරාගොස් තිබුණි. නළලේ ද තුවාලයක් දක්නට විය. බැලු බැල්මට මෙය රිය අනතුරකින් වු තුවාල වැනිය.
ඉන්පසු අධිකරණ වෛද්‍යරයා විසින් නසිර්ගේ හිස එකස් කිරණ පරික්ෂාවකට ලක් කිරිමට කටයුතු කරන ලදී. හිස්කබලේ අස්ථි කුහරයක් තුළ හිරවී තිබු මුණිස්සමක ඡායාවක් එකස් කිරණ පටලයේ දක්නට ලැබුණි. මුහුණේ සුදු පැහැති තිත් කිහිපයක් දක්නට විය. හිස්කබලේ ඉතා සංකීර්ණ පිපිරිම් තුවාලද නිරීක්ෂණය කැරිණි. අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර නසීර්ගේ හිස්කබලේ අස්ථි කුහර ඇතුළට කපා අස්ථි කුහරයක් තුළ හිරවි තිබු මුනිස්සම එළියට ගත්තේය. එය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. හිස්කබලේ තිබු තුවාලවල වෙඩි බෙහෙත් තැවරි තිබිණි. වෙඩි වැදි ඇති අයුරු තහවුරු කරගැනීම සඳහා එකස් කිරණ පරීක්ෂාව ඉතා වැදගත් විය.
නසිර් විසින් වෙඩි තබාගෙන ඇද්ද නැතහොත් ඔහුට වෙනත් අයකු විසින් වෙඩි තබා ඇද්ද යන්න සොයාගැනීම අධිකරණ වෛද්‍යවරයාගේ ඊළඟ අරමුණ විය. වෙඩි තැබීමකදි වෙඩි බෙහෙත් තුවාලය අවට විසිරී යන ප්‍රමාණය අනුව වෙඩි තබා ඇත්තේ ළඟ සිටද දුර සිටද තරමක් දුර සිටද යන්න සොයාගත හැක. යම් කිසි පුද්ගලයෙකුට ළඟ සිට වෙඩි තබා ඇත්නම් වෙඩි වැදුණු තුවාලය අවට වෙඩි බෙහෙත් විසිරෙන ප්‍රමාණය අඩුය. දුරක සිට වෙඩි තැබුවහොත් තුවාලය අවට වෙඩි බෙහෙත් විසිරෙන ප්‍රමාණය වැඩිය. ඒ අනුව නසිර්ට වෙඩි තබා ඇත්තේ මිටර් එකකටත් වඩා අඩු දුරක සිට බව තහවුරු විය. එම වෙඩි තැබිමෙන් හිස්කබලට හා මොළයට බරපතළ හානි වි තිබුණි.
සැකසහිත මළසිරුරු පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ කිරීමේදී එක්ස් කිරණ පරීක්ෂාව සිදුකොට ක්‍රමානුකුලව හා නිසියාකාරව මුළු ශරිරයම දැඩි පරීක්ෂාවට ලක්කළ විට මරණයට හේතුව සොයාගැනීම පහසු බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුරගේ අදහසයි. නසිර් මියගියේ රිය අනතුරකින් නොවන බව පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය විය. නසිර්ගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය දෙවැනි වතාවට පවත්වද්දී අනාවරණය වූයේ ඔහු වෙඩි තබා ඝාතනය කොට ඇති බවය. අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් මෙම තීන්දුවත් සමඟ පොලිසිය විසින් මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කරන ලදී. පොලිසියට ද ඒ වනවිට මරණය සම්බන්ධව තොරතුරු රැසක් ලැබි තිබුණි. හදිසි මරණ පරික්ෂණයේදි නසිර්ගේ මරණය ගැන සාක්ෂි දුන් ඔහුගේ හොඳම මිතුරා පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන්පසු මෙකි ඝාතනයේ සුලමුල අනාවරණය වන්නේ මේ අයුරිනි.
නසිර් හොර බඩු සහ මත්කුඩු අලෙවි කරන ජාවාරම කරගෙන ගියේ තම හොඳම මිතුරා සමඟය. ජාවාරම්වලින් ලැබු මුදල් බෙදා ගැනීමේදී මේ දෙදෙනා අතර නොයෙකුත් ගැටුම් ඇතිවිය. එක් දිනක් මුදල් බෙදාගැනීම සම්බන්ධ ඇතිවු ගැටලුවක් විසඳා ගැනීම සඳහා නසිර්ගේ මිතුරා ඔහු හමුවීමට පැමිණියේය. ඒ වනවිට නසිර් වෙෙළඳාම් කරමින් සිටියේය.
“කෝ... මගේ කොටස?“ නසිර්ගේ හොඳම මිතුරා ඔහුගෙන් එලෙස විමසුවේය.
“මොන කොටසද? ඔක්කොම ගනුදෙනු ඉවර කරලයි තියෙන්නෙ... තමුන්ට පුළුවන් දෙයක් කරනවා“ නසීර් කෝපයෙන් කීවේය.
දෙදෙනා අතර එවෙලේ ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමට වැඩි වෙලාවක් ගතවූයේ නැත.
“හරි මම අදට යනවා... උඹට වෙන්නේ මොකක්ද කියලා තව දවස් දෙක තුනක් යනකොට දැනගන්න පුළුවන්“ නසිර්ගේ මිතුරා එසේ කියමින් යන්නට ගියේය.
ඔහු නසිර් සමඟ පසුවූයේ බද්ධ වෛරයකිනි. ඔහු ඉන් අනතුරුව නසිර් ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඒ සඳහා තවත් මිතුරන් කීප දෙනෙකුද සම්බන්ධ කරගත්තේය. ඒ අනුව මිතුරන් සමඟ ගිය නසිර්ගේ හොඳම මිතුරා ‘රයිපල් තුවක්කුවකි‘න් නසිර්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඔවුන් උත්සාහ කළේ මෙම මරණය රිය අනතුරකින් සිදුවූ මරණයක් බව හැඟවීමටය. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණය නිසා මෙය ඝාතනයක් බව අනාවරණය කරගනු ලැබිය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුරගේ අත්දැකිම ඇසුරෙනි.