
ප්‍රේම සම්බන්ධයක් නිසා කලකිරීමෙන් සිටියාදැයි සැකයක්
කාමරයේ තිබූ දිනපොතේ නම ඇති ‘ශිවා’ කවුද?
ඇතැම් තරුණ තරුණියන් අතර ඇතිවන ප්‍රේම සබඳතා බිඳ වැටීම නිසා ඔවුන් සියදිවි නසා ගැනීමේ සිදුවීම් රටේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල වාර්තා විය. ඊට ප්‍රධාන හේතුව එම තරුණ තරුණියන්ගේ ප්‍රේම සබඳතා බිඳ වැටීම නිසා ඔවුන් අතර විවිධ මානසික රෝගී තත්ත්වයන් හටගැනීමයි.
ඇතැම් තරුණ තරුණියන් කුඩා කාලයේ තම මව්පියන් අතර ඇතිවන ආරවුල් නිසා ඔවුන් වෙනත් විවාහ සිදු කරගෙන පවුලෙන් වෙන්ව වාසය කිරීම හේතුවෙන් විවිධ පීඩාවලටද ලක්ව සිටින බව රහසක් නොවේ. එම තරුණ තරුණියන්ට කුඩා කාලයේ සිය මවගේ සහ පියාගේ ආදරය, සෙනෙහස සහ රැකවරණය නිසි පරිදි නොලැබීම ඊට හේතු වී තිබේ.
ගම්පහ, උඩුගම්පොල, නයිවල පාර ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකුට අයත් නිවසක මෙහෙකාරියක ලෙස සේවයේ නිරතව සිටි තරුණියකගේ මළසිරුර එම නිවෙසේ ගෙවත්තේ නාන තටාකයේ තිබී පසුගිය අගෝස්තු මස 19 වැනිදා සොයා ගැනීමට හැකි විය.
මෙසේ මියගොස් සිටියේ මස්කෙළිය, මොක්කාවත්ත පහළ කොටසේ පදිංචිව සිටි 17 හැවිරිදි ශිවකුමාර් රමණි නමැති තරුණියකි.
තරුණිය ගොඩගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ඇය ගම්පහ මූලික රෝහල වෙත යැවීමට එම නිවෙසේ හිමිකාර ව්‍යාපාරිකයාගේ පියා සහ තවත් පිරිසක් කටයුතු කර තිබිණි. එහිදී ඇය මියගොස් ඇති බව හෙළි විය. පසුව ඇගේ මළසිරුර ගම්පහ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කැරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම නිවෙසේ හිමිකරු වන ව්‍යාපාරිකයා විසින් ගම්පහ මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ල විමර්ශනය කර මෙම සිද්ධිය සම්බන්ධව මූලික පරීක්ෂණය පොලිසිය විසින් ආරම්භ කර තිබේ. මෙම සිද්ධිය වූ දින එම නිවෙසේ හිමිකරු වන ව්‍යාපාරිකයා ඔහුගේ දරුවන් සහභාගි වූ ක්‍රිකට් තරගයක් නැරැඹීම සඳහා කොළඹ ගිය අවස්ථාවේ මෙම සිද්ධිය වී ඇති බව එහිදී හෙළි විය. එම ව්‍යාපාරිකයා පදිංචි ඉඩමේ අනිත්පස ඔහුගේ මව්පියන් වාසය කර ඇති අතර එම නිවාස දෙක අතර ප්‍ර දේශයේ ගෙවත්තේ මෙම නාන තටාකය පිහිටා තිබේ.
ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ එම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුවය. ගම්පහ අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් සහ ගම්පහ තොරතුරු තාක්ෂණ නිලධාරින් පැමිණ වැඩිදුර විමර්ශන කටයුතු කර තිබේ. පසුව මෙම සිද්ධිය සම්බන්ධව ගම්පහ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය වූ නාන තටාකය අසලට පැමිණි ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ එම ස්ථානය සහ මළසිරුර පරීක්ෂා කර බලා එම මළසිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කර තිබේ.
පසුව ගම්පහ මූලික රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. එම්. ටී. බී. ගුණතිලක මෙම සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා මරණකාරියගේ සිරුර සම්බන්ධව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කළේය. මීට අමතරව මෙම මියගිය තරුණිය කිසිදු අතවරයකට ලක්වි නොමැති බව එහිදී හෙළිවී තිබේ.
මෙම සිද්ධිය වූ දින එම නිවසේ හිමිකාර ව්‍යාපාරිකයා සහ පවුලේ සාමාජිකයන් සිය දරුවන්ගේ ක්‍රිකට් තරගයක් නැරැඹීමට කොළඹ ප්‍ර දේශයට ගිය අවස්ථාවේ රාත්‍රී කාලයේ එම නිවෙසේ විදුලි පහන් දල්වා නොමැති බව දුටු එම ව්‍යාපාරිකයාගේ පියාගේ නිවසේ සේවය කරන මෙහෙකාරියක් මේ පිළිබඳව තමා සේවය කරන නිවසේ හිමිකරුව දැනුවත්කර තිබේ.
පසුව ඔහු සිය පුතුගේ නිවසට ගොස් විපරම් කර බැලීමේදී එම නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි තරුණියගේ සිරුරෙන් කොටසක් අදාළ නාන තටාකයේ ඇති අයුරු දැක එම සිරුර ඔසවාගෙන අසල තිබූ ගරාජය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ. එම පුද්ගලයා වියපත් අයෙකු වන අතර ඔහු හෘදයාබාධයක් සඳහා සැත්කමක් සිදුකර ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට හෙළිවී තිබේ. පසුව ඔහු තවත් පුද්ගලයකු සමඟ එක්ව තරුණිය ගම්පහ මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් රැසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
මේ තරුණිය මාස හයක පමණ කාලයක සිට එම නිවෙසේ මල්වලට වතුර දමමින් එම නිවාස සහ පිටත භූමිය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිටි බවට එහිදී හෙළි විය. එම නිවෙසේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශනවලට අනුව අදාළ තරුණිය ගෙවත්තේ නාන තටාකය අවට කිසිම කලබලයකින් තොරව එහා-මෙහා යමින් මල්වලට වතුර දමන අයුරු සටහන් වී තිබේ.
පසුව විමර්ශන නිලධාරින් විසින් එම තරුණියගේ කාමරය වෙත ගොස් පරීක්ෂා කිරීමේදී ඇයගේ කාමරයේ තිබී බ්ලේඩ් තල කැබැල්ලක් සොයාගෙන තිබේ. එම තරුණිය එම බ්ලේඩ් තලය උපයෝගී කරගෙන ඇගේ අත කපාගෙන තිබූ බවට එහිදී හෙළි විය. මෙම තරුණියගේ පපු ප්‍ර දේශය එම බ්ලේඩ් තලයෙන් ශිවා යන ලෙසට සූරා සටහන් කර තිබූ බවට එහිදී හෙළි විය. මීට අමතරව මියගිය තරුණියගේ කාමරයේ තිබූ දින පොතක ශිවා ලෙසට සටහන් කර තිබියදී සොයා ගැනීමට එම විමර්ශන නිලධාරින්ට හැකිවී තිබේ.
තරුණියගේ මව සහ පියා විවාහ වී මෙම තරුණිය ලැබීමෙන් අනතුරුව වසර පහක් වැනි කාලයකදී තරුණියගේ පියා තරුණිය සහ මව අතහැර දමා වෙනත් විවාහයක් කරගෙන තිබේ. අනතුරුව මෙම තරුණියගේ මවද මෙම තරුණිය සිය වැඩිමල් සොහොයුරාට බාර දී වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවට හෙළි වී තිබේ. මෙම තරුණිය එම ප්‍ර දේශයේ විදුහලක 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර පසුව ඇතිවූ කොරෝනා වසංගතය හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කර තිබේ.
පසුව මෙම තරුණියගේ මාමා වන ශිව කුමාර් කෝකිලකන්නා ගම්පහ උඩුගම්පොල ප්‍ර දේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවය කර ඇති අතර එම නිවස හිමි කාන්තාවගේ ඉල්ලීම පරිදි එම නිවසේ මෙහෙකාර සේවය සඳහා මෙම තරුණිය ගෙනැවිත් බාර දී තිබේ. මෙම තරුණිය එම නිවසේ හිමිකාරියට සහ එම හිමිකරුට ඉතා කීකරුව සේවය කර ඇති අතර එම නිවස සහ ගෙවත්ත පිරිසුදුව තබා ගැනීමට නිරන්තරවම කැපවී සේවය කර තිබේ. මේ නිසා එම නිවසේ හිමිකාර යුවල සහ පවුලේ ඥාතින් මෙම මෙහෙකාර තරුණියට තම පවුලේ දරුවකුට මෙන් හොඳින් සලකා අවශ්‍ය යුතුකම් ඉටුකර ඇති බවට හෙළි වේ.
පසුව මෙම තරුණියගේ මව රැකියාව සඳහා සෞදි අරාබියට ගොස් ඇති අතර මේ වන විට ඇය නැවත මෙරටට පැමිණ සිටී. අනතුරුව මෙම තරුණියගේ මව තම දියණිය තමන් වෙත ලබා ගැනීමට කැමැත්ත පළ කළත් මෙම තරුණිය තම මව වෙත යෑමට කැමැත්ත ප්‍රකාශ කර නොමැත.
මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනය කළ නිලධාරින්ට මෙම සිද්ධියෙන් මියගිය තරුණියට කිසියම් මානසික රෝගී තත්ත්වයක් තිබී ඇති බවට සැකයක් මතුවී තිබේ. එයට හේතු ලෙසට ඇයට මව්පිය ආදරය සහ රැකවරණය නොලැබීමත් ඇය පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාවය නිසා ඇතිවී ඇති ගැටලුකාරි තත්ත්වයන් හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ අවසාන නියෝගය මෙතෙක් නිකුත් කර නොමැති බවට පොලිසිය පවසයි. මියගිය තරුණියගේ සිරුර ඇයගේ පවුලේ ඥාතින් වෙත බාර දීමට නියමකර තිබේ.
ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ධර්මසූරිය, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. ඒ. ඩී. කිත්සිරි යන නිලධාරින් ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.