දේවගැති මැතිව් පීරිස් සහ ඩැල්රින් ඉන්ග්‍රම් අත්අඩංගුවට | සිළුමිණ

දේවගැති මැතිව් පීරිස් සහ ඩැල්රින් ඉන්ග්‍රම් අත්අඩංගුවට

 

 රටම කැලඹූ මැතිව් පීරිස් නඩුව

මීට දශක හතරකට පෙර මෙරට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ නඩුවක් ලෙස මැතිව් පීරිස් නඩුව හැඳින්විය හැකිය. මෙම නඩුවට දේවගැතිවරයකු සම්බන්ධ වීම, එතෙක් අසන්නට නොලැබුණු ආකාරයේ අමුතුම සිද්ධියක් වූ බැවින් බොහෝ දෙනකුගේ අවධානය මේ කෙරෙහි යොමු වී තිබිණි. මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටියේ මැතිව් පීරිස් දේවගැතිවරයා සහ ඩැල්රින් ඉන්ග්‍රම් යන දෙදෙනාය. ඔවුන්ට විරුද්ධව එල්ල වූ චෝදනා වූයේ දේවගැති මැතිව් පීරිස්ගේ බිරිය සහ ඩැල්රින් ඉන්ග්‍රම්ගේ සැමියා ඝාතනය කිරීමයි. 1983 මාර්තු 14 වැනිදා සිට 1983 දෙසැම්බර් 06 වැනිදා දක්වා මාස 9ක් පුරා නඩු වාර 165ක් පැවැත්වූ මෙම ඝාතන නඩුව එදා සමාජය කැලඹු නඩුවක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මෙම නඩු විභාගයේ සහ ඒ ආශ්‍රිතව ලියැවුණු අනෙකුත් ලිපි ඇසුරෙන් ලියැවෙන ලිපි පෙළෙහි හයවැන්නයි.

 

 

එක් දහස් නවසිය හැත්තෑ නවය වසරේ මැයි මාසයේ ඩැල්රින් විසු ඇනෙක්සියේ හිමිකරු විසින් ඩැල්රින්ට ඇනෙක්සියෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණේ ඩැල්රින්ගෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරින් නිතර නිතර ඇනෙක්සියට පැමිණෙන නිසාය. මෙම කාලය වන විට ඉයුනිස් ෆිලිෂියා පීරිස්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු අරඹා තිබිණි.

1979 අප්‍රේල් 04 වැනි දින උසාවි නියෝගයකින් සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලිසිය, දේවගැති මැතිව් පීරිස්ගේ පූජක නිල නිවාසය සෝදිසි කිරීමට පැමිණියහ. මෙහිදී මැතිව් පීරිස් දේවගැතිවරයා සහ දරුවන් අතර හුවමාරු වු ලිපි රාශියක් අල්මාරියක තිබී පොලිස් බාරයට පත්විය. බැංකු ගිණුම්, වෛද්‍ය වාර්තා වැනි වාර්තා රාශියක් පොලිස් නිලධාරින්ගේ බාරයට පත් විය. තවද පොලිස් ඡායාරූප ශිල්පියා පූජක නිල නිවාසයේ කාමර, භාණ්ඩ තිබෙන ආකාරය යනාදී සියල්ලේම ඡායාරූප ගත්තේය.

පොලිස් නිලධාරින් පූජක නිල නිවාසය සෝදිසි කරන අවස්ථාවේදී මැතිව් පීරිස් දේවගැතිවරයා ඔවුන්ගෙන් විමසුවේ "මාව අත්අඩංගුවට ගන්නේ කවදාද?" යනුවෙනි.

"ඇයි ඔබ එහෙම අහන්නේ? ඔබ වරදක් කරලා තිබෙනවාද?" යනුවෙන් සහකාර පොලිස් අධිකාරි හේමා වීරසිංහ ප්‍රශ්න කරන විට සමහර පූජකවරුන් ඔහුව අත්අඩංගුවට ගන්නා බව දැනුම් දී තිබෙන බව පැවසීය. කෙසේ වුවද මේ වන විට මැතිව් පීරිස් දේවගැතිවරයා භීතියෙන් තැතිගෙන සිටි බව පොලිස් නිලධාරින්ට අවබෝධ විය.

"මාව අත්අඩංගුවට ගත්තාම යන්න බලාගෙන මම සුට්කේස් එක ලෑස්ති කරගෙන ඉන්නේ" යනුවෙන් මැතිව් පීරිස් දේවගැතිවරයා තවදුරටත් පවසා ඇත්තේ එකී තැතිගත් ස්වාභාවය නිසාය.

මැතිව් පීරිස් දේවගැතිවරයාගේ පූජක නිල නිවස සෝදිසි කළ පොලිස් කණ්ඩායමේ උකුසු ඇස ඊළඟට යොමු වුයේ ඩැල්රින් ඉන්ග්‍රම් වෙතය. ඩැල්රින්ගේ යෑම් - ඊම්, හැසිරීම් ආදිය නිරීක්ෂණය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබීය. එය බාර වූයේ පොලිස් පරීක්ෂක මැල්කම් කෲස් ඇතුළු කණ්ඩායමටය.

ඒ අනුව 1979 මැයි 03 වැනි දින සවස ඩැල්රින් පසුපස ගිය පොලිස් නිලධාරින්ට පස්වරු 5.00 ට පමණ සේවය නිමා වී එන ඩැල්රින්, මැතිව් පීරිස් දේව ගැතිවරයා පදවාගෙන ගිය රථයට නැඟ යන අන්දමත් ඇය නුගේගොඩින් බැස යන අන්දමත් නිරීක්ෂණය කිරීමට හැකි විය. මැයි 09 වැනි දින මැතිව් පීරිස් දේවගැතිවරයා කොළඹ රොස්මිඩ් පෙදෙසේ රථය නවත්වාගෙන සිටින බවට පොලිසියට ඔත්තුවක් ලැබිණි. එය පසුපස ගිය පොලිස් නිලධාරින්ට මැතිව් පීරිස් දේවගැතිවරයා ඩැල්රින්ව රථයට නංවාගෙන ගොස් නුගේගොඩින් බස්සවා යන අයුරු දැකගත හැකි විය. මැයි 14 වැනි දින මැතිව් පීරිස් දේවගැතිවරයා පාපැදියෙන් කොලෝනියල් ආයතනයට ගොස් ඩැල්රින්ගේ දිවා ආහාරය ලබාදෙන ආකාරයත් එදිනම සවස ඩැල්රින් සහ ඇගේ දරුවන් නංවාගෙන මහරගමට ගොස් ආප්ප මිලදී ගෙන රථය තුළ ආප්ප කමින් නුගේගොඩ පසු කරගෙන යන ආකාරයත් පොලිස් නිරීක්ෂණයට හසු විය.

මේ ආකාරයට පොලිසිය විසින් සිදු කළ නිරීක්ෂණයේදී මැතිව් පීරිස් දේවගැතිවරයා නිතර නුගේගොඩ පිහිටි ඩැල්රින්ගේ නිවසට ආගිය බව හෙළි විය. මේ සෑම අවස්ථාවකදීම මැතිව් පීරිස් දේවගැතිවරයා හැඳ සිටියේ කලිසම සහ කමිසය මිස පූජක ඇඳුම නොවේ.

පොලිස් නිලධාරින් විසින් සිදු කළ විමර්ශනවලට අනුව රසල් ඉන්ග්‍රම්ගේත් ඉයුනිස් ෆිලිෂියා පීරිස්ගේත් මරණ සම්බන්ධව මැතිව් පීරිස් සහ ඩැල්රින්ව සැක පිට අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල සාක්ෂි අනාවරණය වී නොමැති බව සඳහන් කරමින් පිටු 1000ක පොලිස් වාර්තාවක් පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක බාර දෙනු ලැබුවේ පොලිස්පති ආනා සෙනෙවිරත්නටය. ඊට අමතරව පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලා සිටියේය. පොලිස් කොමසාරිස් එස්. වාමදේවන් දැනුම් දුන්නේ එතෙක් ගොනු කර තිබෙන සාක්ෂි අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල බවය.

මේ අනුව මැයි 25 වැනි සිකුරාදා උදේ පොලිස් කණ්ඩායමක් මැතිව් පීරිස් දේවගැතිවරයාගේ පූජක නිල නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි බව දැනුම් දුන්හ. ඒ මොහොතේ පවා ඔහු හැඳ සිටියේ අත්කොට බැනියමක් සහ කොට කලිසමකි. එම අවස්ථාවේ මැතිව් පීරිස් දේවගැතිවරයා විසින් ඔහුට ඔහුගේ නීතිඥවරයාට දුරකතන ඇමතුමක් ගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ. ඉන් අනතුරුව මැතිව් පීරිස් දේවගැතිවරයාව කොළඹ අපරාධ විමර්ශන අංශ මූලස්ථානයට රැගෙන එන ලදී. එතැන් සිට පස්වරු 5.45 පමණ වන තුරු මැතිව් පීරිස් දේවගැතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණේ මැතිව් පීරිස් දේවගැතිවරයාව පැය 24 ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බැවිනි.

1979 මැයි 28 වැනි දින කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි කොලෝනියල් මෝටර්ස් ආයතනයට ගිය පොලිස් නිලධාරින් විසින් ඩැල්රින් ඉන්ග්‍රම්ව අපරාධ විමර්ශන අංශ මූලස්ථානයට රැගෙන එනු ලැබීය. උදෑසන 9.00 ට ආරම්භ වු ඩැල්රින්ගෙන් ප්‍රශ්න කිරීම අවසාන වන විට රාත්‍රි 7.15 පසු වී තිබිණි. ප්‍රශ්න කිරීම් අවසානයේ පොලිස් නිලධාරින් ලයිට් නිවා දමා ඇයව පහළ මාලයට කැටුව එනු ලැබුවේ පුවත්පත් කලාවේදින් සහ ඡායාරූප ශිල්පින් බිම් මහලේ රැඳී සිටි නිසාය. ඇය රැගත් වාහනය සහ පොලිස් ජීප් රථය පවනට බඳු වේගයෙන් ඉගිළී ගිය බව එදා පුවත්පත්වල පළ විය.

ඩැල්රින් ඉන්ග්‍රම්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ජුලි 18 වැනිදාය. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 102 සහ 296 සඳහන් වැරදි සිදු කිරීම යටතේ නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබිණි. මෙම නඩුව පැවරුණේ මරණයන් සිදු කිරීමට සැලසුම් කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේය.

අවසන් කොටස ලබන සතියේ

 

Comments