නිශාන්ත මාමාට ගෙදරට එන්න දී පුතා තාත්තාට ඇටවූ උගුල | Page 2 | සිළුමිණ

නිශාන්ත මාමාට ගෙදරට එන්න දී පුතා තාත්තාට ඇටවූ උගුල

 

මව්පියන් තම දූ දරුවන්ට දක්වන්නේ කියා නිම කළ නොහැකි ආදරයකි. එවැනි ඇතැම් දූදරුවන් ලොකු මහත් වූ පසු තම පියා මව ඝාතනය කරත්නම් හෝ එවැනි ඝාතනවලට ආධාර අනුබල දෙන්නේ හිත්පිත් නැත්තන් සේය. එවැනි අජාසත් පුතකු තම පියා ඝාතනයට ආධාර අනුබල දීමේ පුවතක් පසුගියදා වාර්තා වූයේ මීගහවත්ත පොලිස් වසමෙනි.

ඝාතනය වූයේ 48 හැවිරිදි වනසිංහ ආරච්චිගේ දොන් මධුර ඉන්ද්‍රජිත් නමැති දෙදරු පියායි. කලක් විදේශ රැකියාවක නිරතව සිටි මධුර පසුගිය කාලයේ ත්‍රිරෝද රථයකින් කුලී ගමන් ගියේ එදිනෙදා ජීවිකාව සොයා ගැනීම සඳහාය.

ඔහුගේ බිරිය නිල්මිණිද විදේශ රැකියාවක නිරතව සිටින්නීය. ඇය ලංකාවට පැමිණ සිට මීට මාස දෙකකට පමණ පෙරදී නැවත විදේශගත වූවාය. මධුරගේ පුතුන් දෙදෙනාගෙන් රවිඳු දීමන්ත 18 හැවිරිදිය. දිනිඳු 15 හැවිරිදිය. මධුර වාසය කළේ 78/1, සියඹලාපේවත්ත, දෙල්ගොඩ ලිපිනයේයි.

මධුරගේ බිරිය නිල්මිණි මීට මාස දෙකකට පමණ පෙර විදේශ ගතවන්නට පෙර ඇගේ නොයෙකුත් අයථා සම්බන්ධතා නිසා මධුර, නිල්මිණි සමඟ නිතරම පාහේ අඩදබර ඇතිකර ගත්තේය. එම අඩදබරවලට වැඩිමල් පුතු වන දීමන්තද මැදිහත් විය. එලෙස මැදිහත් වෙද්දී ඔහු නිතරම පාහේ ගෙන තිබුණේ මවගේ පැත්තයි. ඒ ඇතුළේ සැඟවුණු කතාවක්ද ඇති බව අනාවරණය විය. ඒ අනුව එවන් අවස්ථාවලදී ‘දීමන්ත‘ පියාට පහර දී ඇති බවද වාර්තා විය.

මීට මාස පහකට හයකට පෙර දිනක නිල්මිණි, මධුර සමඟ අමනාප වී නිවෙසින් පිටවී ගියේ රදාවානේ පිහිටි ඇගේ ඥාති නිවෙසකටය. ඇය නිවෙසින් ගොස් නැවතී සිටින්නේ කොහේද යන්න මධුරටද සොයා ගැනීමට නොහැකි විය. පුතුන් දෙදෙනා සමඟ නිවෙසේ ගතකළ මධුර බිරිය සමඟ ඒ වන විට පසු වූයේ දැඩි වෛරයකිනි.

“මේ ගෑනිනම් ජරාම එකියක්... වැරැදි කරනවා මදිවට දරුවොත් දාලා ගෙදරිනුත් ගියානේ... මේකිට හොඳක් වෙන්න හොඳ නෑ...“ මධුර නිතර පැවැසුවේ එවැනි කතාවකි.

රදාවානේ නැවති සිටි නිල්මිණි දිනක් ළඟපාත නිවෙසකට ගොස් තිබුණේ ඥාති නිවෙසේ නිවැසියන් සමඟිනි. එලෙස ගොස් සිටියදී එම නිවෙස් හිමියා නිශාන්ත සමඟ ඇය හිතවත්කමක් ගොඩනඟා ගත්තාය. නිශාන්තද මධුරගේ වයසේමය. ඔහු පෙදරේරු රැකියාව කරන අතර සුරතල් මසුන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද කළේය. නිශාන්ත අවුරුදු 12ක දියණියන් ඇතුළු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

දිනක් බිරිය සොයමින් යන විටදී මධුරට බිරිය සැඟවී සිටි රදාවානේ නිවෙස සොයා ගැනීමට හැකි විය. බිරිය එම නිවෙසට කැඳවාගෙනවිත් සඟවාගෙන සිටින්නේ නිශාන්ත යැයි සිතූ මධුර, ඔහු සමඟ ආරවුලකට පැටළිණි. එකී ආරවුල දිගින් දිගටම පැවැතියේය.

දිනක් නිශාන්තගේ නිවෙසටද ගිය මධුර එදින ඔහු සමඟ අඩදබරයකට පැටළිණි. නිතර සිදුවූ එවැනි ගැටුම් අතරේ එක් දිනෙක ඇතිවූ ගැටුමකදී මධුර නිශාන්තට තර්ජනය කළේය.

“ඒයි නිශාන්ත... උඹ දන්නෙ නෑ මගේ හැටි... මම උඹගේ පොඩි කෙල්ල දූෂණය කරලා මරලා දානවා හරිද... ඒක නිසා උඹ වැඩිය දඟලන්න එපා...“ මධුරගේ එම වදන් නිසා නිශාන්තට මධුර සමඟ ඇතිවූයේ බද්ධ වෛරයකි.

ඒ අතරේ මධුරගේ බිරිය නිල්මිණි විදේශගත වූවාය. නිශාන්ත, මධුර සමඟ වෛරයෙන් පසු වුවත් මධුරගේ වැඩිමල් පුතු දීමන්ත සමඟ සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තිබිණි. නිශාන්ත සතියකට දිනක් දෙකක් දීමන්තට දුරකථන ඇමැතුමක් ගෙන නිල්මිණිගේ දරුවන් දෙදෙනාගේ දුක-සැප විමසන්නටද අමතක කළේ නැත.

එලෙස නිශාන්ත නිල්මිණිගේ දරුවන්ගේ දුක-සැප විමසීමට තවත් හේතුවක් වී තිබුණේ පිටරට සිටින නිල්මිණිය. ඇය නිශාන්තට කියා ඇත්තේ තම දරුවන්ගේ දුක-සැප නිතර විමසා බලන ලෙසයි. දරුවන් ගැන එසේ විමසීම් කළත් මධුර සමඟ වූ වෛරය නිශාන්තගේ සිතේ කැකෑරෙමින් තිබිණි.

ඒ පසුගිය අගෝස්තු 8 වැනිදාය. එදින නිශාන්තගේ සිතේ මධුර පිළිබඳ වෛරය ගිනිදැල් මෙන් නැඟෙමින් තිබිණි. “මේක හරියන්නේ නෑ... මධුරයාව මොකක්හරි කරලා ඉවර කරලා දාන්න ඕනේ...“

එලෙස සිතූ නිශාන්ත, මධුරගේ වැඩිමල් පුතුට දුරකථන ඇමැතුමක් ගත්තේ 8 වැනිදා දහවලේයි.

“කොල්ලෝ තාත්තා ගෙදර ඉන්නව ද?“ නිශාන්ත විමසීය. පුත්‍රයා කීවේ, “ඔව්... මාමේ තාත්තා අද ගෙදර“ කියායි.

තම පුත්‍රයා තමාගේ ප්‍රධානම වෛරක්කාරයකු සමඟ කතාබස් කරන බව මධුර ඒ වන විට දැන නොසිටියේය.

ඒ සමඟම මිරිස්වත්තෙ, කිනිගම ප්‍රදේශයට ගිය නිශාන්ත එහි කම්හලකින් අලුත්ම පිහියක් මිලදී ගත්තේය. ඒ රුපියල් 3000ක මුදලකටය. පිහිය මිලදී ගෙන පැමිණි නිශාන්ත මත්පැන් උගුරක්ද තොල ගෑවේය. නැවත ඔහු මධුරගේ පුත්‍රයාට ඇමැතුමක් ගත්තේය.

“ඒයි කොල්ලෝ... උඹගේ තාත්තා මගේ දුව දූෂණය කරලා මරනවා කිව්වා... මං උඹගේ තාත්තාගේ අතක් පයක් හරි අයින් කරනවා. මට කියපු ඒ කතාවට... මට කියපන් දැන් තාත්තා ගෙදර ඉන්නවද කියලා...“

දීමන්ත කීවේ සිය පියා නිවෙසේ සිටින බවයි.

“එහෙනම් මං දැන් එනවා...“ යැයි කියූ නිශාන්ත, සියඹලාපේ වත්තේ මධුරගේ නිවෙසට ගියේ මිලට ගත් පිහියද බෑගයක දමාගෙනය. ඒ වන විට මධුරගේ නිවෙසේ දොර වසා තිබිණි. නිශාන්ත දොරට තට්ටු කරනවාත් සමඟ දොර විවර කළේ දීමන්තයි.

ඒ වන විට මධුර කාමරයක ඇඳක් මත නිදි යහනේ පසු විය. නිශාන්ත, මධුර නිදාගෙන සිටි කාමරයට ගොස් පිහියෙන් කොටා සැණින් නිවෙසින් එළියට ආවේය.

අනතුරුව මධුරට කෙටු පිහිය එම ඉඩමේම පිහිටි ළිඳට දැමු නිශාන්ත ජල කරාමයෙන් අතපය සෝදාගෙන යන්නට ගියේය. ඒ වන විටත් නිල්මිණිගේ පුත්‍රයා දීමන්ත කාමරයේ විය. නිශාන්ත ගොස් පැයකට පමණ දීමන්ත දුරකතන ඇමැතුමක් ගත්තේ පිටුපස නිවෙසේ සිටින සීයාටයි. සියා දුරකථන ඇමැතුමට පිළිතුරු දුන්නේ නැත. නැවත ඇමතූ විට පිළිතුරු දුන්නේ ආච්චිය.

“ආච්චි මේ දැන් මගේ ගෙදරට හතරදෙනෙක් ආවා... මාව බය කරලා තාත්තා හිටිය කාමරේට ගිහින් යන්න ගියා...“

ඒ වන විට නිවෙසේ දීමන්තගේ සහෝදරයාද විය. ඔහු උණ ගතිය නිසා අසනීපයෙන් පසුවූ හෙයින් නිවෙස තුළ සිදුවූ කිසිවක් නොදත්තේය. දුරකථන ඇමැතුමත් සමඟ විදුලි පන්දමක් රැගෙන මධුරගේ පියා 72 හැවිරිදි පියතිස්ස මධුරගේ නිවෙසට පැමිණියේය. පියතිස්ස විදුලි පන්දම දල්වා මධුරගේ කාමරයද විපරම් කර බැලුවාය.

“තාත්තා බුදියගෙන් ඉන්නෙ පුතේ... කරදරයක් නෑ...“ යැයි කියා සීයා යන්නට ගියේය.

එහෙත් සිදු වූයේ කුමක්ද යන්න ‘අකුරක් නෑර‘ දීමන්ත දැන සිටියේය. ඔහු පසු වූයේ ‘හොර පූසෙකු‘ මෙනි.

9 වැනිදාට හිරු උදා වෙද්දීම දරුවන්ගේ ‘ආච්චි‘ නිවෙසට පැමිණියේ පොඩි දරුවා අසනීපයෙන්ද සිටි හෙයින් දුක-සැබ බැලීමේ අටියෙනි.

පොඩි දරුවාගේ තොරතුරු විමසීමෙන් පසු ආච්චි දරුවන්ගෙන් විමසුවේ පියා කොහේද යන්නයි. ඇය මධුර නිදා සිටි කාමරයට ගියා. එහිදී දුටු දෙයින් ආච්චිට උන්හිටි තැන් අමතක වූවාය.

“දරුවනේ බලපල්ලකෝ... මේ තාත්තගේ බෙල්ල කපලා...“

එසැණින් පොඩි දරුවා පියාගේ කාමරයට දිව ආවත් ලොකු පුතු දීමන්ත කාමරයටම වී සිටියේය. පසුව ආච්චි සහ පොඩි දරුවා විලාප තැබූහ. ඒ සමඟ දීමන්තද කාමරයෙන් එළියට ආවේය. ඒ වන විට මධුර මියගොසිනි. දීමන්ත කීවේ රාත්‍රියේ සීයා පැමිණි මොහොතේ ඔහුට කී හතර දෙනෙක් නිවෙසට ආ කතාවමය.

මධුරගේ මරණය ගැන 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය ඔස්සේ මීගහවත්ත පොලිසියටද එම අපරාධය දැනගැනීමට ලැබිණි. ඒ 9 වැනිදා පෙරවරුවේ 6.30ට පමණය. මීගහවත්ත පෙලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් සහ එහි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඒ. විමලරත්න ඇතුළු කණ්ඩායම මධුර විසූ නිවෙස සොයා ගියේය. ඒ වන විටත් මියගොස් සිටි මධුරගේ සිරුර නිවෙසේ කාමරයේ ඇඳ මතම විය. පොලිස් නිලධාරින් පරීක්ෂා කර බැලුවේය. ගෙල කැපීමෙන් ඔහු මියගොස් සිටියේය.

මධුරගේ මරණය පිළිබඳ ප්‍ර දේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුවත් කිරීමත් සමඟ කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. වී. කහටපිටිය ඇතුළු කණ්ඩායමද පැමිණ විමර්ශන ආරම්භ කළහ.

මධුරගේ මරණය පිළිබඳව පොලිස් නිලධාරින් ඒ වන විට නිවෙසේ සිටි දරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන ලදි. පොඩි පුතු පියාගේ මරණය ගැන කිසිවක් නොදන්නා බව පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේ ඔහුගේ හැසිරීම් විලාසයෙනි. එහෙත් වැඩිමල් පුතු දීමන්ත කතා කරන වාරයක් පාසා නොයෙක් කතා කියන්නට විය. ඔහු කුමක් හෝ දැන ‘බොරුව‘ක් කරන බව පොලිසියට වැටහෙන්නට එතරම් වේලාවක් නොගියේ මෙවැනි විමර්ශන පිළිබඳ තිබූ හසළ අත්දැකීම් නිසාය.

ඒ නිසා මීගහවත්ත පොලිස් නිලධාරින්ගේ බාරයට ගත් දීමන්ත පොලිස් ස්ථානයට ගෙනැවිත් වැඩිදුර ප්‍රශ්න කෙරිණි.

 

ඒ වන විට ඔහුට පොලිසියෙන් ගැලවීමක් නොමැති වග ඔහුට තේරුම් ගොස් තිබිණි. ඔහු කතා කරන්නට පටන්ගන්නේ එතැන් සිටය.

“සර්... ‘නිශාන්ත මාමා‘ රෑ අපේ ගෙදරට ඇවිල්ලා ගියා... හැබැයි මොනවා කළාද කියලනම් මම දන්නේ නෑ...“

දීමන්තගේ හෙළිදරව්වත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් නිශාන්ත සොයා 9 වැනිදා රාත්‍රියේම ඔහුගේ රදාවානේ නිවෙසට ගියේය. ඔහු ඒ වන විට නිවෙසේ සිටියේය. පොලිසියට ගෙන ආ නිශාන්තගෙන් මධුරගේ මරණය ගැන ඍජුවම ප්‍රශ්න කෙළේය.

“ඇයි තමුසේ මධුරගේ බෙල්ල කපලා මැරුවේ...“ නිලධාරියෙක් දැඩි ස්වරයෙන් විමසීය. මොහොතක් නිහඩව සිටි නිශාන්ත කතා කළේය.

“සර්... මං තමයි මධුරයා මැරුවේ... ඌත් එක්ක මම නයි වෛරෙන් හිටියේ... මගේ ළමයා දූෂණය කරලා මරනවා කිව්ව නිසා... ඒක නිසා මං මේ දේ කළේ... ඌව මරලා පිහිය උන්ගෙම ළිඳට විසිකළා.“ නිශාන්ත කීවේය. ඝාතනයට උපයෝගී කරගත් පිහිය මධුරගේ නිවෙසේ ළිඳේ තිබී පොලිසිය සොයා ගත්තේය. ඊට අමතර පිහිය මිලදී ගත් කිනිගම කම්හලද සොයා ගැනීමට පොලිසියට වැඩි අපහසුතාවක් වූයේ නැත.

මේ ඝාතනය ගැන තොරතුරු එලෙස හෙළි වෙද්දී මධුරගේ වැඩිමල් පුතු දීමන්ත සිය පියා ඝාතනයට නිශාන්තට සහාය දීමද පොලිසියට ප්‍රහේලිකාවක් විය. ඒ පිළිබදවද පොලිසිය වැඩිදුර විමර්ශනය කළේය. පොලිසිය අනාවරණය කරගත් පරිදි ඊට හේතු වන්නේ මෙවැන්නකි.

මධුර පසුගිය කාලයේ නිතරම පාහේ සිය බිරිය නිල්මිණි සමග ගැටුම් ඇතිකර ගත්තේය. ඒ බිරියගේ නොයෙක් ‘හුටපට‘ නිසායි. එකී ගැටුම්වලදී දෙදෙනා සමථයකට පත්කර තිබුණේ දීමන්තය. එවැනි අවස්ථාවලදී දීමන්ත මවගේ පැත්ත ගෙන තිබිණි. එම නිසා ඔහු ඇතැම් අවස්ථාවල පියාට පහරදීම්ද සිදුකර ඇත. මව කෙතරම් වැරැදි කළද දීමන්ත මවගේ පැත්ත ගැනීමට තවත් සැගවුණු කතාවක්ද තිබී ඇත. එය දීමන්තද දැන සිට ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා මහර අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් දේශාන් පෝල් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්තගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස අංක 5 සහකාර පොලිස් අධිකාරි ධනංජය පෙරමුණගේ අධීක්ෂණයෙන් මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්ගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඒ. විමලරත්න, සැරයන්වරුන් වන 6015 අබේසිංහ, 53921 ලක්මාල්, 3509 නිලන්ති, පොලිස් කොස්තාපල්වරුන් වන 88384 චතුරංග සහ 88789 රාජපක්ෂ යන නිලධාරිහු සිදු කළහ.

ඡායාරූප - සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමුහ

ගනිඳු රෝචන - මහර සමූහ

Comments