බණ්ඩාරගම කඩේක මුදලාලි හාමිනේට තරු පෙන්නූ දහතුනේ ගැටයා | Page 3 | සිළුමිණ

බණ්ඩාරගම කඩේක මුදලාලි හාමිනේට තරු පෙන්නූ දහතුනේ ගැටයා

 

දරුවන් නොමගට පෙළඹීමට ඇති ඉඩකඩ බොහෝය. ඊට හේතුව දූ දරුවන් පිළිබඳ ඇතැම් මවුපියන් දැඩි අවධානයෙන් නොසිටීමය. පාසලේදි පැන්සලක් මකනයක් සොරකම් කරන දරුවාට නිසි දඬුවමක් හෝ අවවාදයක් නොකර වැඩිහිටියන් මුනිවත රකින්නේනම් ඒ දරුවා ඊළඟට සිදු කරන්නේ ඊටත් වඩා විශාල සොරකමක් බව අවබෝධ කර ගත යුතුය. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කැපිය යුතු තැනට වැඩ නොකළ යුත්තේ එහෙයිනි.

දිනෙන් දින හෙළිදරව් වන ආකාරයට බාල වයස්කාර දරුවන් යම් යම් සොරකම් සිදු කිරීමට කටයුතු කළ අවස්ථා දින දින ඉහළ යන බව පොලිස් වාර්තා අනුව පැහැදිලි වන කරුණකි. එය දරුවන් ජීවත්වන සමාජ පරිසරය හෝ පවුල් පසුබිමේ ඇති ගැටලුකාරි තත්ත්ව හේතු විය හැකි වුවද සුළුවෙන් නොසලකා හැරිය යුතු වන්නේ නැත. ඒ දරුවන් දින දින ලොකු මහත්ව සමාජ ගතවන්නේ එම වරදට ඇති බිය සැක පහව ගිය 'ප්‍රවීණයෙකු' වීමෙන් පසුව බැවිනි.

අවුරුදු පහළොව සහ දාහත වයස්වල පසුවෙන පිරිමි ළමුන් දෙදෙනෙකු ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකැ සිද්ධියක් පසුගිය දිනවල වාර්තා වුයේ ඌරුබොක්ක ප්‍රදේශයෙනි. එමෙන්ම තම කුඩා දියණිය යොදවා ස්වරණාභරණ අලෙවිසැල්වලින් රත්තරං බඩු සොරකම් කරවා ගත් මිත්තනිය, මව හා තවත් පුද්ගලයෙකු සිසිටිවි කැමරාවලින් හඳුනාගෙන අත්අඩංගුවට පත් වුයේ රටපුරා විශාල සොරකම් ප්‍රමාණයක් සිදුකර තිබීමෙන් අනතුරුවය.

මේ ආකාරයටම අවුරුදු දහතුනක පිරිමි ළමයකු සොරකමක් සිදුකිරීමට ගොස් හසු වු පුවතක් වාර්තා වූයේ බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයෙනි. වෙළෙඳසැලේ හිමිකාරිය මැදි වයසේ පසුවූ තැනැත්තියකි. තම නිවෙසේ සිට කුඩා වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය ඇය සිය වෙළෙඳසලට නිතර යනඑන කුඩා කොලු ගැටයෙකු පිළිබඳ ඇස ගසාගෙන සිටියේ ඒ ළමයා කීප අවස්ථාවකම ලාච්චුවේ ඇති මුදල් සොරකම් කිරීමට උත්සාහ කරන බව ඉවෙන් මෙන් අවබෝධ වී තිබුණ බැවිනි.

"මටනං මේ කොල්ලව එච්චර අල්ලන්නෙ නෑ. පේන විදියට මේ ළමයා ලාච්චුවේ සල්ලිවලට විදින්නයි හදන්නේ. මොන වෙලාවක හරි මේ ළමයා ඔය වැඩේ කරනවා."

වෙළෙඳසලේ හිමිකාරිය කීප දිනකම තනිවම මෙසේ සිතමින් මේ ළමයා ගැන නිරීක්ෂණය කළේ ඔහුගේ හැසිරිමේ යම්කිසි අමුත්තක් තිබු බැවිනි.

මේ අයුරින් මේ ළමයාගේ ඉලක්කය ගැන මාන බලමින් සිටි වෙළෙඳසැලේ හිමිකාරිනිය දිනක් කොලුවා ලාච්චුවට අත දැමීමට සුදානම් වෙන අයුරු දැකගැනීමට ලැබුණේ ඇගේ සැකය තහවුරු කරමිනි.

"ඒයි ළමයො මොකද ඔය කරන්නෙ...?"

'මුදලාලි නෝනා' අහක බලන ඇසිල්ලෙන් මුදල් ලාච්චුවට අත දැමු කොලුවා තිගැස්සි හැරි බැලුවේ හොරේ අතටම හසුවීම ගැන ඇති වු බියෙනි.

"හොරකං කරන්නද උඹලට ඉස්කෝලෙදි උගන්නන්නේ?" ඇය විමසුවේ ඔහු අල්ලා ගැනීමට අසලට එන අතරය.

"නෑ නැන්දෙ මං මොකුත් කළේ නෑ" ගොත ගසමින් වහා අත ඉවතට ගත් ළමයා තිගැස්සි ගියේ ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතන අතරය.

"මොකුත් කළේ නෑ. ඔහොම හිටපං"

මොහොතක් ඇස් ලොකු කර ඇය තමන් වෙතට එන දෙස බලා සිටි ළමයා අතේ තිබු කුඩා පිහිය එකවර ඇය දෙසට වැණුවේ තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනිමට විය යුතුය.

"එන්න එපා ළඟට. අත ඇරපං මාව"

පිහිය එහාට මෙහාට වනමින් දැමූ 'සෙල්ලමෙන්' වෙළෙඳසැලේ හිමිකාරියට තුවාල සිදු වි ඇති බව දුටු දරුවා පලා ගියේ ඇසිල්ලෙනි. වෙළදසැලට පැමිණෙන විට පිහියක් රැගෙන ඒමට කිසිම අවශ්‍යතාවයක් නොමැත. එසේ නම් මේ ළමයා සොරකමට පෙර සිටම සුදානම්ව පිහිය රැගෙන ආවා විය හැකිය. මේ පවුලේ මව රැකියාවක නිරත වෙන අතර පියා වැඩි වශයෙන් ඇලුම් කරන්නේ මත්පැන් වලට බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි.

ඉගෙනීමට වැඩි ඇල්මක් නොදක්වන මේ දරුවා පිළිබඳ මව හෝ පියා වැඩි අවධානයක් යොමු නොකරන බව පෙනි යන්නේ මතක ඇති කාලයකින් ඔහු පිළිබඳ පාසලේ ගුරුවරුන් හමු වි ඔහුගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා නොමැති බැවිනි.

හොරණ ප්‍රදේශයේ පාසැල් දැරියක් පසුගිය කාලයේ පොල් ගෙඩියක් සොරකම් කළ සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දෙන්නක් බවට පත් වූයේ දරුවන් පිළිබඳ වාර්තා වෙන මෙවැනි කතා ඉතා සංවේදී වෙන අවස්ථාද ඇති බැවිණි. කෙසේ වුවත් වැඩිහිටි අවධානයෙන් ගිලිහෙන දරුවා අයාලේ යාම නොවැළැක්විය හැකි සිද්ධියක් වන්නේ නූල කැඩී ගිය සරුංගලය මෙන් විනාශ වි යා හැකි බැවිනි.

අවුරුදු 13, 14 වයස් වල පසුවෙන දූ දරුවන් යම් කිසි අපරාධයක් සිදු කළ විට ඔවුන්ව කෙළින්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකියාවක් නොමැත. ඒ සඳහා ඔහුව බහුවිධ කමිටුවකට ඉදිරිපත් කළ යුතුය.

ඒ ඔහු මෙවැනි වරදකට පෙළඹි ඇති හේතු පිළිබඳ සියුම් අයුරින් සොයා බැලිය යුතු බැවිනි. අධිකරණ වෛද්‍යවරයෙකු, මනෝ විද්‍යාඥයෙකු, ළමා හෝ නව යොවුන් සවිබල ගැන්වීම පිළිබඳ මනෝ වෛද්‍යවරයෙකු ඇතුළු නිලධාරින් කණ්ඩායමකින් සමන්විත මෙම බහුවිධ කමිටුව පත් කර ඇත්තේ 2018 වසරේදී සිදු කළ අපරාධ විමර්ශන සංග්‍රහයේ අංක එකොළහ දරන සංශෝධනයට අනුවය.

කෙසේ වුවත් මල් වැනි මෙවැනි දරුවන් වරදට යොමු වි ඇති කරුණු පිළිබඳව මිට වඩා නුවණින් විමසා බැලීම කාලෝචිත වන්නේ ඔවුන් ආරක්ෂා කර යහමඟට ගැනීම සමාජ ප්‍රගමනයට ඉවහල් වන ප්‍රධාන සාධකවලින් එකක් වන බැවිනි.

 

Comments