මිරිස්ස මූදේ ඉන්ධන හැංගු ‘ලක්මාලී’ | Page 3 | සිළුමිණ

මිරිස්ස මූදේ ඉන්ධන හැංගු ‘ලක්මාලී’

 

රටේ ආර්ථික අර්බුදයත් සමඟ මතුවුණු ඉන්ධන හිඟය රටපුරාම මහත් ගැටලුකාරි තත්ත්වයක් මතු කරද්දී ඉන් වාසි ලබාගන්නට සූක්ෂම ලෙස ක්‍රියා කළ මේ කණ්ඩායම ඉන්ධන රැස් කරන්නට පටන්ගත්තේ ජනතාව තව තවත් පීඩාවට පත්කරවමිනි. එසේ රැස්කර ගන්නා ඉන්ධන අධික මිල ගණන්වලට අලෙවි කිරීම ජනතා පීඩනය තවත් තීව්‍ර කරන්නක් ද විය. ඒ නිසා තවත් භයානක තත්ත්වයක්ද වර්ධනය වෙමින් තිබිණි. ඒ ඉන්ධනවලට භූමිතෙල් ඇතුළු වෙනත් දෑ මිශ්‍ර කරමින් අලෙවි කිරීමද රටපුරාම සිදුවූ නිසාය.

ඒ ඉකුත් 28 වැනිදා දිනයයි. මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිට දුරකථනයෙන් ලැබුණු රහසිගත පණිවිඩයකින් කියැවුණේ මිරිස්ස ධිවර වරායේ ඉන්ධන ජාවාරමක් ජයටම ක්‍රියාත්මක වන බවයි. එම තොරතුරේ වැඩිදුරටත් සඳහන් වූයේ එක් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙකු විසින් සූක්ෂම ලෙස එක් රැස්කර ගන්නා ඉන්ධනවලට භූමිතෙල් මිශ්‍රකර අධික මිලකට විකුණා ලාභ ලබනා බවයි. තොරතුර ලැබී තිබුණේ දක්ෂිණ නාවික හමුදා බුද්ධි ඒකකයෙනි.

එදින පෙරවරුවේ ලැබුණු තොරතුරත් සමඟ වහා ක්‍රියාත්මකවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසාටද මේ බව දැනුම්දී අවශ්‍ය උපදෙස් ලබාගත්තේය. ඉන් අනතුරුව ඔහු සිදුකළේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කැඳවා මෙම අනීතික ක්‍රියාවේ නිරත වන්නන් කොටුකර ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කිරීමයි. උපපොලිස් පරීක්ෂකවරුන් වන ලලිත් සමරනායක, කරුණාරත්න, කොස්තාපල්වරුන් වන 1810 දිමුතු, 37515 රත්නායක, 49771 සම්පත් මෙන්ම පොලිස් කොස්තාපල් රියදුරු 85442 අසංක ද මෙහෙයුම් කණ්ඩායමට එක්කර ගත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මෙහෙයුමට අවශ්‍ය අවිඅායුධ මෙන්ම සූක්ෂම ලෙස මෙම මෙහෙයුම ක්‍රියාක්මක කළ යුතු ආකාරය පිළිබඳවද අවශ්‍ය උපදෙස් අදාළ නිලධාරින්ට ලබා දුන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය.

මෙහෙයුමට අදාළව අවශ්‍ය සියලු දෑ සූදානම් කරගත් පොලිස් කණ්ඩායම මාතර මූලස්ථාන පොලීසියෙන් මිරිස්ස බලා ගමන් ඇරඹුවේය. ඒ වන විට වේලාව පෙරවරු 10. 35 ට පමණ විය.

“සර් අපි ඉස්සර වෙලාම කොතනටද යන්නේ ?” මෙහෙයුම් කණ්ඩායමේ එක් නිලධාරියෙකු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් එලෙස විමසුවේය.

“ඔව්. ඉස්සර වෙලාම අපි යන තැනක් තියෙනවා. අපි දැන් යන්නේ එතැනට. කවුරුත් හදිසි නොවී බොහොම කල්පනාවෙන් ඉදිරි වැඩ ටික කරමු. අපි ඉස්සර වෙලාම යන්නේ කොතන්ටද කියා තව ටික වේලාවකින් දැනගන්න ලැබේවි. එතකම් කලබල නොවී ඉන්න” ඒ රොෂාන් හෙට්ටිආරච්චිගේ පිළිතුරු විය.

කොස්තාපල් අසංක විසින් මිරිස්ස දෙසට පැදවූ ජීප් රථය වේගයෙන් පැමිණ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ විශේෂිත ස්ථානයක නතර කරද්දී ඒ තුළ සිටි පොලිස් කණ්ඩායම එකිනෙකා හා මුහුණු බලාගත්තේ මිරිස්ස වරායට යන්න පැමිණි ජීප් රථය අතරමඟ නතර කළේ ඇයිද? යන්න ඇතිව තිබු සැකය නිසාය.

නතර කරන ලද ජීප් රථයෙන් බැසගත් මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි එම ස්ථානයේ රැඳී සිටි සිවිල් ඇඳුමින් සැරසී සිටි කීපදෙනෙකු සමඟ කතාකර නැවත ඉක්මන් ගමනින් පැමිණ ජීප් රථයට ගොඩවූයේ “මිරිස්ස වරායට ඉක්මණින් යමු” යන නියෝගය රියදුරු අසංකට පවසමිනි.

“මම බුද්ධි තොරතුර තහවුරු කරලා අවශ්‍ය විස්තර ලබාගත්තා. මං ජීප් එක නතර කර ගියේ ඒකට. දැන් අපි කෙළින්ම යන්නෙ මිරිස්ස ධීවර වරායට. කවුරුත් මතක තියාගන්න එකම නමින් ටැංකි බෝට්ටු තුනක් තියෙනවා. හොඳ සෝදිසියෙන් බලන්න. ඉන්ධන තියෙන්නෙ ඒ බෝට්ටුවල. ඒවායේ අයිතිකාරයා තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. කවුරුවත් කලබලවෙලා, හදිසි වෙලා මොකුත් ගැටලු ඇති කරගන්න එපා. අපිට මේක ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් වෙයි. එහෙනම් ඒ විදියට වැඩේ කරන්න”

වේගයෙන් මිරිස්ස ධීවර වරාය දෙසට ජීප් රථය ගමන් කරමින් තිබියදී මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි තම කණ්ඩායමට යළිත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ මෙවැනි තැන්වලදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ ඇති පෙර අත්දැකීම් ද සමඟිනි.

වේගයෙන් පැමිණි ජීප් රථය දහවල් 12.30 ට පමණ ධිවර වරායට ඇතුළු කිරීමත් සමඟ ඉන් බැසගත් පොලිස් කණ්ඩායම වරායේ හතරඅත පරීක්ෂා කරන්නට පටන්ගත්තේ බුද්ධි තොරතුරින් ලද විස්තර අනුව “ලක්මාලි නම් බහුදින ධීවර යාත්‍රා තුන ස්ථානගත කර ඇති තැන් පිළිබඳවය. එය හඳුනාගත් විගස ඒ සියල්ල පරීක්ෂාවට ලක්කරද්දී මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි සැකකාර බහුදින ධීවර යාත්‍රා තුනෙහි හිමිකරු සොයා තමන් වෙත කැඳවා ගත්තේය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය නොමඟ යැවීමේ අරමුණින් ඔහු විවිධ අසත්‍ය තොරතුරු පැවසුව ද සැකකරුට ඉන් බේරීමට හැකියාවක් ලැබුණේ නැත. පොලිස් කණ්ඩායමේ පරීක්ෂාවට අනුව ප්ලාස්ටික් බැරල් 19ක් හා ඒ තුළ තිබූ ඩීසල් ලීටර හාරදහස් හැත්තෑවක් (4070) සොයාගත්තේය.

“මේ ඔක්කොම මගේ බෝට්ටුවලට ගහන්න තමයි අරන් තියාගත්තේ” බියට පත් සැකකරු එලෙස පැවැසුවේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතමිනි.

“තමුන් මෙතෙක් කියපු දේ නොවෙයිනේ මේ තියෙන්නෙ. එතකොට මෙච්චර ඩීසල් තියාගන්නේ මොකටද? මෙච්චර තෙල් ප්‍රශ්නයක් තියෙද්දි, අහිංසක මිනිස්සුන්ට එදාවේල හොයාගන්න ඩීසල් නැතිව ඉන්නකොට තමුන්ට මෙච්චර ඩීසල් කොයින්ද?”

මිරිස්ස ධීවර වරායේ බෝට්ටුවලට ඉන්ධන ලබාදිම සඳහා පිරවුම් හලක් ක්‍රියාත්මක අතර එහි සිට වරායේ නැංගුරම්ලා ඇති යාත්‍රා සඳහා ඉන්ධන පිරවීමට මීටර් තුන්සියයක් හාරසියයක් දුරට නළ පද්ධතියක් ද ක්‍රියාත්මකව ඇති ආකාරය පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. එවන් නළ පද්ධතියක් තිබියදී මෙලෙස ඉන්ධන ප්ලාස්ටික් බැරල් තුළ තබාගන්නේ කුමකටද? යන්න පොලිස් නිලධාරින්ට සැක ඇතිවී තිබිණි.

මේ තත්ත්වය හමුවේ මෙලෙස තෙල් තොග රැස් කිරීම පිළිබඳ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී ඒ සඳහා සෘජු පිළිතුරක් දීමට ඔහුට නොහැකිවූ අතර විවිධ බොරු ගොත ගසමින් පවසද්දි මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිට වරෙක කේන්තියක්ද, වරෙක මුවගට සිනාවක් ද පහළ වූයේ සැකකරුගේ අතටම හසුවන සටකපට ක්‍රියාවන් නිසාය.

මිරිස්ස ප්‍රදේශයේම පදිංචි තිස්තුන් හැවිරිදි වියේ පසුවූ සැකකරුට අයත් බහුදින ධීවර යාත්‍රා තුනෙන් එකක් අලුත්වැඩියා කටයුතු සඳහා ස්ථානගත කර තිබූ අතර තවත් යාත්‍රාවක් ධීවර රැකියාව සඳහා ගොස් පැමිණ තිබුණේය. අනෙක් යාත්‍රාව වරාය තුළ නැංගුරම් දමා තිබුණු අතර එක් යාත්‍රාවක තිබී ඩීසල් ලිටර දෙදහස් හයසියයක් (2600) පොලීසිය විසින් සොයාගත් අතර අනෙත් ඩීසල් ප්‍රමාණය ප්ලාස්ටික් බැරල්වල බහා තැන තැන තබා තිබියදී පොලිස් බාරයට ගැනිණි.

අත්අඩංගුවට ගත් ඩීස්ල් තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂාවේදී අනාවරණය වූයේ ඩීසල් සියල්ලට භූමිතෙල් මිශ්‍ර කර ඇති බවයි. සැකකරු මෙරට ඉන්ධන අර්බූදය ආරම්භවූ අවස්ථාවේ සිට අධික ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් වංචනික ලෙස මෙවැනි ක්‍රියාවන් සිදුකරන්නට ඇත යන්න පොලීසියේ සැකය විය.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 29 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති අතර අගෝස්තු මස පස්වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතව තිබිණි.

Comments