දඬු­ලේ­නා­ දංගෙඩියට යවන කැකිල්ලේ නඩු තීන්දුව | Page 2 | සිළුමිණ

දඬු­ලේ­නා­ දංගෙඩියට යවන කැකිල්ලේ නඩු තීන්දුව

 

ටේ ආර්ථික අර්බුදයට එක් විසඳුමක් ලෙස දඬුලේනා සිය තනතුරින් පහකිරීමේ සූදානම පසුගියදා එකතු වූ අලුත්ම කතිකාවකි. බොහෝ දෙනා පැවැසූයේ එය කැකිල්ලේ නඩු තීන්දුවට සමාන බවකි. දඬුලේනා අපේ ජාතික සත්ත්වයාය. එහෙත් අලි, කොටි, වලස්, මුවෝ මැද්දේ දඬුලේනාටම මේ තනතුර හිමි වූයේ ඇයිද යන්න කවුරුත් දන්නේ නැත. ඉන්දියාවේ ජාතික සත්ත්වයා බෙංගාල ව්‍යාඝ්‍රයාය. ඒ ඌ ඒ රටේ ප්‍රතාපවත් සතෙක් නිසාය. නේපාලයේ ජාතික සත්ත්වයා ඔවුන්ට මහත් සේ උපකාරි වන ගවයායා. භූතානයේ ජාතික සත්ත්වයා වන්නේ එරට දුලබ සතෙක් වන ටකින් ගවයාය. එහෙත් දඩුලේනා එසේ නැත. ඌ ඉන්දියාවේ මෙන්ම ලංකාවේ වාසය කරන මූසික කුලයට අයත් එකෙකි. එබැවින් දඬුලේනා අපට ආවේණික සතෙක්ද නොවේ.

දඬුලේනා පොල් මදයේ සිය සියල්ල විනාශ කරන සත්ත්වයෙක් සේ ප්‍රකටය. වගා හානි අතින් දඬුලේනා වදුරාට දෙවැනි නැත.

පසුගියදා වනජීවි හා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මෙරට ජාතික සත්ත්වයා වගාවට කරන විනාශය හේතුවෙන් ජාතික සත්ත්ව තනතුරින් ඉවත් කිරීමේ කතාව කරලියට ගෙනාවේය. ජාතික සත්ත්ව තනතුර නිසාවෙන් වගා හානි කරන දඬුලේනුන්ට ආරක්ෂාව සැලසි තිබෙන බව ඔහුගේ මතයයි. ජාතික සත්ත්ව කිරුල අන්තිම දශමයේදි දඬුලේනාගෙන් ගැලවෙන්නට ගියේ රටේ ජනතාව ජීවන බරින් කරවටක් ගිලී තිබෙන මොහාතකය. එදා වේලවත් කන්න නැති ජනතාවට ජාතික සත්ත්වයා හිටියත් එකය. නැතත් එකය. ජාතික සත්ත්වයා කවුරුන්ද යන්න ඇවැසි වන්නේ ශිෂ්‍යත්ව විභාගයේ එක් ලකුණකට පමණි.

අපේ ජාතික සත්ත්වයා ලෙස දඬුලේනා නම් කළේ කවුරුන්ද යන වග කවුරුත් දන්නේ නැත. දඬුලේනා පමණක් නොව ජාතික පක්ෂියා වූ වළිකුකුලාද අපට ආවේණික නැත. ජාතික පුෂ්පය නම් කරන අවස්ථාවේ නිල් මහනෙල් මලටද විවිධ ප්‍රශ්න පැන නැගුණි.

දැන් මතවාදය දඬුලේනාය. “මම හිතන්නේ ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ කමිටුවේදි අදාළ පාර්ෂව තමයි, මේ අදහස ඉදිරිපත් කළේ. එම කමිටුවට ඊට විෂය ප්‍රවීණයින් සිටීද යන්න ප්‍රශ්නයක්. ජාතික සත්ත්වයාට අලියා දැම්මත්, කොටියා දම්මත් ප්‍රශ්න එනවා. මේ වසරේදි පමණක් අලි ,කොටි විශාල සංඛ්‍යාවක් මැරුණා. දඬුලේනා ජාතික සත්ත්වයා නිසා වගා හානියෙදිත් ඌ ආරක්ෂිතයි කියා තර්කයක් ගෙනෙවානම් එය විහිළුවක්. මේ විදියට බැලුවහොත් ලංකාවේ ජාතික සත්ත්ව තනතුරට දාන්න කිසි සතෙක් නැතුව යනවා. නමුත් අනෙක් සත්ත්වයන්ගේ ඉරණම අනුව ජාතික සත්ත්වයා ලෙස දඬුලේනාව දැමීමෙන් ඌ ආරක්ෂා වෙනවා. අපේ රටේ විසදන්න දැවැන්ත ප්‍රශ්න තියෙද්දී දඬුලේනක් අල්ලාගෙන කරන විගඩම කුමක්ද කියා ප්‍රශ්නයක්. අද ලංකාවේ අස්වැන්නෙන් 40% ක් විනාශ වෙන්නේ නෙලාගෙන ආවට පස්සේ. එය 10% ක් හෝ අඩු කරන්න පුළුවන් නම්, සතුන්ගේ වගා හානිය ගැන කතා කරන්න අවශ්‍යය නැහැ. භෝග විනාශ වීමේ පාඩුව අතරමැදියා පියවා ගන්නේ පාරිභෝගිකයාගෙන්. අනිත් අතට දඬුලේනා වගාවට හානි කරන්නේ ඌට කැළෑවල කන්න දෙයක් නැති වුනාම. අඩු ඉඩම් ප්‍රමානයකින් වගා කිරීමේ ක්‍රම අපි සොයා ගත යුතුයි. නිසි කෘෂිකර්ම ක්‍රමවේද හදුන්වා නොදීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ෆේල් . අපේ ප්‍රශ්නවලට සතුන්ගෙන් විසදුම් සොයන්න යන්න හොඳ නැහැ. ජනතාවට වගා කිරීමේ ටාර්ගට් දිය යුතුයි......“ ඒ පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේය.

දඬුලේනාගෙන් අප ඉගෙන ගැනීමට බොහෝ කරුණු ඇත්තේය. Giant squirrel යන දේශීය නාමයෙන් හා Ratufa macroura නම් විද්‍යාත්මක නාමයෙන් හදුන්වන දඬුලේනාගේ උද්යෝගිමක් කඩිසර ජීවන රටාව දකින්නට ප්‍රියකරුය. දුර පැනීමේ ශූරත්වයද අගය කළ යුතුය. දඬුලේනාගේ මනස්කාන්ත හැඩ සිරුර නිසා වරෙක ඌ වෙනුවෙන් මුද්දරද නිකුත් විය. අපිලිවෙළට හදන දඬුලේන කූඩුව කාක් කූඩුවක් සේය. අමු කෝටුකෑලිවලින් හදන කූඩුව මුලින් පේන්නේ කොළපාටට ගෝලාකාරවය. නමුත් කූඩුව සරසෙන්නේ සනීපදායකවය. බිත්තර දැමීමට ප්‍රථම එකම වර්ගයේ කූඩු හතක් හදන්නේ විලෝපිකයන් රවටා පැටවුන් බේරා ගැනීමටය. දඬුලේනුන්ට පිරිමි පැටවුන් අඩු හෙයින් ගැහැනු ගහනය වැඩිය.

ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ නීතීඥ ජගත් ගුණවර්ධනයන් පවසන්නේ කවුරුත් කතා නොකළද ලංකාවටම ආවේණික දඬුලේන උප විශේෂ ඇති බවකි. එසේම ජාතික පක්ෂියා , ජාතික සත්වයා නම් කළේ ඇයි? කුමන කරුණක් පදනම් කරගෙනද යන්න සොයා ගැනීම අපහසු බවය. අතීතයේ සිදුකළ මේ පත්කිරිම් ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයින් පවා දන්නේ නැත.

මගේ අදහස අනුව දඬුලේනා නම් කිරීමේ වරදක් නැහැ. අනික සමහරු තර්ක කරනවා, ඌ ලංකාවට අවේණික සත්ත්වයෙන් නොවේ කියලා. නමුත් ලංකාවට ආවේණික දඬුලේන් උප විශේෂ තියෙනවා. ඌගෙන් විවිධත්වයක් හා අනන්‍යතාවක් නිරූපනය කෙරෙනවා. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 30 වැනි වගන්තියට අනුව දඬුලේනාත් ආරක්ෂිත සත්ත්වයෙක්. ඒ නිසා මේ සතා වගාහානි කරනවා කිව්වට දඬුලේනා සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණ සිදුකර නැති නිසා පූර්ව නිගමනයන්ට ඒම අපහසුයි. දඬුලේනා වගා හානිකර ඇත්තේ කුමන වගා ප්‍රදේශවලටද, ඒ කුමන උප විශේෂද. ගහන ගණත්වය අඩුද වැඩිද, ඔවුන් වගාබිම්වලින් ඉවත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳ දඬුලේනාගේ උප විශේෂ පිරික්සමින් නිසි අධ්‍යනයක් සිදු කළ යුතුයි....“ ඒ ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ නීතීඥ ජගත් ගුණවර්ධනයි.

ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න සඳහන් කරන්නේ දඬුලේනා ජාතික සත්ත්වයකු ලෙස නම් කිරීමෙන් ඌට නීතිමය ආක්ෂාවක් සැලසී ඇති බවත්, එසේ හෙයින් වගාවන් ආරක්ෂා කිරීමේදී පාලිබෝධකයකු ලෙස නම් කිරීම ඊට හේතුව බවත්ය.

“දඬුලේනා රතු දත්ත පොතට ඇතුළත් වන්නේ සුලභව දැකිය හැකි සතෙක් විදියට. ඒ නිසයි සමහර ප්‍රදේශවල මේ සතා පලිබෝධකයෙක් ලෙස සලකන්නේ. වල් ඌරන් ගොවිබිම් විනාශ කරද්දි මැරුවට මේ සතාව මරන්න කලින් දෙවරක් සිතන්නේ ඌ ජාතික සත්ත්වයා නිසා. එයින් නීතිමය අරක්ෂාවක් සැලසිලා තියෙනවා. ඒත් ඌගේ ස්වභාවික වාසස්ථාන අහිමි විම නිසයි, පලිබෝධකයෙකු ලෙස වගාබිම් විනාශ කරන්නේ. නමුත් සමහරක් දෙනා වෙඩි තියා වගාව ආරක්ෂා කරන්න මේ සතා මරන අවස්ථා තියෙනවා. .....“ඒ සභාපති පුබුදු වීරරත්නය.

දැන් අප ජීවත් වන්නේ කරවටත් උද්දමනයේ ගිලිලාය. හුස්ම ගන්නට පමණක් තවමන් නාසය ඉතිරිව ඇති මොහොතක ජාතික සත්ව ලේබලයෙන් වැඩක් නැත. මේ හේතුවෙන්දෝ දඬුලේනාගේ පට්ටම ගැලවීමේ තීරණයද රිවර්ස් වී ඇත්තේය.

 

 

 

Comments